ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(08.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රුපියල් කෝටියක් (1,00,00,000) පමණ වටිනා ඇන්තූරියම් මල් පැළ 400 ක් මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 405 දරණ යානයෙන් මොවුන් ඊයේ (07) පස්වරු 4 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සදහන්.

එහි දී ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කළ රේගුව එහි මළු 4 ක තිබී ඇන්තූරියම් පඳුරු 400 ක් සිය භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් එම මල් ව්‍යාපාරිකයින් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශාඛ නිරෝධායන ආයතන නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

***************************************

සිපිරිගේ පාමුල 2 දොරට වැඩුම 11 වැනි දා

(08.03.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බන්ධනාගාර ආයතන අතුරින් තෝරාගත් රැදවියන්ගේ කාව්‍ය නිර්මාණ 106 ක එකතුවෙන් හැඩ වු සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යු.එම්. අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යි.

ඒ ලබන 11 වැනි දින සවස 03:00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්දු ශ්‍රවණාගාරයේ දී.

2018 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාර රැදවියන්ගේ සාහිත්‍ය සංසදය මගින් වැලිකඩ බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ පමණක් යොදාගනිමින් සිපිරිගේ පාමුල-1 කාව්‍ය සංග්‍රහය එලිදැක්වුණා.

මෙහි අඩංගු සියළු නිර්මාණයන් තුලින් විද්‍යාමාන වන්නේ, සිපිරි ගේ තුළ තනි ව සිටින අවස්ථාවන්හි දී ඔවුනගේ සිතේ ජනිත වූ සිතුවිලි සමුදායන්.

මෙවර නිර්මාණයේ විශේෂත්වය වන්නේ, බන්ධනාගාරගත ව සිටින සිංහල හා දමිල සාහිත්‍යයට ලැදි රැදවියන්ට නිර්මාණ සදහා ඉඩහසර ලබා දීම ලෙස යි වාර්තා වන්නේ.

මෙදින ආරාධිත දේශකයින් ලෙස ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්දදාස ගලප්පත්ති හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ සම්බන්ධ වනු ඇති ෴

***************************************

ජීවිත බිල්ලට තැබූ ස්ටෝරුමුල්ල පාලම

(08.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවර්ධන ව්‍යාපෘති කොතෙකුත් ආරම්භ වුව ද එම ව්‍යාපෘති කලට වේලාවට සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වන අවස්ථාව වාර්තා වන්නේ වරක් දෙවරක් නොවේ.

එලෙස අතරමඟ නවතා දැමූ පාලමක් හේතුවෙන් පීඩාවට පත් ගම්වැසියන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ පාලින්ද නුවර ප්‍රදේශයෙන්.

මේ මීට වසර අටකට (8) පමණ පෙර ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ පාලින්ද නුවර ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් සටෝරුමුල්ල පාලමෙහි වත්මන් තත්ත්වයයි.

වසර ගණනාවක් තිස්සේ පාලමෙහි ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් තවමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.

පාලමෙහි වැඩ කටයුතු අවසන් අදියරයේ තිබුනද වරින් වර එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමමින් කල් මරණ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

එදිනෙදා කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාවට පාලමක් අත්‍යවශ්‍ය වී ඇතත් වසර ගණනාවක සිට ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිත අවධානමේ හෙලමින් ඔරුවක ආධාරයෙන් එගොඩ මෙගොඩ යාමටයි.

එම අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මේවනවිටත් ජීවිත කිහිපයක්ම බිළිගෙන ඇති පසුබිමක මෙම පාලම සම්බන්ධයෙන් වගකිවයුත්තන් නිද්‍රාශීලීව පසුවන්නේ තවත් ජීවිත කීයක් බිළි ගන්නා තුරුදැයි ජනතාව ප්‍රශ්න කරනවා.

පාලම සැකසීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කඳන් කලක පටන් ගලහිටිය ක්‍රීඩා පිටිය මැද ගොඩ ගසා තැබීම හේතුවෙන් ප්‍රදේශයේ දරුවන්ට නිදහසේ ක්‍රීඩා කටයුතු සිදු කිරීමේ ඉඩ ප්‍රස්තාවද ඇහිරී තිබෙනවා.

පාලින්ද නුවර ජනතාවගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම ස්ටෝරුමුල්ල පාලමෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සම්පූර්ණ කර එය ජනතා අයිතියට පැවරීම බලධාරීන් සතු වගකීමක්.

***************************************

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මුදල් ඇමති හමුවෙයි

(08.03.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (08) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.

අද (08) පස්වරු 2 න් පසු මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (08) පස්වරුවේ පැවැත්වෙනවා.

පස්වරු 4 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට පෙර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මන්ත්‍රිවරුන් 14 දෙනා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි ෴

***************************************

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 229.99 යි

(08.03.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව මගින් නම්‍යශීලි විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 229.99 දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිල වන්නේ රුපියල් 225.20 ක්.

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල ද අද (08) රුපියල් 302.92 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ගැණුම් මිල වන්නේ රුපියල් 294.60 ක්.

මහබැංකුව ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකවලට අනුව අද (08) යුරෝ 1 ක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 254.37 ක් ලෙසින් ෴

***************************************

‘එක රටක් – එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය කථානායක සහ පාර්ලිමේන්තු මහලේකම් හමුවෙයි

(08.03.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක හමුවී තිබෙනවා.

ඒ ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී යි.

බලකායේ ඉදිරි කටයුතු හා අත්කරගත් ප්‍රගතිය අධ්‍යනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය බව බලකායේ සාමාජිකයන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බවට ජාතික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරුණා.

පසුගියදා එහි කාලසීමාව 2022- 02-28 දින සිට මාස 03 කාලසීමාවක් දක්වා දිර්ඝ කළා.

බලකායේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය මගින් පළ කරන දැන්වීම් අනුව විවිධ වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් තැපැල් මගින්, විද්‍යුත් පණිවිඩ මගින් සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති බලකායේ කාර්යාලයට පැමිණ ඔවුන්ගේ අදහස් වාචිකව මෙන්ම ලිඛිතව ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව බලකායේ සාමාජිකයන් දිවයිනේ විවිධ පළාත්වලට ගොස් එම ප්‍රදේශවල ජන කොටස්, ආගමික නායකයන් ඇතුළු සාමාන්‍ය මහජනතාව ද හමුවී ඔවුන්ගේ අදහස් ලබාගත්තා.

මේ වන විට පළාත් 06 ක් ආවරණය වන ලෙස ජනතා අදහස් ලබාගෙන ඇති අතර ඉතිරි පළාත් 03 හි ජනතාව ද හමුවී අදහස් ලබාගන්නා බවයි එම බලකාය පවසන්නේ ෴

***************************************

ශ්‍රි ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කෙරේ

(08.03.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

ඕමාන රාජ්‍යයේ වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර හමුවක් සිදුව තිබෙනවා.

වෙළඳ අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇති අතර එහිදී දෙරට අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඕමාන වෙළඳපොල තුල මෙරට නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් ලබාදීම කෙරෙහි සහ ඕමානයේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අවම මිලක් යටතේ ආනයනය කිරීමටයි මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ ෴

***************************************

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රව වල වලංගු කාලය දීර්ඝ කෙරේ

(08.03.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ලබන අප්‍රේල් මස 01 වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වන දිනයේ සිට මාස හයකින් (6) දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එසේම ජූලි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත්වන දිනයේ සිට මාස 3 කින් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම නිසා රියදුරු බලපත්‍රවල කල් ඉකුත්වීමේ දිනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා.

එබැවින් රියදුරු බලපත්‍ර විශාල සංඛ්‍යාවක අලුත් කිරීම් එකවර කිරීමට සිදුවීම හේතුවෙන් දැරිය නොහැකි ප්‍රමාණයක විශාල රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් වර්තමානයේදී නිකුත් කිරීමට සිදුව ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

***************************************

පොරවකින් පහරදී පාසල් සිසුවියක් ඝාතනය කරයි

(08.03.2022 – 18:55 +0530 – hirunews.lk/sinhala)

හාලි ඇල ප්‍රදේශයේ පොරවකින් පහරදී පාසල් සිසුවියක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක හාලි ඇල උඩුවරවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.

පොලිසිය පවසන්නේ අද (08) දහවල් පාසල නිම වී නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළකරන්නේ

අදාළ පහරදීම සිදුකර ඇති බවට පැවසෙන 33 හැවිරිදි වියේ පසුවන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

හාලි ඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

***************************************

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා වන යෝජනාව ජනපති පිළිගත්තා – මෛත්‍රීපාල සිරිසේන

(08.03.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා වන යෝජනාව ජනපති පිළිගත් බව, ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ අද (08) පස්වරු 04:00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය දෙකකට (2) ආසන්න කාලයක් පැවති බවයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ඇතුළත් යෝජනා මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් අද (08) දිනයේදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15 ක් මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ ආකාරයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය යෝජනා සහ අදහස් ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර මෙම සාකච්ඡාවට ප්‍රථම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවති බව සදහන්.

***************************************

ප්‍රදේශ රැසක හිඟය තවමත් – ගොඩබාන ගෑස් නැවේ බෙදාහැරීම් අදම ඇරඹේ

(08.03.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රට තුළ පවතින ගෑස් හිඟය ක්‍රමයෙන් අවසන් වී යනු ඇති බවයි.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නෞකාවලින් ගොඩබාන ලද ගෑස් මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් එතැන් සිට ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදා හැරෙන බව ලිට්රෝ සමාගම සඳහන් කළා.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3 ක් දින ගණනාවක් පුරා කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණා.

ඒවායෙන් ගෑස් නිදහස් කර ගැනීමට හැකිව ඇත්තේ මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (07) ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමත් සමගයි.

ඒ අනුව අදාළ ගෑස් නෞකා 3 න් පළමු (1) නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද (08) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ලිට්රෝ සමාගම සඳහන් කළේ අද (08) දින අවසන් වන විට එහි අන්තර්ගත ගෑස් මෙට්‍රික් ටොන් 2600 ම ගොඩබා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අනෙක් නෞකා 2 තුල පවතින තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක ගොඩබෑමේ කටයුතු හෙට (09) සහ අනිද්දා (10) දින වල සිදුකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක අලෙවි මධ්‍යස්ථාන අසල ගෑස් මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ගෑස් නොමැති වීම හේතුවෙන් හෝටල් සහ ආපනශාලාවල ආහාර පිලියෙල කිරීමේ කටයුතු වලටද තවදුරටත් දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ආපනශාලා අද දිනයේදී වසා තැබුණු බව අප වාර්තා කරුවන් සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *