පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක

*********************************************

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක

(06.03.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (07) ආරම්භවීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි

ඒ අනුව එක් පන්ති කාමරයක සිසුන් 20 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටිී නම් එම පන්ති කණ්ඩායම් 2 කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිසුන් 40 ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සංඛ්‍යාව සමාන කොටස් 3 කට බෙදා වෙන් කර ඒ ඒ දිනවල හෝ සතිවලදී පැවැත්විය යුතු බවයි.

කොරෝනා තත්ත්වය සහ රට තුළ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම පාසල් ආරම්භ කිරීමට පෙර අද (06) දිනයේ පිරිසිදු කිරීමේ කටයුතු සහ විෂබීජහරණ කටයුතු සිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා අදාළ පාසල්වල ගුරුවරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සම්බන්ධ කර ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (05) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින තත්ත්වයන් හමුවේ හෙට (07) දින පාසල් ආරම්භ කිරීම සඳහා රජයට විධිමත් සැලැස්මක් නොමැති බවයි.

මේ අතර, 2018 වර්ෂයේ විද්‍යාපීඨ සඳහා බඳවා ගත් සිසුන්ට ගුරු සේවයේ පත්වීම් ලබා දීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව එම අභ්‍යාසලාභීන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම ගුරු සිසුවියක සඳහන් කළේ මේ වන විට තම පුහුණු කාලය අවසන් වී මාස 7 ක් ඉක්මවා ඇති බවයි.

++++++++++++

විදුලි අර්බුදය ගැන අද (06) සාකච්ඡාවක්

(06.03.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (06) පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඒ, බී සහ සී කලාපවලට පමණක් අද (06) දිනයේ විදුල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඉරිදා දිනයක් වන අද (06) දහවල් කාලයේ මෙගාවොට් 1,650 ක විදුලි ඉල්ලුමක් අපේක්ෂා කෙරෙන අතර සවස් කාලයේ මෙගා වොට් 1,550 ක විදුලි ඉල්ලුමක් අපෙක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

අද (06) රාත්‍රී කාලයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක්.

පවතින තත්ත්වය මත ජනතාව තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා.

මේ අතර විදුලිය කප්පාදුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පැවත්වීමට නියමිතයි.

ලංකා විදුලි බව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු විදුලි ජනනයට අදාළ අංශ සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඒ අනුව ඉදිරියේදී විදුලිය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කෙරෙන බව ඔහු සඳහන් කළා ෴

++++++++++++

තෙල් පෝලිම් තවදුරටත්

(06.03.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් ලබන අඟහරුවාදා (08) පමණ වනවිට පහව යනු ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

සාමාන්‍යයෙන් ඉරිදා දිනවලදී ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකළත්, අද (06) දිනයේදී ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඊයේ (05) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 7,000 කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර, අද (06) දිනයේදී මෙට්‍රික් ටොන් 8,000 ක් පමණ බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව එළැඹෙන අඟහරුවාදා (08) පමණ වනවිට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (05) රාත්‍රියේත් දිගු වාහන පෝලීම් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඉන්ධන තොග ලැබීමත් සමග කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් පමණ මේ වනවිටත් ලබා දී අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් හා ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට සඳුදා (07) සිට හැකි වනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඊයේ (05) ප්‍රකාශ කළා.

මේ අතර විදුලි බලාගාර සඳහා ඉන්ධන ලබාදීමට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (07) කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.

ඒ සඳහා මේ වනවිටත් මුදල් ගෙවා අවසන් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ෴

++++++++++++

බලාගාර දෙකකට (2) ඉන්ධන සැපයීම ඇරඹේ – ඉදිරි සතියේ විදුලි අර්බුදයට විසඳුමක්

(06.03.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේදී විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඉන්ධන නොමැතිවීමෙන් අක්‍රියවී ඇති බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රශස්ථ මට්ටමකින් මේ සතිය තුළ ලබාදීමට හැකිවීම ඊට හේතුවයි. මේ වනවිටත් කෙරවලපිටිය සහ සොජිස්ට් බලාගාරවලට ඩීසල් මෙට්‍රික් ටොන් 8,000 ක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

එම නෞකාව සඳහා මුදල් ගෙවීමට ණයවර ලිපි මේ වනවිටත් විවෘත කර ඇති අතර, ඊට මුදල් ගෙවීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇති බව සඳහන්.

ඒ අනුව එම දැවි තෙල් වෙස්ට් කෝස්ට්, කැළණිතිස්ස ඇතුලු සෙසු බලාගාර සඳහා මෙම සතිය තුළම ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව සැළසුම් කළ පරිදි මෙම ඉන්ධන තොග ලැබුණහොත් විදුලි කප්පාදුව සීමා කිරීමට හෝ අවසන් කිරීමට මෙම සතිය තුළ හැකිවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 200 ක් මිලදී ගැනීම සඳහාද යෝජනා ඉදිරිපත්වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (06) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැය 2 මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඒ, බී සහ සී කලාපවලට පමණක් අද (06) එම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

මේ අතර ඩීසල් හිඟය තවදුරටත් පැවතීම හේතුවෙන් ඊයේ (05) සහ අද (06) පෙරවරුවේද ජනතාව පිරවුම්හල් අසළ පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පවතින ඩීසල් හිඟය ඉදිරි දින දෙක (2) තුළ අවසන් වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ වනවිටත් ඩීසල් නෞකා දෙකක් (2) මෙරටට පැමිණ ඇති අතර, එහි අඩංගු ඩීසල් ගොඩබා තිබෙනවා. එම ඩීසල් පිරවුම්හල් වෙත බෙදාහැරීම කඩිනම් කර ඇති බවයි තෙල් සංස්ථාව සඳහන් කළේ.

++++++++++++

ගෑස් නොමැතිවීමෙන් බේකරි සහ ආපනශාලා වැසේ

(06.03.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ලවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ගෑස් හිඟය නිසා මේ වනවිට බේකරි සහ ආපනශාලා විශාල ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති බවයි.

ඉන්ධන හිඟය හේතුවෙන්ද සිය බේකරි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අර්බුදයක්ද මතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ගත වූ මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී ගෑස් ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඩොලර් අර්බුදය, ඉන් එක් හේතුවක්. ගෑස් අර්බුදය ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත්වූයේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමඟයි. විමර්ශනවලදී අනාවරණය වූයේ එහි ප්‍රමිතිය වෙනස් කර ඇති බවටයි.

මේ අතර ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් නෞකා 3 ක් දිවයිනට පැමිණ ඇති අතර, එම ගෑස් තොග ගොඩබෑමට හා බෙදාහැරීමට ඉදිරි සතියේ කඩිනමින් පියවර ගන්නා බව එම සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ වනවිටත් ලිට්රෝ ගෑස් හිඟයක් වෙළඳපොල තුළ පවතින අතර, ලාෆ්ස් ගෑස් ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා බෙදාහැරීම නවතා දමා තිබෙනවා.

එම සමාගම පවසන්නේ ලාෆ්ස් ගෑස් කර්මාන්තශාලා සහ ව්‍යාපාර ස්ථාන වෙත පමණක් බෙදාහරින අතර, හෙට දිනයෙන් පසු තොග අවසන්වීම හේතුවෙන් එම ක්‍රියාවලියද නවතා දැමීමට සිදුවනු ඇති බවයි.

++++++++++++

අදත් (06) පැය 02:30 ක විදුලිය කප්පාදුවක්

(06.03.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් පැය 2 මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A B සහ C කලාපවලට පමණක් අද (06) දිනයේ කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඉරිදා දිනයක් වන අද (06) දහවල් කාලයේ මෙගාවොට් 1650 ක විදුලි ඉල්ලුමක් අපේක්ෂා කෙරෙන අතර සවස් කාලයේ මෙගා වොට් 1550 ක විදුලි ඉල්ලුමක් අපෙක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

අද (06) රාත්‍රී කාලයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක්.

පවතින තත්වය මත තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර විදුලිය කප්පාදුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පැවත්වීමට නියමිතයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී මහතා හිරු ප්‍රවෘත්තී වෙත අංශයට කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයල මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු විදුලි ජනනයට අදාළ අංශ සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඉදිරියේදී විදුලිය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් එහිදීතීරණය කෙරෙන බව ඔහු සඳහන් කළා.

මේ අතර විදුලි බලාගාර 2 කට ඉන්ධන සැපයීම අද සිදු කෙරුණා. ඒ අනුව කෙරවලපිටිය බලාගාරයට සහ සොජිස්ට් බලාගාරයට ඩීසල් මෙට්‍රික් ටොන් 800 ක් ලබා දීමට ඛනිජතෙල් නීතීගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

++++++++++++

හෙටත් (07) පැය 5 ක් විදුලිය කැපෙයි

(06.03.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

හෙට (07) දිනයේදීත් විදුලිය කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව (P Q R S T U V W) කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක කාලයක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක් (1) බැගින් විදුලිය කපා හැරෙනවා.

E සහ F කලාප සඳහා පෙරවරු 08 සිට රාත්‍රී 06 දක්වා පැය 05 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2½ ක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

++++++++++++

අර්බුදය ගැන විදුලි බලධාරීන්ගෙන් ඇමතිනියට පාඩමක්

(06.03.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩීසල් අර්බුදය අනිද්දා (08) පමණ වන විට පහව යනු ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

කෙසේ වෙතත් අද (06) දිනයේත් දිවයින පුරා පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් ස්ථානවල ඉන්ධන මිලදී ගැනීමට පැමිණ සිටි ජනතාව අතර ද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එමෙන්ම, දින කිහිපයකට පසු ඇතැම් ඉන්ධනහල්වලට ඉන්ධන ලැබීමත් සමඟ ඒවා ලබා ගැනීමෙන් පසු රතිඤ්ඤා දල්වමින් සතුට සමරනු ලැබුවා.

මේ අතර, ඉන්ධන හිඟයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා.

එමෙන්ම හෙට (07) දිවයින පුරා පාසැල් ආරම්භ වීමත් සමඟ ඉන්ධන හිඟය හේතුවෙන් සිය වෘත්තීය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ප්‍රකාශ කළා.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද (06) විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ, නව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟයි.

එහිදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් පැහැදිලි කිරීමක් ද අමාත්‍යවරියට සිදුකර තිබෙනවා.

එමෙන්ම අද (06) දිනයේදී පැය තුනහමාරක (3½) කාලයක් විදුලිය කප්පාදු කරනු ලැබුවා.

මේ අතර, හෙට (07) පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා අදියර දෙකක් (2) යටතේ පැය හත හමාරක (7½) කාලයක් විදුලිය කප්පාදුව කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.

++++++++++++

හදිසි විදුලි බිඳ වැටීමක්

(06.03.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

පානදුර, හොරණ සහ මතුගම ප්‍රදේශවලට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර කැස්බෑව, කළුතර, අම්බලන්ගොඩ සහ ගාල්ල ප්‍රදේශවලත් විදුලිය බිඳවැටීම් සිදුව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *