ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි..

ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි..

*********************************************

ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි..

(09.03.2022 – 22:02 +0530 – lankacnews.com)

ඉන්දියාව වෙත ශ‍්‍රි ලංකාව විසින් ඩොලර් මිලියන 900 ක මුදලක් මෙම සතියේ කිරීමට නියමිතව තිබූ බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණේ ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් බව ද හෙතෙම පැවසීය.

නමුත් ඉන්දියාව එම ණය ගෙවීම සදහා තවත් මාස දෙකක (2) කාලයක් ලබාදී ඇති බවත් එසේ නොකලේ නම් ශ්‍රී ලංකාව අද වන විට ම බංකොලොත් වී ඇති බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවධාරණය කළා.

වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව අපිට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට අපගේ යෝජනා ඉදිරිපත් කළේ රට වෙනුවෙන්. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව අපගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙහිදී පෙන්වා දුන්නේ මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බවයි. පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවධානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් අපි මෙහිදී අවධාරණය කළා.

කෙසේවෙතත්, මූල්‍ය අරමුදලට යෑමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී පෙනුනේ නෑ. හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කළා. එසේම, මෙරට ආහාර උද්ධමනය 40% ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් මා සඳහන් කළා.”

***************************************

සර්ව පාක්ෂික සමුළු යෝජනාව බැසිල් මෛත්‍රීට ගිල්ලවපු ලනුවක් ! – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර

(09.03.2022 – 15:34 +0530 – lankaleadnews.com)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ සර්ව පාක්ෂික සමුළු යෝජනාව පිළිබඳ ලංකා ලීඩ් වෙබ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

එහිදී අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“බැසිල් රාජපක්ෂ මහතා ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් එලවා දමන්නේ, ඉස්ලාම් අන්තවාදීන් බෙදුම්වාදීන් ඇතුළු රටට හතුරු බලවේග සමඟ එකතුවී ජාතික ආණ්ඩුවක් හදන්න. ඒ අයට ඕන වෙලා තියෙන්නේ ‘ඒක ආණ්ඩුවේ යෝජනාවක් නොවෙයි’ කියා පෙන්වන්න. ‘සර්ව පාක්ෂික අටමගල’ ඕන වෙන්නේ ඒකට. එතනදි යෝජනා වුනාම ඒක බැසිල්ගේ යෝජනාවක් නොවෙයි. බැසිල් සමත් වෙලා තියෙනවා කවුරු හරි ඒජන්තයෙකු ලවා මෛත්‍රීපාල මහතාට මේක ගිල්ලවන්න. තව ටික දවසකින් රිෂාඩ් ඛනිජ තෙල් ඇමති වීම, සාෆි නඩුවෙන් නිදහස් වෙලා පළාත් සභාවලට ඉල්ලීම, එහෙම නැතිනම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒම සිදුවුනොත් පුදුම වෙන්න එපා.”

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ සති දෙකකට (2) පමණයි

(09.03.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ, මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අප විෂයභාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට රජය පියවර ගෙන ඇති බවයි.

මේ අතර, නුදුරේ දී ම ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

ඊයේ (08) සිට ඖෂධ ආනයනය කරන සමාගම් ඔසුසැල් වෙත ඖෂධ බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පෞද්ගලික උසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කළේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැරීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම මීට හේතු වී ඇති බව ද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, ඖෂධ ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75 ක් සදහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බවයි.

අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්තගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මිල වැඩි කිරීමට අදාළව මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.

ඒ අනුව මෙම සතියේදී හෝ ලබන සතියේ ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව සභාපතිවරයා සදහන් කළා.

***************************************

නැඳුන්ගමුවේ රාජා රකින ක්‍රමය ගැන අනාවරණයක්

(09.03.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරිමේ දී එම සත්ත්වයාගේ සම, දළ යුගලය සහ හිස් කබල එලෙසම භාවිතයට ගන්නා බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි ප්‍රකාශ කළා.

පෙරේදා (07) මියගිය නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම්කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවේ.

මේ අතර 2020 වසරේ ශ්‍රීපාද රක්ෂිතයේ දී මද්දකට හසුවීමෙන් පසු මියගිය කලු කොටියාගේ සිරුරද සංරක්ෂණය කිරීමට ජාතික කෞතුකාගාරය පියවර ගනු ලැබූවා.

කෙසේ වෙතත් මේ දිනවල එම සත්වයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අතර ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි කියා සිටියේ, එය සංරක්ෂණය කටයුතු නිමවීමට පෙර ගත් ඡායාරූපයක් බවයි.

+++++++

රන්ජන් රාමනායක සමාව ගැනීමට සැරසෙයි

(09.03.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ව ඉදිරිපත් කර තිබෙන දෙවන (2) අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ලබන 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (09) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය වෙත කොන්දේසි විරහිතව සිය කනගාටුව පළ කිරීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නො තිබූ බව සිය සේවාදායකයා විසින් ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නා.

මෙහි දී ජනාධිපති නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රඟපෑ ද්විත්ව චරිතයක් සහිත චිත්‍රපටයක මංගල දර්ශනය ලබන 24 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන බවත් ඊට තම සේවාදායකයා සහභාගී කරවන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා වගඋත්තරකරු සිර දඬුවම් නියම වී සිටින්නේ, මෙම නඩුවට නොවන බව සඳහන් කළා.

එබැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර නීතීන්ට අනුව කටයුතු කිරීමට වගඋත්තරකරුට සිදු වන බවත් පෙන්වා දුන්නා.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

***************************************

විමල්ගෙන් අද (09) මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

(09.03.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව හමුවේ අද (09) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලිමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත කටයුතු සහ බලශක්ති අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ (08) පාර්ලිමේන්තු රැස්වීම්වලට එක්ව සිටියේ, නැහැ.

එමෙන්ම ගබ්සා නිතීයට යම් සංශෝධනයක් අවශ්‍ය බවට තමන් පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළ අතර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තම නිවසේ විදුලි බිල පිළිබදව අදහස් පළ කළා.

එමෙන්ම, බුද්ධිමය දේපොළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුයේ සංශෝධන සහිතව යි ෴

***************************************

යළි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 2,500 ක් වරායේ සිර වෙයි

(09.03.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500 ක් පමණ තවදුරටත් ඩොලර් නො මැති වීම හේතුවෙන් වරායේ සිර වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩොලර් නො මැති වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමද මේ වනවිට ගැටලුවක් වී ඇති බවයි.

සීනි, පිටි, කඩල, වියලි මිරිස්, පරිප්පු, සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි ද්‍රව්‍ය රැසක් මෙලෙස කොළඹ වරාය තුළ සිරව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ වරින් වර ඩොලර් ලැබුණ ද මේ වනවිට බැංකුවලින් ඩොලර් ලබා නොදෙන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඩොලරයේ අගය රුපියල් 230 දක්වා ඉහළ නැංවීමත් සමඟ ඉදිරියේ දී භාණ්ඩ ආනයනය කිරීමට වැඩි මුදලක් වැයවනවා.

ඒ අනුව ඉදිරියේ දී ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකියි ෴

***************************************

මැතිවරණ කොමිසමේ ලියාපදිංචියට අයදුම්පත් 76 ක්

(09.03.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ පිළිගත් පක්ෂයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වීම සඳහා අයදුම්පත් 76 ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, අයදුම්පත් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් දැනට ලියාපදිංචි වී තිබෙනවා ෴

***************************************

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශයක නව විෂය පථයන් ගැසට් කෙරෙයි

(09.03.2022 – 09:19 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක (2) නව විෂය පථයන් ගැසට් කර තිබෙනවා.

පසුගිය දා සිදු කෙරුණු නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව යි එම විෂය පථයන් ගැසට් කර ඇත්තේ.

ඒ අනුව වනජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කරනු ලැබුවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව හා වනජීවි, වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික ආරක්ෂක අරමුදල ඊට ඇතුළත් කිරීමට යි කටයුතු කර ඇත්තේ ෴

***************************************

ව්‍යාජ රන් භාණ්ඩ ජාවාරමක තොරතුරු අනාවරණ හෙළි වෙයි

(09.03.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස රන් භාණ්ඩ ලබා දී මුදල් වංචා කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ ව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අලව්ව සහ යක්කල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ රන් කැබලි අලෙවි කොට රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් වංචා කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු රඹුක්කන ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙක් ෴

***************************************

හෙරොයින් සමඟ දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(09.03.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයකට (1,00,000) අධික වටිනාකමින් යුතු හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෙරේ දා (07) වැනි දා කිරුළපන පොලිස් වසමේ කුඹි කැළේ වත්ත ප්‍රජා ශාලාව අසල දී සිදු කළ වැටලීමකිනු යි.

එහි දී හෙරොයින් ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 830 ක් සන්තකයේ තබාගෙන සිටි හා හෙරොයින් අලවි කර උපයන ලද රුපියල් 90,670 ක් සමඟ මෙම සැකකාරයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගත බව වාර්තා වනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක හා වයස අවුරුදු 44 වයසේ පසුවන පුද්ගලයකු සහ කන්තාවක්.

වැඩිදුර විමර්ශන කටයුතු කිරුළපන පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය අත්හිටුවයි

(09.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඇමරිකාව සහ එංගලන්තය රුසියාවෙන් තෙල් ආනයනය අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ, රුසියානු ආර්ථිකට දැනෙන බලපෑමක් සිදු කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එමෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් රුසියාවෙන් ගෑස් ආනයනය අත්හිටුවා තිබෙනවා.

මේ අතර රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් ඊයේ (08) 13 වන දිනටත් පැවතුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රකාශ කළේ, මේ දක්වා යුක්රේන වැසියන් මිලියන 02 ක් සරණාගතයින් ලෙස වෙනත් රටවලට ගොස් ඇති බවයි ෴

++++++++++++

රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලට තම විරෝධය – ෂී ජින්පින්

(09.03.2022 – 17:39 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ යුද්ධයට මැදිහත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ‘ක්‍රියාකාරීව වැඩ කිරීමට’ චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

නමුත් රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලට තම විරෝධය යළිත් වරක් පලකරන බව ඔහු අවධාරණය කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *