ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි

*********************************************

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාව සතිපතා රැස්වීමට කැබිනට් අවසරය හිමිවෙයි

(08.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala)

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ ව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ‘ආර්ථික සභාව’ සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවා.

ඒ අනුව එම සභාවේ උපදෙස් හා මග පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවල දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

+++++++

මුතුරාජවෙල ඉඩමෙන් භූමි කොටසක් තවත් සංවර්ධන අඩිතාලමකට වෙන් කෙරේ

(08.03.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 40 ක භූමි ප්‍රදේශයක් මුහුදු වැලි පොම්ප කර සංවර්ධනය කර තිබෙනවා.

එකී ඉඩමෙන් ඉඩම් කොටස් ගණනාවක් ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා රජයේ සහ පෞද්ගලික ආයෝජකයින් වෙත පවරා දී ඇති බව සඳහන්.

ශීතාගාර පහසුකම් සඳහා එකී ඉඩමෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස පෞද්ගලික සමාගමක් විසින් ඉල්ලීමක් කර ඇති අතර, එම ආයතනය අදාළ ඉඩම් කොටස ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වැනි වගන්තිය යටතේ මූලික සුදුසුකම් සපු‍රා ඇති බවට හඳුනාගෙන ඇති අක්කර 04 රූඩි 02 ක් වූ ඉඩම් කොටසක් වසර 30 ක කාලයක් සඳහා දිගු කාලීන බදු පදනම මත එකී සමාගම වෙත ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමැතිය හිමිවුණා.

+++++++

බිම්ස්ටෙක් සම්මුතිය ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය

(08.03.2022 – 11:09 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කරුණු සඳහා අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතියට අත්සන් තැබීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව 2022 මාර්තු මස 30 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) සමුළුව අතරතුර දී අධිකරණ අමාත්‍යාංශය විසින් එක් එක් බිම්ස්ටෙක් සාමාජික රටවල් සමග එකී සම්මුතියට අත්සන් තැබීම පිණිස සිය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගනු ලැබ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබ තිබෙනවා.

++++++++

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනාව ඉහළ නංවයි

(08.03.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලර් විනිමය සඳහා දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව, රුපියල් 38 ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විනිමය ඩොලර් බිලියන 8 කට ආසන්නයි.

එලෙස ඔවුන් එළඹෙන අවුරුදු සමයේ මෙරටට සිදුකරන ප්‍රේෂණ දිරි ගැන්වීම, ඒ සදහා වන දීමනාව ඉහළ නැංවීමේ අරමුණක්.

++++++

***************************************

රන් ආභරණ සහ ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට

(08.03.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වූ කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

රාගම – පේරලන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (07) සිදුකරන ලද වැටලීමකදී සැකකරුවෙකු (1) සහ සැකකාරියක (1) අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ මොවුන් දෙදෙනා (2) කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කෑමේ ජාවාරමක නිරත වී ඇති බවයි.

එමෙන්ම, ගල්කිස්ස ප්‍රදේශයේ දී ද සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද රන් මාල කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වී ඇති බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, ගම්පහ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට අදාළව දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (07) දිනයේදියි.

ඔවුන් විසින් සොරා ගන්නා ලද ත්‍රිරෝද රථ 9 ක් සහ යතුරුපැදි දෙකක් (2) පොලීසිය සොයාගෙන තිබෙනවා ෴

***************************************

කුඩු සෙල්වි විෂ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

(08.03.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය – 02 නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම වැටලීම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත – වැල්ලම්පිටිය ප්‍රදේශයේදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 350 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කොට උපයාගත් රුපියල් 15,180 ක මුදලක් සමග මෙම සැකකාරිනියන් සිය භාරයට ගැනුණා.

මෙහි ප්‍රධාන සැකකාරිනිය දිගු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඇය ‘කුඩු සෙල්වි’ නමින් හැඳින්වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව ඇය සතුව කේරළ ගංජා ග්‍රෑම් 32 ක් ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් 27 හ 40 හැවිරිදි සැකකාරිනියන් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට භාර දී තිබෙනවා.

***************************************

කින්නියා වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

(08.03.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කින්නියා – නඩඋත්තු ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකුට (2) වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (08) පෙරවරුවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30, 43 සහ 54 යන වයස්වල පසුවන කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවන් තුන්දෙනෙක් (3).

ඊයේ (07) රාත්‍රියේ තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබූ අතර එහිදී 30 හැවිරිදි හා 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු (2) තුවාල ලබා ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ සඳහා භාවිත කළ ටී-56 ගිනි අවිය සහ සජීවි පතොරොම් 9 ක් පොලීසිය සොයා ගනු ලැබුවේ නන්ඩුකුඩා කලපුව අසළ සගවා තිබියදීයි ෴

***************************************

ආනයනික භාණ්ඩ මිල ඉහළට

(08.03.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල පා කිරීම නිසා වෙළදපළේ භාණ්ඩ හිඟයට විසදුම් ලැබෙනු ඇති නමුත් ආනයනික භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළදපළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

විනිමය අනුපාතිකය නම්‍යශීලීව පවත්වාගෙන යාමේ අරමුණෙන් රුපියල පා කිරීමටත් ඩොලරයක විනිමය අනුපාතිකය රුපියල් 230 දක්වා අවප්‍රමාණ කිරීමටත් මහබැකුව ඊයේ (07) පියවර ගත්තා.

එමෙන්ම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලර් විනිමය සඳහා දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රුපියල පා කර හැරීමට මහබැංකුව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ, ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවට රජය විශ්වාස කරන බවයි.

මහබැංකුව ගත් මෙම ක්‍රියාමාර්ගය සුබවාදී නමුත් ඉදිරියේ දී භාණ්ඩ මිල ඉහළ යාමට හේතුවක් විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න සඳහන් කළේ ෴

***************************************

ලිට්රෝ ගෑස් බෙදීම ඇරඹේ

(08.03.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

අද (08) දිනයේ දී දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ වනවිටත් ගෑස් මෙට්‍රික් ටොන් 2600 ක් අඩංගු නෞකාවක් නැංගුරම්ලා එහි ගෑස් ගොඩබාමින් පවතින බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, හෙට (09) සහ අනිද්දා (10) දිනවලදී ද මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් ගොඩබෑමට නියමිත බව එම ආයතනයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් නෞකාවලට මුදල් ගෙවීම ප්‍රමාද වූ අතර ඊයේ ඊට අදාළ මුදල්, මුදල් අමාත්‍යාංශය විසින් පියවීමත් සමඟයි ගෑස් ගොඩබෑම අද (08) සිට ආරම්භ වූයේ.

පසුගිය දින කිහිපය තුලදීම දිවයින පුරා ගෑස් නොමැතිවීම හේතුවෙන් ක්ෂේත්‍ර රැසක දෛනික කටයුතු අඩපණ වුණා.

ඇතැම් ආපනශාලා සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවේ ගෑස් නොමැතිවීම හේතුවෙන්.

මේ අතර, ලංකා විදුලි පොදු සේවක සංගමය ඊයේ (07) මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහි සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් ගල් අඟුරු හිඟයක් ද මතුවීමේ අවදානමක් මතු වී ඇති බවයි.

දැනට අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු පවතින නමුත් වාරකන් සමය එළඹීමට පෙර වසරේ ඉදිරි කාලසීමාව සදහා අවශ්‍ය ගල් අගුරු මිල දී නො ගත හොත් විදුලි කප්පාදුව සිදුකරන කාලසීමාව ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ඔහු කියා සිටියා.

මේ අතර, දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් පවතිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග නොලැබීම ඊට හේතුව බවයි.

++++++

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළට

(08.03.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් වසර 14 කින් ඉහළ මට්ටමේ පවතින අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (08) සටන් වන්නේ ඩොලර් 124.27 ක් ලෙසින්.

ඇමෙරිකානු ඩබ්ලිව් ටි අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 119.72 ක් ලෙස පැවතුණා.

මේ අතර, ඇමෙරිකාව විසින් රුසියානු ඛනිජ තෙල් සඳහා තහංචි පැනවීමට සැරසෙද්දී යුරෝපයට සිදුකෙරෙන ස්වභාවික වායු සැපයුම නතර කරන බවට රුසියාව තර්ජනයක් කර තිබෙනවා.

රුසියානු බලශක්ති කටයුතු භාර එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සෙන්ඩර් නොවැක් අනතුරු අගවා සිටියේ රුසියානු තෙල් තහනමක් ලෝක වෙළඳපොල බොරතෙල් බැරලයක මිල ඩොලර් 300 දක්වා ඉහළ තැබීමට හේතුවනු ඇති බවයි.

යුරෝපයේ ගෑස් සැපයුමෙන් සියයට 40 ක් සහ තෙල් සැපයුමෙන් සියයට 30 ක් ලැබෙන්නේ ද රුසියාවෙන්.

***************************************

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(08.03.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සිය නිවේදන යටතේ කථානායකවරයා දැනුම් දුන්නේ ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සඳහා තුනෙන් දෙකක (2/3) බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන බවයි.

මේ අතර, පසුගිය දා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ මේ දක්වා පාර්ලිමේන්තු සභා වාරය සදහා පැමිණ නොමැති බව අප වාර්තාකරු සදහන් කළා.

එමෙන්ම, 9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සභා වාරයේ පළමු (1) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අද (08) සභාගත කළා.

මේ අතර, පොහොර අර්බුදය හේතුවෙන් සිදුවූ අස්වනු හානිය සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සිදුකළ ප්‍රශ්න කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පිළිතුරු ලබාදුන් අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මැදිහත්වීමත් සමග සභාවේ ඇති වූයේ සංවාදාත්මක තත්ත්වයක් ෴

***************************************

සුනාමියෙන් බේරුණු තංගල්ලේ දැරියක්, වසර 18 කට පසු මැදිරිගිරියෙන් හමුවේ

(08.03.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන අද (08) දිනයේ වයස අවුරුදු 18 කට පෙර රුඳුරු සුනාමි රළ පහරට හසුව ජීවිතය බේරාගත් අද දෙදරු මවක්ව සිටින කාන්තාවක් අපට හමුවූයේ මැදිරිගිරිය ප්‍රදේශයෙන්.

තංගල්ලේදී සුනාමියට හසුවූ ඇයගේ දුක්බර කතාව සංවේදි හදවත් ඇත්තන්ගේ නෙතට කඳුළක් උපදවනු නොඅනුමානයි.

තමාගේ නිසි වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයන් හෝ නොමැතිව සමාජයේ අසාධාරණකම් වලින් බැට කන මෙම කාන්තාව තවමත් ජිවත් වන්නේ අනේක විධ දුක්ගැහැට මධ්‍යයේයි.

කේ.ඒ. කමලා පෙරේරා නමින් හඳුන්වන මෙම කාන්තාව පදිංචිව සිටින්නේ අංක 191, ජයගම්පුර, මහ අඹගස්වැව, මැදිරිගිරිය යන ලිපිනයේයි.

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනෙකු (2) ගේ මවක වන ඇය කාට හෝ බැලමෙහෙ කර සිය ජීවිතය සරි කර ගන්නේ කුලී නිවසක සිටිමින්.

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එනම් 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සුනාමි රළට හසුව ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා (2) සහ සහෝදරිය සමඟ ගසාගෙන ගොස් තිබෙනවා.

මුළු පවුලම දිය රකුසාට බිලිවද්දී දෛවයට අනුව ඇයගේ දිවි බේරාගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදන්නා කරුණක්.

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැදවුම් කඳවුරක සිටියදී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවසට රැගෙන ගොස් ඇය හදා වඩාගෙන ඇති අතර එහිදී තමාට මෙම නම ලැබුණු බවයි ඇය කියා සිටියේ.

නිවසේ හිමිකාරිය මිය යාමෙන් පසු ඇයගේ නැගණිය විසින් තමාව කොළඹ කැඳවාගෙන පැමිණ මෙහෙකාර සේවයේ යෙදවූ බව කමලාවතී ප්‍රකාශ කළා.

ඒ වනවිට ඇයට යන්තම් අවුරුදු දොළහ (12) සම්පූර්ණ වූවා පමණි.

කෙසේවෙතත් එහිදී හඳුනාගත් තරුණයෙකු සමඟ ඇති වූ ප්‍රේම සබඳතාවක් මත ඔහුත් සමඟ මැදිරිගිරිය ප්‍රදේශයට ගොස් ඇති අතර දෙවන (2) දරුවා ලැබීමට සිටිය දී ඔහු ඇය හැර ගොස් තිබෙනවා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා අසාදිතව සිටි තවත් 124 දෙනෙකු සුවය ලබයි

(08.03.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදිතව සිටි තවත් 124 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 6,18,386 ක් දක්වා ඉහල යනවා ෴

තවත් කොරෝනා මරණ 11 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,350ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 632 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,53,661 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *