සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ

*********************************************

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ

(04.03.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala)

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (05) සෙනසුරාදා දිනයේදී P, Q, R, S, T, U, V, W යන කලාපවලට පැය 4 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

ඒ උදෑසන 08:30 සිට පස්වරු 05:30 අතර කාලය තුල පැය 3 ක කාලයක් සහ සවස 06:00 සිට රාත්‍රී 10:00 දක්වා වන කාලය තුල පැයක් (1) වශයෙන්.

එමෙන්ම E, F යන කලාපවලට පැය 7 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 08:30 සිට පස්වරු 04:30 දක්වා පැය 4 ක් වශයෙන් සහ සවස 04:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය 3 ක කාලයක් වශයෙන්.

ඉරිදා (06) දිනයේ පැය 02:30 ක කාලයක් උදෑසන 09:00 සිට සවස 04:30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ A, B, C යන කලාප තුනට (3) පමණයි.

විදුලි කප්පාදුව අවම වන ලකුණු – ඊයේ (04) හා අද (05) පරස්පර කතා දෙකක් (2)

(05.03.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala)

අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය විසින් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බවයි.

මේ අතර, සුපුරුදු පරිදි අද (05) දිනයේ දී ත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව ඊයේ (04) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා ෴

ඉන්ධන සහ විදුලිබිල ඉහළ දැමීම ගැන සාකච්ඡා

(04.03.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

අවම වශයෙන් පිරිවැය ආවරණය වන පරිදි හෝ ඉන්ධන සහ විදුලි බිල ඉහළ දමන ලෙස රජයට දැනුම් දුන් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඊයේ (03) පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා මහ බැංකුවේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටි අතර, මේ අනුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් අතර මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමෙන් රුපියල් විස්සක පමණ පාඩුවක් දැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව තිබෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමෙන් දැරීමට සිදුව ඇති පාඩුව රුපියල් 16 ක්.

ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාවට රුපියල් 54 ක පාඩුවක් ද, සුපර් ඩීසල් ලීටරයක් අලෙවි කිරීමෙන් රුපියල් 35 ක පාඩුවක් ද සිදුවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්ධන උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීම ඉහළ යාමත් සමඟ විදුලි ඒකකයකින් විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුවද ඉහළ ගොස් තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ රුපියල් 29කට පමණ විදුලි ඒකකයක් විදුලි බල මණ්ඩලය විසින් නිෂ්පාදනය කරන බවයි.

එහෙත් ඒකකයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 16 ත් 17 ත් අතර මිලකට බව එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාකර හැරීමේ අපේක්ෂාවක් මේ දක්වා නොමැති බවයි මහබැංකු අධිපතිවරයා කියා සිටියේ ෴

++++++++++++

විදුලි උත්පාදනයට ඉන්ධන දෙන බව අලුත් බලශක්ති ඇමති කියයි

(04.03.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩ ව ලබාදෙන බව නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුදකාරි තත්වයට විසදුම් ලබාදීමට අමාත්‍යංශයේ නිළධාරින් සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියා.

කෙසේ වෙතත්, පවතින ඉන්ධන අර්බුදය හමුවේ පිරවුම්හල්වල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මේ අතර හෙම්මාතගම ප්‍රදේශයේ පිරවුම්හලක් අසළ ඊයේ (03) ගැටුම්කාරී තත්වයක් පැන නැගුණේ පෝලිම් පැනීමේ සිද්ධියක් හේතුවෙන්.

තවත් ප්‍රදේශ රැසක පිරවුම්හල් අසළ නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වු බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වූ බව දුම්රිය පොදුජන වෘත්තිය සමිති සන්ධානයේ ලේකම් නදීර මනෝජ් සඳහන් කළා.

++++++++++++

දැවිතෙල් රැගත් නෞකාවක් අනිද්දා (06) දිවයිනට

(04.03.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් අනිද්දා (06) දින මෙරටට ළඟා වන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම තොගය විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.

රට තුළ හිඟව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා.

ඊට හේතුව වී ඇත්තේ විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ඩීසල් සහ නැප්තා වෙනුවෙන් අවැසි ඉන්ධන හෝ දැවි තෙල් වර්ග ශේෂ වීමයි.

පසුගියදා නෞකා කිහිපයක් දිවයිනට ඉන්ධන රැගෙන පැමිණිය ද රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම ඉන්ධන ලබාගැනීමේ කිසියම් අපහසුතාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් වරායෙන් අදාළ තෙල් බහාලුම් මුදා නොහැරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවන් පසුබිමකයි අනිද්දා (06) දිනයේ දී ත්, දිවයිනට දැවිතෙල් රැගත් නෞකාවක් පැමිණෙන්නේ.

විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ එළඹෙන සඳුදා (07) දිනයේ සිට විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති අතර, අඛණ්ඩව විදුලි සැපයුමට පියවර ගන්නා බවයි.

බලාගාරවල උපරිම ධාරිතාව ඉක්මවා යමින් විදුලි ජනන කටයුතු සිදු කිරීමට නොහැකි හේතුවෙන් මේ වනවි බොහෝ බලාගාර අක්‍රීය මට්ටමේ පවතිනවා.

මේ හේතුවෙන් දිවයිනේ මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුව ඇති අතර, එය දිනකට පැය 07 ඉක්මවා සිදුවීමෙන් ජනතාව දැඩි අසීරුතාවකට ලක් ව සිටිනවා.

මේ අතර මෙරටට පැමිණ තිබූ ඩීසල් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවට පෙරේදා (02) දිනයේ මුදල් ගෙවා නිදහස් කරගත් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු එදින (02) රාත්‍රියේ දී ම ආරම්භ කරනු ලැබුවා.

අදාළ ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද එවක හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වූ අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කෙරුණා.

***************************************

මහනුවර – ඇල්ල විශේෂ සංචාරක දුම්රියක්

(04.03.2022 – 21:14 +0530 – ada.lk)

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07:20 ට පිටත්ව දෙමොදර දුම්රිය ස්ථානයට පස්වරු 02:20 ට ළඟාවීමට නියමිතව තිබේ.

මෙම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, ඇඩම්ස් පීක්, ග්‍රේට් වෙස්ටර්න්, නානු ඔය, එල්ජින් දිය ඇල්ල, පට්ටිපොළ, සමිට් ලෙවල්, ඔහිය බිංගෙය අංක 18, ඔහිය, ඉදල්ගස්හින්න, වින්ඩ්ස් බ්‍රේක්, හපුතලේ, කිතුල් ඇල්ල, ආරුක්කු නමය පාලම ආදී ලෙස නැවැත්වීමට නියමිතය.

මෙම දුම්රිය නැවතත් දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 15:40 ට ගමන් ආරම්භ කර මහනුවර දුම්රිය ස්ථානයට රාත්‍රී 21:35 ට ගමන් ලඟාවීමට නියමිතය ෴

***************************************

ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඇතුළු 4 කට ගුටි වරුසාවක්

(04.03.2022 – ada.lk)

සාදයකට සහභාගී වී එමින් සිටි ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු (4) ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක අද (04) පස්වරුවේ යතුරු පැදියක් ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

මෙහිදී රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බව පොලිසිය කීය .

ප්‍රසිද්ධ නළුවා තවත් මිතුරන් සිව්දෙනෙකු (4) සමග සාදයකට සහභාගි වී මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ගුරුවරිය මීටර් දහයක් (10) පමණ ඈතට විසිවී ඇතැයි පැවසේ.

ප්‍රදේශවාසීන් එක්ව මහා මාර්ගයේ ඇදවැටී විලාප නගමින් සිටි ගුරුවරිය ත්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇති අතර, ඇය අද දිනම ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී තහවුරු ඇතැයි පොලිසිය කීය.

බීමත්ව සිටී පිරිස සමග ප්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතිව ඇති බවත්, එය පසුව ගුටි කෙළියක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය. ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කල ප්‍රවීන රංගන ශිල්පීයා දැඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයිද පැවසේ.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විදුලි කප්පාදුවෙන් එන්නත් ගබඩාවලට බලපෑමක් නෑ

(04.03.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මේ දිනවල ක්‍රියාත්මක විදුලි කප්පාදුව මඟින් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්වල ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 711 දෙනෙකු ඊයේ (03) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,48,410 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,287 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (03) තවත් කොරෝනා මරණ 20 ක් වාර්තා වීමත් සමඟ යි.

ඊයේ (03) දිනය වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් ප්‍රමාණය මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 51 ක ඉක්මවා තිබෙනවා.

ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 72,08,529 ක්.

මේ අතර, දිවයින පුරා මේ දිනවල ක්‍රියාත්මක විදුලි කප්පාදුවත් සමග ශීතාගාරවල පවතින එන්නත්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා ෴

+++++++++++++

කොරෝනා මරණ 20 ක්

(04.03.2022 – 19:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත මරණ 20 ක් අද (04) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව වෛරසය ආසාදිතව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 16,307 ක්.

එමෙන්ම වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 23,006 ක් වන අතර, වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6,48,993 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව ද 6,09,680 ක් ෴

++++++++++++

කොරෝනා සිරුරු ආදාහන අලුත් නීතිය

(04.03.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත නව ආසාදිතයින් 583 දෙනෙකු අද (04) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,48,993 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (04) දිනට වාර්තා වූ මරණ සංඛ්‍යාව ද 20 ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 16,307 ක්.

මෙවන් තත්ත්වයක් මත රට පුරා කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රටේ සියලුම පුරවැසියන්ට අදාළ එන්නත් මාත්‍රා අවශ්‍ය පරිදි සෞඛ්‍ය උපදෙස් මත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතුව වීම ද විශේෂත්වයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *