බයිඩ්න් ජාතිය අමතයි – රුසියානු යානාවලට ඇමරිකානු ගුවන් කලාපයත් තහනම්

බයිඩ්න් ජාතිය අමතයි – රුසියානු යානාවලට ඇමරිකානු ගුවන් කලාපයත් තහනම්

*********************************************

බයිඩ්න් ජාතිය අමතයි – රුසියානු යානාවලට ඇමරිකානු ගුවන් කලාපයත් තහනම්

(02.03.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කලේ අද (02) එරට මන්ත්‍රණ සභාවේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදුවන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවයි.

මේ අතර කැනඩාව ද සිය ගුවන් කලාපය රුසියානු ගුවන් යානා සඳහා තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර පැවැත්වෙන සාම සාකච්ඡාවල දෙවන (2) වටය අද (02) බෙලරුසියානු දේශසීමාව ආසන්නයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එවන් පසුබිමක යුක්රේනයේ දෙවන (2) විශාලම නගරය වන කාර්කිව් නගරයට ගුවනේ සිට පැරෂුට් භාවිතයෙන් පිවිස ප්‍රහාර එල්ල කිරීමේ ගුවන් හමුදා භට පිරිස් යෙදවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

රුසියානු හමුදා මේ වන විට යුක්‍රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින අතර කාර්කිව් මෙන්ම චාර්නෝවිල්, සූමි, ලූහන්ස්ක්, ඩොනෙට්ස්කි, මරියුපෝල සහ කේසෝන් ඇතුලු ප්‍රධාන නගර රැසක රුසියානු භටපිරිස් ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සයිබීරියාවේ හිමෙන් වැසී ගිය වනාන්තර කලාපය තුල ද රුසියානු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල රැගත් හමුදා භටපිරිස් ස්ථාන ගත කර තිබෙනවා.

එමෙන්ම රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන යුද අභ්‍යාසයක් සඳහා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒවා රුසියානු ආක්ටික් සාගර කලාපයට පිටත්ව ගොස් ඇති බව සඳහන්.

යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ප්‍රධාන රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණකට රුසියානු හමුදාව එල්ල කල ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රහාරයෙන් යුක්‍රේන රාජ්‍ය රූපවාහිනි නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රහාරයෙන් කීව් අගනුවර විදුලි ජනන පද්ධතියක්ද විනාශ වී ඇති බව සඳහන්.

කීව් අගනුවර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මගින් කීව් අගනුවර වෙසෙන යුක්රේන ජනතාවට ඊයේ (01) රාත්‍රියේ අනතුරු අඟවා තිබූණා.

ඒ අනුව අගනුවර – තාක්ෂණ මධ්‍යස්ථානය සහ ඒ අවට සිටින ජනතාවට ඉවත්වන ලෙසයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ.

එමෙන්ම මධ්‍යම කාර්කිව්හි ගොඩනැගිල්ලක් ඉලක්ක කර රුසියානු හමුදාව එල්ල කල රොකට් ප්‍රහාර වලින් පමණක් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර නගරය විනාශ වී තිබෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පවතින තත්වය හමුවේ යුධ තත්වයේ නිමාවක් නොමැති වුවහොත් යුක්‍රේනයේ මිලියන 70 කට අධික පිරිසක් එරට හැර යනු ඇති බවයි.

රුසියාව යුක්රේනයට පොකුරු බෝම්බවලින් පහර දෙන බවට යුක්රේනයේ හමුදාව තොරතුරු අනාවරණ කරගෙන ඇති බව ඇමරිකාව පවසනවා.

කෙසේ වෙතත් පොකුරු බෝම්බ යොදා ගනිමින් පහර දෙන බවට රුසියාව මෙතෙක් තහවුරු කර නැහැ.

එමෙන්ම විවේචනාත්මක පුවත් සහ තොරතුරු වාර්තා කල රුසියානු ගුවන් විදුලි නාලිකාවක විකාශන අත්හිටුවීමට රුසියානු රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙරට සංචාරයට පැමිණ ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් සිරවී සිටින යුක්‍රේන ජාතිකයන් පිරිසක් අද (02) කොලඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ රුසියානු – යුද්ධය නිමා කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරමින්. එහිදී යුක්‍රේන වැසියන්වැඩිදුරටත් කියා සිටියේ මෙරට සිරවී සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට මෙරට රජය ගත් පියවර වෙනුවෙන් සිය කෘතඥතාවය පල කරන බවයි ෴

++++++++++

බෙලරූස් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවරක්

(02.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ට සහ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එහි විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් 1500 කට ආසන්න පිරිසකගේ දෙමාපිය එකමුතුව අද (02) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවී සිදු කළ ඉල්ලීමකට අනුවයි.

අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කරමින් අධ්‍යයනය කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීම සහ රුසියානු වීසා බලපත්‍ර ලබා ගනිමින් එම සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහි දී උපදෙස් දී තිබෙනවා ෴

++++++++++

රුසියානු පැරශුට් භටයින් කාර්කිව් නගරයට කඩා වදියි

(02.03.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

රුසියානු පැරෂුට් භටයින් බටහිර යුක්‍රේනයේ කාර්කිව් නුවරට මේ වන විට ගොඩ බැස ඇති බව යුක්රේන හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ දක්වා කාර්කිව් නගරයට එල්ල කරන ලද ෂෙල් සහ රොකට් වෙඩි ප්‍රහාර හේතුවෙන් අවම තරමින් පුද්ගලයින් විසි එක් දෙනෙකු (21) මියගොස් තවත් 116 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්‍රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් නගරයේ නගරාධිපතිවරයා පවසා සිටියේ.

මේ වන විටත් නගරයට දස දෙසින් එල්ල වන ෂෙල් සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන පෙළේ ගොඩනැගිලි රැසකට බරපතළ හානි සිදු වී ඇති අතර කාර්කිව් පොලිස් මූලස්ථානයට ද බරපතල හානි සිදුවී ඇත්තේ එය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරය වැටලීම සඳහා පැමිණෙමින් සිටින රුසියානු හමුදාවන්ගේ ගමන තරමක් අඩාල වී ඇති බවයි.

ඔවුන් කිව් අග නගරය අත්පත් කර ගැනීමට පෙර කාර්කිව් නගරයේ පාලනය සියතට ගැනීමට සැලසුම් කර ඇති බවට වාර්තා වන අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් යුරෝපයේ යුධ හැකියාව අවතක්සේරු කර ඇති බවයි.

මේ වන විට යුක්රේනයෙන් එල්ල කෙරෙන ප්‍රබල ප්‍රතිරෝධය ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිරෝධයක් බවත් එලෙසින්ම බටහිරින් යුක්‍රේනය වෙත මෙවන් සහයෝගයක් ලැබෙතැයි ඔහු අපේක්ෂා නොකළ බවත් ජෝ බයිඩන් සිදු කළ ප්‍රකාශයේ සඳහන්.

මේ අතර සියලුම රුසියානු ගුවන් යානා සඳහා ඇමරිකානු ගුවන තහනම් කලාපයක් කිරීමටත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ කිව් නගරයට නැගෙනහිරෙන් පිහි පිහිටි තවත් කුඩා නගරයක් වන සයිටොමිර් නගරයටත් අඛණ්ඩව රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයන් එල්ල කෙරුණා.

මෙම නගරයේ පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු මෙම ප්‍රහාර හමුවේ අවම තරමින් සිවිල් පුද්ගලයින් දෙදෙනකු (2) මියගොස් තවත් 16 දෙනෙකු වත් තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හංගේරියානු අඩු වියදම් (budget) ගුවන් සේවාවක් වන ‘විස් එයාර්’ ගුවන් සේවාව යුක්රේන් සරණාගතයන් ලක්ෂයක් (100,000) සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ සහ මුහුණු පොතේ සඳහන් කරමින් එම ගුවන් සේවය පෙන්වා දී තිබුණේ යුක්‍රේන් සරණාගතයින් කෙටි දුර ගමන් වාර සඳහා රැගෙන යාමට මෙම අවස්ථාව අදාල වන බවයි.

රුසියාවේ විශාලතම පෞද්ගලික බැංකු පද්ධතියක් වන ස්බර් බැංකුව යුරෝපයේ ඔවුන්ගේ සියලුම ශාඛා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ යුරෝපා සංගම් මහ බැංකුව විසින් ඔවුන්ගේ බැංකු පද්ධතිය වසා දමන ලෙස සිදුකළ නියෝගයයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ස්බර් බැංකුව පවසන්නේ තවදුරටත් යුරෝපයේ පිහිටා ඇති ඔවුන්ගේ බැංකු ශාඛා වෙත මුදල් සැපයීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවයි.

කෙසේ වෙතත් එම ශාඛා සතුව ඇති ඔවුන්ගේ වත්කම් හරහා මෙම බැංකුවේ තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීමට හැකියාව ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා.

යුක්රේන රුසියා අර්බුදය හමුවේ රොකට්ටුවක වේගයෙන් ඉහළ යන තෙල් මිල අද (02) වන විට බැරලයක් ඇමරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගියා.

මෙය ලෝක තෙල් වෙළඳපලේ වසර 7 කින් පසු වාර්තා වූ වැඩිම මුදල ද වනවා.

මේ අනුව බ්‍රෙන්ට් ලෝක තෙල් වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 110 ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 82 ක් වශයෙන්.

කෙසේ වෙතත් මෙම හදිසි තෙල් මිල ඉහළ යෑම වාර්තා වූයේ ලෝක බලශක්ති සංවිධානයේ සාමාජිකයන් විසින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා බොරතෙල් බැරල් මිලියන හැටක් (60) මුදාහැරීමට තීරණය කිරීමත් සමඟ වීම විශේෂත්වයක් ෴

++++++++++

රුසියානු යුක්රේන යුධ ගැටුම අපිට වාසි වෙන හැටි

(02.03.2022 – 17:37 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්රේන යුධ ගැටුම පිටු පස සිටින්නේ ඇමරිකාව බව රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග පවසනවා.

යුක්රේනය අද මේ තත්වයට පත්ව සිටින්නේ ඇමරිකාවේ ලනු ගිලලා බවද ඔහු පෙන්වා දෙනවා.

හිරු ප්‍රවෘති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.

යුක්රේන ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ රුසියාව තමන්ට ප්‍රහාරයක් එල්ල කරනවිට ඔවුන් සමඟ බටහිර රටවල් සිට ගනීවි කියලයි නමුත් තවමත් බටහිර රටවල් ඔවුන්ට උදව්කර නොමැති බව පෙන්වා දෙන උදයංග වීරතුංග මෙම ගැටුම ඉක්මනින් අවසන් නොවෙන බවද පෙන්වා දෙනවා.

තුන්වන (3) ලෝක යුද්ධයක් දක්වා මෙම ගැටුම වර්ධනය වෙයිද? මෙම ආරවුලෙන් ලංකාවට තිබෙන වාසියක් පිළිබඳව ද උදයංග හිරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කළා.

යුක්රේනයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වීමට ඔහු මැදිහත් වුණු හේතුව සහ ඒ හරහා ඔහුට ලැබෙන ආදායම පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

පසුගිය රජය කාලයේ උදයංග වීරතුංග ට එරෙහිව ගොනු කෙරෙමින් පැවති මිග් යානා ගණුදෙනුව සම්බන්ධ නඩුව යට ගිය හැටිද මෙම සාකච්ඡාවේදී වැඩි දුරටත් හෙළිදරව් වුණා.

++++++++++

රුසියාව යනු පූටින් නොවන බව සිරගත කළ විපක්ෂ නායක කියයි

(02.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

රුසියාව යනු පූටින් නොවන බව සිරගත කර සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි පවසනවා.

ඔහු ජනතාවට ආරාධනා කර සිටින්නේ දිනපතා යුක්රේන ආක්‍රමණයට එරෙහිව වීථිවලට පිවිස විරෝධතාවයේ නිරත වන ලෙසයි.

රුසියාව යනු සාමකාමී රටක් බවත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හමුවේ රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ විනාශ වෙමින් පවතින බවත් ඔහු පවසනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දින 07 ක් ගතවද්දී යුක්රේනයේ කර්සන් නගරයේ බලය අත්පත් කර ගැනීමට රුසියානු ආරක්ෂක අංශ අද සමත් වුණා.

කෙසේ වෙතත්, කර්සන් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙතෙක් නගරයේ බලය අත්පත් කර ගැනීමට රුසියාවට හැකියාව නොලැබුණු බවයි.

එසේම, යුක්රේනයේ කාර්කිව් නුවරට රුසියානු පැරෂුට් භටයින් අද (02) ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙපාර්ශවය අතර එහි දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ.

සැතපුම් 40 ක දිගින් යුතු රුසියානු හමුදා බලඇණිය මේ වනවිට කීව් අගනුවරට උතුරු දෙසින් සැතපුම් 40 ක දුරින් ස්ථානගතව පවතිනවා.

මේ වනවිට යුක්රේනයේ සිට සරණාගතයින් ලෙස පුද්ගලයින් 4,50,000 ක් පමණ පෝලන්තයට පැමිණ ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට පුද්ගලයින් අට (8) ලක්ෂයක් පමණ යුක්රේනය අතහැර වෙනත් රටවලට පැමිණ ඇති බවයි.

තුන්වන ලෝක යුද්ධයක් න්‍යෂ්ටික සහ විනාශකාරී එකක් වනු ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද ප්‍රකාශ කළා.

එවන් පසුබිමක න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානම හමුවේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

මේ අතර, දේශසීමා 4 ක් හරහා යුක්රේනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු එරටින් පිටත්වී ඇති බව යුක්රේනයේ කටයුතු සොයා බලන තුර්කියේ මෙරට තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

යුක්රේන – හංගේරියා, යුක්රේන – ස්ලෝවැකියා, යුක්රේන – පෝලන්ත සහ යුක්රේන – රුමේනියා දේශසීමා වලින් මොවුන් පිටවී තිබෙනවා.

කෙසේ වෙතත්, තවත් 30 දෙනෙකු පමණ යුක්රේනයේ රැදී සිටින අතර, ඔවුන් එරටින් පිටවීමට අපේක්ෂාවෙන් සිටින බවට මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැති බවයි තුර්කියේ මෙරට තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ෴

++++++++++

බෙලරුස් හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නිවේදනයක්

(02.03.2022 – 21:37 +0530 – hirunews.lk/sinhala)

බෙලරුස් හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි අතර ඕනෑම තොරතුරක් ලබා ගැනීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 ම ක්‍රියාත්මක ( 00 79801445726 ) මෙම දුරකථන අංකය හරහා තොරතුරු දැනගත හැකියි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *