විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස්

විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස්

*********************************************

විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස්

(07.03.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පළාත් තුළ සියයට 20 කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස් ලැබී තිබෙනවා.

ඒ ඒ පළාත්වල පොදු ස්ථානවල විදුලිය පරිභෝජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

සාකච්ඡාවේ සිදු කෙරුණු කාරණා අනුව පොදු ස්ථානවල විදුලි පරිභෝජනය 20% කින් අඩු කිරීමටයි අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් හට පළාත් ආණ්ඩුකාරවරුන් විසින් උපදෙස් ලබාදෙනු ලැබුවේ.

එමෙන්ම උතුරු පළාත තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ඇති හැකියාව තවත් වර්ධනය කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

වීථි පහන් නිවන්නැයි, ඇමති බැසිල්ගෙන් පළාත් පාලන ප්‍රධානීන්ට දැනුම්දීමක්

(07.03.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන බදාදා (09) හෝ බ්‍රහස්පතින්දා (10) වන විට පිරවුම්හල් ආශ්‍රිතව පවතින ඉන්ධන හිඟය අවසන් වනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු කියා සිටියේ ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් සහිත නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති අතර, එහි ඉන්ධන ගොඩබෑම අද (07) හෝ හෙට (08) සිදුකරන බවයි.

පිරවුම්හල් අසළ අදත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින ආකාරයක් දක්නට ලැබුණු අතර ඇතැම් පිරවුම්හල් අසළ නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වුණා.

බලංගොඩ නගරයේ දී දෙපිරිසක් අතර නොසන්සුන්තාවක් ඇති වුණේ එක් පිරවුම්හලකට පැමිණි බවුසරයක අඩංගු ඉන්ධනවලින් අඩක් ඊට යාබදව පිහිටි තවත් පිරවුම්හලකට ද ලබා දී ඇති බවට චෝදනා කරමින්.

අදාළ එක් පිරවුම්හලක හිමිකරු චෝදනා කර සිටියේ තම පිරවුම්හලට පැමිණි ඉන්ධන බවුසරයේ මුද්‍රා කඩා ඇති බවටයි.

අදාළ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ පවතින ඉන්ධන හිගය මහහැරුණු වහාම විශාල ප්ලාස්ටික් බඳුන්වල ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.

ඉදිරියේදී විදුලි කප්පාදුව සිදුකරන පැය ගණන අවම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.

මේ අතර, අද (07) සිට මාර්තු 31 වනදා දක්වා සියලු විථි පහන් නිවා දමන ලෙසට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මීට අමතරව දෛනික ජන ජිවිතයට අවම බලපෑමක් සහිතව විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ඇත්නම් ඒවා ක්‍රියාවට නංවන ලෙසටයි මුදල් අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මෙලෙස, ඉන්ධන සහ විදුලිය සම්බන්ධයෙන් අර්බුදයක් මතු වී ඇති පසුබිමක වෙළදපොළේ පවතින ගෑස් හිඟය නිසා බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ගෑස් හිඟයත් සමග දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් සියයට 60 ක් මේ වන විට වැසී ගොස් ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ගෑස් මිලදී ගැනීම සඳහා ප්‍රදේශ රැසක ජනතාව අද (07) දිනයේත් දිගු පෝලිම්වල රැදී සිටි බව හිරු වාර්තාකරුවන් කියා සිටියා.

ගෑස් තොග රැගෙන දිවයිනට ළඟා වූ නෞකා 3 ක් දින කිහිපයක සිට වත්තල – උස්වැටකෙයියාව – තල්දියවත්ත ගෑස් බෝයාවට නුදුරින් නැංගුරම්ලා ඇත්තේ එම නෞකා සඳහා ගෙවීම් කටයුතු අවසන් නොවීම හේතුවෙන්.

++++++++++++

ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේ විදුලිය බිඳ වැටෙයි

(07.03.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනයේදීත් පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා අදියර දෙකක් (2) යටතේ පැය හත හමාරක (7½) කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර, ඊයේ (06) රාත්‍රියේ පානදුර, මතුගම, කැස්බෑව, කළුතර, අම්බලන්ගොඩ, හොරණ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිද වැටීමක් සිදු වුණා.

කෙසේ වෙතත්, පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදත් විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත යි.

ඒ, නව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟයි.

ඊයේ (06) දිනයේ දී ද විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යවරියට පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ අතර, ඊයේ (06) දිනයේදීත් ඩීසල් නොමැති වීම හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම දිවයිනේ සියලු පළාත් තුළ සියයට 20 කින් විදුලි පාරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ඒ පළාත්වල පොදු ස්ථානයන්හි විදුලි පාරිභෝජනය පිළිබඳ ඊයේ (06) මෙම සාකච්ජාව සූම් තාක්ෂණය ඔස්සේ පැවති අතර ඊට පළාත් ආණ්ඩුකාරවරුන් මෙන්ම මුදල් අමාත්‍යවරයා ද එක් වුණා.

මේ අතර තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් බැරල් ලක්ෂ 2 ක් අද (07) ඇනවුම් කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 70 ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද මේ වනවිට හිමි ව තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ උපදෙස් මත පසුගිය නොවැම්බර් 15 වැනි දා මෙම පිරිපහදුව තාවකාලිකව වසා දැමුණා.

++++++++++++

ආපණ ශාලාවලින් 60% ක් වැසෙයි

(07.03.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

පවතින ගෑස් හිගයත් සමඟ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් සියයට 60 ක් මේ වනවිට වැසී ගොස් ඇති බව ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ, කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල ආපනශාලා 1500 ක් පමණ වැසී ගොස් ඇති බවයි.

එමෙන්ම, අද (07) දිනය වනවිට රජයේ රෝහල්වල ආපණ ශාලා ද ගෑස් අවසන් වීම හේතුවෙන් වැසී යාමේ අවදානමක් මතු ව තිබෙනවා.

එමෙන්ම වෙළදපොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව අදාළ නිලධාරීන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකම පිහිටි වෙළදසැල් හා වෙළදපොළෙහි සහල්, සීනි, පරිප්පු, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලනු ඇති.

පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයිනේ කොළඹින් බැහැර බොහෝ ප්‍රදේශවලට බෙදා හැරීම් සම්බන්ධයෙන් මේ වන විට ගැටලු මතුව තිබෙනවා.

බොහෝ ගම්බද ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම් සිදුකළ ලොරි රථ ඉන්ධන නො මැතිකම හේතුවෙන් දුර ගමන් සේවා නතර කර තිබීම මීට හේතුවයි.

මේ අතර විදුලි සහ ඉන්ධන සැපයුමට නිරන්තයෙන් ඇතිවන බාධාවන් හේතුවෙන් සිය සාමාජිකයන්ට සහ පොදුවේ ආර්ථිකයේ සියලුම අංශවලට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව ලංකා වානිජ මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

විශේෂයෙන් වර්තමානයේ රට මුහුණ දී ඇති විදුලිබල සහ බලශක්ති අර්බුදයට හේතුව රටේ පවතින විදේශ විනිමය හිඟය බව පෙන්වා දෙන වානිජ මණ්ඩලය මෙම තත්ත්වය සමනය කිරීමට නම් විදේශ විනිමය ගැටලුව විසදිය යුතු බවයි සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රවීණයන් සමඟ සාකච්ජා කර මධ්‍ය හා දිගුකාලීන වශයෙන් විදුලි හා බලශක්ති ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර නිර්දේශ නුදුරේදී ම ලබාදීම ලංකා වානිජ මණ්ඩලයේ අපේක්ෂාව යි.

++++++++++++

බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළම අගයකට

(07.03.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 130 දක්වා ඉහළ ගොස් ගිය අතර, එය මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 128.90 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 124.50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවේ යුක්රේන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මෙලෙස ඛනිජ තෙල් මිල යළි කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතිනවා.

මේ අතර විදුලි උත්පාදනය සඳහා ලබාදීමට තෙල් සංස්ථාව මඟින් ආනයනය කළ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000 රැගත් නෞකාව අද (07) මෙරටට ලඟා වීමට නියමිතයි.

එම දැවිතෙල් දින දෙකක් (2) තුළ අක්‍රීය වී ඇති බලාගාර යළි පනගැන්වීම සඳහා ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දින තුනකට (3) පෙර යුගදනවි සහ කැළණිතිස්ස බලාගාරවලට ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් ලබා දීමට පියවර ගත්තා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය පවසන්නේ, මෙම ඉන්ධන අවශ්‍යතාවයන් සැපිරීමෙන් අනතුරුව විසන්ධි කිරීමකින් තොර ව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බවයි.

අද (07) අලුයම 05:30 ට කැලණිතිස්ස ජී.ටී.7 බලාගාරය ඩීසල් ලැබීමෙන් අනතුරු ව යලි ක්‍රියාත්මක කළ අතර, මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 115 ක් එමඟින් එක්කර තිබෙනවා.

කෙසේ වෙතත් අදියර කිහිපයක් යටතේ අද (07) දිනයේත් විදුලිය විසන්ධි කිරීම මේ වනවිටත් ක්‍රියාත්මක යි.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් කොළඹ – කොටුව සෙලින්කෝ මන්දිරයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නො සන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත් කෙටි කාල සීමාවක් තුළ විදුලිය ලබාදීමට පියවර ගන්නා බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඩීසල් හිඟය හේතුවෙන් අදත් (07) ජනතාව අපහසුතාවයට පත් වුණා.

තුන්වන (3) වාරය සඳහා අද (07) දිවයින පුරා පාසල් ආරම්භ වූ අතර, සිසු සිසුවියන්ගේ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථවල අඩුවක් දක්නට ලැබුණා.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින්ගේ ප්‍රවාහන සේවා සංගමයේ කැඳවුම්කරු එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි කියා සිටියේ, පාසල් බස් සහ වෑන් රථවලට ඉන්ධන ලබාදීමේ නිසි වැඩපිළිවෙළක් සකස් නො කළ හොත් ඉදිරියේ දී එම රථ ධාවනය කිරීමේදී ගැටලු මතුවිය හැකි බවයි.

තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ, මේ වනවිට සාමාන්‍ය වෙළඳපොළ සැපයුමක් සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග සංස්ථාව සතුව පවතින බවයි.

ඊයේ (06) දිනය පුරා ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණු අතර, අනිද්දා (09) දිනය වනවිට ඩීසල් අර්බුදය විසඳනු ඇති බව එම සංස්ථාව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඉන්ධන පෝලිම් අඩුවද්දී ගෑස් හිඟය උග්‍ර වී තිබෙනවා.

ලිට්රෝ ගෑස් මෙන්ම ලාෆ් ගෑස් ද වෙළඳපොළ සැපයුම දැඩි අර්බුදයකට ලක්ව ඇත්තේ ඩොලර් නො මැති වීම හේතුවෙන්.

ලිට්රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් ආනයනය කළ ගෑස් නෞකා තුන (3) සඳහා අවශ්‍ය ඩොලර් ලබාදෙන බවට මහ බැංකුව එකඟ වී ඇති බවයි.

කෙසේ වෙතත් අද (07) දිනයෙන් පසු ගෑස් සැපයුම සිදු කළ නො හැකි බව ලාෆ් සමාගම ඊයේ (06) ප්‍රකාශයට පත් කළේ, ඔවුන් ආනයනය කළ ගෑස් නෞකා සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට නො හැකි වීම හේතුවෙන්.

++++++++++++

ඇමති ලොකුගේ ගෙන් යළි සහතිකයක්

(07.03.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ලබන බදාදා (09) හෝ බ්‍රහස්පතින්දා (10) වනවිට පිරවුම්හල්වලින් යළි සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

++++++

++++++++++++

හෙට (08) විදුලිය කැපෙන විදිය

(07.03.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) p සිට w දක්වා කලාපවලට පෙ.ව. 9 – ප.ව. 5 අතර පැය 2 ක් සහ ප.ව. 5 – රාත්‍රී 9 අතර පැයක (1) මෙන්ම E සහ F කලාපවලට පෙ.ව. 8 – ප.ව. 6 අතර පැය 5 ක් සහ ප.ව. 6 – 11 අතර පැය 02:30 ක් විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා ෴

***************************************

රුපියල් කෝටියක අයිස් මත්ද්‍රව්‍ය තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

(07.03.2022 – 09:58 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම පොලිස් වසමේ තාරපුරම්, ‘සීසයිඩ් සිටි’ ඉන්ධන පිරවුම්හල අසල දී විශේෂ කාර්‍ය බලකාය විසින් සිදු කරනු ලැබූ වැටලීමකින් රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (06) වැනි දා යි.

විදෙස් රටක සිට හොර රහසේ ⁣ධීවර බෝට්ටු මඟින් මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01‍ යි ග්‍රෑම් 15 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු යි මෙසේ අත් අඩංගුවට පත් වී ඇත්තේ.

සැකකරු එරුක්කලමිපිඩිඩි, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම පොලිස් ස්ථානය විසින් සිදු කෙරෙනු ඇති ෴

***************************************

සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

(07.03.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

කොග්ගල – මෝදරගොඩ ප්‍රදේශයේ දී එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, ධීවරයින් වන මොවුන් දෙදෙනා (2) අතර කළක පටන් බෝට්ටුවක් සම්බන්ධයෙන් පවතින ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි.

සැකකරු බීමත් ව පැමිණ අද (07) අලුයම සිය සහෝදරයාට පහර දී අසල පිහිටි කොග්ගල ඔයට දමා ඇති බවත්, අසල්වාසීන් ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවත් හෙළි වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර, ඔහු ව අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදූව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි වාර්තා වන්නේ ෴

***************************************

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ නොසන්සුන්තාවක්

(07.03.2022 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව – සෙලින්කෝ මන්දිරයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

විදුලිය විසන්ධි කිරීම නිසා එම කාර්යාලයේ සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි පිරිස් තමන්ගේ කටයුතු සිදු කිරීමට බලධාරීන් දින කිහිපයක් තිස්සේ කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් සිටින බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 121 ක් දෙනෙකු සුවය ලබයි

(07.03.2022 – 17:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 121 දෙනෙකු අද දිනයේදී සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,18,262 ක් ෴

තවත් කොරෝනා මරණ 08 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුලු කොරෝනා මරණ ගණන 16,339 ක් දක්වා ඉහල යනවා ෴

++++++++++++

කොරෝනා හැදුනු පිරිසට ලිංගික ගැටළු අවදානමක්

(07.03.2022 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළදුනු තරුණ පිරිස් අතර ලිංගික ගැටළු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් ඇතැයි අනාවරණය වී ඇතැයි කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියකංර ජයවර්ධන පවසනවා.

කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් වදභාවයක් ඇතිවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ප්‍රියංකර ජයවර්ධන මෙම අදහස් පළ කලේ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *