රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා

රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා

*********************************************

රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා

(01.02.2022 – 15:40 +0530 – mawbima.lk)

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා සහ ජනාධිපතිවරයා වෙනුවට අංගොඩ මානසික රෝහලේ රෝගීන් පිරිසක් අදාළ තනතුරුවල ඉන්දුවා නම් රට මීට වඩා ඉදිරියට යනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පැවසුවා ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මෙරට පාර්ලිමේන්තුව මේ වන විට ක්‍රියා කරන්නේ “පිස්සු මධ්‍යස්ථානයක්” ලෙස බව ය.

“අංගොඩ මානසික රෝහලේ ලෙඩ්ඩු 225 ක් අරගෙන පාර්ලිමේන්තුවේ පුටුවල ඉන්දුවා නම් ජනාධිපතිත් එකතුව මං හිතනවා මේ රට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙනවා කියලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසට පිස්සු නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හිතන්නවත් බෑ… මිනිසුන්ට ජීවත්වෙන්න බැරි වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ටික කියනවා අපි තමා හොඳට ම කළේ කියලා.

මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ විගඩමක්, නාට්‍යයක්, පිස්සු මධ්‍යස්ථානයක්. අඩු ම වශයෙන් ජනාධිපතිතුමාට හැකියාවක් තියෙන්න ඕනෑ ලංකාවේ ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න කොන්දක් තියෙන්න ඕනෑ. ප්‍රධාන වශයෙන් මොළයක් තියෙන්න ඕනෑ.”

ඇය ප්‍රකාශ කළේ, පුහු මානයක් සහිත පිරිසක් මේ වන විට කුසගින්නේ සිටින ජනතාවට ‘සෝබන කතා කියමින්’ සිටින බව ය.

අඩු ම වශයෙන් ජනාධිපතිවරයා හෝ ජනතාවට බොරු ප්‍රකාශ නොකර සිටිය යුතු බව අවධාරණය කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අදහසකි.

“මේ රටේ ඉන්නේ මෝඩ තකතීරු මිනිස්සු කියලා හිතන්න එපා. මේ රටේ මොළේ තියෙන මිනිස්සුත් ඉන්නවා. වෙලාව ආවා ම කට්ටිය යවන්න පුළුවන්.”

***************************************

කුමරතුඟු මුනිදස් 78 වැනි සමරු උලෙළ අද (02)

(02.03.2022 – 06:56 +0530 – hirunews.lk/sinhala)

කුමරතුඟු මුනිදස් 78 වැනි සමරු උලෙළ 2022 මාර්තු 02 වැනි දා ප.ව. 3 ට කොළඹ 7 ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මේ උලෙළේ මුලසුන හොබවන්නේ හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත යි.

සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ ද කැලණිය සරසවියේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන නාහිමියෝ ද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ද චනුක පැතුම් මින්සර සිසුවා ද මෙහි දෙසුම් පවත්වති ෴

***************************************

අධිකරණ 11 කින් වරෙන්තු නිකුත් කළ අයෙකු අත්අඩංගුවට

(02.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසකට දිවයිනේ විවිධ අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු වත්තල – වැලි අමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් භාණ්ඩ කොල්ලකෑම්, යතුරුපැදි සොරකම් කිරීම්, වෙළෙදසලවල්වලට ඇතුළු වී දේපළ සොරා ගැනීම් ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහි ව එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ඒ අනුව අලුත්කඩේ, අත්තනගල්ල, කෑගල්ල, වත්තල, ගල්කිස්ස, මාරවිල, කන්තලේ, මීගමුව සහ මිනුවන්ගොඩ අධිකරණවලින් මොහුට එරෙහි ව වරෙන්තු නිකුත් කර තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයක

(02.03.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද (02) උදෑසන අටේ (08:00) සිට දින දෙකක (2) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය මෙතෙක් කටයුතු නො කිරීම හේතුවෙන්.

සෞඛ්‍ය සේවකයන් පසුගිය මස 07 වන දා සිට දින 9 ක කාලයක් ද අඛණ්ඩ වර්ජනයක නිරත වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව ඔවුන් එම වර්ජනය අත්හිටවූයේ මාර්තු 01 වනදාට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බව පවසමින්.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නො මැති වීම හේතුවෙන් යළි වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කළ බව යි.

කෙසේ වෙතත්, සියලු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා, වකුගඩු රෝහල්වල මෙන්ම බෝවන රෝග විද්‍යායාතනය, අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ මධ්‍යම ලේ බැංකුවේ ද මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

කොම්පෝස්ට් පොහොර මිල දී නො ගන්නා බව රාජ්‍ය ඇමති කියයි

(02.03.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි කන්නයේ දි කොම්පෝස්ට් පොහොර මිල දී නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

ගුණාත්මක කාබනික ඝන පොහොර නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එවැනි නිෂ්පාදන මිල දී ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක අවස්ථාවට හාලිඇළ දී ඊයේ (01) එක්වෙමින්.

එමෙන්ම, මෙවර යල කන්නයේ දී ගොවීන්ට සහනාධාර ලෙස ලබාදීම සඳහා බණ්ඩි පොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු අතර රජයේ පොහොර සමාගම් දෙක (2) යටතේ මෙම පොහොර තොගය ආනයනය කිරීමට නියමිත යි.

මේ අතර, ඉන්ධන හිඟවීම හේතුවෙන් ගොවීන් මෙන්ම ධීවරයින් ද මේ වනවිට දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

පොහොර අර්බුදය හමුවේ පසුගිය මහකන්නයේ වගා කළ සිය අස්වැන්න නෙලීම මෙන්ම ඒවා ප්‍රවාහනයට ඉන්ධන හිගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

ඉන්ධන හිඟය හේතුවෙන් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන වෙත වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්ධන හිඟවීම නිසා ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති මොහොතක අයිස් හොන්ඩරයක මිල ද ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ධීවර සම්මේලනය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිතර ධීවරයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සම්මේලනයේ සභාපති රත්න ගමගේ ප්‍රකාශ කළේ.

එමෙන්ම මහියංගනය – රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලන්ගොල්ල ගම්මානයේ ප්‍රදේශවාසීන් සැතපුම් 4 ක් පමණ දුරක සිට පානීය ජලය කරත්තවලින් ගෙන ඒමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ගවයින් යොදා ගනිමින් කරත්තය රැගෙන යනවා වෙනුවට ප්‍රදේශවාසීන් එක්ව ජලය රැගෙන කරත්තය පදවාගෙන එන බවයි වාර්තා වන්නේ ෴

***************************************

පස්, ගල්, වැලි කැණීම් බලපත්‍ර නීති තවත් ලිහිල් වෙයි

(02.03.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පස්, ගල් සහ වැලි කැණීමේ බලපත්‍ර නිකුත් කිරීමේ දී පැවති චක්‍රලේඛය ලිහිල් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

එහි සභාපති ආචාර්ය සෙනරත් හේවගේ කියා සිටියේ, මෙමඟින් පසුගිය කාලයේ පස්, ගල් සහ වැලි බලපත් නිකුත් කිරීමේ දී පැවති නීතිමය බාධාවන් අඩුවනු ඇති බවයි ෴

***************************************

සමෘද්ධි සහනාධාර කප්පාදුවක් – වෘත්තීය සමිතිවලින් චෝදනා

(02.03.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ සමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කරන ලෙසට දැනුම් දී ඇති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති කිත්සිරි ගමගේ මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් විමසීමට අප විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහව සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ ෴

***************************************

නැරඹිය යුතුම සංචාරක ගමනාන්තයක්

(02.03.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව, නැරඹිය යුතුම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වන ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ ඒ වෙනුවෙන් වන නවතම ප්‍රයත්නය පසුගියදා දියත් කළා.

එම ප්‍රවර්ධන වැඩසටහන නම් කර ඇත්තේ ‘වන් අයිලන්ඩ් තවුසන්ඩ් ට්‍රෙෂර්ස්’ නමින්.

එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ අප්‍රකට පුරාවෘත්තයන් හෙළි කරමින් ලොව බොහෝ සංචාරකයන් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී කතාන්දරයන් ඔවුන් අතර ප්‍රචලිත කිරීමයි.

මෙමඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ආකර්ශනය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බව ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් පැවසුවා ෴

***************************************

කොළඹ මාර්ගවල තදබදයක්

(02.03.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරවුම්හල් අසල පවතින රථ වාහන පෝලිම් හේතුවෙන් කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඔරුගොඩවත්ත, හෝර්ටන් පෙදෙස, බම්බලපිටිය, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ගවල මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔරුගොඩවත්ත මංසන්ධියේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හල අසල පවතින තදබදය හේතුවෙන් නව කැලණි පාලමේ පෑලියගොඩ දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මීට අමතර ව කොළඹින් බැහැර ජනාකීර්ණ නගරවල ද ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් පැවතීම හේතුවෙන් ඇතැම් ස්ථානවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, වසර 26 කට පසු පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද (02) දිනයේ පැය හතහමාරක (7½) කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැය පහක් (5) සහ රාත්‍රී කාලයේ පැය දෙකහමාරක (2½) කාලයක් ලෙස අදියර දෙකක් (2) යටතේ විදුලි කප්පාදුව සිදු වනු ඇති.

බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මීට පෙර දෛනික ව මෙවැනි දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබුවේ 1996 වසරේ දී බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා සතියක් (1) ඇතුළත මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ නම් මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට එරෙහි ව නඩු පවරන බවයි.

මෙවන් තත්වයක් තුළ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, විදුලි බලාගාර සඳහා මසකට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ඍජුව ම මිල දී ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, ඊයේ (01) දිනයේ ද ඉන්ධන නොමැති කමින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා.

සංස්ථා ඉන්ධනහල්වල මෙන්ම අයි.ඕ.සී. පිරවුම්හල්වලද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

කෙසේ වෙතත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් අද (02) පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් රැගත් නෞකාවක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර, එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ (01) වනවිටත් සිදු කරමින් පැවතුණා ෴

***************************************

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිනුම්වල ස්වයංක්‍රීය යාවත්කාලීන වීම නැවතෙයි

(02.03.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දී තිබූ 15% ස්ථාවර තැන්පතු, කල්පිරීමේ දිනයේ දී නැවත සුපුරුදු ලෙස ස්වයංක්‍රීය ව යාවත්කාලීන නොවන බව වාර්තා වනවා.

2022 මාර්තු මස 01 සිට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත ලබා දුන් 15% හා 14.06% විශේෂ පොළී අනුපාත සහිත ස්ථාවර තැන්පතු, කල්පිරීමේ දී නැවත එම පොළියටම යාවත්කාලීන නො වන බව යි මෙහි සඳහන් වන්නේ.

මේ නිසා අදාළ ස්ථාවර තැන්පත් කල්පිරීමේ දිනයේ දී අදාළ ශාඛාවට පැමිණ නැවත වසරක් (1) දක්වා වැඩි පොළී අනුපාතිකයකට ඒවා යාවත්කාලීන කරගත යුතු ව තිබෙනවා ෴

***************************************

පළිබෝධනාශක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(02.03.2022 – 11:43 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – පෙරියමුල්ල ජුම්මා මස්ජිත් මාවත ප්‍රදේශයේ දී මෙරට ලියාපදිංචි නො කළ හා නීතිවිරෝධී පලිබෝධ නාශක තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (01) සිදු කරන ලද වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි පුද්ගලයෙක්.

මෙහි දී පලිබෝධ නාශක පැකට් 2150 ක් පළිබෝධනාශක දියර බෝතල් 93 ක් අත්අඩංගුවට ගැනුණා ෴

***************************************

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමට අමාත්‍ය අනුකමිටුවක්

(02.03.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා 5 දෙනෙකු ගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නාමල් රාජපක්ෂ සහ අලි සබ්රි ඊට අයත්.

2030 වර්ෂය වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කර ගැනීම රජයේ අරමුණ වී තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා – ඔසුසල් අසළත් පෝලිම්

(02.03.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති අද (02) ආරම්භ කළ දෙදින (2) වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක සේවාවන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුනා.

පරිපුරක, අතුරු වෛද්‍ය ශ්‍රේණිවලට අයත් වෘත්තිකයින් මෙලෙස වර්ජනයේ නිරත වන අතර අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය හේතුවෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ඊට සහභාගි වී නැහැ.

පසුගිය 07 වනදා සිට දින 09 ක් අඛණ්ඩ වර්ජනයක නිරත වු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සිය වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටවනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව මතයි.

කෙසේ වෙතත්, සති දෙකක (2) කාලයක් සෞඛ්‍ය බලධාරීන්ට ලබාදුන්නද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනිය විසදුම් නොලැබීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අද (02) පෙරවරු 08 සිට දෙදින (2) වර්ජනය සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කරනු ලැබුවා.

මේ හේතුවෙන් රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුනා.

කෙසේ වෙතත්, පිළිකා රෝහල, ළමා රෝහල්, මාතෘ රෝහල්,මධ්‍යම ලේ බැංකුව ඇතුළු රෝහල් 09 ක වර්ජනය සිදුනොකරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සදහන් කළේ.

වර්ජනයට එක්ව සිටින වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක් ඊයේ (01) රාත්‍රියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

***************************************

පොල්ගෙඩි ආශ්‍රිත අපනයන තුළින් ඩොලර් මිලියන 850 ක ආදායමක්

(02.03.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ඩොලර් මිලියන 850 ක ආදායමක් පසුගිය වසරේදී උපයා ගැනීමට හැකි වූ බව වැවිළි අමාත්‍යාංශය පවසනවා.

පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන වල වාර්ෂික අපනයන ආදායම සියයට 20 කින් වැඩි කර ගැනීම සදහා දෙමුහුන් පොල් පැළ මිලියන දෙකක් ලබන වසරේදී නිෂ්පාදනය කිරීමට ද එම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *