අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට

*********************************************

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළට

(07.03.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක (1) විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසුවා.

++++++

+++++++

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනාව ඉහළ නංවයි

(08.03.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලර් එකක් (1) සඳහා දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව, රුපියල් 38 ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විනිමය ඩොලර් බිලියන 8 කට ආසන්නයි.

එලෙස ඔවුන් එළඹෙන අවුරුදු සමයේ මෙරටට සිදුකරන ප්‍රේෂණ දිරි ගැන්වීම, ඒ සදහා වන දීමනාව ඉහළ නැංවීමේ අරමුණක් ෴

***************************************

කාදිනල් හිමිපාණන්ගෙන් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ප්‍රකාශයක්

(07.03.2022 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසි වාරය වෙත අද (07) ප්‍රකාශයක් ඉදිරිපත් කළා.

එහිදී උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබදවයි.

සමූහ ඝාතනයක් ලෙස සැලකිය හැකි එම ප්‍රහාර හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් සුළු පිරිසකගේ ක්‍රියාවක් ලෙස මතුපිටින් පෙනුන ද එය මහා පරිමාණ දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවට විමර්ශනවලදී කරුණු මතුවූ බවයි උන්වහන්සේ සදහන් කළේ.

සත්‍යය හෙළිදරව් කරන ලෙසට සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද වර්තමාන රජය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරලීමට අසමත් වී සිටිනවා.

වගකිව යුත්තන් නීතිය ඉදිරියට රැගෙන යාම වෙනුවට රජය එලෙස යුක්තිය ඉල්ලන්නන් පීඩාවට ලක් කරන බවයි කාදිනල් හිමිපාණන් ජිනිවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

ලෝක වෙළදපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 2000 ඉක්මවයි

(07.03.2022 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ආසියානු වෙළදපොළේ රන් අවුන්සිලයක මිල අද (07) ඇමරිකානු ඩොලර් 2000 ඉක්ම වූවා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල මෙලෙස වසර එක හමාරකින් (1½) ඉහළම අගයට පත්වූ අතර, ආසියානු වෙළදපොළේ එම මිල සටහන් වූයේ ඩොලර් 2000.86 ක් ලෙසයි.

ජාත්‍යන්තර වෙළදපොළේ අත්පිට රන් ගැනුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළ ගිය අතර පසුව එය ඩොලර් 1998.38 දක්වා සමනය වුණා.

ඇමරිකානු වෙළදපොළේ ඉදිරි රන් ගැනුම් මිල ද සියයට 1.7 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 2000.20 ක් ලෙසයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ද අද (07) ඩොලර් 130 ඉක්ම වූයේ වසර 14 කින් ඉහළම අගය සලකුණු කරමින් ෴

***************************************

ගෝණපීනුවල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(07.03.2022 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, දංගෙදර, ගෝනාපිනුවල මංසන්ධියේ යතුපැදියක් සහ පාපැදියක් අනතුරට ලක්වීමෙන් පසු T-56 අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය සැඟවීම සඳහා ආධාර අනුබලදුන් 29 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු (2) සහ ගිනි අවිය ඇතුළු භාණ්ඩ සැඟවීම සඳහා ආධාර අනුබලදුන් 46 හැවිරිදි සැකකරුවෙකු (1) බව පොලීසිය පවසනවා.

ඔවුන් දංගෙදර, පියදිගම සහ දඩල්ල යන ප්‍රදේශවලිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය රත්ගම පොලිස් වසමේ නිවසක සඟවා තිබීයදී සොයා ගැනුණු අතර අදාළ සිද්ධියට භාවිතා කළ බවට සැකකරන ටී-56 ගිනි අවිය, උණ්ඩ 45 ක් සහ මැගසින් 2 ක් දංගෙදර නිවසක සඟවා තිබීයදී සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම මෙම වෙඩි තැබීම සඳහා රැගෙන ගියායැයි සැකකෙරෙන බෑගය සහ යතුරුපැදි සඳහා භාවිතාකරන ව්‍යාජ අංක තහඩු දෙකක් (2) පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගෝනාපිනුවල පොලීසිය වෙත භාර දී ඇති බව පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමේදී මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට අදාළ විමර්ශන කටයුතු සහ මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මකයි ෴

***************************************

පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් 4 දක්වා කල් දැමේ

(07.03.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් මස 04 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ, මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ලේඛන කිහිපයක් ලබාදෙන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කළත් ලැබී ඇත්තේ ඉන් කොටසක් පමණක් බවයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් විසින් පොලිසිය වෙත ලබාදී ඇති ඇතැම් ප්‍රකාශවල පිටපත් තමන් වෙත මේ දක්වා ලබා දී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ප්‍රකාශ නොමැතිව නඩුව මෙහෙයවීමෙන් තම සේවාදායකයාට අගතියක් සිදු විය හැකි බව පෙන්වා දුන්නා.

එබැවින් තමන් ඉල්ලා සිටින ලේඛන පැමිණිල්ල විසින් ලබා දෙන තුරු මෙම නඩුවේ සාක්ෂි විභාගය කල් තබන ලෙස ජනාධිපති නීතිඥ ජයමාන්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේ විත්ති පාර්ශවය ඉල්ලාසිටි ලේඛන වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.

එහිදී මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සදහන් කළේ පැමිණිල්ල විසින් විත්තියට අවශ්‍ය කරන ලේඛන ලබාදීම යුතුකම වන අතර විත්තියට අවශ්‍ය ලේඛනයක් ලබා නොදීම තුළින් අගතියක් වූවොත් එහි වාසිය විත්ති පාර්ශවය වෙත ලබාදීමට අධිකරණය කටයුතු කරන බවයි.

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය අප්‍රේල් මස 4 වන දා දක්වා කල් දැමීමට තීන්දු කළා.

එදිනට පෙර අදාල ලේඛන විත්ති පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා පැමිණිල්ලට දැනුම් දුන්නා.

අද (07) දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ පසුගිය 18 වනදා නඩු විභාගය අවසන් වීමෙන් පසුව නීතිඥවරුන් දෙදෙනෙකු (2) මෙම අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම නඩුව දේශපාලන නඩුවක් ලෙස හදුන්වා ඇති බවයි.

එය අධිකරණයට සිදුකළ බලපෑමක් බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කළේ එමගින් මෙම නඩුව දේශපාලනය නඩුවක් බවට අනාගතයේ සාක්ෂි දීමට නියමිත පුද්ගලයින්ගේ මනසට ද ඇතුළු වන බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ තම නීතිඥ මණ්ඩලයේ කිසිවකු මේ ආකාරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වා නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කළ විනිසුරු දමිත් තොටවත්ත අධිකරණය තුළ හැසිරීමේදී අධිකරණයේ ගෞරවය ආරක්ෂා වන පරිදි සියලු‍ දෙනා කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ප්‍රකාශ කළා ෴

***************************************

සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර සංශෝදනය කර තිබෙනවා

(07.03.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින සත්වෝද්‍යානයන්හි නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝදනය කිරීමට මහා භාණ්ඩාගාර තීරණය කර තිබෙනවා.

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

රුසියානු, ආක්‍රමණයට එරෙහි ව යුරෝපයේ විරෝධතා

(07.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

රුසියාව යුක්රේනය තුළ සිදු කරන ආක්‍රමණය ආරම්භ වූ පෙබරවාරි 24 වනදා සිට මේ දක්වා සිවිල් වැසියන් 364 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබෙනවා.

තවත් සිවිල් වැසියන් 759 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ අතර යුක්රේනයේ සිදු කරන රුසියානු ආක්‍රමණය වහා නතර කරන ලෙස බල කරමින් යුරෝපය පුරා මේ වනවිට දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර 5,000 කගේ පමණ සහභාගීත්වයෙන් යුක්රේන ධජය රැගත් විරෝධතා රැළියක් පවත්වා ඇති අතර, ඔවුන් බලකර සිටින්නේ, යුද්ධයක් අනවශ්‍ය බැවින් රුසියාවට එරෙහිව යුරෝපය වහා ක්‍රියාත්මක විය යුතු බවයි.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, බාසිලෝනා ඇතුළු තවත් නගර කිහිපයකම විරෝධතා පැවැත්වෙනවා.

බාසිලෝනා හි මධ්‍යම චතුරශ්‍රයට රැස් වූ දහසකට ආසන්න විරෝධතාකරුවන් යුක්රේනය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙස නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.

රුසියාවේ පමණක් යුද විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වූ 4,631 දෙනෙකු නගර 64 කදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියානු රාජ්‍ය නොවන සංවිධානයක් අනාවරණ කරන්නේ, ඒ අනුව මේ දක්වා රුසියාවට එරෙහිව විරෝධතාවල නිරත වූ 13,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර යුක්රේනය චෝදනා කළේ, රුසියාව මේ වනවිට පාසල් සහ රෝහල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවටයි ෴

+++++++++++++

යටත් නො වන්නේ නම්, ආක්‍රමණය අඛන්ඩ ව – පුටින්ගෙන් ප්‍රතිඥාවක්

(07.03.2022 – 09:37 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන රජය යටත් නො වන්නේ නම්, ආක්‍රමණය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර රුසියානු හමුදා සිදු කරන ආක්‍රමණශීලී ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් මිලියන එක හමාරකට (1½) වැඩි පිරිසක් එරටින් පලායමින් සිටින පසුබිමක යි.

සටන් විරාමය කඩකිරීම හේතුවෙන් මරියුපෝල් නගරයේ සිවිල් ජනතාව ඉවත් කරගැනීමේ උත්සාහය අද (07) දෙවැනි (2) වරටත් අසාර්ථක වූ අතර, නගර වැසියන් විදුලිය සහ ජලය නො මැති ව අසීරුතාවන්ට පත් ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ මධ්‍යම යුක්රේනයේ විනිට්සියා ගුවන් තොටුපොළ විනාශ වී ඇති බව යුක්රේන ජනාධිපතිවරයා තහවුරු කර තිබෙනවා.

+++++++++++++

රුසියානු සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කරයි

(07.03.2022 – 16:39 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයට මැදි වී සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, සිවිල් වැසියන්ට රුසියාවට හෝ මොස්කව් අනුගාමික බෙලරූස් රාජ්‍යයට යාම එකම විකල්පය ලෙස ලබාදීම හේතුවෙන්.

කීව් අගනුවර, නැගෙනිහර යුක්රේනයේ කාර්කිව් සහ සුමි නගරවල මෙන්ම රුසියානු හමුදා වටලා සිටින දකුණුදිග මරියුපොල් නගරවල සිර වී සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා මානුෂවාදී වේදිකාවක් ලෙස මොස්කව් වේලාවෙන් අද (07) පෙරවරු 10 සිට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, මරියුපොල් නුවර මීට පෙර ප්‍රකාශයට පත් කළ සටන් විරාම දෙකක් (2) බිද වැටීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ආක්‍රමණිකයා වෙත තම රටේ සිවිල් වැසියන් යොමු කරන රුසියානු සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය කිසිලෙසකින් හෝ සදාචාරාත්මක නොවන බව පවසමින් ෴

+++++++++++++

තුන්වන (3) වටයේ සාකච්ඡා සඳහා රුසියානු කණ්ඩායම නික්මෙයි

(07.03.2022 – 17:42 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණයේ සටන් විරාමයක් සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තුන්වන (3) වටය සඳහා රුසියානු නියෝජිත කණ්ඩායම බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශය වෙත නික්මුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කළා.

එහිදී ඔවුන් යුක්රේන නියෝජිතයින් සමග ප්‍රමුඛත්වයෙහි ලා සාකච්ඡා කරනු ඇත්තේ ගැටුම්වලට මැදි වී සිටින සිවිල් වැසියන් ආරක්ෂිත ලෙස ඉවත් කර ගැනීම පිළිබදවයි.

සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා රුසියාව විසින් අද සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද ඔවුන්ට ඒ සඳහා ලබාදී තිබූ විකල්පය වූයේ රුසියාවට හෝ බෙලරූස් රාජ්‍යයට පළා යාමයි.

එය යුක්රේනය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා ෴

+++++++++++++

මින් ඉදිරියට රුසියාවේ දොර වැහෙන රටවල් ලයිස්තුව මෙන්න

(07.03.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව සිදුවන ඉහළම රාජතාන්ත්‍රික සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා දකුණු තුර්කියේ ඇන්ටාලියා හීදී පැවැත්වෙන බව තුර්කි රාජ්‍ය ඒජන්සිය නිවේදනය කරනවා.

මෙහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්‍රොව් සහ යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා මුණගැසෙනු ඇති.

මේ සම්බන්දයෙන් යුක්රේන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් කියා සිටියේ එවැනි හමුවක් පැවැත්වීමේ හැකියාව දැනට සලකා බලමින් සිටින බවයි.

ඔවුන් එවැනි හමුවක් පිළිබඳව තහවුරු කිරීමක් සිදු කළේ නැහැ.

මේ වන විට රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයකර සති දෙකකට (2) ආසන්න කාලයක් ගත් වන අතර මීට දින දෙකකට (2) පෙර රුසියාව විසින් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ තුවාල ලැබූ සහ රටින් පිටවන යුක්‍රේන ජාතිකයින් හට ඒ සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන්.

කෙසේ වෙතත් යුක්රේන රජය එම සටන් විරාමය පිළිගනු ලැබුවේ නැහැ.

මේ අතර රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ඔවුන්ට එදිරිවාදිකම් දක්වන රටවල ලයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම නිවේදනයත් සමග රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මෙම ප්‍රතිපත්තියට අනුව මින් ඉදිරියට මෙම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවලට අයත් ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතු වලදී දැඩි සීමා පැනවෙනු ඇති.

මෙම ලයිස්තුවට අන්තර්ගත රටවල් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සියලුම රටවල්, එක්සත් රාජධානිය, යුක්රේනය, මොන්ටිනීග්‍රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩෝරා, අයිස්ලන්තය, මොනාකෝ රාජ්‍යය, නෝර්වේ රාජ්‍යය, සැන් මැරීනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, මයික්‍රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ තායිවානයයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *