ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්..

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්..

*********************************************

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්..

(02.02.2022 – 03:20 +0530 – lankacnews.com)

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 03:00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.

‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට ඉහත පක්ෂවල නායකත්වය සහභාගී වන අතර විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට ඇරයුම් ලැබ සිටිති.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

***************************************

නුවරඑලියේ එලවළු ලොරිවලට සහ එලවළු ගොවින්ට හිගයකින් තොරව ඉන්ධන…

(02.02.2022 – 02:16 +0530 – lankacnews.com)

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයින පුරා එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගාවට ජලය පොම්ප කිරිම සදහා අවශ්‍ය ඩිසල් හිගයකින් තොරව ලබාදිමට නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් එකගතාවය පල කර ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

(01) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට ඉන්ධන නොමැති විම හමුවේ නුවරඑලියේ එලවළු වෙලදාම 60% කින් පහල වැටි තිබිමත්, නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගා භුමියට අවශ්‍ය ජලය ඉසිම සදහා ජල පොම්ප වලට අවශ්‍ය ඩිසල් නොමැති විම හමුවේ ගොවින් පිඩාවට පත් වි සිටිම සම්බන්ධයෙන් (28) දින මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කල බවයි.

එම අනාවරණයෙන් පසුව වගකිය යුතු නිලධාරින්ගේ මැදිහත් විමක් මත නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම අයිතිකරුවන් විසින් නිසි ක්‍රමවේදයක් යටතේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට වගාවට ජලය ඉසිම සදහා අවශ්‍ය ඩිසල් ලබාදිමට ඔහුන් එකගතාවය පල කල බවයි.

එම අවස්තාව අනිසි ලෙස භාවිතා නොකර තම අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසත් ඒ සදහා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් නිර්දේශයක් එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට ලබාදිමට පියවර ගෙන ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

දෛවයට අභියෝග කිරීමට සමන්මලී කෘතිම පාද දෙකක් ඉල්ලයි

(01.03.2022 – 17:19 +0530 – sinhala.adaderana.lk)

ප්‍රේම සම්බන්ධතාවයකින් මීට වසර කිහිපයකට පෙර විවාහ වූ සම්පත් සහ සමන්මලී ගේ ජීවිත හදිසියේම උඩුයටිකුරු වී ගියේ නිමේෂයකිනි.

ඒ රිය අනතුරකට ලක්වී සමන්මලීගේ දෙපා දණහිසට උඩින් අහිමි වී යාමත් සමගය.

එම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ පසුගිය වසරේ (2021) දෙසැම්බර් මාසයේදීය.

සිය සැමියා සමග පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා යතුරුපැදියෙන් නාඋල ප්‍රදේශයට ගිය සමන්මලීව මාර්ගයේ එක් පසෙකින් බස්සවා සම්පත් ඉන්ධනහළ වෙත ගොස් තිබුණි.

ඒත් සමගම සම්පත් වෙත මාර්ගය හරහා ගමන් කරමින් සිටි සමන්මලී එකවරම ලොරි රථයකට යටවී ඇත.

එම අවාසනාවන්ත අනතුරින් සමන්මලීගේ දෙපා අහිවි වී තිබුණේ තනිව කිසිවක් කරකියා ගන්නට නොහැකි වන අයුරිනි.

29 හැවිරිදි සමන්මලී එක්දරු මවකි.

“ආච්චි තමයි මාව හදා ගත්තේ. අම්මව දැකලා නෑ. පුංචි කාලයේම දාලා ගිහින්. මහත්තයා තමයි මගේ හැමදේම කරන්නේ. මෙහෙම වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. මගේ අඩුපාඩුකම් නිසා මහත්තයා කවදාවත් වෙනස්කමක් කරලා නෑ. ඉස්සර වගේම ආදරෙයි. අපි ආදරය කරලා විවාහ වුණේ. මහත්තයාට බරක් නොවී තනියම වැසිකිළි යන්න පුළුවන් විදිහට වැසිකිළියක් හදාගන්න එක තමයි මට අත්‍යවශ්‍ය. එතකොට එයාට රස්සාවට යන්න පුළුවන්.”

ඒ, දඹුල්ල වල්ගම්වැව ලෙනදොර යන ලිපිනයේ පදිංචි එච්.එම්. නයෝමි සමන්මලී සේනාරත්න ගේ සංවේදී ඉල්ලීමය.

ඇයගේ ආදරණීය සැමියා වන 32 හැවිරිදි එම්.ජී. සම්පත් ජයසිංහ මෙසේ පැවසීය.

“බිරිඳගේ තත්ත්වය නිසා දැන් මාස 3 ක් තිස්සේ මට රැකියාවට යන්න විදිහක් නෑ. මාලයක් රුපියල් 60,000 කට උකස්කලා. ඒ සල්ලිවලින් තමයි මේ දවස් ටිකේ ජීවත් වෙන්නේ.”

“නාඋල ඉන්ධන පිරවුම්හළ ගාවදි අනතුර වුණේ. බිරිඳ අනතුරට ලක්වුණාම මම කෑ ගහගෙන එතනට දිව්වා. මම වඩාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියේ.”

“අපි හමුවුණේ රත්තොට ගාමන්ට් යද්දි. මගේ මුල්ම සම්බන්ධය මෙයා තමයි. කවුරු හරි පුළුවන් කෙනෙක් කෘතිම කකුල් දෙකක් අරන් දුන්නොත් ලොකු පිනක්. ඒ නැතත් මම පුළුවන් විදිහට මෙයාව බලාගන්නවා. අපි ගියා කෘතිම කකුල් දෙකක් බලන්න. ලක්ෂ 20 ක් කිව්වා. මට ඒක දරාගන්න බෑ.”

“දැන් ජීවිතයේ ලොකු බලාපොරොත්තු නෑ. පුළුවන් විදිහට ජීවත්වෙනවා.”

දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වන සම්පත්, සමන්මලීවත් පෙර පාසල් වියේ පසුවන සඳහිරු සම්පත් පුංචි පුතුවත් රැකබලා ගනිමින් ඉතා කටුක ජීවිතයක් ගෙවමින් සිටී.

ඔවුන්ගේ ජීවිතයට කුමණ අයුරකින් උපකාරයක් කිරීමට හැකි අයෙක් වෙතොත් අංක 223 ඒ, වල්ගම්වැව, ලෙනදොර, දඹුල්ල ලිපිනයෙන් හෝ 077 508 4545 දුරකථන අංකයෙන් සම්බන්ධ විය හැකිය.

***************************************

49 වන ජිනීවා සැසිවාරයේදී ඉන්දියාව ව්‍යාජ ගැලවුම්කාරයාගේ භූමිකාවට රඟ පාමින් 13 වෙනි ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කොන්දේසි දමනු ඇත- ජාතික සංවිධාන එකමුතුව

(01.02.2022 – 15:55 +0530 – lankaleadnews.com)

මෙවර 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කොමසාරිස්වරිය විස්න් ඉදිරිපත් කළ පිටු 17 ක චෝදනා පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන් :

“මෙවරත් ඉදිරිපත් කරන්නේ 25/1,30/1,34/1,40/1,46/1 යෝජනා ඉදිරිපත් කරද්දී එල්ල කළ චෝදනාම තමයි. විශේෂයෙන් අමතරව තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා තමයි.

නමුත් මෙවර චෝදනා එල්ල කිරීමෙන් පසුව ගෙන ඒමට නියමිත 49/1 යෝජනාව ඉන්දියාවේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවය ඇතිව ගෙන ඒමට ඉඩ තිබෙනවා. එහෙම වුනොත් අනිවාර්යෙන්ම 13 වැනි ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාව අවධාරණය කෙරෙන බවට සැකයක් නැහැ.

මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට බැරි අමාරු වෙලාවේ ඩොලර් බිලියන 2.4 ක් ණය දීල ඒ උදව්වට හිලව්වෙන්න කේවල කිරීමක් කරන බවට සැකයක් නැහැ. ආණ්ඩුවත් කියල තියෙනවානේ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරල යුද අපරාධ චෝදනා වලින් ගැලවෙන්න උත්සහා කරණ බව. ඒ නිසා තත්වය බැරෑරුම්.”

***************************************

විදුලි අර්බුදය : ඩොලර් නොදුන් නිසා මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට එරෙහිව PUCSL නඩු මගට

(01.02.2022 – 19:10 +0530 – mawbima.lk)

විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවශ්‍ය විදේශ විනිමය නිකුත් නොකිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ‘මහජන උපයෝගිතා කොමිෂන් සභාව’ (PUCSL) පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද (මාර්තු 01) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කල ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ය.

ඔහු පෙන්වා දෙන්නේ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණ ද එම උපදෙස්වලට අනුව අදාළ පාර්ශව ක්‍රියා කර ඇති බවක් නොපෙනෙන බව ය.

ඒ හේතුවෙන් ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාර අක්‍රිය වී ඇතැයි ජනක රත්නායක මහතා පැවසීය.

“ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි. ඒ වගේ ම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු බලපත්‍රලාභින්ගේ මූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයෙන් පවත්වා ගැනීම තහවුරු කිරීමත් අපේ වගකීමක්. විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීමත් අපට පැවරී තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි සැපයුමට ඇතිවන බාධා වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් අපි රජයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ වන තුරු රජය හෝ අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනා සැළකිල්ලට ගත් බවක් පේන්නට නැහැ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු විදුලි අර්බුදය වැරදි මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රථිපලයක් බව ද කිව යුතුයි. වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය කියල අදහස් කළේ අප සතු වූ විදේශ විනිමය ඥාණාන්විතව භාවිත නොකිරීම. එහිදී මූලිකත්වය ලබා දෙන්න තිබුණේ ඉන්ධන ඇතුළු අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහායි. නමුත් සිදුවුණේ ණය ගෙවීමට පැවති විදේශ විනිමය භාවිත කිරීම හා ඒ නිසා අද වන විට අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනයට මුදල් අහිමි වීම.

දිනකට පැය 7 ක් 8 ක විදුලි කප්පාදුවක් නිසා සුළු, මධ්‍යම හා විශාල පරිමාණ කර්මාන්ත සියල්ල අක්‍රිය වෙනවා. සමස්ත ආර්ථිකය ම අගාදයකට ඇද වැටෙන බව කිව යුතුයි.”

මේ අතර, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 8 ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යනයන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *