*********************************************
ප්රශ්නය ඔඩු දුවලා ඉවරයි.. තවත් හංගන්න බෑ… ජනතාව කැරලි ගැසීම කිසිවෙකුට නවත්වන්න බෑ.. – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල
(03.03.2022 – 14:10 +0530 – lankacnews.com)
‘මුළු රටම හරිමගට’ යනු පුද්ගලයන් දිනවන ව්‍යාපාරයක් හෝ පක්ෂ රජකරවන ව්‍යාපාරයක් නොව මව්බිම දිනවන ව්‍යාපාරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය.
ඒ මහතා මේ බව සදහන්කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ‘මොනාක් ඉම්පීරියල්’ ශාලාවේ දී 2022.03.02 දින පැවති ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්රකාශනය එළිදැක්වීම අවස්ථාව හා එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා මෙසේ ප්‍රකාශකර සිටියේය :
ජාතියේ තීරණාත්මක මොහොත
අපි අද මේ හමුවන්නේ ජාතියේ තීරණාත්මක මොහොතකයි. අපේ අධිෂ්ඨානය අපේ හැකියාව හඳුනාගන්නට අප ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තබා ඇති මොහොතකයි. මිත්‍රවරුනි මම දකින ආකාරයට නිදහස් ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අභියෝගයයි අද අප හමුවේ තියෙන්නේ. කොටි ත්‍රස්තවාදය පුංචි මී පැටියෙක් බවට පත්කරන දැවැන්ත අභියෝගයක් ඉදිරියේ අපි ඉන්නේ.
අද අභියෝගයේ දිග පළල ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පාරට බැස්සම දකින දිග පෝලිම්, කඩේකට ගියාම හිඟ වෙලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ, රෑට විදුලි එළිය වෙනුවට අපි හොයාගෙන ආ අඳුර මේ අර්බුදයේ දිග පළල අපේ පසිඳුරන්ට ම හොඳට දැනෙන්න සලස්වනවා. අපිට මේ අඳුරු වලාවන් අතරින් රිදී රේඛාවක් මතුකර ගත හැකිද ? මේ අඳුරු බිංගෙයි කෙළවරක ආලෝකයක් මතු කරගත හැකිද ? මේ අභියෝගයට අභියෝග කිරීමේ හැකියාව අප සතු ද ? අපි මේ අභියෝගයට විසඳුම කුමක් දැයි සොයා බලන්න වත් කටයුතු කර තිබේද ?
අද අප දකින්නේ එක පැත්තකින් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බලවේගයන්; තව පැත්තකින් විදුලිය කපන තැනට ගිහිල්ලා ඉටිපන්දම් බෙදාදෙන, ඖෂධ හිඟයක් තියෙන පළාත් වලට ගිහිල්ලා පැනඩෝල් පෙති බෙදාදෙන බලවේගයන්. විවේචනය වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදි නම් හරි මග කුමක්දැයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ. මෙන්න මේ ප්රශ්නය අපි විසඳ ගන්න ඕනේ. ප්රශ්නය විසඳන්න නම් මුලින්ම ‘අපි ඉන්නෙ ප්‍රශ්නෙක’ කියලා දැනගන්න ඕනේ. තාම අපි ඒකට ලෑස්තිද?
සඟවා තබන්න උත්සහ දැරූ අර්බූදය
මිත්‍රවරුනි 2021 ජූනි මාසේ 12 සාගර කාරියවසම් මැතිතුමාට පිළිතුරු දෙන්න තිබ්බ මාධ්‍ය හමුවක මම කිව්වා ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් ඉන්නවා කියලා. ඒ අර්බුදය මොකක්ද ඒ අර්බුදයේ දිග පළල මොකක්ද ? අර්බුදයට උත්තරය මොකක්ද කියලා අහනවා වෙනුවට තේ කෝප්පයේ කිඹුලන් දකිමින් ජනතාව බොරුවට බය කරනවා කරනවාය කියලා මට එරෙහිව අවලාද නැගීමයි උනේ. මේ අර්බුදය සඟවා තබන්නයි උත්සාහ කළේ.
මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මතක ඇති 2021 ජූලි මාසේ 18 වෙනිදා මට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් දවසේ ජනාධිපති මන්දිරයේ තිබුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් නුදුරු අනාගතයේ රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය ගැන කිව්වම ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් නැගිටලා කිව්වා ‘විදේශ විනිමය අර්බුදයක් නැහැ; මේ තියෙන්නෙ රාජ්‍ය බැංකු දෙකේ නිලධාරීන් කරන මගඩියක්. මේ ප්රශ්නය අපි සති දෙකක් ඇතුළත විසඳනවා’ කියලා. අනේ සති දෙකෙන් ප්‍රශ්න ඉවර වෙනවා නම් කොච්චර හොඳද කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා උඩ පැනලා අත්පුඩි ගැහුවා. දැන් මේ ප්රශ්නය මෝරලා ඉවරයි. ඔඩු දුවලා ඉවරයි. තවදුරටත් මේක හංගන්න බෑ.
විසඳුම කුමක්ද ?
ඒ නිසා අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක් ඉදිරියේ කියන එක පිළිගැනීම තමයි මේ අර්බුදය විසඳීමේ පළවෙනි කොන්දේසිය. අපි මේ ප්රශ්නය පිළිඅරගෙන මදි. මේ ප්‍රශ්නෙට විසඳුම් මොනවද කියලා ජනතාවට කියන්න ඕන. වැඩපිළිවෙළක් ජනතාවට ගේන්න ඕනේ. නැත්තං මේ අඳුරේ අතපත ගගා ඉන්න ජනතාව අඳුරේ ඔබ මොබ යන ජනතාව අපේක්ෂා භංගත්වයට පත් වුනොත් ජනතාව කැරලි ගහන තැනකට තල්ලු වීම කාටවත්ම නවත්තන්න බැරි වෙනවා.
ඒ නිසා වහ වහාම අර්බුදය ගැන කියන්න. අර්බුදයේ දිග පළල කියන්න. අර්බුදයේ විසඳුම කියන්න. විසඳුම ක්‍රියාත්මක කරන එක ආණ්ඩුවකට තනියම බෑ. සමස්ත ජාතියම ඒකත් එක්ක ගැට ගහ ගන්න ඕනේ. ඒ සඳහා ආණ්ඩුව ජනතාවට කතා කරන්න ඕනේ. ඒ අඩුපාඩුව තමයි අද අපි දකින්නේ.
පසුගිය වසරේ අපි ඩොලර් මිලියන 21,000 ආනයනයට වියදම් කරල තියෙනවා. ඒක ඉතිහාසයේ දැවැන්තම මුදලක්. මෙතරම් දැවැන්ත ඩොලර් මිලියන 21,000 මුදලක් ඉක්මවලා කවදාවත් අපි වියදම් කරල නැහැ. හැබැයි අපි ඒකෙන් අත්‍යවශ්‍ය ඉන්ධන වලට වියදම් කරල තියෙන්නෙ ඩොලර් මිලියන 3800. ඖෂධ සඳහා වියදම් කරල තියෙන්නෙ ඩොලර් මිලියන 883. හැබැයි මහ බැංකුව කියන විදියට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 6000 ක් වියදම් කරලා තියෙනවා. විදේශ විනිමය සීමිත නම් අපි මේක කළමනාකරණය කරගන්න ඕනේ. ප්‍රමුඛතා මොනවද කියලා හඳුන ගන්න ඕනේ. අද සිදු කරල නැත්තෙත් ඒකමයි. අපිට වැදගත් මොකක්ද කියලා හොයා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඇපල් දොඩම් මිදි විතරක් නෙමෙයි පානීය ජල බෝතල් පවා පිටරටින් ගේන්න මේ විදේශ විනිමය අර්බුදය මැද්දේ අපි කටයුතු කරලා තියෙන්නේ.
ඇපල් දොඩම් මිදි පිටරටින් ගෙන එනවා කියලා විවේචනයක් කළහම මගෙන් අහනවා ප්‍රබල කෙනෙක් ‘සංචාරක ව්‍යාපාරයට ඇපල් දොඩම් මිදි ඕනේ කියලා දන්නෙ නැද්ද’ කියලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක් පැය 11 ක් ගුවන් යානයක නැඟලා ලංකාවට එන්නේ ඕස්ට්‍රේලියාවෙ වත්තක මීට මාස හයකට කලින් කඩල පරණ කරපු ඇපල් ගෙඩිය කාල යන්න නෙමෙයි. ඇපල් තියෙනවද කියලා අසාවි. ඇපල් නෑ කියලා අපි ගම්බිරිස් කුඩු ටිකක් දාලා හොඳ වරක මදුලක් දුන්නොත් ආසාවෙන් කාලා අපේ වරක වලට අලුත් වෙළෙඳපොළ කුත් හදාවි. හැබැයි සුද්දට තමන්ගෙ රටේ තියෙන අත්දැකීම නම් මේ රටේදිත් ලබාදෙන්නෙ මොකටද ලංකාවට එන්නේ.
ඒ නිසා අපේ මේ චින්තනයෙ ප්‍රශ්නයක් තියනවා. අද අපේ ප්‍රමුඛතා හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම විදේශ විනිමය සීමිත නම් මුලින්ම වෙන් කරන්න ඕන ඖෂධ සඳහා. දෙක ඉන්ධන සඳහා. තෙවනුව කර්මාන්ත අමුද්‍රව්‍ය සඳහා. එහෙම නැතුව හිතෙන හිතෙන ඕන දෙයක් ගේන්න ඉඩ දීලා ආනයන අධෛර්යමත් නොකිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ.
අද හෝටල් කාමරයේ සංචාරකයා ආවම ඇතිවෙන්න ඇපල් ගෙඩි තියල තියනවා. හැබැයි දවසෙන් පැය හතක් ඒ විදේශිකයා ඉන්නේ අදුරේ. ඒ විදේශිකයා කැමතිම චීස් ජාතිය කන්න දීලා තියෙනවා. හැබැයි සංචාරකයා ආවේ සංචාරණය කරන්න වුණත් ඉන්ධන නැති නිසා සංචාරයේ ආපු දවස් දහයම හෝටල් කාමරයේ හිර වෙලා එයාට ඉන්න සිදුවෙනවා නම් සංචාරකයා යළි මෙරටට ඒවිද ? ඒ නිසා අපේ ප්‍රමුඛතා හඳුනා නොගැනීම තමයි මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් වෙන්නේ. අද (02) නම් භාණ්ඩාගාර ලේකම් තුමා කිව්වා ආනයන භාණ්ඩ හයසීයක් (600) පමණ අධෛර්යමත් කිරීමට අවශ්‍ය කරන ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කරනවා කියලා. අපි දැන් බොහොම ප්‍රමාදයි. කාලය ගත වෙලා ඉවරයි. නමුත් පරක්කු වී හෝ ඒ තීන්දුව ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕන.
ආණ්ඩුව තුල සංවාදයකට ඉඩක් නැද්ද ?
අද අපි මේ ‘මුළු රටම හරිමගට’ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කතා කරන්නේ, අපි විදේශ විනිමය උපයන්නේ කොහොමද – තියන විදේශ විනිමය ඉතිරි කර ගන්නේ කොහොමද – ඒ වගේම මේ අර්බුදය මැද මිරිකෙන තැලෙන පොඩිවෙන ජනතාවට සහන සලසන්නේ කොහොමද කියන එක. අපි මේ පිළිබඳව ආණ්ඩුව තුළ සංවාදයක් ඇති කරගන්න උත්සාහ කළා. එයට අප අසමත් වුණා. ඒ නිසා මේ සංවාදය ජනතාව ඉදිරියට අපි අරගෙන ආවා. මේ අභියෝගය අපි හැමෝටම ආපසු හැරිලා බලන්න ලබාදුන්න ස්වර්ණමය අවස්ථාවක්. ඒ නිසා අපේ අද උත්සාහය වෙන්නේ අපේ මෙතෙක් පැවතිච්ච සංස්කෘතිය වෙනස් කරගෙන වවන්න පුළුවන් හැමදේම වවන්න – හදන්න පුළුවන් හැමදේම හදන්න – සිරිලක දේ සිරි සැප දේ කියන්න දේශීය සංස්කෘතියක් යළි මේ රට තුළ ඇතිකරන්න.
මේ බිඳ වැටෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි; මේ බෙලහීන වෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි; අපේ ආදරණීය මව්බිම. මේ ප්රශ්නය ඇති කරන්නට මේ රටේ 1955 සිට තිබුණු සෑම ආණ්ඩුවක් ම වගකිව යුතුයි. ඒ නිසා මව්බිමට ආදරය කරන කෙනෙක් මේ මව්බිමේ කොහේ හෝ ඉන්නවනම්, නිල්පාට වේවා රතුපාට වේවා කොළපාට වේවා ගුරුපාට වේවා මේ මව්බිම රැක ගැනීමේ අරගලය වෙනුවෙන් මව්බිම හරි මගට ගෙන ඒමේ අරගලය වෙනුවෙන් එකතු වීමට කාලයයි. ඒ නිසා ඉදිරියේදී අපි මේ ගොඩනඟන්නේ පුද්ගලයන් දිනවන ව්‍යාපාරයක් නොවෙයි; පක්ෂ රජකරවන ව්‍යාපාරයක් නෙවෙයි; මව්බිම දිනවන ව්‍යාපාරයක්. අන්න ඒ ව්‍යාපාරයට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා ෴
++++++++
++++++++
***************************************
ලිත්‍රො-ලාෆ් ගෑස් තොග ඉවරයි.. ගේන්න ඩොලර් නෑ.. වෙලදපලේ ගෑස් හිගයක්..
(03.03.2022 – 15:00 +0530 – lankacnews.com)
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නැවතත් වෙළෙඳ පොලේ ගෑස් හිගයක් මතුව තිබේ.
ලිත්‍රො හා ලාෆ් ගෑස් සමාගම් පවසන්නේ ගෑස් මිලදී ගැනීමට ණයවර ලිපි සදහා ඩොලර් නිකුත් නොකරන නිසා ගෑස් සැපයීම කල නොහැකි තත්වයට පත්ව ඇති බවයි.
දැනට ලිට්රෝ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා පමණක් බවද බව එම සමාගම කියයි.
ලාෆ් සමාගම පවසන්නේ තමන් සතුව නිකුත් කිරීමට ගෑස් නොග නැති බවයි ෴
***************************************
ප්‍රසිද්ද නළුවෙකු හා දේශපාලක බෑනෙකු රුපියල් කෝටි 130 ක හොර ගණුදෙනුවක… රහස් පොලිසියට මාට්ටුයි…
(03.03.2022 – 10:00 +0530 – lankacnews.com)
පසුගිය රජය සමයේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය වෙත මිලදී ගෙන ඇති රුපියල් මිලියන 1300 ක් වටිනා භාවිතයට ගත නොහැකි සන්නිවේදන උපකරණ ගනුදෙනුව පසුපස ප්‍රසිද්ධ නළුවෙකු හා ප්‍රබල දේශපාලකයෙකුගේ බෑනා කෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන ඇත.
2017 දී මිලදී ගත් මෙම උපකරණ තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩගසා ඇත්තේ ඒවායේ කාලය ඉකුත් වීම නිසාය. මේ වනවිට එම උපකරණ මිලදී ගත් ඊශ්‍රායල් සමාගමද වසා දමා ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත.
මෙම ගනුදෙනුවේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව උපකරණ මිලදීගෙන භාණ්ඩවල වටිනාකමෙන් සියයට අසූවක් (80%) ද මුදල් ගෙවා තිබීම විශේෂිතය.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙසින් සන්නිවේදන උපකරණ මිලදීගැනීමට ඒ කල සිටි හමුදාපතිවරු හා බුද්ධි ප්රධානීන්ගෙන්වත් කරුණු විමසා නොමැති බවද අනාවරණය කරගෙන ඇත.
මෙම දූෂිත ගනුදෙනුව ගැන සොයා බැලීමට පසුගිය වසරේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාරදී ඇත.
අරුණ
***************************************
පිටරට භාවිත කළ පොල්තෙල් ලංකාවේ ! ඉතා සූක්ෂම ජාවාරමක සුලමුල හෙළිවෙයි – මිලත් ඉහළට
(03.03.2022 – am.lk)
ඉන්ධන හිඟය දඩමීමා කරගෙන ඉතා සූක්ෂම ලෙස දේශීය හා විදේශීය පොල්තෙල් හිඟයක් රට තුළ මවාපාමින් එහි මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව වෙළෙඳ ප්‍රජාව පෙන්වා දෙනවා.
උත්සව සමය ආරම්භ වීමත් සමග මෙම පොල්තෙල් හිඟය රට තුළ මවාපෑම් වසර ගණනාවක් සිට සිදුකරගෙන එන බවත් එහෙත් කිසිදු පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති බවද දේශීය කර්මාන්තකරුවන් රටට අවශ්‍ය පොල්තෙල් තෙල් නිෂ්පාදනය කොට ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය කියා සිටියා.
විදේශීය රටවලින් ගෙන්වා මෙරට තුලදී පිරිපහදු කරන පොල්තෙල් කිලෝ කිලෝවක තොග මිල රුපියල් හයසිය අසූවක් හත්සීයක් (680 – 700) දක්වා ඉහළ දමා තිබෙන බවත් අවශ්‍ය පරිදි ඉල්ලුම් සඳහා පොල් තෙල් ලබා නොදීම නිසා රටපුරා පොල්තෙල් හිඟයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බව වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.
පොල්තෙල් හිඟය නිර්මාණයක්
දඹුල්ල නගරයේ තොග වෙළදාම් කරන ස්ථාන කීපයකට ගොස් ‘ඒෂියන් මිරර්’ වාර්තාකරු කළ විමසීමේ දී එහි වෙළඳුන් කියා සිටියේ දේශීය මෙන්ම විදේශීය පොල් තෙල් සඳහා විශාල ඉල්ලුමක් මේ දිනවල පැවතුනද අලෙවි කිරීම සඳහා පොල්තෙල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
මේ වන විට වෙළඳපොල තුළ පොල් තෙල් ලීටරයක් රුපියල් 660 ත් 700 ත් අතර මිලකට අලෙවි වන බව ද මීට පෙර පොල්තෙල් ලීටරයක් රුපියල් 600 ත් 550 ත් අතර මිලකට අලෙවි වූ බවත් මහා පරිමාණයෙන් මෙරටට තෙල් ගෙන්වන සමාගම් කීපයක් විසින් මෙම හිඟය ඇති කර තිබෙන බවද වෙළෙන්දන් අවධාරණය කරනවා.
මෙම පොල්තෙල් හිඟය පිළිබඳ වෙළෙන්දන් එසේ පවසද්දී පාරිභෝගික ජනතාව කියා සිටියේ ඉතා සූක්ෂම ලෙස මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ හිඟයක් මවාපාමින් මෙයාකාරයෙන් මිල වැඩි කර ගැනීමේ කූට උපක්‍රමයක් පවතින බවයි.
කවලම් පොල්තෙල්
පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ගෙන් ‘ඒෂියන් මිරර්’ කළ විමසීමේදී කියා සිටියේ පිටරට වලින් ගෙන්වා මෙරට පිරිපහදු කොට නැවත දේශීය පොල්තෙල් වලට කලවම් කොට අලෙවි කිරීමේ ජාවාරමක් එක්තරා කණ්ඩායම්ක් සිදුකරන බවයි.
ඒ සඳහා රජය අවධානය යොමු කළ ද කිසිදු පලක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම දේශීය කර්මාන්තකරුවන් වසර ගණනාවකට පසුව රටටම අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කොට තිබෙන බවත් ඒ සඳහා වෙළෙඳ පොළ අහිමි කරමින් දේශීය පොල්තෙල් කර්මාන්තය විනාශ කිරීමේ යළි පණගැන්වෙන ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද බුද්ධික ද සිල්වා මහතා කියා සිටියා.
විදේශ රටවල් එක්වරක් පමණක් පාවිච්චි කර ඉවත්කරන තෙල් වර්ග මෙරටට නැව් මඟින් ගෙන්වා ඒවා පිරිපහදු කර නැවත දේශීය පොල්තෙල් සමඟ කලවම් කොට දේශීය නැවුම් පොල්තෙල් ලෙස ජනතාව රවටා අලෙවි කිරීම් නිසා මහජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා තිබෙන බවද බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළා.
පැය විසි විසිහතරක් ඇතුළත දිවයිනේ ඕනෑම තැන්කට දේශීය පොල්තෙල් ලබා දීමට තම නිෂ්පාදකයන් කැමැත්තෙන් සිටින බව පැවසූ ඒ මහතා රජය ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව ද වැඩිදුරටත් කියා සිටියා ෴
***************************************
ඔස්ට්‍රේලියාවේදී දැරියන්ට නොමනා යෝජනා කළ මහනුවර තරුණයා සිපිරිගෙට
(03.03.2022 – 15:40 +0530 – sinhala.adaderana.lk)
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික සිසුවෙකුට වසර 13 ක සිරදඬුවම් නියම කර තිබේ.
මෙලෙස සිර දඬුවම් නියමකර ඇත්තේ ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකුටය.
සැකකාර ශ්‍රී ලාංකික තරුණයාට චෝදනා එල්ලවී ඇත්තේ බාලවයස්කාර දැරියන්ට කළ තර්ජනයක් සම්බන්ධයෙනි.
එහිදී මෙම තරුණයා විසින් බාලවයස්කාර දැරියන් කිහිපදෙනෙකුට තර්ජනය කර ඇත්තේ තමන් වෙත ඔවුන්ගේ නිරුවත් ඡායාරූප එවන ලෙසටය.
එසේ නොකළහොත් තමන් විසින් ව්‍යාජ ඡායාරූප ගෙන සකස්කර ඒවා එම දැරියන්ගේ මිතුරන්ට හා ඥාතීන් වෙත යොමුකරන බවට සැකකරු තර්ජනය කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 වසරේදීය.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියන්ට පවා මෙලෙස තර්ජනය කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අදාළ සැකකරු සම්බන්ධයෙන් නඩු තීන්දුව වික්ටෝරියා අධිකරණයක් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී සැකකාර තරුණයාට වසර 13 ක සිර දඬුවමක් නියම කර ඇත.
ඒ අනුව අදාළ සිර දඬුවම අවසානයේදී සැකකාර තරුණයා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴