මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්…

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්…

*********************************************

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්…

(07.03.2022 – 14:10 +0530 – lankacnews.com)

රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය ‘මෝඩ ප්‍රකාශයත්’ යයිද හෙතෙම පැවසීය.

ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට බලපා ඇත්තේ මෙරට තිබෙන විදේශ විනිමය අර්බුදය බව ද හෙතෙම පැවසීය.

“මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කරවීමයි” යයිද ඔහු තව දුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කියා සිටියේ, කිරීමට තිබෙන්නේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වන නැව්වලින් ඉන්ධන ගොඩබෑම පමණක් බවත් අමාත්‍යවරුන් අවබෝධයෙන් තොරව කරන ප්‍රකාශ නිසා ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන බවත්ය.

++++++++++

+++++++++++

+++++++++++

අවලස්සන ඇමරිකානුවාගේ වතගොත හෙළි කරන පළමු සම්මුඛ සාකච්ඡාව (06.03.2022)

***************************************

අම්බලන්ගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්

(07.03.2022 – 07:00 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ පොලිස් වසමේ කන්දෙගොඩ ප්‍රදේශයේ දී පහර දීමෙන් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිලිබඳ වාර්තා වනවා. ඒ ඊයේ (06) වැනි දා යි.

පස් වැනි දා (05) රාත්‍රී කාලයේ ත්‍රීරෝද රථයකින් කුලී ගමනක් ගොස් නැවත නිවසට පැමිණෙන අතර තුර දි යි මරණකරුට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

තුවාල ලබා සිටි පුද්ගලයාව කන්දෙගොඩ – අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර, තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 71 ක කන්දෙගොඩ – අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය පිළිබඳ එම ප්‍රදේශයේ ම 46 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන් ඇති අතර, සැකකරු අද (07) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

සිද්ධිය පිළිබඳ වැඩ්දුර පරීක්ෂණ අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

දිවයින පුරා පාසල් අද (07) ඇරඹේ

(07.03.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (07) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව එක් පන්ති කාමරයක සිසුන් 20 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටී නම් එම පන්ති කණ්ඩායම් 2 කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්.

සිසුන් 40 ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සංඛ්‍යාව සමාන කොටස් 3 කට බෙදා වෙන් කර ඒ ඒ දිනවල හෝ සතිවල දී පැවැත්විය යුතු වනවා.

කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

පාසල් නිවාඩු ලබා දී තිබූ කාලය තුළ කොරෝනා ආසාදිත ළමයින්ගේ අඩුවක් පැවති අතර, යළි පාසල් ආරම්භ කිරීමත් සමඟ එම වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දරුවන් නිරන්තරයෙන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

අද (07) දිවයින පුරා පාසැල් ආරම්භ වීමත් සමඟ ඉන්ධන හිඟය හේතුවෙන් සිය වෘත්තීය කරගෙන යාමට නො හැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ප්‍රකාශ කළා.

මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් කිහිපයක් අද (07) සිට මේ මස 12 වන දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව කොළඹ රාජකීය, කෑගල්ල – කෑගලූ විද්‍යාලය , මහනුවර කිංස්වුඩ්, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක, බදුල්ල ඌව මහා විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇති.

***************************************

රිය අනතුරුවලින් ඊයේ 13 ක් මරුට

(07.03.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක ඊයේ (06) සිදු වූ රිය අනතුරුවලින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ගිරිබාව – සෝලේවැව ප්‍රදේශය, ඉංගිරිය, පුවරසන්කුලම් පොලිස් වසමේ කුරුක්කල්පුදුකුම්, බොරැල්ල – ඩී.එස්. මංසන්ධිය, පදියතලාව – දියකෑරවල මංසන්ධිය, හබරණ – හතරැස්කොටුව, ආණමඩුව – පොදික්කට්ටුව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදු ව ඇති බව යි.

එමෙන්ම නවකුරුඳුවත්ත – යටපාන, රත්නපුර – ලෙල්ලුපිටිය, අඟුණකොලපැලැස්ස – දිසාගම, කිලිනොච්චිය – රණමඩුවැව සහ වැලිකඩ – බුත්ගමුව ප්‍රදේශවලදීද අනතුරු සිදු වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 12 ත් 78 ත් අතර වයස්වල පසුවන්නන්.

නො සැළකිලිමත් අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම මහවැලි ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ගම්පොල පොලිස් වසමේ මහවිලවත්ත ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගියේ ඊයේ (06) දිනයේයි.

මොහු උලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට අමතරව මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය 30 හැවිරිදි පුද්ගලයෙකුද මියගිය අතර, ඔහු පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

තිදරු (3) මවක් ඝාතනයට සැලසුම් කළ අයෙකු අත්අඩංගුවට

(07.03.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ගිනිඅවි අමෝරා ගනිමින්, මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී තිදරු (3) මවක් වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ සහ ඊට අනුබල දුන් අයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඊයේ (06) පස්වරුවේ දී යි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඥාති සහෝදරයෙකු බවයි හෙළි වී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව ශාන් නමැති අපරාධ කල්ලි නායකයාගේ බිරිඳ ද කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණා.

මෙම වැටලීම සිදු කරනු ලැබුවේ ඝාතනය සැලසුම් කර, එයට අනුබල දුන් පුද්ගලයා කළුතර – කැලිඩෝ වෙරළ තීරයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අත් අඩංගුවට ගැනීමේ දී ඔහුගේ ගමන් මල්ලේ සඟවාගෙන සිටි ජීව අත් බෝම්බයක් ද සොයා ගැනුණා.

මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් තිදරු මව ඝාතනයට ලක් වූ අතර, විරුද්ධ පාර්ශ්වයෙන් තර්ජනයක් එල්ල වේ යන බියෙන් සොයා ගැනුණු අත් බෝම්බය ළඟ තබාගත් බවයි සැකකරු පවසා ඇත්තේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

නැදුන්ගමුවේ ඇත්රජ දැයෙන් සමුගනියි

(07.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ නැදුන් ගමුවේ හස්ති රාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අද (06) අලුයම දී බවයි වාර්තා වන්නේ.

හස්තියාගේ භාරකරු වන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය සඳහන් කළේ අලුයම 05:30 ට පමණ හස්තියා මියයන විට 69 වන වියේ පසු වූ බවයි.

Photo from sambadenglish.com

‘දේවත්වයේ මහා හස්තියා’ ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙක්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.

2005 වර්ෂයේ දී දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි නැදුන්ගමුවේ හස්ති රාජයා මාළිගා පෙරහැරට එක්වන්නේ.

සිය පළමු රන්දෝලි පෙරහැරට නැදුන්ගමුවේ හස්ති රාජයා එක් වන්නේ 2006 වර්ෂයේ දීයි.

ගම්පහ සිට මහනුවරට කිලෝමීටර් 90 ක් ගෙවා පයින් පමණක්ම පැමිණෙන මෙම සත්ත්වයා උතුම් වූ ශ්‍රී දළදා වහන්සේව පළමු වර දැකීමේ දී මහනුවර දළදා මාළිගාවේ ඉදිරිපස ඇති වාහල්කඩින් ඇතුල්වීමට අකමැත්ත පළ කර ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

ඉන් පසුව මෙම සත්ත්වයාව දළදා වහන්සේට භාරකොට, අටපිරිකර පූජා කළ පසුව නැදුන්ගමුවේ සිය දකුණු පාදය පළමු වරට වාහල්කඩින් ඇතුළට තැබීමට අකමැත්තක් නොපෙන්වා කටයුතු කර තිබෙනවා.

පනස් (50) වසරකට අධික කාලයක් සිය වගකීම් සහ ආවතේව දළදා වහන්සේ වෙනුවෙන් ඉටුකළ රාජාව අවුරුදු 15 ක් වනතෙක් බලා ගන්නේ පිළියන්දල ප්‍රදේශයේ දක්ෂ වෙදැදුරෙකු විසින්.

දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයාට අවුරුදු 69 ක් වූ අතර, මෙම සත්ත්වයා දළදා පෙරැහැර ආරම්භ වීමට ආසන්න වන විට මාළිගාව වෙත ගමන් කරනුයේ දීර්ඝ පා ගමනකින් අනතුරුව වීම ද විශේෂත්වයකි.

එමෙන්ම පා ගමනින් ම යළි මාලිගාවේ සිට වලව්ව දක්වා ගමන් ගැනීම ද එම සත්ත්වයා සතු ලක්ෂණයක්.

වර්ෂ 1953 දී ඉන්දියාවේ මනිපූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් බවයි සඳහන් වන්නේ.

ඒ සිය ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන් ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් පිළියන්දල – නීලම්මහර විහාරබිමෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේට මනිපූර් මහරාජා විසින් ත්‍යාග කොට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු වන්නේ නැදුන්ගමුවේ හස්ති තෙමේ යි.

එම ඇත් පැටව් දෙදෙනා (2) ගෙන් සෙසු ඇත් රජා වන්නේ මේ වනවිට මියැදී සිටින කොළඹ – ගංගාරාමයෙහි නවම් හස්ති රාජයායි.

1978 වසරේ දී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයේ ධර්මවිජය වෙද රාළහාමි එනම්, වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා විසින් නැදුන්ගමුවේ ඇත් රජා මිලදී ගනු ලැබුවේ රුපියල් 75,000 ක මුදලට හොරණ ප්‍රදේශයෙන්.

අඩි 10 කට වැඩි උසකින් යුක්ත නැදුන්ගමුවේ හස්ති රාජයා උතුම් වූ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන කරඬුව හෙවත් දන්ත ධාතුන් වහන්සේව වඩමවාලීමට තරම් වාසනාවන්තයෙකු වූ ද, සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ මෙරට සිටි දැවැන්තම සද්දන්තයා ද වනවා.

ශ්‍රී ලංකාවේ විශාලතම හස්තියා වන නැඳුන්ගමුවේ රාජා 2007 වසරේ සිට 2021 දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩම කරවනු ලැබුවා.

නිරතුරුව දළදා සමිඳුන්ගේ ආසිරි ලැබ යෙහෙන් වැජඹුණු නැදුන්ගමුවේ හස්ති රාජයාණනි, කළ පිං මහිමෙන් සහ රැස් කළ ගත් පින් බෙලෙන් ඔබගේ සසර ගමන සුගතියකට පැමිණේවා !

නැදුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කෙරේ – දේහය සංරක්ෂණයටත් පියවර

(07.03.2022 – 12:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදෙනු ලැබුවා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙතයි.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා ෴

‘නැඳුන්ගමුවේ රාජා’ ජාතික වස්තුවක් ලෙස නම් කරයි – දේහය කෞතුකාගාරයට

(07.03.2022 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවනු ලැබූ මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

අනාගත පරපුරට දැකගැනීම සඳහා එම හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සදහන් කළේ ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියා කරන බවයි.

ඒ අනුව අද (07) පස්වරුවේ හස්තිරාජයාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු දේහය ජාතික කෞතුකාගාරය වෙත භාරදීමට නියමිතයි.

ඉන් පසුව නැඳුන්ගමුවේ හස්ති රාජයාගේ සිරුර ජාතික වස්තුවක් ලෙස දළදා මාළිගාවේ තැන්පත් කිරීමට ද තීරණය කර ඇති බවයි මහාචාර්ය කපිල ගුණවර්ධන සදහන් කළේ.

නැඳුන්ගමුවේ හස්ති රාජයා අද (07) අලුයම මිය යන විට 69 වන වියේ පසුවුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *