හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්

*********************************************

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්

(06.03.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණා.

මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද එක්ව සිටි බවයි වාර්තාවුණේ.

එහිදී හවුල්කාර පක්ෂවල ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර අමාත්‍ය ධුරවලින් ඉවත්කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දැමුණා ෴

***************************************

පාර්ලිමේන්තුවේ අසුන් කිහිපයක් වෙනස් වෙයි

(06.03.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ එළැඹෙන 08 වැනිදා රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ දී ඔහුට ආණ්ඩුවේ ඉදිරි පෙළ අසුනක් පැනවීමට කටයුතු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

එසේම, ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය හිමි වූ අමාත්‍ය දිලුම් අමුණුගමට, සරත් වීරසේකර අමාත්‍යවරයාට යාබද අසුන හිමිවනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ අසුනක් වෙන් කිරීමටයි කටයුතු කෙරෙන්නේ.

එසේම, රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දුද පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා ආකාරයේ වෙනසක් සිදුවන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.

***************************************

රන් මිල තවත් ඉහළට

(06.03.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන අර්බුදය රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා ෴

***************************************

රත්නපුරයේ මාරක රිය අනතුර – දෙදෙනකු ජීවිතක්ෂයට

(06.03.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – බටුගෙදර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ 28 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සහ 27 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

නොසැලකිලිමත් සහ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට අනාවරණ වී ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

හෙරොයින් සමග පුද්ගලයෙක් එස්.ටී.එෆ්. දැලට

(06.03.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් එක් ලක්ෂ විසිදහසකට (1,20,000) අධික හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

ඊයේ (05) පස්වරුවේ ගණේමුල්ල පොලිස් වසමේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ දී අදාළ වැටලීම සිදු කෙරුණා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 93 ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු පොලිස් භාරයට ගනු ලැබුවා.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 1,20,000 කට අධිකයි.

මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ සැකකරු 34 හැවිරිදි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඔහුව ගණේමුල්ල පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

වැල්ලවත්තේ සිට යාපනයට රාත්‍රී දුම්රියක්

(06.03.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්තේ සිට යාපනය දක්වා රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රී 10 ට වැල්ලවත්තෙන් ආරම්භ වන දුම්රිය සෙනසුරාදා උදෑසන පහට (5) යාපනයට ළඟාවීමට නියමිතයි.

එම දුම්රිය නැවතත් කොළඹට පැමිණෙන්නේ ඊළඟ සඳුදා දින පෙරවරු 5 ටයි.

මෙම දුම්රියේ මගීන් 530 කට ගමන් කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංචාරක කර්මාන්තය, මෙරට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වනවා.

එම ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගත් පියවරක් පිළිබඳ තොරතුරුයි මේ.

ශ්‍රී ලංකාව කියන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයක් දිනාගැනීමට හැකි ඉතා සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියන රටක්.

එක් (1) දිනක් ඇතුළත විවිධ දේශගුණික අත්දැකීම් විදීමේ හැකියාව මෙරට තුළ පවතින නිසාම ඒ සංචාරක ආකර්ශනය තව තවත් තීව්‍ර වෙනවා.

බොහෝ විට විදේශීය සංචාරකයින් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවම තෝරා ගන්න මේ දේශගුණික විවිධත්වයත් අතිශයින්ම බලපා තියෙනවා.

දිවා කාලයේ අනුරාධපුර පොළොන්නරුව වැනි ස්ථානයක සංචාරය කරණ විදේශිකයින්ට සන්ධ්‍යාව තරමක් වෙනස් අත්දැකීමක් සමඟ ගතකිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නුවරඑළිය, ඇල්ල, වැල්ලවාය වගේ අතිශය සුන්දර මෙන්ම ඉතා සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයක් තෝරා ගත හැකියි.

එලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නරඹන්න අපේ රටට පැමිණෙන සංචාරකයින්ගේ ගමන් පහසුව සැලසීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත‍‍්‍යාං‍‍ශය එක්ව විශේෂ දුම්රියක් ධාවනයට එක්කර තිබෙනවා.

සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගනිමින් මහනුවර සිට දෙමෝදර දක්වා ධාවනය වන අලුත්ම සාමාජිකාව තමයි ‘ඇල්ල ඔඩිසි’.

සුඛෝපබෝගී වායු සමනය කළ මැදිරිවලින් ද සමන්විත මෙම විශේෂිත සංචාරක දුම්රිය නම් කර ඇත්තේ ‘ඇල්ල ඔඩිසි’ නමින්.

‘ඇල්ල ඔඩිසි’ දෛනිකව උදෑසන 7 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇල්ල, වැල්ලවාය මාර්ගයේ නානුඔය, හපුතලේ, බණ්ඩාරවෙල ආදී ස්ථාන පසුකරමින් දෙමෝදර දක්වා ධාවනය වනවා.

සිය ගමනාන්තයට ළඟාවීමට පෙර සංචාරක ආකර්ශනය හිමිකරගත් ස්ථාන කිහිපයක නවත්වා එහි සුන්දරත්වය විඳගැනීමටත් මෙහ ගමන් ගන්නා සංචාරකයින්ට අවස්ථාව හිමියි.

***************************************

ජනප්‍රිය රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

(06.03.2022 – 12:09 +0530 – hirunews.lk/sinhala)

ගුවන් විදුලි ප්‍රහසන කලාවේ පුරෝගාමියෙකු වූ බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක නැතිනම් අප කවුරුත් දන්නා බර්ටි ගුණතිලක මහතා වයස අවුරුදු 97 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති.

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ශ්‍රී ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කලාකරුවෙක්.

80 දශකයේ ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා ප්‍රසංග වේදිකාවේ දී ඇසීමට හා දැකීමට බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු එකතුව එකල වේදිකාගත වූ විනෝ ද සමය විකට වැඩසටහන මතකයට ගෙන එන කථා පුවතක් වනවා.

ශ්‍රී ලාංකේය සිනමාවේ වේදිකාවේ සහ රූපවාහිනියේ විකට ශිල්පියෙකු වූ බර්ටි වඩාත්ම ජනප්‍රිය වූයේ ‘විනෝද සමය’ විකට කථා මාලාවෙන්.

මහනුවර ප්‍රදේශයේ උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කර තිබුණා.

ඉන්පසු සිංහල බෞද්ධයා පත්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර ඇති අතර 1954 වසරේ ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වුණා.

පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වී රංගන දායකත්වය ලබාදුන්නා.

1947 වසරේ ළමා පිටිය වැඩසටහනෙන් ගුවන් විදුලියට එක්වූ බර්ටි ගුණතිලක විනෝද සමය ගුවන් විදුලි නාට්‍යයට එක්වූයේ 1948 වසරේදියි.

1954 දී ඔහු සිය සමීප මිතුරන් වූ ඇනෙස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගූ සමග එක්ව ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කළා.

2014 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ බර්ටි ගුණතිලක පෙම් මල් මාලා, පාලම යට, මනමෝහිනී, සොමි බෝයිස් වැනි සිනමා නිර්මාණ මගින් රිදී තිරයේ පෙළහර පෑමට ද සමත්වුණා.

පසුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වූ ඔහුට රැකියාව අහිමිවූයේ වෘත්තිය අරගල හේතුවෙන්.

අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලකගේ අවසන් කටයුතු හෙට (07)

(06.03.2022 – 17:35 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ගුවන් විදුලි ප්‍රහසන කලාවේ පුරෝගාමියෙකු වූ බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක හෙවත් බර්ටි ගුණතිලකගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) සිදුකිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් සඳහන් කළේ මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය හෙට (07) පෙරවරු 9 සිට පස්වරු 5 තෙක් බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවයි.

97 හැවිරිදි වියේ පසුවූ බර්ටි ගුණතිලක, ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ විකට ශිල්පියෙකු ලෙස ජනාදරයට පත්වූ අතර, වඩාත්ම ජනප්‍රිය වූයේ විනෝද සමය විකට කථා මාලාවෙන් ෴

***************************************

නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසයෙන් රුපියල් කෝටි 78 ක දේපළ තහනමක් – 21 දෙනෙකු අත්අඩංගුවට

(06.03.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් නීතිවිරෝධී ලෙස මුදල් ඉපයූ පුද්ගලයින් 1,100 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පසුගිය වසරේ ජූලි මාසයේදී ස්ථාපිත කළ එම කොට්ඨාසය මගින් පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් කෝටි 78 ක දේපළ තහනම් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

***************************************

ගෝනපීනූවල වෙඩි තැබීමේ සිද්ධියට සීනිගම ලොක්කා අත්අඩංගුවට

(06.03.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගෝනපීනූවල මංසන්ධියේදී පසුගිය 27 වනදා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සීනිගම ලොක්කා සහ ඔහුගේ මස්සිනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ගෝනපීනූවල පොලිසිය සිදුකළ – ගිංතොට ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමකදියි.

නඩු හා වරෙන්තු කිහිපයක් පවතින මොවුන් ගෝනපීනූවල මංසන්ධියේදී සිදුකළ වෙඩි තැබීමෙන් පසු පලාගොස් තිබුණා.

සැකකරුවන් පලාගිය යතුරුපැදියද පොලිසිය මගින් සොයාගෙන ඇති අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය, මැගසින් දෙකක්, උණ්ඩ 45 ක් සහ ව්‍යාජ අංක තහඩු හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරේ

(06.03.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

එම කටයුතු අවසන් අදියරයේ පවතින අතර, ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාස 3 ක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(06.03.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් (1) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) දහවල් යුද හමුදාවේ 54 වන පාබල සේනාංකයේ භට පිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් ෴

***************************************

මෙරට තේ අපනයනය පහළට

(06.03.2022 – 16:01 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 19.38 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 7 කින් පමණ පහත වැටී තිබෙනවා.

එහිදී මෙරට තේ වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ රුසියාව සහ ඉරාකයයි.

චීනය මිලදී ගත් තේ ප්‍රමාණය පසුගිය වසරේ ජනවාරියේ වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 1.5 ට සාපේක්ෂව කිලෝග්‍රෑම් 7,38,000 දක්වා පහත වැටී තිබෙනවා.

මෙරට තේ නිෂ්පාදනයද ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.82 දක්වා පහත වැටුණා.

කෙසේ නමුත් තේ කිලෝග්‍රෑමයක් (1) සඳහා පසුගිය ජනවාරියේ පැවති ඩොලර් 3 යි ශත 30 ක සාමාන්‍ය මිල මේ වසරේ ජනවාරියේදී ඩොලර් තුනයි (3) ශත පනහ (50) දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *