වසර 26 කට පසු අද (02) පැය හතහමාරක් (7½) රටම අඳුරේ

වසර 26 කට පසු අද (02) පැය හතහමාරක් (7½) රටම අඳුරේ

*********************************************

වසර 26 කට පසු අද (02) පැය හතහමාරක් (7½) රටම අඳුරේ

(02.03.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

වසර 26 කට පසු පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද (02) දිනයේ පැය හතහමාරක (7½) කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැය පහක් (5) සහ රාත්‍රී කාලයේ පැය දෙකහමාරක (2½) කාලයක් ලෙස අදියර දෙකක් (2) යටතේ විදුලි කප්පාදුව සිදු වනු ඇති.

බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මීට පෙර දෛනික ව මෙවැනි දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබුවේ 1996 වසරේ දී බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා සතියක් ඇතුළත මුදල් ප්‍රතිපාදන වෙන් නො කරන්නේ නම් මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට එරෙහි ව නඩු පවරන බවයි.

මෙවන් තත්වයක් තුළ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, විදුලි බලාගාර සඳහා මසකට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ඍජුව ම මිල දී ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර ඊයේ (01) දිනයේ ද ඉන්ධන නොමැති කමින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා.

සංස්ථා ඉන්ධනහල්වල මෙන්ම අයි.ඕ.සී. පිරවුම්හල්වලද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

කෙසේ වෙතත් ඩීසල් මෙටි්‍රක් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් අද (02) පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් රැගත් නෞකාවක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර, එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ (01) වනවිටත් සිදු කරමින් පැවතුණා ෴

+++++++

අඛණ්ඩ විදුලි සැපයුමකට ජනපතිගෙන් සහතිකයක්

(02.03.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමට සහ සාමාන්‍ය ජනතාවට සහතික වෙමින් ඔහු මේ බව කියා සිටිනවා.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව වගබලා ගන්නා බව යි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.

මේ අතර වසර හතකට පසු බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 110 ක් ලෙස ඉහල අගයක සටහන් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

+++++++

වසර 7 කට පසු බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ට ළං වෙයි – ඉන්ධන පෝලිම් නිසා රථ වාහන ධාවනයටත් බාධා

(02.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන රුසියා අර්බුදය හමුවේ රොකට්ටුවක වේගයෙන් ඉහළ යන තෙල් මිල අද (02) වන විට බැරලයක් ඇමරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගියා.

විදෙස් වාර්තා සඳහන් කළේ රුසියානු – යුක්රේන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මෙලෙස ඩොලර් 110 දක්වා ඉහළ ගොස් ඇත්තේ වසර 07 කට පසුව බවයි.

මේ අනුව බ්‍රෙන්ට් ලෝක තෙල් වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 110 ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 82 ක් වශයෙන්.

මෙම හදිසි තෙල් මිල ඉහළ යෑම වාර්තා වූයේ ලෝක බලශක්ති සංවිධානයේ සාමාජිකයන් විසින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා බොරතෙල් බැරල් මිලියන හැටක් (60) මුදාහැරීමට තීරණය කිරීමත් සමඟ වීම විශේෂත්වයක්.

මේ අතර ඩීසල් හිඟය හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝළිම් දක්නට ලැබෙන අතර, මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල රථවාහන තදබදයක් ද පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර කොළඹට ළඟා වී ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාව ඩොලර් ගෙවා අද (02) නිදහස් කර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළා.

කෙසේ වෙතත් ඩොලර් අර්බුදයත් සමඟ ඉන්ධන සංචිත ප්‍රමාණය අවම වීම හේතුවෙන් තවදුරටත් තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් පිරවුම්හල් වෙත බෙදා හරිනු ලබන්නේ සීමා සහිතවයි.

මේ හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පෞද්ගලික මගී බස් රථ මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගෙන යන ලොරි රථ රැසක් ද ඩීසල් හිඟකම හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් අසල මෝටර් රථ සහ ත්‍රීරෝද රථ වලට අමතරව බස් රථ, සුඛෝපභෝගි බස් රථ, ලොරි රථ මෙන්ම වෑන් රථ ද විශාල සංඛ්‍යාවක් නවතා තබා ඇති බවයි. මේ හේතුවෙන් බොහෝ මාර්ග අවහිර වී තිබෙනවා.

අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ප්‍රකාශ කළේ ඇතැම් අන්තර් පළාත් බස්රථ ආපසු පැමිණීමට නොහැකිව පිට පළාත්වල නවතා දමා ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟකමින් මතුව ඇති විදුලි අර්බුදය නිසා වසර 26 කට පසු අද (02) සිට පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු වනවා.

එය මේ වනවිටත් ආරම්භ වී ඇති අතර විදුලි ඉංජිනේරුවන් පවසන්නේ ඉන්ධන නොලැබුණහොත් දැනට සිදුකෙරෙන කප්පාදුව තවත් දීර්ඝ කිරීමට සිදුවන බවයි.

විදුලි අර්බුදය විසදීමට වහාම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසම් සභාවට සහතික වී තිබෙනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ මහබැංකුව සහ භාණ්ඩාගාරය මැදිහත් කර ගනිමින් අවශ්‍ය ඉන්ධන තොග වහාම ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි.

+++++++

හෙටත් (03) පැය හත හමාරක විදුලි කප්පාදුවක් – කොළඹ වරායට පැමිණි ඩීසල් නැවට මුදල් ගෙවා නිදහස් කර ගනී

(02.03.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

හෙට (3) දිනයේත් දිවයින පුරා පැය 07:30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5 ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් (2½) වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැය 7 යි මිනිත්තු 30 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම ආරම්භ වුයේ අද (02) පෙරවරුවේයි.

මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26 කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව අද (02) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරයෙන් ම හෙට (03) දිනයේත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මෙම විදුලි කප්පාදුව අනුව E සහ F ලෙස අලුතින් නම් කර ඇති කලාප දෙකකට පෙරවරු 8 සිට දහවල් 1 දක්වා පැය 5 ක් විදුලිය විසන්ධි කර නැවත වරක් සවස 6 සිට රාත්‍රී 08:30 දක්වා තවත් පැය 02:30 ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

පෙර පැවති T, U, V, W, P, Q, R, S කලාපවලට​ද පෙරවරු 08:30 සිට රාත්‍රී 11 දක්වා වාර දෙකකදී පැය 7 යි මිනිත්තු 30 ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

මේ අතර, මෙරටට පැමිණ තිබූ ඩීසල් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවට අද (02) දිනයේ මුදල් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද (02) රාත්‍රීයේ ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, අනිද්දා (04) දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා.

විදුලි කප්පාදුව හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතර විදුලි අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහතික වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මහබැංකුව මැදිහත් කර ගනිමන් අවශ්‍ය ඉන්ධන තොග වහාම ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින බොහෝ ප්‍රදේශවලදී දැකගත හැකිවුණා.

ඉන්ධන හිඟයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ තවමත් නොසන්සුන්කාරී තත්ත්වයන් ද වාර්තා වනවා.

ඉන්ධන පිරවුම්හල් අසල සාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ මේ අතරතුරයි.

පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම සංචාරකයින් ප්‍රවාහන කටයුතු, ගිලන්රථ, ගිනි නිවීමේ රථ සඳහා ප්‍රමඛතාව ලබාදී ඉන්ධන ලබාදීමට සුදුසු පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

පවතින ඉන්ධන හිඟයෙන් පොදු ප්‍රවාහන සේවාවලට එල්ල වී ඇති බලපෑම තවදුරටත් ඔඩුදුවා ඇති අතර බස් සංගම් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවයි.

මේ අතර පාසල් නිවාඩුව අවසන් වී මීළඟ පාසල් වාරය ආරම්භයත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවලටද ඉන්ධන හිඟය බලපෑම් එල්ල කරනු ඇතැයි එම සේවාවල නිරත පිරිස් පවසනවා.

ඉන්ධන හිඟය හේතුවෙන් තමන්ද අපහසුතාවට පත්ව ඇතැයි යතුරුපැදි මඟින් ආහාර බෙදාහරින්නන් පවසනවා.

+++++++

කොළඹ වරායට පැමිණි ඩීසල් නැවට මුදල් ගෙවා නිදහස් කර ගනී

(02.03.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ තිබූ ඩීසල් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවට අද (02) දිනයේ මුදල් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද (02) රාත්‍රීයේ ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, අනිද්දා (04) දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද (02) බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා ෴

+++++++

දුම්රිය සේවයට ඉන්ධන ප්‍රශ්නයක් නැහැ

(02.03.2022 – 16:51 +0530 – hirunews.lk/sinhala)

හිඟයකින් තොරව ඉන්ධන තොග කොළොන්නාව නිමාවෙන් ලැබෙන බැවින්, දුම්රිය ධාවනය සඳහා ඉන්ධන අර්බුදයක් නොමැති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දුම්රිය කාලසටහන් අඩු කර ඇති බව සඳහන් කරමින් පලවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද කිසිදු දුම්රිය ගමනක් සීමා කර හෝ නතර කර නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා ෴

+++++++

අඛන්ඩ විදුලි සැපයුමට පියවර ගන්න – ජනපති

(02.03.2022 – 18:24 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුව ක් සිදු නොකරන බව නිලධාරීහු සඳහන් කළා.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මහබැංකු අධිපති, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

+++++++

රට පුරා තවමත් ඉන්ධන පෝලිම්

(02.03.2022 – 19:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණි මෙටි්‍රක් ටොන් 37,300 ක ඩීසල් සහ ඔටෝ ඩීසල් රැගත් නෞකාවට අද (02) දිනයේ මුදල් ගෙවා නිදහස් කර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද (02) රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, අනිද්දා (04) දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද (02) බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී මෙම තීරණවලට එළඹ ඇතැයි සඳහන්.

මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, ඉන්ධන හිඟවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සීමා කිරීම් සිදුවන බවට හා සිදුවිය හැකි බවට ඇතැම් වාර්තා පළ වුව ද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසිදු අඩුවකින් තොරව ඉන්ධන තොග කොලොන්නාව නිමාවෙන් ලැබෙන අතර ඉන්ධන අඩුවීම නිසා කිසිදු දුම්රියක් අවලංගු වී නොමැති බවත්යි.

කෙසේ වෙතත් අද (02) දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් ද හට ගත්තා.

+++++++

විදුලිය ඇණහිටීම ගැන විමර්ශනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහජන මත විමසුමක්

(02.03.2022 – 20:34 +0530 – hirunews.lk/sinhala)

සිදුවූ දීප ව්‍යාප්ත විදුලිය ඇණහිටීම ගැන විමර්ශනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහජන මත විමසුමක්, හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන බව, මහජන උපයෝගීතා කොමිසම පවසනවා ෴

+++++++

ශ්‍රී ලංකාව රුසියාවෙන් ණයක් ඉල්ලයි

(02.03.2022 – 21:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ඉල්ලා තිබෙනවා. ඒ බොර තෙල්, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීම සඳහායි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *