විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ?

විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ?

*********************************************

විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ?

(04.03.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍යාංශයෙන් සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට කටයුතු කෙරුණා.

ඒ අද (04) දහවල් සිය අමාත්‍යාංශය පැමිණීමෙන් පසුවයි.

එහිදී තම බඩු බාහිරාදිය එකතු කරගෙන, රජයේ ලිපිලේඛන යළි අමාත්‍යාංශයට පවරාදී හිටපු අමාත්‍යවරයා නික්ම ගියා.

එහිදී සිය අමාත්‍යාංශයේ මෙතෙක් තමන් සමග කටයුතු කළ නිලධාරීන්ට ද ස්තුතිය පළකොට සමුගැනීමට එතුමා අමතක කළේ නැහැ.

එමෙන්ම සිය පෞද්ගලික රථයෙන් අමාත්‍යංශයෙන් පිටව යෑමට සැරසෙද්දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ද හිටපු අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ අද (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට යන බවට ලැබෙන ආරංචි සත්‍යය ද යන වගයි.

ඊට පිළිතුරු ලෙස විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ, එවැනි තීරණයක සිටින බවත්, තමන්ට කිසිදු අයුරකින් අග්‍රාමාත්‍යවරයා සමග ගැටුමක් හෝ අමනාපයක් නොමැති බවයි.

තමන් සමග අග්‍රාමාත්‍යවරයා හමුවීමට වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මැති ඇමතිවරුන් ද එක්වන බව ද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.

එම හමුව කිසිදු අයුරකින්, කිසිදු වරප්‍රසාදයක් ඉල්ලීමට යන ගමනක් නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදියා අවසන් වශයෙන් අසා සිටියේ, සිය ඇමතිධූරයෙන් ඉවත් කිරීමත් සමග දැනෙන හැඟීම කෙබඳු ද යන්නයි.

ඊට පිළිතුරු ලෙස සිනහ මුසු මුහුණින් මන්ත්‍රී වීරවංශ කියා සිටියේ, තමන් අමාත්‍යාංශයේ කටයුතු කළ කාලයේ තමන්ට සෑහීමකට පත්විය හැකි සහ සතුටු විය හැකි අයුරින් රාජකාරිය ඉටු කිරීම හේතුවෙන් සතුටින් පිටව යන බවයි.

++++++++

++++++++

ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්නෙක් ආර්ථිකය මෙහෙයවනවා.. රට අගාධයේ.. – උදය ගම්මන්පිල

(04.03.2022 – 22:22 +0530 – lankacnews.com)

අවලස්සන ඇමරිකානුවෙකු ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පැවති ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක් විසින් පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුව හා එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයකු විසින් රටේ ආර්ථිකය මෙහෙය වීම නිසා අපේ රට දිනෙන් දින ආගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුළත්, ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත්, කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමැති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ ‘මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානයක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා – වහාම විසඳුමක් හදමු’ කියන එක සඳහා යි. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුන නිසා අපි ‘මුලු රටම හරි මගට’ යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම ‘විෂ-ඳුමක්’ වගේ දැකලා විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒක හරියට ‘හඳේ හාවා පෙන්නන්න ඇඟිල්ල දිගු කළහම හඳෙ හාවා දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා’ වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.

ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන පිළිබඳ අපි පසුගිය වසර එකහමාර (1½) තුළ විවේචනයන් ඉදිරිපත් කලත් අපිට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදිහට යම්යම් බාධාවන් බැඳීම් තිබුණා. හරියට අපි දිව ගැටගහල ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කළේ. දැන් මේ රට මෙතැනට අරන් ගියේ කොහොමද? ඒකට වගකිව යුත්තෝ කවුද? කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නුදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ – ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්.

ඒ වගේම අපිට හිතෙනවා 1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American ‘අවලස්සන ඇමරිකානුවා’ කියලා. සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා ‘අවලස්සන ඇමරිකානුවා’ කියලා. ඉතින් මේ ‘අවලස්සන ඇමරිකානුවා’ පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා. මම මේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට ඊයේ (03) දක්වාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක්; ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජය රට හමුවේ තියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

අපි සාක්ෂි සහිතව පෙන්නනවා මේ රට මෙතෙන්ට ගෙනාවේ කොහොමද කියලා. එතකොට මේ සිතා මතා මේ කුමන්ත්‍රණය කරන්නේ ‘මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි’ කියන සාධාරණ සැකය අපිට තියනවා. 1997 දී සුහර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නෑ නැගෙනහිර තිමෝරයට නිදහස දෙන්න. ‘අචේ’ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. ආර්ථික අර්බුදය ඇති වුණු වෙලාවේ රටේ ජනතාවට කන්න නැති උනා; ඉන්ධන නැතිවෙලා මුළු රට ම නතර වුණා. ඒත් ජනතාව අසහනයට පත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිල්ල කිව්වා ‘අපි ඔබේ රටට ගොඩයන්න අරමුදල් ලබා දෙන්නම්; හැබැයි නැගෙනහිර තිමෝරයට නිදහස දෙන්න – අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න’ කියලා. ‘මට මේ අපරාධ කරන්න බැහැ’ කියලා සුහර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. ඒක කරන්න මං සූදානම් කියලා ‘මෙගාවතී සුකර්නෝපුත්‍ර’ කිව්වම රට වෙනුවෙන් කතා කරපු මිනිස්සුම – රටට ආදරය කරලා නැගෙනහිර තිමෝරය අපේ රටේ කොටසක් කියලා කියපු මිනිස්සුම ‘නැගෙනහිර තිමෝරයට නිදහස දීලා හරි අපට කන්න දීපල්ලා’ කියලා පෙළපාළි ගියා. මහා දැවැන්ත ජයග්‍රහණයකින් සුකර්නෝපුත්‍ර බලයට ඇවිල්ලා ඒ රටට කරන්න පුළුවන් විනාශය සිද්ධ කළා. ‘මේ ‘අවලස්සන ඇමරිකානුවා’ විසින් මේ රට අද ඒ පාරේ අරගෙන යන්නේ’ කියන එක අපිට බොහොම පැහැදිලියි. ඒ නිසා ‘අපි ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් – ආණ්ඩුව තුළ සිටියත් නැතත් අපි ජනතාව සමග එකතුවෙලා මේ ගමනින් අපේ රටට අත් වෙන්න යන මේ අඳුරු ඉරණමෙන් රට බේරගන්න කළ හැකි – කළ යුතු හැමදේම කරන්න සූදානම්’ කියන පණිවිඩය රට හමුවේ තියෙනවා”

+

***************************************

තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය පාර්සලය

(04.03.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

අමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට තැපැල් මගින් එවන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාර්සලයක් සිය භාරයට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ කාර්යාංශයේ නිලධාරීන් සමත් වුණා.

ඒ අද (04) දිනයේ දී සිදු කරන ලද පරීක්ෂාවකදීයි.

එහිදී අමරිකාවේ සිට මෙරටට එවන ලද ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක ඇසුරුම් කර තිබූ පාර්සලයක් සොයා ගැනුණා.

එය පිටකෝට්ටේ ප්‍රදේශයේ ලිපිනයකට යොමුකොට තිබුණ ද, එය රැගෙන යාමට පැමිණි තැනැත්තා පාදුක්ක ප්‍රදේශයේ අයෙකු හේතුවෙන් මෙම පාර්සලය ගලවා විමර්ශනය කර තිබෙනවා.

එම අවස්ථවේ දී යි මෙම අසුරනය තුළ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් (1) අයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (04) දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

***************************************

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට (2) ජනපතිගෙන් උපදෙස්

(04.03.2022 – 17:29 +0530 – hirunews.lk/sinhala)

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දී තිබෙනවා.

තරගකාරී ලෙස වී මිල දී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවටයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ දී යි, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වුණා.

‘වී සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලෙවිය පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම’ 1971 අංක 14 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත වී අලෙවි මණ්ඩලයේ දැක්මයි.

අතරමැදියන් ගෙන් තොරව වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින අවස්ථාවක වී තොග නිකුත් කිරීම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය රජය යටතේ 2017 සහ 2019 වසරවල වී ඇටයක හෝ ප්‍රමාණයක් මිලදීගෙන නොතිබීම, පරිභෝජනයට ගත හැකි වී තොග සත්ව ආහාර සේ සලකා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට ඉතා අඩු මුදලට ලබාදීම හේතුවෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුකර ඇති බව ද නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

වීවලට සාධාරණ මිලක් නොලැබීම, අතරමැදියන්ට කොමිස් මුදල් බෙදී යාම, වී මිල දී ගැනීමේ දී පනවා තිබූ කොන්දේසි, ගබඩා නිසි අයුරින් නඩත්තු නොකිරීම යන කරුණු හේතුවෙන් ගොවියා සහ වී අලෙවි මණ්ඩලය අතර සබඳතාව දුරස් වී තිබුණු බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

***************************************

මුදල් විශුද්ධිකරණයට වරාය නගරයේ කිසිදු ඉඩක් නොමැති බවට ප්‍රකාශයක්

(04.03.2022 – 17:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා.

‘වරාය නගරය සහ අනාගත ආර්ථිකය’ මැයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ඔහු විසින් මෙම අදහස් පළ කළා.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික, සාලිය වික්‍රමසූරිය සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍යය අංශය විසින් මෙහෙයවනු ලැබුවා.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරිම් කටයුතු 2022 වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු සම්පුර්ණ කිරීමට හැකියාව ඇති බව ද අනාවරණය කෙරුණා.

මේ වන විට මූල්‍ය කළමනාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචිකිරීම හා අදාළ නීති රෙගුලාසි සම්පූර්ණ කර ඇති අතර, පරිසර හිතකාමී සහ මනා සැලැස්මක් සහිතව වරාය නගරය දියුණුකිරීම හා අදාළ සංවර්ධන රෙගුලාසි සම්පුර්ණ කර ඇති අතර ඒවා ඉක්මනින් ගැසට් මඟින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ද අවධාරණය කරනු ලැබුවා.

ඉන් පසුව, ඕනෑම ආයෝජකයෙකුට අදාළ නීති – රීතිවලට අනුව ආයෝජනය කළ හැකියි.

වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන, වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට යටත් වනු ඇති.

ආයෝජනය චීන සමාගමක් විසින් සිදු කළ ද එම භුමිය කිසිදු විදේශ රටකට අයත් නොවන අතර බදු පදනම මත එහි ඉඩම් ඕනෑම රටක සමාගමකට ලබාගැනීමේ හැකියාව ද පවතිනවා ෴

***************************************

මාතර පරෙවි දූපතට යන පාලම කඩා වැටෙයි

(04.03.2022 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මාතර පරෙවි දූපතෙහි පිහිටා ඇති උපෝසතාගාර විහාරයට යන වැල් පාලම කඩා වැටීමෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම පාලම කඩා වැටී ඇත්තේ අද (04) බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ පිරිස මාතර රෝහලට ඇතුළත් කෙරුණා.

කලක සිට මෙම පාලම දැඩි ලෙස අබලන්ව පැවතුණා.

අද (04) සවස 04:30 ට පමණ මෙම පාලම කැඩී මුහුදට වැටී තිබෙනවා.

මෙම පාලම අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරගේ උපදෙස් මත නිර්මාණය වූවක්.

කෙසේවෙතත්, පසුගිය වසරේ ජනවාරි මස 16 වැනි දින ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක, කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ සමග පිළිසකර කළ යුතු තත්ත්වයක පවතින මාතර වැල් පාලමේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයට ගිය බව නිපුන රණවක මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබෙන අයුරු දැක්වෙන සටහනක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාහි සංසරණය වෙනවා.

එහි මන්ත්‍රී රණවක සඳහන් කර ඇත්තේ, දැඩි ලෙස අබලන් වී ඇති අදාළ පාලමෙන් වැටී බොහෝ පුද්ගලයින්ට අනතුරු සිදුව ඇති අතර, එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර නව පාලමක් ලබාදීමට කටයුතු කරන බව යි.

උපෝසතාගාර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් මෙම අබලන් පාලම ගැන තමන්ට දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව අමාත්‍ය චමල් රාජපක්ෂ සමග එම පාලම නිරීක්ෂණය කිරීමට ගිය බව ෆේස්බුක් ගිණුමෙහි සඳහන්.

මාතර වැල් පාලම නිරීක්ෂණයට ලක්වී වසරක් ගතවීමෙන් පසු අද (04) පස්වරුවේ මෙලෙස පුද්ගලයින් සමග මහමුහුදට කඩා වැටෙනා තෙක් වගකිව යුතු බලධාරින්ගේ වැහැරී ගිය පාලන තන්ත්‍රය මර නින්දේ සිටියා දැයි ඇසිය යුතු ප්‍රශ්නයක්.

මෙවන් තත්ත්වයක් මත මාතර වෙරළ උද්‍යානයට යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපතට) පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරිට උපදෙස් දී තිබෙනවා.

රන් දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පැවතුණු අතර, අද එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිවරයාට දැනුම්දෙනු ලැබුවා.

සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් හෙට (05) පෙරවරුවේ එම ස්ථානයට යාමට නියමිත අතර පාලමේ ඉදිකිරීම් මාස 06 ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.

++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *