ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

*********************************************

ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

(09.03.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හිඟයක් පිළිබඳව ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 51 වන ශාඛාව අද (09) හෝමාගම නගරයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ අතර, නුදුරේදීම ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළා.

ඊයේ (08) සිට ඖෂධ ආනයනය කරන සමාගම් ඔසුසැල් වෙත ඖෂධ බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කළේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ හැරීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම මීට හේතු වී ඇති බව ද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, ඖෂධ ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75 ක් සදහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බවයි.

අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්තගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මිල වැඩි කිරීමට අදාළව මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.

***************************************

සංවර්ධන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(09.03.2022 – 11:29 +0530 – hirunews.lk/sinhala)

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 14 වන දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසනවා.

එහි ලේකම් ධම්මික මුණසිංහ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා ෴

***************************************

හාලිඇල සිසුවියගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(09.03.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – හාලිඇල – උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය අද (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස මිය ගියේ, වයස අවුරුදු 18 ක හාලි ඇල උඩුවරවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.

පොලිසිය පැවසුවේ, ඊයේ (08) දහවල් පාසල නිම වී නිවසට පැමිණෙමින් සිටිය දී ඇය මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට යි පොලිසිය සැක පළ කරන්නේ.

අදාළ පහරදීම සිදු කර ඇති බවට පැවසෙන 33 හැවිරිදි වියේ පසු වන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සිටියා.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

හාලි ඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර යි.

***************************************

‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත’ විවාදයට

(09.03.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඒ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම ආරම්භ කළ අවස්ථාවේදි යි.

***************************************

පොල් තෙල් මිල ඉහළට ?

(09.03.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

හිඟයක් මවා පා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී පොල් තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානම් වන බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

මෙරට පොල්තෙල් අවශ්‍යතාවය සපුරාලීමට දේශීය නිෂ්පාදකයින්ට හැකියාව පවතින බවයි කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ.

***************************************

සහල් මිල පාලනය කළ හැකි බව කෘෂිකර්ම ඇමති කියයි

(09.03.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී සහල් මිල පාලනය කිරිමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා ෴

***************************************

හිටපු ජනපතිගේ පෙත්සම විභාගයට අවසර

(09.03.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අවසර ලබාදුන්නා.

ඒ, මෙම පෙත්සම ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කර ඇති අතර ඒවා නිශ්ප්‍රභ කර තමන්ව සියළු චෝදනාවලින් මුදා හරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා එමගින් වැඩිදුරටත් සදහන් කළේ, මෙම නඩු පවත්වාගෙන යා නොහැකි බවට තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණයේ මූලික විරෝධතා ගොනු කළ නමුත් පසුගිය ජනවාරි 07 වනදා දිසා අධිකරණය ඒවා ප්‍රතික්ෂේප කළ බවයි.

එම තීරණය නීතියට පටහැනි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමේ දක්වා තිබෙනවා ෴

***************************************

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු නිවසින් නෙරපීමට නියෝග

(09.03.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ නිව්ටන් කුලසූරිය පදිංචි නිවසින් නෙරපීමේ ආඥාවක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී.ඒ. සමරදිවාකර විසින් නිකුත් කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ – මීගමුව පාරේ අංක 87 දේපල සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ තීන්දුව අද (09) ප්‍රකාශයට පත් කරමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ නිව්ටන් කුලසූරිය, දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ පදිංචිව සිටි බවටයි අධිකරණයේ දී සඳහන් වුණේ.

අදාළ ඉඩම මිනුවන්ගොඩ නගර සභාව සතු ඉඩමක් වන අතර අදාළ ආඥාවට අනුව මිනුවන්ගොඩ නගර සභාවේ ලේකම්වරයා වෙත එම දේපල වහාම භාර දෙන ලෙසටයි නිව්ටන් කුලසූරිය වෙත දැනුම් දී ඇත්තේ ෴

***************************************

ජිප් රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට

(09.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිඳුනුවැව – ගෝමරන්කඩවල ප්‍රදේශයේදී ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ජිප් රථයේ වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් අද (09) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ජිප් රථය අධිබලැති විදුලි කණුවක ගැටී අසල තිබූ ඇළකට පෙරලී අනතුර සිදුව තිබෙනවා. ජිප් රථයේ රියදුරු වන 33 හැවිරිදි පුද්ගලයෙකු හා එහි ගමන් කළ 44 හැවිරිදි තවත් අයෙකු එහිදී ජිවිතක්ෂයට පත්වුණා.

***************************************

ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් යුක්රේනයේ සිටීමට කැමැත්ත පල කරයි

(09.03.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය ජී.එල්. පීරිස් මෙම අදහස් පළ කලේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

(09.03.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත මගින් රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේදි එකී දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සලස්වා තිබෙනවා.

අදාල පනත් කෙටුම්පතේ දෙවන කියවිමේ විවාදය අද (09) පැවති අතර ඊට විපක්ෂය විරෝධය දක්වා සිටියා.

මේ අතර, කැබිනට් අමාත්‍යධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අද (09) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබුන ද ඔහු අද (09) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා, නොපැමිණි බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඔහුට වෙන්කර තිබු පසුපෙල මන්ත්‍රී ආසනයේ අසුන් ගත්තා ෴

***************************************

මගේ බලාපොරොත්තුව වාසු ඉල්ලා අස්වෙන එක! – බැසිල් කියයි

(09.03.2022 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම හා වාසුදේව නානායක්කාර අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකිරීම පිළිබඳව කරුණු දක්වා තිබෙනවා.

එහිදී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ වාසු ඉවත් නොකළේ විමල් හා ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් බවයි.

කෙසේ වෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඔවුන් ඉවත් වූවා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවන බවද පවසා ඇති බැසිල් රාජපක්ෂ ඉවසීමෙන් වැඩ කරන ලෙසත් අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගත හැකි බවත් තවදුරටත් සඳහන් කර තිබෙනවා ෴

***************************************

ආර්ථික පරිහානියට හේතුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා පහදයි

(09.03.2022 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇත්තේ 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්‍රියා හේතුවෙන් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මණ්ත්‍රන ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහ ඇගේ පාලන කාලයේ ඡායාරූප සහ විස්තර ඇතුළත් ග්‍රන්ථයක් සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරයට ප්‍රදානය කිරීම වෙනුවෙන් එම උත්සවය පැවැත්වුණා.

***************************************

රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත සමරවීරට අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී බාධා

(09.03.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala)

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ලිපිලේඛන භාරදී මාධ්‍ය හමුවක් පැවැත්වීම සඳහා අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී බාධා කිරීමක් සිදුව තිබෙනවා.

ඒ, මාධ්‍යවේදීන්ට අමාත්‍යාංශය වෙත ඇතුළු වීමට ආරක්ෂක අංශ විසින් ඉඩ ලබානොදීමත් සමගයි.

එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් මාධ්‍ය හමුවක් සඳහා අවසර ලබා ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, ඒ අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශය වෙත පැමිණිම සඳහා එම ස්ථානයට ආ අතර එහිදී ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට සහ ඔහුට අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇති වූ මෙම සිද්ධිය පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස තමන් වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *