මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක්

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක්

*********************************************

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක්

(01.03.2022 – 10:48 +0530 – hirunews.lk/sinhala)

2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරය විමසමින් සකස් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව අදාළ නිර්ණායක පදනම් කරගනිමින් ගණනය කරනු ලබන වන්දි මුදල, ඇගයීම් දිරි දීමනාවක් වශයෙන් උපරිම වගා වපසරිය අක්කර 05 ක ප්‍රමාණයට ලබාදීමටත්, යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ටට් ද අදාළ ඇගයීම් දිරි දීමනාව ලබාදීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් සකසා තිබෙනවා.

එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල්,කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන හා වී හා ධාන්‍ය,කාබනික ආහාර,එළවළු, පලතුරු ආදිය වගා කිරීමට උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අද (01) දින අනුමත කරනු ලැබුවා.

***************************************

පමුණුගම දී කොටු වුණු නීතිවිරෝධී මත්පැන් ජාවාරම

(01.03.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී මත්පැන් සහ එම මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු (4) අත් අඩංගුවට ගැනුණා.

ඒ ඊයේ (28) පස්වරුවේ පමුණුගම පොලිස් වසමේ නුගපේ ප්‍රදේශයේ දී යි.

සැකකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද නීතිවිරෝධී මත්පැන් ලීටර් 67 කට අධික ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර් 6000 කට අධික ප්‍රමාණයක් ද සොයා ගැනුණා.

මෙම කටයුතු සඳහා යොදාගත් යක්ඩ බැරල් 37 ක්, හිස් බුලි 40 ක් සහ තඹ දඟර 11 ක් ද පොලිස් භාරයට ගැනුණේ අධිකරණ නඩු භාණ්ඩ සඳහා ඉදිරිපත් කිරීමටයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පුබුදුගම – උස්වැටකෙයියාව යන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30, 35, 37 සහ 44 යන වයස් සීමාවල පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සිව්දෙනා (4) පමුණුගම පොලීසියට භාර දී තිබෙනවා.

***************************************

වසා දැමුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

(01.03.2022 – 10:40 +0530 – hirunews.lk/sinhala)

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කැබිනට් තීන්දුවක් ගෙන තිබෙනවා.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ බව නිවේදනය කෙරුණා.

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු මෙම කම්හල වසා දැමුණේ 2012 වසරේ දී යි.

එකී කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැගිලි වසර 30 ක කාලසීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන ‘කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම’ වෙත ලබාදීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීමට කටයුතු කර නොතිබූ බැවින්, එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නැහැ.

එම කම්හල පිහිටි අක්කර 111 රූඩි 02 පර්චස් 33 ක ඉඩම දිගුකාලයක් බදු පදනම මත සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීම සඳහා මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මෙම සමාගම අදාළ බදු පදනම යටතේ ලබාදෙන සමාගම සමග කොන්දේසිවලට පැමිණ ඇති අතර, එය ගිවිසුම්ගත වූ පසුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා ෴

***************************************

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයට නව අත්වාරුවක්

(01.03.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යයනය කරනු ලබන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය 04 වන පැකේජය යටතේ සම්ප්‍රේෂණ මාර්ග සහ කොටස් සැලසුම් කිරීම, සැපයීම සහ ස්ථාපනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා තිබෙනවා.

අද (01) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කෙරුණා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව විදෙස් පෞද්ගලික සමාගමකට පැවරීම නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴

***************************************

රත්‍රං සමග කොටු වූ විදෙස් ජාතිකයින් දෙපල

(01.03.2022 – 11:07 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී අන්දමින් රුපියල් මිලියන 15 ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ග්‍රෑම් 490 ක් බරැති රත්‍රං ගුලි 3 ක් සොයාගෙන තිබෙනවා ෴

***************************************

පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තිකයින් යළි වර්ජනයේ

(01.03.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට රජය මෙතෙක් කටයුතු නො කිරීම හේතුවෙන් හෙට (02) සිට දින දෙකක (2) කාලයක් යළි වර්ජනයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

පසුගිය මස 07 වන දා සිට දින 9 ක කාලයක් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් අඛණ්ඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව ඔවුන් එම වර්ජනය අත්හිට වූ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, සාකච්ඡාවේ දී ගත් තීරණ මේ දක්වා ක්‍රියාත්මක නො වීම නිසා යළි වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, සියලු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා, වකුගඩු රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

එමෙන්ම, බෝවන රෝග විද්‍යායාතනය, අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය, මධ්‍යම ලේ බැංකුව ද වර්ජනයට එක් කර නො ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළා ෴

***************************************

සමෘද්ධියත් අඩු වෙන ලකුණු

(01.03.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන්ගේ සහනාධාර රුපියල් බිලියන තුනකට (3) ආසන්න මුදලකින් අඩු කිරීමට රජයෙන් උපදෙස් ලබා දී ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් එවැනි සහනාධාර මුදල් කප්පාදුවකට තම සංගමය එකඟතා පළ නොකරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

***************************************

ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්රේන පෝලන්ත දේශසීමාවෙන් පිටතට ගැනේ

(01.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු (2) ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්රේන – පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

පෝලන්තයේ වොර්සෝ සහ තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙම කටයුතු සිදුකරමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, බෙලරූසයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 8 කට අධික සංඛ්‍යාවක මෙරට සිසුන් 1556 ක් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 1600 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් සමග මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී විදේශ අමාත්‍යවරයා කරුණු දක්වයි

(01.03.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (01) කරුණු දක්වනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සැසිවාරයට ඉදිරිපත් කර තිබියදියි.

මානව හිමිකම් කොමිසම මගින් ක්‍රියාත්මක කරන සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයට ශ්‍රී ලංකාව විරුද්ධත්වය පළ කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

සාමාජික රටවල් ස්වේච්ඡාවෙන් ලබාදෙන අරමුදල් ඒ සඳහා යොදා නොගත යුතු බව ලක් රජයේ අදහසයි. එමෙන්ම මෙම යාන්ත්‍රණය මෙරට ජනතාවගේ ආර්ථික සංවර්ධනය, සාමය හෝ සංහිඳියා ක්‍රියාවලියට සහයක් නොවන බවයි විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවසන් වරට සම්මත කරගැනුනු යෝජනාව මගින් මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමටද පියවර ගැනුනා ෴

***************************************

ඇල්ලවල ඇල්ලට අදත් තරුණයන් දෙදෙනෙකු (2) බිලි

(01.03.2022 – 19:05 +0530 – hirunews.lk/sinhala)

දිය නෑම තහනම් කර ඇති වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම තරුණයින් දෙදෙනා (2) තම මිතුරන් 5 දෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී දිය පහරට හසුවීමෙන් 21 සහ 22 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

පසුගිය මස 05 වන දා මෙහි දිය නෑමට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු (3) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එසේම පසුගිය වසරේ ඔක්තෝම්බර් 20 වනදා ද පියෙකු තම දියණිය සහ පුතු සමග මෙම දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

දිය නෑම අනතුරුදායක බවට ප්‍රදර්ශනය කර තිබියදීත් එම නියෝග කඩ කර, දියනෑම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව මීට පෙර වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

***************************************

යුක්රේන අර්බුදය නිසා යල කන්නයටත් පොහොර ගැටළුවක්

(01.03.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි යල කන්නයේදී ද රසායනික පොහොර සැපයීමේදි ගැටළු ඇතිවිය හැකි බව පොහොර ආනයනකරුවන් පවසනවා.

රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ බෙදාහැරීම සඳහා ‘බණ්ඩි පොහොර’ හෙවත් ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ මෙට්‍රික් ටොන් 38,500 ක් රජයේ පොහොර සමාගම් දෙක (2) හරහා ආනයනය කිරීමට ඊයේ (28) කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

කෙසේ වෙතත් වාර්ෂිකව ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ පොහොර වැඩි ප්‍රමාණයක් බෙලරුස් රාජ්‍යයෙන් ආනයනය කරන අතර, යුක්රේන අර්බුදය හේතුවෙන් මේ වනවිට ඒ සඳහා ගැටළු මතුවී ඇති බවයි පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික පසාඩ් වීරසේකර කියා සිටියේ.

එමෙන්ම පොහොර ආනයනය කිරීමේදීද ඩොලර් හිඟකම බලපා ඇති බව ඔහු සඳහන් කළා ෴

***************************************

අභියෝගාත්මක අවස්ථාවක අහිතකර සාක්ෂි රැස් කිරීම ගැන ශ්‍රී ලංකාවෙන් මානව හිමිකම් කවුන්සිලයේදී විරෝධය

(01.03.2022 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කවුන්සිලය මගින් ක්‍රියාත්මක කරන සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයට ශ්‍රී ලංකාව විරුද්ධත්වය පළ කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ සාමාජික රටවල් ස්වේච්ඡාවෙන් ලබාදෙන අරමුදල් ඒ සඳහා යොදා නොගත යුතු බව ශ්‍රී ලංකා රජයේ අදහස බවයි.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සැසිවාරයට ඉදිරිපත් කර තිබියදියි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවසන් වරට සම්මත කරගත් යෝජනාව මගින් මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට පියවර ගැනුනා ෴

***************************************

ෆෝමලීන් හිඟයක් නැහැ – රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාව

(01.03.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ෆෝමලීන් හිඟයන් පවතින බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අවශ්‍ය ෆෝමලීන් තොග රට තුළ පවතින බවයි.

කෙසේ වෙතත් රට තුළ ෆෝමලීන් හිඟයක් පවතින බව සමගි ජන බලවේගය කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාවෙන් විමසීමක් කල අතර එහි සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ කියා සිටියේ දිවයින පුරා සියලු මල්ශාලා වෙත ප්‍රමාණවත් ෆෝමලීන් තොග නිකුත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි මාස එකහමාරකට (1½) ප්‍රමාණවත් ෆෝමලීන් තොග රට තුළ පවතින බව ඇය කියා සිටියා.

තවත් ෆෝමලීන් මෙට්‍රික් ටොන් 80 ක් මෙම මාසයේදී ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට නියමිත බව ඇය සඳහන් කළා.

මෙරට සියලු මල්ශාලා ඇතුලු පෞද්ගලික අංශ සඳහා අවශ්‍ය ෆෝමලීන් තොග රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාව මගින් ආනයනය කරන අතර එම සංස්ථාව මගින් වාර්ෂිකව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන ෆෝමලීන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200 ක්.

එම ප්‍රමාණය වාර්ෂිකව කොටස් 4 ක් ලෙස ආනයනය කෙරෙනවා.

එලෙස ආනයනය කෙරෙන ෆෝමලීන් තොග බලපත්‍ර ලත් මල්ශාලා හිමිකරුවන් වෙත පමණක් නිකුත් කෙරෙන බවයි රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

අවශ්‍ය මොහොතකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට පවා සුදානම් – දයාසිරි ජයසේකර

(01.03.2022 – 23:14 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) දිනයේ පැවැත්වෙන පක්ෂ 11 ක සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වය ගෙන කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *