යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

*********************************************

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

(01.03.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් උත්සන්න වන හෙයින්, ලොව පුරා රටවල් කිහිපයක් ‘කියෙව්’ වෙත හමුදා ආධාර යවමින් සිටිනවා.

විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධයේ දී මධ්‍යස්ථ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්, යුක්රේනයට හමුදා ආධාර යැවීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට ම මේ දක්වා ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විශ්වාස කරන පරිදි අවම වශයෙන් පුද්ගලයින් 3,68,000 ක් පමණ යුක්රේන වැසියන්, අසල්වැසි රටවලට, පලා ගොස් තිබෙනවා.

ඉන් බොහෝ පිරිසක් පලා ගොස් ඇත්තේ, පෝලන්තයට යි.

යුක්රේනයට යුධමය ආධාර වශයෙන් පහත සඳහන් රටවල් සිය අනුග්‍රහය දක්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය

පෙබරවාරි 25 වැනි දින, ජනාධිපති ජෝ බයිඩන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ. එක්සත් ජනපද තොගවලින් යුක්රේනයට අමතර ඩොලර් මිලියන 350 ක් වටිනා ආයුධ ලබා දෙන ලෙසයි.

එක්සත් රාජධානිය

ජනවාරි මාසයේ දී එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ, එක්සත් රාජධානිය විසින් යුක්රේනයට සැහැල්ලු සන්නාහ විරෝධී ආරක්ෂක අවි පද්ධති සැපයීමට තීරණය කරනු ලැබ ඇති බව යි.

ප්‍රංශය

දැනටමත් ආධාර යවා ඇති ප්‍රංශය, තවත් හමුදා උපකරණ මෙන්ම ඉන්ධන ද යවමින් සිටිනවා.

නෙදර්ලන්තය

නෙදර්ලන්තය යුක්රේනයට ගුවන් ආරක්ෂක රොකට් සහ ටැංකි නාශක පද්ධති සපයනු ඇති බව නෙදර්ලන්තය සෙනසුරා දා පාර්ලිමේන්තුවට ලිපියක් යවමින් පවසා සිටියා.

එසේම, ස්ටිංගර් ගුවන් ආරක්ෂක රොකට් 200 ක් සහ රොකට් 400 ක් සහිත ‘පැන්සර්ෆවුස්ට් 3’ ටැංකි නාශක අවි 50 ක් කඩිනමින් නැව්ගත කරන ලෙස යුක්රේන ඉල්ලීමකට නෙදර්ලන්ත රජය එකඟ වූ බවත් එම ලිපියේ සඳහන්.

ජර්මනිය

රුසියාවට එරෙහි ව ආරක්ෂාව සඳහා ජර්මනිය යුක්රේනයට ටැංකි නාශක අවි 1,000 ක් සහ මිසයිල 500 ක් සැපයීමට තීරණය කර තිබෙනවා.

කැනඩාව

කැනඩාව විසින් යුක්රේනයට මාරාන්තික යුධ අවි තොගයක් හා කැනේඩියානු ඩොලර් බිලියන භාගයක් (½) ණයට දීමට ද තීරණය කර ඇති බව යි වාර්තා වන්නේ.

ස්වීඩනය

ස්වීඩනය විසින් යුක්රේනයට ටැංකි නාශක රොකට් 5,000 ක් සහ ශරීර සන්නාහ යැවීමට තීරණය කර ඇත්තේ, එරට මෙතෙක් පැවති මධ්‍යස්ථ ස්ථාවරය බිඳ දමමින්.

1939 දී සෝවියට් සංගමය, අසල්වැසි ෆින්ලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය සන්නද්ධ ගැටුම් පවතින රටකට ආයුධ එවූ පළමු අවස්ථාව මෙය යි.

බෙල්ජියම

ස්වයංක්‍රීය රයිෆල් 3000 ක් ටැංකි නාශක අවි 200 ක් මෙන්ම ඉන්ධන ටොන් 3800 ක් බෙල්ජියම විසින් යුක්රේනයට සපයනු ලැබ තිබෙනවා.

පෘතුගාලය

පෘතුගාලය යුක්රේනයට රාත්‍රී දර්ශන ඇස් කණ්ණාඩි, වෙඩි නො වදින කබා, හිස්වැසුම්, අත්බෝම්බ, පතොරම් සහ ස්වයංක්‍රීය G3 රයිෆල් ලබා දීමට එකඟ වූ බව යි වාර්තා වන්නේ.

ග්‍රීසිය

ග්‍රීසිය විසින් ආරක්ෂක උපකරණ මෙන්ම මානුෂීය ආධාර ද යුක්රේනයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

රුමේනියාව

යුක්රේනය සමඟ දේශසීමාවක් බෙදා ගන්නා රුමේනියාව – එහි හමුදා රෝහල්වල අර්බුද කලාපවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඩොලර් මිලියන 3.3 ක් හා ඉන්ධන, වෙඩි නො වදින කබා, හිස්වැසුම් සහ අනෙකුත් මිලිටරි ද්‍රව්‍ය යැවීමට යි ඉදිරිපත් වී ඇත්තේ.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤ ආණ්ඩුව යුක්රේනයට ඉන්ධන ටොන් 20 ක් යැවීමට පොරොන්දු වී තිබෙනවා.

චෙක් ජනරජය

යුක්රේනයට මෝටාර් 4,000 ක් පිස්තෝල 30,000 ක් ප්‍රහාරක රයිෆල් 7,000 ක් මැෂින් තුවක්කු 3,000 ක් ස්නයිපර් රයිෆල් බොහොමයක් සහ උණ්ඩ මිලියනයක අවි ගබඩාවක් ‍යැවීමට යි චෙක් ජනරජය තීරණය කර ඇත්තේ ෴

+++++++

පුටින්ගේ කළු පටිය ගැලවෙයි – ඇමරිකාව යුක්රේන ඉල්ලීමක් ඉවත දමයි

(01.03.2022 – 11:37 +0530 – hirunews.lk/sinhala)

සිය ගුවන් කලාපය තහනම් කලාපයක් කිරීමට යුක්රේන ජනාධිපතිවරයා දරන උත්සාහයට ඇමරිකාවේ එකඟතාව පළ නොවී ඇති බව වාර්තා වනවා.

ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම ක්‍රියා කලාපයට අනුකූලතාව දැක්වීම හරහා ඇමෙරිකාව රුසියාව සමග සෘජු යුධ ගැටුමකට ඇද දැමෙන බවයි.

රුසියානු හමුදාවන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කරන බව යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (28) ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ, යුක්‍රේන අගනුවර වන කිව් වෙත ඇතුළු වීම සඳහා රුසියානු හමුදා සහ සන්නද්ධ රට රථ කිලෝමීටර් 50 ක පමණ දිගු පෝලිමක රැඳී සිටින අවස්ථාවකදීයි.

ජාත්‍යන්තර චන්ද්‍රිකා ඡායාරූප රුසියානු හමුදාවන්ගේ මෙම පෙළගැස්ම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු හමුදාවන්ට මෙතෙක් යුක්රේනයේ අගනුවර සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මේ අතර සිය විමුක්ති අරගලය සඳහා සහයෝගය දැක්වීමට කැමති වෙනත් රටවල හමුදා සහ සන්නද්ධ කණ්ඩායම්වලට ඒ සඳහා එක්වන ලෙස යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, මෙලෙස සිය සටනට සහයෝගය දැක්වීම සඳහා එක්වන ඕනෑ ම ආකාරයක සන්නද්ධ කණ්ඩායම් පිළිගැනීමට සිය හමුදාවන් සහ රට වැසියන් කැමැත්තෙන් සිටින බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ගෞරවනීය ටයිකොන්ඩෝ කළු පටිය නැවත කඳවීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් මීට පෙර රුසියානු ජනාධිපතිවරයාට ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ගෞරවනීය කළු පටියක් ප්‍රදානය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් මෙම ගෞරවනීය කළු පටිය ඉවත් කිරීමට යි ලෝක සම්මේලනය තීරණය කර ඇත්තේ.

මේ අතර ලෝක පාපන්දු සම්මේලනය හා යමින් ජාත්‍යන්තර රග්බි සංගමය ද රුසියාව සහ බෙලරුසියාව යන රටවල් දෙකේ ම සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රග්බි සංගමය සඳහන් කරන්නේ, නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගෙ සාමාජිකත්වය අත්හිටුවන බවයි.

මේ අතර මාස්ටර් කාර්ඩ් (mastercard) ලෝක ගෙවීම් ජාලය ද රුසියාව තුළ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව මාස්ටර් කාර්ඩ් (mastercard) ගෙවීම් වේදිකාව උපයෝගී කරගෙන මින් ඉදිරියට රුසියාව තුළ භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කළ නො හැකි වනු ඇති.

මේ අතර රුසියාව බෙලරුසියානු විශේෂ හමුදා ඒකක සිය රට තුළ මෙහෙයුම් කටයුතු සඳහා කැඳවීමට සූදානම් වන බවට යුක්‍රේනය චෝදනා කරනවා.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර රුසියාව සහ බෙලරුසියාව එක්ව පසුගිය සති කිහිපය මුළුල්ලේ දැවැන්ත යුද අභ්‍යාස ගණනාවක් පැවැත්තුවා.

මේ සඳහා එක් ව සිටියේ බෙලරුසියානු විශේෂ හමුදා ඒකක.

ඔවුන්ට යුක්රේන භූමිය සම්බන්ධ හසල දැනුමක් ඇති අතර ඔවුන් දැඩි කටුක තත්ත්වයන් යටතේ සටන් වැදීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ හමුදා කණ්ඩායම් ලෙස සැළකෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බෙලරුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, සිය හමුදාවන් යුක්රේන – බෙලරුසියානු දේශසීමාවේ ආරක්ෂක කටයුතුවල නිරත වීම හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රහාරක හෝ මෙහෙයුම් කටයුතු සඳහා යොමු කර නො මැති බවයි.

මේ අතර ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් මර්ෆි සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක්යක් නිකුත් කරමින් සඳහන් කළේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ දී රුසියාව සකසා ගෙන සිටි මූලික සැලසුම් සියල්ලට ම පසුපසින් ඔවුන් මේ වන විට සිටින බව යි.

මේ පසුබෑමට විශේෂයෙන් ම හේතු වී ඇත්තේ, යුක්රේනියානුවන්ගේ අදහාගත නො හැකි දරුණු ප්‍රතිරෝධය බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම ගැටුමට එක් ව සිටින රුසියානු හමුදාවන්ට ලබා දී ඇති පහසුකම්, උපකරණ සහ සන්නිවේදන දුර්වලතා ද මේ සඳහා බලපෑම් කර ඇති බව යි ඔහු පවසන්නේ.

ඔහුගේ තක්සේරුව අනුව රුසියානු හමුදාවන්ට යුක්රේනයේ කිව් අගනුවර පාලනය සහමුලින් ම අත්පත් කර ගැනීම සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති.

එමෙන්ම එම අවසන් ගැටුම් දරුණු ලේ වැගිරීම් ඇති විය හැකි බිහිසුණු සටන් වන බවටත් ඔහු අනාවැකි පළ කරනවා.

ඒ මේ වන විට යුක්රේන වැසියන් සිය අගනගරය බේරා ගැනීම සඳහා වීදි සටන්වලට පෙලඹී සිටින ආකාරය නිරීක්ෂණය කිරීමේ දී මේ තත්ත්වය පුරෝකතනය කළ හැකි බව යි ඔහු සඳහන් කරන්නේ ෴

++++++

++++++++

‘බැට් මෑන්’ රුසියාවට යන්න බෑ කියයි !

(01.03.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සමාගම් විසින් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පෙබරවාරි 28 විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි ප්‍රධාන හොලිවුඩ් චිත්‍රාගාර දෙකක් (2) වන ඩිස්නි සහ වෝනර් බ්‍රදර්ස් සමාගම් විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, රුසියාව තුළ ඉදිරියට එන චිත්‍රපට සඳහා මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.

වෝල්ට් ඩිස්නි සමාගම (DIS.N) ඊයේ (28) ප්‍රකාශ කළේ රුසියාවේ නාට්‍ය චිත්‍රපට නිකුත් කිරීම නවත්වන බවත්, එළඹෙන Pixar Animation Studios නිකුතුව වන ‘Turning Red’ සමඟින් ආරම්භ කිරීමට සිය සමාගම තීරණය කර ඇති බවයි.

WarnerMedia ප්‍රකාශ කළේ මෙම සතියේ ‘The Batman’ සිනමා පටය ද රුසියාවේ නිකුත් කිරීම නවත්වන බවයි.

“වත්මන් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වන බැවින් ඒ සඳහා අදාළ ව්‍යාපාරික තීන්දු සහ තීරණ අදාළ අවස්ථාවන්හි දී ගැනීමට අප කටයුතු කරනවා” යනුවෙන් ඩිස්නි සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම මේ වනවිට මෙම සමාගම යුක්‍රේන – රුසියානු යුද අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සරණාගත පිරිසට මානුෂීය ආධාර ලබාදීමට ද සෙසු සමාජ ක්‍රියාකාරී සංවිධාන හා එක්ව කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සති අන්තයේ, යුක්‍රේනියානු චිත්‍රපට ඇකඩමිය, ආක්‍රමණයෙන් පසු රුසියානු සිනමාව සහ රුසියානු චිත්‍රපට කර්මාන්තය ජාත්‍යන්තරව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි අන්තර්ජාල පෙත්සමක් ද ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණා.

රුසියානු සිනමා කර්මාන්තය හොලිවුඩ් ක්ෂේත්‍රය සඳහා සැලකිය යුතු ආදායම් වෙළඳපොළක් වන අතර, 2021 දී බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 601 ක් උපයාගත් අතර, ලොව පුරා ප්‍රවේශපත්‍ර අලෙවියෙන් 2.8% ක් පමණ අගයක් ගනු ඇති.

එය පසුගිය වසරේ ඩොලර් බිලියන 21.4 ක් ද වනවා.

ප්‍රධාන චිත්‍රපට කිහිපයක් ගෝලීය නිකුතුව සඳහා සැලසුම් කර තිබෙනවා.

ඒ අතර, ‘The Batman’ ප්‍රමුඛ වන අතර, එය මාර්තු 3 වෙනිදා රුසියාවේ දී ලොව පුරා එළිදැක්වීමේ කොටසක් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබුණා.

Netflix විසින් ආයතනික නීතිරීති රෙගුලාසි ඉක්මවා යාමක් සිදු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් ඊයේ (28) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවතින යුද තත්ත්වය මත රාජ්‍ය අනුග්‍රහය සහිත නාලිකා බෙදා හැරීම සඳහා සිය මාධ්‍ය ප්‍රවාහයට අවශ්‍ය වන රෙගුලාසි ද නොතකා මෙම තීන්දුව ගත් බවයි.

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ, යුද ගැටුම් සාමකාමී වන තෙක් කිසිදු අයුරකින් රුසියානු සේවාවට රාජ්‍ය නාලිකා එක් නොකරන බවයි.

පැරමවුන්ට් පික්චර්ස් හි ‘Sonic the Hedgehog 2’ අප්‍රේල් 08 වන දින සිය ගෝලීය මංගල දර්ශනය සිදු කිරීමට නියමිතයි.

එහෙත් රුසියාවේ සිනමා කර්මාන්තයට ලද සම්බාධක හමුවේ මෙම සිනමා පට ප්‍රදර්ශනය නොවනු ඇති.

WarnerMedia ප්‍රකාශ කළේ, යුද අර්බුදය විසඳා සාමකාමීත්වය අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි.

++++++++

රුසියානු – යුක්රේන අර්බුදයෙන් මෙරට තේ කර්මාන්තයට බලපෑම්

(01.03.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් දෙරටේ ම ඇති වී තිබෙන ආර්ථික පරිහානිය මෙරට තේ කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පසුගිය වසරේ දී රුසියාව මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 29.7 ක් මිල දී ගත්තේ ඉරාකය සහ තුර්කියට පසු තුන්වන විශාලතම ගැනුම්කරු ලෙසින්.

එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේදී ද රුසියාව තේ කිලෝග්‍රෑම් මිලියන 2.5 ක් මිල දී ගත්තා.

ඒ අනුව පසුගිය මාසයේ මෙරට තේවල දෙවන (2) විශාලතම ගැනුම්කරු වූයේ රුසියාවයි.

කෙසේ නමුත්, යුක්රේන ආක්‍රමණ හමුවේ බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් රූබලය ඊයේ (28) සියයට 30 කින් පමණ පහත වැටුණා.

එමෙන්ම, රුසියාව ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු ක්‍රමවේදයෙන් ඉවත් කිරීමට ද බටහිර රටවල් තීරණය කළා.

ඇමෙරිකානු ඩොලරයට එරෙහි ව රුසියානු රූබලයේ අගය මේ වනවිට වාර්තාගත ලෙසින් පහත වැටී තිබෙනවා.

මේ නිසා රුසියානු ගැනුම්කරුවන්ට මෙරට තේ නිෂ්පාදන සඳහා ඔවුන් කලින් ලබා දුන් ඩොලර් ප්‍රමාණය ලබාදීම දුෂ්කර වනු ඇති බව සඳහන් ෴

+++++++++

රුසියානු හාම්පුතාගේ සුපිරි යාත්‍රාව ගිල්වීමට තැත් කළ යුක්රේන ඉංජිනේරුවා අත්අඩංගුවට

(01.03.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ස්පාඤ්ඤයේ මියෝකා තොටුපළේ නතර කර තිබූ කෝටිපති රුසියානු ව්‍යාපාරිකයෙකුට අයත් සුඛෝපභෝගී යාත්‍රාවක් ගිල්ලවීමට තැත් කළ එහි සේවය කළ යුක්රේන ජාතික ඉංජිනේරුවෙකු ස්පාඤ්ඤ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩි 156 ක් දිගැති ලේඩි ඇනස්ටාසියා නැමති යාත්‍රාවේ වසර 10 ක් සේවය කර ඇති මෙම යුක්රේන ජාතික ඉංජිනේරුවා එහි එන්ජින් කාමරයට පිවිස කපාට විවෘත කොට එය ගිල්වීමට තැත් කර ඇති බව සඳහන්.

යාත්‍රාවට හානි සිදු වුව ද එය ගිලීමට පෙර බේරාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් යුක්රේන ඉංජිනේරුවා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ තම රුසියානු හාම්පුතා ආයුධ ජාවාරම්කරුවෙකු වන අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණය රූපවාහිනියෙන් නැරඹීමෙන් පසු තමා එය සිදු කිරීමට පෙළඹුණු බවයි.

ඒ සම්බන්ධයෙන් තමා පසුතැවීමට ලක් නොවන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඩොලර් මිලියන 7.7 ක් වටිනා යාත්‍රාව ගිල්වීමට තැත් කළ යුක්රේන ඉංජිනේරුවරයා ස්පාඤ්ඤ අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇති අතර ඔහු සිය රට බලා ගොස් ඇත්තේ රුසියානුවන්ට එරෙහිව සටන් වැදීමටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *