ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක්

ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක්

*********************************************

ආචාර්ය ජ‍යශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක්

(08.03.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (07) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

සුහද අන්දමින් පැවති එම සාකච්ඡාව ඵලදායී බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

එහිදී ශ්‍රී ලංකාවට සියළු ආකාරයෙන් අඛණ්ඩ සහය ලබාදීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

එමෙන්ම මේ මස මැද භාගයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන්.

ඒ සදහා සුදුසු දිනයක් පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙරට නිළ විදේශ සංචිතය මේ වසරේ පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 2361 ක්.

එනම් ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී තිබෙනවා.

මෙලෙස විදේශ සංචිතය පහත වැටීමට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීම ද හේතු වී තිබෙනවා.

එමෙන්ම, ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේදී අපනයන ආදායම වැඩි කර ගත් අපනයනකරුවන් සඳහා වැඩි වන ඩොලරයකට රුපියල් 30 බැගින් අමතර මුදලක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය වසරේ අපනයන ආදායමට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 5500 ක අතිරේක ආදායමක් මේ වසර තුළ ඉපැයීම මෙහි අරමුණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා ව්‍යාප්තියෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සහ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේශීය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ස්ථාපිත, ආර්ථික සභාව සති පතා කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පිහිටුවා ඇති ආර්ථික සභාවට අග්‍රාමාත්‍යවරයා, මුදල්, වෙළද, මහාමාර්ග, කෘෂිකර්ම, වැවිළි කර්මාන්ත යන අමාත්‍යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා, ඇතුළු 11 දෙනෙකු ඇතුළත් ෴

+++++++++++++

මෙරට විදෙස් සංචිතය තවත් පහළට

(08.03.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිල විදේශ සංචිතය මේ වසරේ පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 2361 ක්.

එනම් ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී තිබෙනවා.

එය ජනවාරි මාසය හා සසදන විට සියයට 2 ක පහත වැටීමක්.

එමෙන්ම, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති ඩොලර් බිලියන 4.5 ක නිළ විදේශ සංචිතය හා සසදන විට මේ වසරේ පෙබරවාරියේ සංචිත ප්‍රමාණය සියයට 50 කින් පමණ පහත වැටී ඇති බව සැලකිය හැකියි.

මෙලෙස විදේශ සංචිතය පහත වැටීමට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීම ද එක් හේතුවක්.

මේ අතර, වඩා නම්‍යශීලී මූල්‍ය අනුපාතික පවත්වා ගැනීමේ අරමුණෙන් ඩොලරයක් සඳහා අනුපාතිකය රුපියල් 230 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව ඊයේ පියවර ගත්තා.

++++++++++++

රුපියල පා කෙරේ – ඩොලරයේ අගය රුපියල් 230 ක් වෙයි

(08.03.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීබවක් ඇති කිරීම සඳහා මෙලෙස ඇමරිකානු ඩොලරයක අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ නංවන බවයි මහබැංකුව නිවේදනය කළේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය ඉහළ යන අතර විදේශ ගනුදෙනු සඳහා ද එය ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බව මහබංකුවේ විශ්වාසයයි.

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණදීම සඳහා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් පසුගිය 4 වන දා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ප්‍රතිපත්ති පොලී අනුපාතික, ණය කාඩ්පත්, උකස් පොලී ආදිය ඉහළ නැංවූයේ ඊට අනුකූලවයි.

උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායිතාව උදෙසා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහබැංකුව එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීතාවකින් ගනුදෙනු කිරීම සදහා වෙළදපොළට ඉඩ සලසා දෙන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

***************************************

නාඳුනන පිරිසකගේ වෙඩි පහ‍රින් දෙදෙනකුට (2) තුවාල

(08.03.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කින්නියා පොලිස් වසමේ මහාමාරු – නඩඋත්තු සුනාමි ගම්මානයේ පල්ලික් ආසන්නයේ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනකු (2) හට නාඳුනන පුද්ගලයින් දෙදෙනකු (2) විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා (2) කින්නියා රෝහලට ඇතුළත් කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත යොමු කෙරුණා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 30 ත් 33 ත් වයසේ පසුවන කින්නියා 05 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට අනාවරණ වී ඇති අතර, සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

ලෝක කාන්තා දිනය අදයි

(08.03.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ලෝක කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

කාන්තාව අහසින් අඩක් උසුලා සිටින බව ප්‍රකට චීන කියමනක්.

කොවිඩ්-19 තත්ත්වය හා සෙසු ආර්ථික හා සාමාජීය අභියෝගවලට මුහුණ දෙන ශ්‍රී ලංකාව තුළ වැඩි ම ආර්ථික උත්පාදනයක් සිදු කරනු ලබන්නේ ද කාන්තාව යි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් ජීවත් කිරීමට මෙරට කාන්තාවන්ට ද නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

බාධක මධ්‍යයේ වුව ද තම දරුවන් පණ මෙන් රැකබලාගන්නා කාන්තාවන් බොහොම යි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වනදා මෙරටට සුවිශේෂී වූයේ කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලක දී දරුවන් සය (6) දෙනෙකු මෙලොව බිහිකරලීම හේතුවෙන්.

එය මෙරට පළමු සය (6) දරු උපත ලෙස වාර්තා පොත් අතරට එක් වූ අතර පිරිමි දරුවන් තුන්දෙනෙකු (3) සහ ගැහැණු දරුවන් තුන්දෙනෙකු (3) මෙලෙස උපත ලබා තිබුණා.

ඒ වන විට 31 වන වියේ පසු වූ දිලිනි වාසනා, සිසේරියන් සැත්කමක් හරහා සිය පළමු (1) දරු උපත ලෙස මෙම දරුවන් හය (6) දෙනා මෙලොවට බිහිකරනු ලැබුවා.

කෙසේ වෙතත්, මසකට ආසන්න කාලයක් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය මත රෝහලේ සිටි මෙම දරුවන් සිය මව සමඟ මේ වන විට නිවෙසෙහි කාලය ගතකරනවා.

තොරතුරු තාක්ෂණ ක්ෂත්‍රයේ රැකියාවක නිරත වෙමින් සිටි දිලිනිට ඉන් ඉවත් වී ඇත්තේ සිය කාලය දරුවන් වෙනුවෙන් කැප කිරීමටයි.

මේ අතර, තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය මෙවර සමරනවා.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම ශ්‍රි ලාංකික ජන සමාජයෙන් තුරන් වන දිනයක් උදා කරන බවයි.

එමෙන්ම රටකි, දැයකි ලොවකි ඇය යන දේශීය තේමාව යටතේ කාන්තා දින ජාතික සැමරුම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිත යි.

ඊට අමතර ව කාන්තා දිනයට සමගාමී ව අද (08) සිට අප්‍රේල් මස 07 වනදා දක්වා විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බවයි විෂයභාර රාජ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ.

මේ අතර අදට (08) යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති විසින් මෙරට සිටින යෞවනයේ මෙන්ම වැඩිහිටි වියේ වුව ද සිත සවිමත් වූ දිරිය විරිය කතුන් පිළිබඳ සොයා බැලීමක් කළා.

ඒ අනුව දකුණු ආසියාවේ ප්‍රථම දොඹකර ක්‍රියාකාරිනියන් ලෙස ඉතිහාසගත වන කතුන් පිරිසක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණා.

ඒ කොළඹ වරායේ ජයාබහාලු පර්යන්තයේ ජංගම දොඹකර ක්‍රියාකරිනියන් ලෙස සිය වෘත්තීය වගකීමෙන් සහ මැනවින් ඉටු කරනු ලබන කාන්තාවන් පිරිසක් හමුවීමෙන් වීම විශේෂත්වයක්.

2016 දී සිය පළමු දොඹකර වෘත්තීය දිවි කටයුතු ඇරඹූ මොවුන් අද වනවිට මෙරට ආර්ථිකය ගොඩගැනීමට සහ ගොඩනැගීමට ලබාදෙන්නේ සවිමත් වූ අත්වැලක්.

++++++++++

කාන්තා දිනයට සමගාමීව පාසල් 10 ක් ජාතික පාසල් කෙරේ

(08.03.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10 ක් ජාතික පාසල් බවට පත් කෙරෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් අද (08) එය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව බෙලිඅත්ත – පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය ඇතුළු තවත් පාසල් ඒ අතර වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යන බවයි.

+

***************************************

අද (08) රැස් වෙන මැතිසබයේ පුටු වෙනසක්

(08.03.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමති මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ තනතුරු වෙනස්වීමෙන් පසු අද (08) පළමු වරට පාර්ලිමේන්තුව රැස්වනවා.

එහි දී එම වෙනස්වීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ද වෙනසක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් සඳහා ආණ්ඩු පක්ෂයේ පසු පෙළ අසුන් පනවා තිබෙනවා.

එමෙන්ම, කර්මාන්ත අමාත්‍ය ධුරය හිමි වූ එස්.බී. දිසානායක පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු බැවින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ දෙවන (2) ආසනය පනවා ඇති බව සදහන්.

මීට අමතර ව ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිලුම් අමුණුගමගේ ආසනය ද වෙනස් වී තිබෙනවා.

මේ අතර, බුද්ධිමය දේපළ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත්විමට නියමිත යි.

අද (08) සිට ලබන 11 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර, හෙට (09) දිනයේ දී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම සිදු කෙරෙනවා.

මාර්තු 10 වැනි දා කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා අතර, එදින පස්වරුවේ බලශක්ති අර්බුදය පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

***************************************

ගෑස් නැවකට ප්‍රතිපාදන වෙන් කෙරෙයි

(08.03.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ගෑස් තොග රැගෙන දිවයිනට ළඟා වූ නෞකා තුනෙන් (3) එක් (1) නෞකාවක් සඳහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ නෞකාවෙන් ගෑස් නිකුත් කිරීම අද (08) උදෑසන සිට ආරම්භ කිරීමට යි සැලසුම් කර ඇත්තේ.

පසුව අද (08) දිනයේ දී ම ඒවා බෙදා හැරීම ද සිදු කෙරෙනු ඇති.

පසුගිය දා දිවයිනට ළඟා වූ මෙම නෞකා තුන (3) දින කිහිපයක සිට වත්තල – උස්වැටකෙයියාව – තල්දියවත්ත ගෑස් බෝයාවට නුදුරින් නැංගුරම්ලා තිබුණේ එම නෞකා සඳහා ගෙවීම් කටයුතු අවසන් නොවීම හේතුවෙන්.

වෙළෙඳපොළ පවතින ගෑස් හිඟය නිසා බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ගෑස් හිඟයත් සමග දිවයින පුරා ප්‍රධාන නගරවල ආපණ ශාලාවලින් 60% ක් වැසී ගොස් ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම යළිත් විදුලි කප්පාදුවකට යාමට කිසිසේත්ම අවශ්‍යතාවක් නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

+++++++

විදුලියටත් තෙල් නැවක්

(08.03.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල හමුව පැවති අතර ඊට අමාත්‍ය වාසුදේව නානායක්කාර එක්ව සිටියේ නැහැ.

ඔහු මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ තමන් අමාත්‍ය මණ්ඩල හමුවලට සහභාගි නොවන බවයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් දෙදෙනා (2) සිය අමාත්‍යාංශවලින් ඉවත් කිරීමෙන් පසු පැවති ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුව ද මෙය වනවා.

මේ අතර, අද (08) දිනයේදීත් පෙර දිනවල පරිදි පැය හත හමාරක (7½) කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *