අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක්

*********************************************

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ගැන ගැසට් නිවේදනයක්

(09.03.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික තත්ත්වය කලමනාකරණය සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමිත කාලයකට සීමා කීරීමට රජය තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ නිර්දේශ අනුව භාණ්ඩ 367 ක් සඳහා මෙලෙස ක්‍රමවේද 3 ක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ආනයන සීමා කිරීම ක්‍රම 3 ක් යටතේ සිදුකරන බව රජය නිවේදනය කළා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ආර්ථික තත්ත්වය නිසිලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට මෙම ආනයන සීමා කරන බවයි.

පළමු (1) ක්‍රමවේදය යටතේ තෝරා ගත් භාණ්ඩ සඳහා බදු පනවන අතර, ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව එහි දැක්වෙනවා.

තුන්වන (3) ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩවලට බදු හා බලපත්‍ර පැනවීමට කටයුතු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව, දෙවන (2) ක්‍රමවේදය යටතේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවනු ලැබුවා.

එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ රටඉඳි, බටර්, චීස්, ඇතුළත් කර තිබෙනවා.

එසේම, අමු හෝ ශීතකල මාළු, කිරි, යෝගට්, චොක්ලට්, කොකෝවා අඩංගු ආහාර, සීරියල්, පළතුරු යුෂ, පානීය ජලය සහ මධ්‍යසාර නොවන පාන වර්ගද එම ලැයිස්තුවට ඇතුළත්.

එසේම, මධ්‍යසාර යටතට ගැනෙන බියර්, වයින්, විදේශීය මත්පැන් වර්ග, දුම්වැටි සහ දුම්කොල අඩංගු වෙනත් නිෂ්පාදන මෙන්ම, ඉටිපන්දම් හා ලාම්පු ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව සුවඳ විලවුන්, සංගීත භාණ්ඩ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු, සබන් ආදිය ද පාවහන්, කුඩ, හා හිස්වැසුම් යන භාණ්ඩ මත ද ආනයන සීමා ක්‍රමවේද ක්‍රියාත්මකයි.

මීට අමතරව සෙරමික් පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, නානකාමර උපාංග, වායු සමීකරණ හා ශිතකරණ, ඉලෙක්ට්‍රොනික් ගෘහ භාණ්ඩ, සියලුම වර්ගයේ ස්ථාවර හා ජංගම දුරකථන, සෙල්ලම් බඩු ද ආනයන සීමා ක්‍රමවේදය යටතට ගැනෙනවා.

ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතුයි.

***************************************

සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23

(09.03.2022 – 19:05 +0530 – hirunews.lk/sinhala)

රට තුල පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා වන සර්ව පාක්ෂික සමුලුව ලබන 23 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම සමුලුව පැවැත්වෙන ස්ථානය හෝ වේලාව පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ඊයේ (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවු අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුවයි සර්ව පාක්ෂික සමුලුවක් සඳහා ජනාධිපතිවරයා එකගතාවය පලකර තිබුණේ ෴

***************************************

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් වෙතින් නව ව්‍යාපෘතියක්

(09.03.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වනාන්තරයේ ස්වාරක්ෂක කලාපයේ පිහිටි හානියට පත් අක්කර 50 ක ඉඩමක් ප්‍රතිෂ්ඨාපනය කිරිමේ ව්‍යාපෘතිය සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ පියවර ගෙන තිබෙනවා.

‘සිනමන් වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජෝන් කීල්ස් පදනම සමග එක්වයි ක්‍රියාත්මක වන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජ ලෝක උරුම අඩවියට කිලෝමීටර් 3.5 ක් ආසන්නයේ පිහිටා ඇති මෙම අක්කර 50 ක භූමි ප්‍රමාණය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම තුලින් සිනමන් වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය කාලෝචිත ආදර්ශයක් ද සපයනවා ෴

***************************************

ඩොලර් එකකට අමතර රුපියල් 20 ක්

(09.03.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

විදේශ ශ්‍රමිකයින් එවන විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී, ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 20ක දිරි දීමනාවක් ලබාදීමට, රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා ෴

+

@@@@ ඉන්ධන සහ විදුලිබල අර්බුදය @@@@

රජයේ කාර්යාවල ඉන්ධන, විදුලිය කප්පාදුවක්

(09.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩොලර් අර්බුදය හමුවේ රජයේ සියලු ම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය සීමා කිරීමට තීරණයට කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇතැම් ආයතනවල දැනටමත් එම නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මැති ඇමතිවරුන්ගේ නිල රථ සහ රාජ්‍ය නිලධාරීන් සඳහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම මෙම යෝජනාව මගින් අත්හිටුවා තිබෙනවා.

මීට අමතර ව පිට පළාත්වල නිලධාරීන් රැස්වීම් සහ අනෙකුත් කාරණා සදහා කොළඹට කැදවීම ද සීමා කරන ලෙසයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති යෝජනාවල දැක්වෙන්නේ.

ඒ සඳහා විකල්පයක් ලෙස සූම් තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡා පවත්වන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.

අත්‍යාවශ්‍යම රාජකාරී කටයුත්තක් සදහා පැමිණෙන්නේ නම් තනි නිලධාරියෙකු එක් එක් වාහනය භාවිතා කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙසට යි යෝජනා කර ඇත්තේ.

එමෙන්ම, රාජ්‍ය ආයතනවල පස්වරු 02:30 න් පසු වායු සමීකරණ අක්‍රිය කරන ලෙසත් ඒ වෙනුවට විදුලි පංකා භාවිතා කරන ලෙසට ද යෝජනා කර තිබෙනවා.

සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සදහා තෝරා ගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසටත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ හෝ පොලීසියේ අධීක්ෂණය යටතේ ඒවා නිකුත් කරන ලෙසටත් විෂය භාර අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති යෝජනාවලියේ දැක්වෙනවා.

මේ අතර අද (09) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කළාපවලට උදෑසන 8 සිට සවස 6 දක්වා පැය දෙකහමාරක (2½) කාලයක්ද සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙනවා.

එමෙන්ම ජල P, Q, R, S, T, U, U, V, W යන කළාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා කාලය තුල පැය 2 ක් ද සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක (1) කාලයක් ද විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.

කෙසේ වෙතත් රෝහල්, ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි පැය 24 පුරා විදුලිය අත්‍යාවශ්‍ය ස්ථාන වෙත කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කටයුතු කරන ලෙසටයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අදාළ අංශ වෙත ඊයේ (08) උපදෙස් ලබා දුන්නේ.

ඒ සඳහා අඛණ්ඩ ව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරන ලෙසටද ඇය උපදෙස් ලබා දුන්නා.

මෙවන් පසුබිමක හදිසි විදුලි මිල දී ගැනීම් සිදු කිරීමට සහ විදුලි බිල ඉහළ නැංවීමට රජය මගින් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

එහි ලේකම් රන්ජන් ජයලාල් කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, හදිසි විදුලි මිල දී ගැනීම් සිදු කිරීමට අදාළ ගිවිසුමක් අත්සන් තැබීමට ද රජය මේ වන විට සූදානමින් සිටින බවයි.

මේ අතර කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නෞකාවල අන්තර්ගත තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක ගොඩබෑමේ කටයුතු අද (09) ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, ඊට අදාළ සැලසුම් මේ වනවිට සිදු කෙරෙන බවයි.

දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බවද ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රට තුළ පවතින ගෑස් හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

පවතින ඩොලර් අර්බුදය හමුවේ දින ගණනාවක් පුරා කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ගෑස් අන්තර්ගත නෞකා 3 න් එක් (1) නෞකාවක ගෑස් මෙට්‍රික් ටොන් 2,600 ක් ගොඩබා බෙදාහැරීමේ කටයුතු ඊයේ (08) සිදු කෙරුණේ, එම ගෑස් නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමත් සමඟ යි.

++++++++++++

එළවළු වෙළෙඳාම 40% කින් පහත බසී

(09.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය හේතුවෙන් එළවළු වෙළෙඳාම 40% කින් පමණ පහළ බැස ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

පවතින ඩීසල් හිගයත් සමග රථ වාහනවලින් ගොවිපළට ගොස් එළවළු අස්වැන්න මිල දී ගැනීමට හෝ වෙළදපොළට රැගෙන ඒමට නො හැකි තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළම දක්නට ලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මීට අමතරව ගෑස් හිගය හේතුවෙන් ආපණ ශාලා තාවකාලිකව වසා දමා ඇති හෙයින් ව්‍යාපාරිකයින් වෙළදපොළට එළවළු මිල දී ගැනීම සදහා පැමිණෙන ප්‍රමාණය ද අඩු වී තිබෙනවා ෴

++++++++++++

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්

(09.03.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා පත් කර තිබෙනවා.

ඒ හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කරමින්.

මීට පෙර විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

එසේම ඔහු මීට පෙර ද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරය හොබවා තිබෙනවා.

නව සභාපතිවරයා අද (09) පෙරවරුවේ එම ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිත යි.

මේ අතර ඛනිජ තෙල් මෙරටට ආනයනය කිරීමෙන් පසු ඒවා අදාළ ස්ථානවලට ප්‍රවාහනය කිරීමේ දී දරන පිරිවැය සම්බන්ධයෙන් 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ රැස්වූ කෝප් කමිටුවේ දී අවධානය යොමුව තිබෙනවා.

එහි දී ඉන්ධන දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා කිලෝමීටරයකට රුපියල් තුනයි ශත අසූ එකක් (3.81) වැයවන බව අනාවරණ වුණා.

එහෙත් කිලෝමීටරයකට රුපියල් 12.94 ක් බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා වැයවන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

2021 වසරේ ජනවාරි මාසයේ දී කෝප් කමිටුව විසින් මෙම විමර්ශනය සිදු කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ, 2020 ජනවාරි මාසයේ දී ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට විස්සක (20%) ප්‍රමාණයක් පමණක් දුම්රියෙන් සිදු කර ඇති බවට යි ෴

++++++++++++

කථානායකගෙන් මන්ත්‍රීවරුන්ට උපදේශයක්

(09.03.2022 – 11:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව තුළ විදුලිය පරිහරණය සීමා කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහි දී කථානායකවරයා, මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කිරීම සදහා සහාය ලබාදෙන ලෙසයි.

මේ අතර, පවතින ඩොලර් අර්බුදය හමුවේ රජයේ සියලු ම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය සීමා කිරීමට තීරණයට කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++

ආයතන 7 කින් රුපියල් කෝටි 13,000 ක් ඛනිජ තෙල් සංස්ථාවට ණයයි

(09.03.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන 7 ක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටු හෙළි කරගෙන තිබෙනවා.

ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම වාර්තාවේ දක්වා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, සහ පොලීසිය මෙලෙස මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවයි.

වැඩිම මුදල් ගෙවීම පැහැර හැර ඇත්තේ විදුලිබල මණ්ඩලය වන අතර ඔවුන් විසින් පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 7300 ක්.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 5600 ක මුදල් ගෙවීමක් පැහැර හැර ඇති බව වාර්තාවේ සදහන්.

එමෙන්ම ලෝක වෙළදපොලේ ඛනිජ තෙල් මිල 2019 වසරේ පහළ ගිය පසු 2020 වසරේ දී ඒ සදහා විශේෂ බද්දක් පනවනු තුරු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම අතිරේක ලාභයක් උපයාගෙන ඇති බව ද කෝප් වාර්තාවේ සදහන්.

මිල අඩු වීමේ වාසියෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව උපයා ඇති ලාභය කොපමණ දැ යි කෝප් කමිටුවට දැනුම් දෙන ලෙස දැනුම් දී ඇතත්, බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම වාර්තාව ඉදිරිපත් කිරීම මඟ හැර තිබෙනවා ෴

++++++++++++

ගෑස් සහ ඉන්ධන පෝලිම් අදත් – තවත් ඩීසල් නෞකාවක් දිවයිනට

(09.03.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

හැකි සෑම කැප කිරීමක්ම සිදු කර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ක්‍රියාකරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා පවසනවා.

මේ අතර ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තවදුරටත් පෝළිම් දක්නට ලැබෙනවා.

දිවයිනට ලඟා වූ ගෑස් නෞකා තුනෙන් (3) එක් (1) නෞකාවකට ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මඟින් ලබාදුන් අතර, මේ වනවිට දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ සමාගම සඳහන් කළා.

කෙසේ වෙතත් ගෑස් හිඟය හේතුවෙන් තවදුරටත් නගර රැසක ආපනශාලා වසා දමා තිබෙනවා.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් පෝළිම් ද නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම පවතින විදුලි අර්බුදයට ද විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

රාත්‍රී කාලයේ දී විථි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යවරයා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්න ද ඇතැම් ප්‍රදේශවල එම තත්ත්වය දක්නට ලැබුණේ නැහැ.

බලපිටිය නගරයේ වීථි ලාම්පු නිවා දැමීමත් සමඟ ප්‍රදේශවාසීන් ඊයේ (08) පන්දම් දල්වමින් විරෝධතාවයක නිරත වුණා.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී සදහන් කළේ, පාර්ලිමේන්තුව තුළ ද විදුලිය පරිහරණය කිරීම සීමා කර ඇති බවයි.

ඉන්ධන අර්බුදය පවතින අවස්ථාවක ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා අද (09) එම ධූරයේ වැඩ බාරගනු ලැබුවා.

හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කරමින් මෙම නව පත්වීම සිදු කර ඇති අතර මීට පෙර විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

එසේම ඔහු මීට පෙරද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරය හොබවා තිබෙනවා.

එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක් අද (09) දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා ෴

++++++++++++

අදත් (09) ප්‍රදේශ රැසක තෙල් – ගෑස් පෝලිම්

(09.03.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ලබන සිකුරාදා හෝ සෙනසුරාදා පමණ වනවිට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවට විශ්වාස කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

කෙසේ වෙතත්, අද (09) දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු රථවාහන පෝලිම් දක්නට ලැබුණා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් පෝළිම් ද නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම පවතින විදුලි අර්බුදයටද විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන අර්බුදය පවතින අවස්ථාවක ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා අද (09) එම ධූරයේ වැඩ බාරගනු ලැබුවා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක් ගබඩාවල පවතින බවයි.

එසේම, සෑම නගරයකම පිරවුම්හල්වලට පෙට්රල් සහ ඩීසල් ලබාදී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (09) දිනයේත් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව පෝලිම්වල සිට අපහසුතාවයට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, දිවයිනට පැමිණ තිබූ මෙට්‍රික් ටොන් 2600 ක් රැගත් ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට අවසන් කර තිබෙනවා.

එහි ගෑස් ඊයේ (08) සහ අද (09) වෙළඳපොලට නිකුත් කර තිබූ අතර, ඒ අනුව දෛනිකව මෙට්‍රික් ටොන් 900 ක් පමණ දිවයිනේ සෑම ප්‍රදේශයකට බෙදාහැරීමේ කටයුතු සිදුකළ බව ලිට්රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එහි ගෑස් හෙට (10) දිනයේත් බෙදාහැරීමේ කටයුතු සිදුකරන අතර, දිවයිනට පැමිණ ඇති තවත් ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු බොහෝ දුරට හෙට (10) දිනයේදී සිදුකෙරෙනු ඇති බවද වාර්තා වනවා.

ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපනශාලා වසා දමා ඇති තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කළ හැකියි.

ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් පරිභෝජනය කරන ජනතාවද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

++++++++++++

හෙට (10) දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන්

(09.03.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

හෙට (10) දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ – බී – සී – ඩී – ඊ – එෆ් – ජී – එච් – අයි – ජේ – කේ සහ එල් කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

පී – කිව් – ආර් – එස් – ටී – යු – වී – ඩබ්ලිව් යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 11 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා අසාදිතයින් 117 දෙනෙකු සුවය ලබයි

(09.03.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝන අසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ගණන 6,18,503 ක් වනවා ෴

තවත් කොරෝනා මරණ 11 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 16,361 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 675 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,54,336 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *