විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා

විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා

*********************************************

විමල් ඇතුළු හය (6) දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 30 වැනි දා

(07.03.2022 – 11:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය (6) දෙනෙකුට එරෙහි ව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 30 වැනි දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර උද්ඝෝෂණය කළේ යැ යි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනා (6) අධිකරණය හමුවේ පෙනී සිටියා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අමතර ව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්නයි.

එහි දී මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට අවවාද කළේ, නඩුව යළි කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යි.

කුරුඳුවත්ත පොලිසිය මගින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු පිරිසට මෙම නඩුව පවරා ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැ යි චෝදනා කරමින්.

***************************************

කටගැස්මට දඩමස් කෑ වනජීවී නිලධාරීන්

(07.03.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

වනජීවී නිලධාරීන්ට කටගැස්ම සඳහා දඩමස් ලබාදුන් පුත්තලමේ ආපණ ශාලා හිමිකරුවකු හා එහි කළමනාකරු තවත් දඩමස් තොගයක් ද සමග කරුවලගස්වැව වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම නගරයේ පිහිටි ආපණ ශාලාවකට මත්පැන් පානය සඳහා පැමිණෙන ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් වෙත කටගැස්මට දඩමස් ලබා දෙන බවටයි අඩවි ආරක්ෂක නිලධාරින්ට තොරතුරු ලැබී ඇත්තේ.

ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිට ඇති වනජීවී නිලධාරීන් තමන්ට කටගැස්මක් අවශ්‍ය බව හෝටල් සේවකයින්ට පවසා ඇති අතර එහිදී පිසින ලද මුව මස් එම නිලධාරීන්ට පිළිගැන්වීමට ආපණ ශාලා සේවකයින් කටයුතු කළ අවස්ථාවේ දී මෙම වැටලීම සිදු කෙරුණේ.

පසුව සිදු කළ වැඩි දුර සෝදිසි කිරීම්වලදී එම ආපණ ශාලවේ ශීතකරණයක බහා තිබී පීසීමට සූදානම් කර තිබූ තවත් මුව මස් කිලෝග්‍රෑම් දහයකට (10) ආසන්න ප්‍රමාණයක් ද වනජීවී නිලධාරීන් සිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් ආපණ ශාලා හිමිකරු පුත්තලම නගරයේ පදිංචිකරුවකු වන අතර කළමනාකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි හෙළි වී ඇත්තේ.

සැකකරැවන් ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් ඉදිරි දිනයේදී පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

වන අලි ගැටලුවෙන් ගෝනගල ගම්වාසීන්ට පීඩා

(07.03.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගැටලුව හේතුවෙන් සිය දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව උහන – ගලපිටිගල – ගෝනගල ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සිය වගාවන් වන අලින් විසින් විනාශ කරන බවයි.

මේ පිළිබඳව වනජීවී නිලධාරීන් සහ බලධාරීන් අවස්ථා කිහිපයක දී දැනුවත් කළ ද මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා දී නො මැති බව ද ගෝනගල ප්‍රදේශවාසීන් සඳහන් කළා ෴

***************************************

එස්.බී, ලොකුගේ, දිලුම්, අරුන්දික රාජකාරි අරඹයි

(07.03.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවල දිවුරුම් දුන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (07) රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් එස්.බී. දිසානායක අද (07) රාජකාරි ආරම්භ කළේ, කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදි යි.

මේ අතර උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාමිණී ලොකුගේ අද (07) පෙරවරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී රාජකාරි ආරම්භ කළා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කළ දිලුම් අමුණුගම ද ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු අද (07) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදි ආරම්භ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි එම අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

මේ අතර පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු ද අද (07) සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගත්තා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් සිය පුත්‍රයා චූදිතයෙකු වීම හේතුවෙන් අරුන්දික ප්‍රනාන්දු පසුගිය දා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදු කළ හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කළ අමාත්‍ය දිලුම් අමුණුගම ද අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා අද (07) පළමු වරට සහභාගි වනවා.

කෙසේ වෙතත් අද (07) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා තමන් සහභාගි නො වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

***************************************

සජබෙට බිත්තර ප්‍රහාරයක්

(07.03.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර දී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද (07) පෙරවරුවේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසක් පිට කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වු බවයි.

විරෝධතාව හේතුවෙන් එම ස්ථානයේ රථවාහන තදබදයක් ද හටගෙන තිබුණා.

***************************************

මෙරට විශාලතම සිමෙන්ති කම්හලේ නිෂ්පාදන ඇරඹේ – මාගම්පුරටත් වානේ කම්හලක්

(07.03.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන ‘ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්’ ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මුල්ගල් තැබුවා.

අක්කර 250 ක භූමියක ඉදිවෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්.

මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතයි.

නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළා.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක්.

අක්කර 63 ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වනවා.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹුම ජනාධිපති අතින් සිදු කෙරුණා.

පසුව පැවති උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති, නන්දන ලොකුවිතාන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි ප්‍රකාශ කළා ෴

+++++++

මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹේ

(07.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මාගම්පුර ලංකා කර්මාන්තපුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නිෂ්පාදන කටයුතු ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) ආරම්භ කෙරුණා.

එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්තශාලාව සඳහා ද මුල් ගල තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අක්කර 250 ක භූමියක ඉදිවන නව වානේ කර්මාන්තශාලාව සදහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. මෙහි නිෂ්පාදන කටයුතු 2024 අග භාගය වන විට ඇරඹීමට ද නියමිතයි.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදුකෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක්. අක්කර 63 ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක්වනවා.

කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 ක් වන අතර පළමු (1) අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක් දේශීය වෙළදපොළට සැපයීමට ද නියමිතයි.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576 ක් නියෝජනය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 626 ක් සඳහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ තංගල්ල නගර ශාලාවේදී පැවැත්වුණා.

***************************************

බර්ටි ගුණතිලක මහතා ජාතියෙන් සමුගනියි

(07.03.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ගුවන්විදුලි ප්‍රහසන කලාවේ පුරෝගාමියෙකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තව සුළු මොහොතකින් බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, ඥාතීන් ඇතුළු පිරිසක් එක් ව සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මහනුවර – අම්පිටියේ උපත ලැබූ බර්ටි ගුණතිලක මහතා ඊයේ (06) අභාවප්‍රාප්ත වනවිට 97 වන වියේ පසු වුණා.

***************************************

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(07.03.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිව යුතු බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බවත්, ඒ අනුව විමර්ශන සිදුකළ බව කියමින් බී වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 10 වනදා ඉදිරිපත් කළ බව තමන්ට දැනගැනීමට ලැබී ඇති බවයි පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ක්‍රියාදාමයට සම්බන්ධ නොවූ බවත් තමන් සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සිය පෙත්සම මගින් දක්වා තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇති අතර, තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු එමඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ෴

***************************************

රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තරයට යයි

(07.03.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

අභ්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස දැනට පවත්වාගෙන යන මෙරට ප්‍රථම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ නුදුරේදීම තවත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් වනවා.

ඒ අනුව කලාපීය මගී ගුවන්තොටුපොල කටයුතු මේ මස අවසානය වනවිට එහි ආරම්භ කිරීමට නියමිතයි.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම සඳහන් කළේ, මෙරටට කලාපීය සංචාරකයින් ගෙන්වා ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ බවයි.

මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපොළ විවෘත කෙරුණේ 1938 වසරේ පෙබරවාරි මස 28 වැනිදායි.

DC–3 DAKOTA (ඩැකෝටා) ගුවන් යානය, රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළට පැමිණි පළමු ගුවන් යානය ලෙස ඉතිහාසයට එක්වනවා.

දෙවැනි (2) ලෝක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම ගුවන් තොටුපොළේ ධාවන පථය පුළුල් කිරීම සහ පහසුකම් සංවර්ධනය කෙරුණු අතර, 1947 වර්ෂයේදී මෙරට පළමු ජාතික ගුවන් සේවය වන ‘එයාර් සිලෝන්’ සමාගම මගින් ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කළා.

කෙසේ වෙතත්, 1968 වසරේ සිට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත හුවමාරු කෙරුණේ, එම කාලසීමාවේදී පැන නැගුණු ජාත්‍යන්තර ගුවන් ගමන් අවශ්‍යතා හේතුවෙන්.

ඉන් අනතුරුව රත්මලාන ගුවන්තොටුපොළ මෙරට අභ්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙසත්, කොළඹ නගරයට පිවිසීමේ ද්වාරය ලෙසත් මෙරට ගුවන් ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබෙනවා.

වාණිජ මගී ගුවන් යානා, ගුවන් සේවා පුහුණු පාසල්, ජාත්‍යන්තර ආයතනික ජෙට් යානා, ප්‍රභූන් හා විශේෂ අමුත්තන්ගේ ගුවන් ගමන් ඇතුළු මෙහෙයුම් ද මෙහි ක්‍රියාත්මකයි.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව ඉදිරි පියවරත් සමඟ මාලදිවයින සහ දකුණු ඉන්දියාව වෙත කලාපීය ගුවන් ගමන් ඇරඹීමට නියමිතයි.

දෙස් විදෙස් ගුවන් මගීන් හට මගී පර්යන්තය තුළදී ඉතා කාර්යක්ෂම ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සහ සිත්ගන්නා සුළු ආගන්තුක සත්කාරයක අත්දැකීමක් විඳගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම මගින් අවස්ථාව හිමිවනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *