වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක

වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක

*********************************************

වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක

(02.03.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (02) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ හමුවීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම හමුවට පෙර කාදිනල් හිමිපාණන් වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබුවා.

එහිදී කාදිනල් හිමියන් ඉදිරිපත් කළ සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කතෝලික සභාව අද (02) මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා.

පස්වරු 3 ට එය බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවැත්වෙන බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදනය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත පියතුමන් සඳහන් කළේ ෴

+++++++

කාදිනල් හිමිපාණන් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී මිෂෙල් බැෂලේ හමුවෙයි

(02.03.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී මිෂෙල් බැෂලේ හමුවී තිබෙනවා.

මෙම හමුවට පෙර කාදිනල් හිමිපාණන් වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබුවා.

***************************************

පෝෂ් (Porches) සහ බෙන්ට්ලි (Bentley) ඇතුළු අති සුඛෝපභෝගී මෝටර් රථ රැගත් නෞකාවක් මුහුදු බත් වෙයි

(02.03.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියේ එම්ඩන් වරායේ සිට එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් වෙත පෝෂ් (Porches) සහ බෙන්ට්ලි (Bentley) වැනි මෝටර් රථ ඇතුළු තවත් සුඛෝපභෝගී මෝටර් රථ 4000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් ස්පාඤ්ඤ මුහුදේ දී ගිනි ගැනීමකට ලක් වීම හේතුවෙන් මුහුදුබත් වී ඇති බව වාර්තා වනවා.

සුඛෝපභෝගී මෝටර් රථ දහස් ගණනක් රැගත් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගිනි ගැනීමකට ලක් වූයේ මීට සති දෙකකට (2) පමණ පෙරයි.

ස්පාඤ්ඤයේ අසෝර්ස් දූපත් සමූහයට ඔබ්බෙන් මෙලෙස අනතුරට ලක්වූ නෞකාව එම ගින්නෙන් ගලවා ගැනීම සඳහා ස්පාඤ්ඤ නාවික හමුදාව සහ ගුවන් හමුදාව සති 2 කට ආසන්න කාලයක් ප්‍රබල ගිනි සටනක නිරත වුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් අද (02) අලුයම් කාලයේ දී මෙම නෞකාව ගිලී ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆෙලිසිටි ඒස් (Felicity Ace) ලෙස නම් කර ඇති මෙම නෞකාව තුල පෝෂ් (Porches) සහ බෙන්ට්ලි (Bentley) වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු තවත් මෝටර් රථ 4000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණා.

පෙබරවාරි 16 වන දින මෙම ගින්න හටගත් අතර වහාම එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි ස්පාඤ්ඤ නාවික හමුදා ප්‍රකාශකයකු සඳහන් කළේ.

නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශයට ආසන්නතම වරායේ හාර්බර් මාස්ටර් වරයා වන කපිතාන් ජාඕ මෙන්ඩෙස් ප්‍රකාශ කර සිටියේ මුහුදුබත් වූ නෞකාවෙන් මෙතෙක් කිසිදු තෙල් කාන්දුවක් වාර්තා වී නොමැති බවයි.

මෙම නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශය මීටර 3500 ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයක්.

මෙවැනි ගැඹුරු මුහුදු ප්‍රදේශයක පතුලේ ඇති පීඩනය හේතුවෙන් මෙම නෞකාවේ තෙල් ටැංකිවලට යම්කිසි හානියක් සිදුවිය හැකි බවට ඔහු බිය පළ කරනවා.

රොයිටර් පුවත් සේවයට අනුව ඩොලර් මිලියන 155 ක් (රුපියල් බිලියන 31) පමණ වැය විය හැකි රක්ෂණ ආවරණ්‍යක් මගින් මුහුදුබත් වූ වාහන වල හානිය ආවරණය කරගත් හැකි බව මෙම වාහන නිෂ්පාදනය සහ ප්‍රවාහනය සිදු කළ ජර්මනියේ වොක්ස්වැගන් (Volkswagen) සමාගම පවසනවා.

බෙන්ට්ලි (Bentley) සමාගම මෙම නෞකාවේ මෝටර් රථ 189 ක් තිබූ බව තහවුරු කර ඇති අතර පෝෂ් (Porsche) සමාගම පැවසුවේ ඔවුන්ගේ නිෂ්පාදන මාදිලි කිහිපයකට අයත් මෝටර් රථ 1,100 ක් පමණ එහි තිබූ බවයි ෴

***************************************

රටේ අර්බුදවලට ජනතාව ඇතුළු සියලුදෙනා වගකිව යුතු බව ලාල්කාන්ත කියයි

(02.03.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

රටේ මතුව ඇති අර්බුදවලට සමස්ත ජනතාව ඇතුළු සියලුදෙනා වගකිවයුතු බව කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පැවති ජාතික ජනබල වේගයේ ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තානාපති සේවය ශක්තිමත් කිරීම හරහා මෙරට ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාගත හැකි බවයි.

***************************************

පානීය ජලය නොමැතිව සහ අබලන් මාර්ග නිසා දුක් විඳින ජනතාව

(02.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පිරිසිදු පානීය ජලය මිනිසාට අත්‍ය අවශ්‍ය ප්‍රධාන සාධකයක්.

නමුත් රිදීමාලියද්ද වෙලන්ගොල්ල ගම්වාසින්ට තවමත් එය සිහිනයක් බවට පත්ව ඇත්තේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන්.

රිදීමාලියද්ද – වරාපිටිය – වෙලන්ගොල්ල – ගම්මානයේ ගොවිතැන තම ජීවනෝපාය මාර්ගය කරගත් පවුල් 50 කට අයත් පුද්ගලයින් 850 කට වැඩි පිරිසක් ජීවත් වනවා.

මෙම ගම්වාසීන්ගේ දෛනික කටයුතු සිදුකරගෙන යාමට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ පානීය ජලය නොමැතිවීම සහ මාර්ග අබලන්වීමයි.

පානීය ජලය රැගෙන ඒම සඳහා ගම්වාසීන් සැතපුම් 8 ක පමණ දුරක් ගමන් කරන්නේ කරත්ත උපයෝගී කර ගනිමින්.

ජල ගැටලුව හේතුවෙන් වෙලන්ගොල්ල ගම්වාසීන්ගෙන් බහුතරයක් වකුගඩු රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ තමන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන මෙම ගැටලුවට බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමු කරන ලෙසයි.

***************************************

කෙලින්කන්ද සලිත කළ වෙඩි තැබීම – තුවක්කුකරු ප්‍රදේශයෙන් අතුරුදන්

(02.03.2022 – 15:58 +0530 – hirunews.lk/sinhala)

බදුරලිය කෙලින්කන්ද නිවසක් ඉදිරිපිට දී අද (02) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බදුරලිය පොලිසිය පවසනවා.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇත්තේ චන්ද්‍රලතා පත්මිණී නමැති 53 හැවිරිදි කාන්තාවක්.

තුවාල ලද කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇය සමග කලක් එකම නිවසේ වාසය කළ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය ඇයගේ අතකට සහ පපු පෙදෙසට වැදී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි පහර එල්ල කර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධියෙන් පසුව වෙඩි ලැබූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළා.

වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර දෙදෙනා (2) අතර කලක සිට පැවති ආරවුලක් මෙම සිද්ධියට හේතු වන්නට ඇති බවට බදුරලිය පොලිසිය සැක කරනවා ෴

***************************************

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළඟදීම

(02.03.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම – ගොඩගම ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

***************************************

අවිස්සාවේල්ල නගර මධ්‍යයේ සුවිශාල නිවෙසක් පිටුපස ගව ඝාතකාගාරයක් වටලයි

(02.03.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල තල්දූව නගර මධ්‍යයේ සුවිසල් නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු (7) අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අද (02) සමත් වුණා.

පිටතින් බලන කිසිවකුටත් සැක නොසිතෙන පරිදි මෙම සුවිසල් නිවසේ පසුපස කොටසේ මෙම නීති විරෝධී ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු ගේ රැකවරනය යටතේ යි.

නීතියේ ඇසට වැලි ගසමින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම ගව ඝාතකාගාරය වටලන අවස්ථාවේ ඝාතනය කිරීම සඳහා රැගෙන විත් තිබූ තවත් ගවයින් තිදෙනෙකු (3) ගේ දිවි බේරා ගැනීමටත් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකියාව ලැබුණා

වැටලීම සිදුකරන අවස්ථාවේදීත් එක් (1) ගවයෙක් ඝාතනයකර තිබූ අතර, ඊට අමතරව ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ තවත් ගවමස් තොගයක්ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගව ඝාතනය සඳහා යොදා ගත් උපකරණ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාරදී තිබෙනවා.

***************************************

යුක්රේන සංචාරකයින්ට නවාතැන් දෙන්නැ යි පාර්ශව රැසකගෙන් ඉල්ලීම්

(02.03.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට රැඳී සිටින යුක්රේන සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබාදීමට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් යුක්රේන සංචාරකයින්ගෙන් එවැනි ඉල්ලීමක් මේ දක්වා ලැබී නො මැති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ කියා සිටියේ.

එමෙන්ම මෙරට රැඳී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන් අතර ගැටුම් ඇති වුව හොත් එය වළක්වාගැනීම සඳහා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බව ද ඇය සඳහන් කළා ෴

***************************************

ලංකාවෙත් කෙහෙවලු පටල ගන්නා රුසියානු, යුක්රේන සංචාරකයින්

(02.03.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්රේන යුධ ගැටුම අද මුළු මහත් ලෝකයටම ප්‍රශ්නයක් වී තිබෙන කාරණයක් වනවා.

එම යුධ ගැටුම් මැද ලංකාවෙත් කෙහෙවලු පටල ගන්නා රුසියානු, යුක්රේන සංචාරකයින් පිරිසක් ගැන මේ දිනවල සමාජ මධ්‍යයේ වීඩියෝවක් සංසරණය වනවා.

***************************************

අපරීක්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදියක් කැබ් රථයක ගැටීමත් සමඟ බණ්ඩාරගම උණුසුම් වෙයි

(02.03.2022 – 18:33 +0530 – hirunews.lk/sinhala)

අද (02) දහවල් බණ්ඩාරගම නගරයේ දී කැබ් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුනා.

මෙහිදී යතුරුපැදිකරු අපරික්ෂාකාරී ලෙස මාර්ග නීති පවා උල්ලංඝනය කරමින් ධාවනය කළ යතුරු පැදිය කැබ් රථයේ ගැටී තිබෙනවා.

එහිදී යතුරු පැදිකරු කැබ් රථයේ රියැදුරු අසුනේ දොර විවෘත කර රියදුරුට පහර දෙන අවස්ථාවේ දී යතුරු පැදිකරුට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කැබ් රථයේ රියැදුරුට පහර දීමෙන් නොනැවතුණු යතුරුපැදිකරු කැබ් රථයේ යතුරද ඔහු භාරයට ගෙන තිබුණා.

ඒ මොහොතේ කැබ් රථය වටකරගත් ඒ ආසන්නයේ ඉන්ධන හල වෙත පැමිණ සිටි බහුතරයක් දෙනා කැබ් රථ රියදුරුට පහර දීමට උත්සාහ කිරීමේදී රියදුරු කැබ් රථයේ දොර වසාගෙන ඒ තුලට වී සිට තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සිටි පිරිස් ප්ලාස්ටික් කෑන් වලින් සහ අතින් කැබ් රථයට පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.

මද වෙලාවකට පසු බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් සිද්ධිය හටගත් ස්ථානයට පැමිණි අතර කැබ් රථයේ යතුර යතුරු පැදිකරුගේ දියණිය භාරයේ තිබී ලබාගත්තද එම යතුරට අලාභානි වී තිබීම හේතුවෙන් කැබ් රථය නැවත පණගැන්වීමට නොහැකි වී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරින් සහ එහි සිටි පිරිස කැබ් රථය පොලිසිය වෙත තල්ලු කරගෙන රැගෙන යාමට කටයුතු කලා.

මේ හේතුවෙන් බණ්ඩාරගම පානදුර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වුනා.

***************************************

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා

(02.03.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අර්බුදයෙන් බැටකන ජනතාව අද (02) තවත් ගැටලු‍වකට මුහුණ දුන්නේ දීප ව්‍යාප්තව ආරම්භ කෙරුණු දෙදින (2) රෝහල් වර්ජනය හේතුවෙන්.

පසුගිය පෙබරවාරි 07 වනදා සිට දින 09 ක අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකළ සෞඛ්‍ය වෘත්තිය සමිති එය තාවකාලිකව අත්හිටවනු ලැබුවේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් සදහා සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් පොරොන්දුව අනුවයි.

බලධාරීන් එම විසඳුම් ලබානොදීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති අද (02) සහ හෙට (03) වර්ජන ක්‍රීයාමාර්ගයකට යළි අවතීර්ණ වුණා.

බදාදා දිනය සැලකෙන්නේ රජයේ රෝහල්වල සායනික කටයුතු සිදු කෙරෙන දිනය ලෙසයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල මෙන්ම දිවයින පුරා රෝහල් වෙත රෝගී ජනතාව පැමිණෙන්නේ සිය සායනික කටයුතු ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන්.

කෙසේ නමුත් සෞඛ්‍ය වත්තීය සමිති 17 ක් ඒකාබද්ධව ආරම්භ වර්ජනය අද (02) පෙරවරු 07 සිට ක්‍රියාත්මක වීම, හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩාවට පත්වුණා.

ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්හට ජාතික රෝහලින් ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් ද රාජ්‍ය ඔසුසල් අසළ දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මීට පෙර වර්ජනය ක්‍රියාත්මක කළ අවස්ථාවේදී අධිකරණයෙන් පැනවූ වාරණ නියෝගයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙවර වර්ජන ක්‍රියාමාර්ගය සහභාගී වන්නේ නැහැ.

මේ අතර, ජනතාව පීඩාවට පත්ව ඇති මොහොතක තම සංගමය වර්ජන ක්‍රියාමාර්ගයට එක්නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *