දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

*********************************************

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

(01.03.2022 – am.lk)

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක්: පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය සිසිර ජයකොඩි මහතා දැරුවද ඔහු රූකඩයක් සේ කටයුතු කරන බව ‘ඒෂියන් මිරර්’ වෙත වාර්තා වනවා.

සැබෑ ලෙසම දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ සිසිර ජයකොඩි මහතාගේ පුද්ගලික ලේකම් කාංචන නැමැත්තෙකු බවයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අමාත්‍යංශ නිලධාරීන් සමග පවත්වන සියලු සාකච්ඡා මෙහෙයවන්නේ හා තීරණ ගන්නේ අදාල පොද්ගලික ලේකම්වරයා විසින් බවයි එම ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ඉංග්‍රීසි බස මනා හැසිරවිය හැකි ඔහු තීන්දු තීරණ ගනිද්දී රාජ්‍ය අමාත්‍යවරයා නිහඬවම බලා සිටින බවත් වාර්තා වනවා.

මේ වන විට පුද්ගලික ලේකම්වරයා විශේෂ කාරණා දෙකක් මත සිය අවධානය යොමු කර තිබෙනවා.

ඉන් එකක් කංසා වගා කිරීම නීතිගත කිරීමයි.

දෙවැන්න දේශීය ආයුර්වේදය මගින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන රට පුරා ඇති කිරීමයි.

එය දේශීය ආයුර්වේද විෂයට අදාළ නොවන කරුණක් බවයි එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පෙන්වා දෙන්නේ.

සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාගේ මෙම මැදිහත්වීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැඩි හිසරදයක් වී තිබෙනවා ෴

***************************************

දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා දිවි නහගනී

(01.03.2022 – 06:57 +0530 – lankadeepa.lk)

දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය.

ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිව්දරු (4) පියෙකි. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන මාඩසාමි මංජුලා (30) නමැති අය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. අපට අවුරුදු 12 ට අඩු දරුවන් හතර දෙනෙක් (4) ඉන්නවා. පුතාලා තිදෙනකු (3) සහ එක (1) දියණියක සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 9 කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා.

මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථීර ගෙයක් නැහැ. රුපියල් 3500 ක කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ.අපිට ස්ථීර පදිංචියක් නැති නිසා දරුවන්ව පාසලකට දාන්න බැරිවුනා.

මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුනා. ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ.

දින තුනක (3) සිට නිවසේ කෑමට කිසිවක් තිබුනේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ. ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන්ව තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් (2) විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙළවැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුනා.

අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුනේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුනා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා යැයි පැවැසුවාය.

සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල ජයනෙත්ති මහතා විසින් නියෝග කළ අතර වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න සාක්‍ෂි මෙහෙයවීය.

බන්දු තඹවිට

+++++++

***************************************

මෝටර් රථය ටිපර් රථයේ ගැටී පියතුමා මරුට

(01.03.2022 – 11:20 +0530 – lankadeepa.lk)

අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයේ මරදන්කඩවල දී මෝටර් රථයක් වැලි පැටවු ටිපර් රථයකට යටවී සිදු වූ අනතුරකින් එම මෝටර් රථය පැද වූ පියතුමකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, මධ්‍යම පාර,අයේෂ ලිපිනයෙහි වාසය කළ ගනේෂ පිල්ලේ නිතිදාසන් නැමැති හතළිස් නව හැවිරිදි පියතුමෙකි.

මියගිය පියතුමා වවුනියාව ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයෙන් ගමන් කොට ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ පියතුමා පමණක් මෝටර් රථය තුල සිට ඇති බවත් ඔහු විසින් රථය පදවා ඇති බවත් පොලිසිය පවසයි.

අනතුරෙන් මියගිය පියතුමා බේරා ගැනීම සඳහා සුවසැරිය ගිලන් රථය ද එම ස්ථානයට ගෙන්වා ඇති අතර ටිපර් රථයට යට වූ මෝටර් රථය එළියට ගැනීමට පොලීසිය සහ ප්‍රදේශවාසීන් පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එළියට ගන්නා විට ඔහු මියගොස් සිටි බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය ෴

***************************************

තවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

(01.03.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු ‘එක රටක් – එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර තිබෙනවා.

එම කාර්ය සාධක බලකායේ කාර්යයන් සහ වගකීම් සපුරාලීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (28) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින්, සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් තුළ එය කාර්යක්ෂම ලෙස සිදු කොට අවසන් කිරීම සඳහා එහි කාලය තවත් මාස 3 කින් දීර්ඝ කොට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

+++++++

නව පොහොර තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය

(01.03.2022 – 11:05 +0530 – hirunews.lk/sinhala)

‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ යනු සුලබව යොදන පොටෑසියම් පොහොරක් වන අතර, ගොවීන් විසින් වී වගාව සඳහා බණ්ඩි පොහොර ලෙස එය භාවිත කරනු ලබනවා.

2022 යල කන්නය තුල ගොවීන් විසින් හෙක්ටයාර ලක්ෂ 06 ක පමණ භූමි ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබාදීම සඳහාත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද (01) අවසරය හිමිවුණා.

***************************************

දඹල්ල පොලිස් වසමේ දී මනුෂ්‍ය ඝාතනයක්

(01.03.2022 – 07:16 +0530 – hirunews.lk/sinhala)

දඹල්ල පොලිස් වසමේ දැලිව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඒ ඊයේ (28 වැනි දා) යි.

එහි දී කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති අතර, මොනරාගල – සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව කාන්තාව මිය ගිය බව යි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 28 ක දැලිව – රුවල්වෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පවුල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් මෙම අනතුරු සිදු වී ඇති බවට යි පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඝාතනය සිදු කළ, මරණකාරියගේ ස්වාමි පුරුෂයා වන 34 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹගල්ල පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

පොළොස් ගෙඩි 6 ක් සොරකම් කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(01.03.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කොස් ගසකින් පොළොස් ගෙඩි 6 ක් සොරකම් කළ පුද්ගලයෙකු ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමකට ඇතුළු වී කොස් ගසකින් පොළොස් ගෙඩි 6 ක් කඩා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් මොහු අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දී ඇති අතර ඉන් අනතුරුව යි ඔහු ඊයේ (28) අධිකරණය ඉදිරිපත් කර තිබුණේ ෴

***************************************

අනවසරයෙන් විදෙස් මුදල් හුවමාරු කළොත් වැඩ වරදියි

(01.03.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

අනවසරයෙන් විදේශ මුදල් හුවමාරු කරන මධ්‍යස්ථාන සහ පුද්ගලයන් පිළිබදව මහබැංකුව මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටිනවා.

එමගින් නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදී ගැනීම, අලෙවි කිරීම හා හුවමාරුව සඳහා අවසර ඇත්තේ මහබැංකුව විසින් අනුමත බලපත්‍රලාභී මුදල් හුවමාරු ආයතනවලට පමණක් බවයි.

යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මහබැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් ගනුදෙනුවල නිරතවීම විදේශ විනිමය පනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක්.

මේ නිසා එවැනි පුද්ගලයන් හෝ ආයතන පිළිබදව තොරතුරු මහබැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත 011 239 8827, 011 247 7375 හෝ 011 239 8568 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ dfem@cbsl.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දෙන ලෙසයි එමගින් දැනුම් දෙන්නේ ෴

***************************************

ජී.එම්.ඕ.ඒ. ජනපති හමුවෙයි

(01.03.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා වෛද්‍යවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

රටක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවය තුළ නිවැරදි වැටුප් ව්‍යුහයක් පවත්වා ගැනීමේ වැදගත්කම හා සේවාවේ කාර්ය සාධනය අනුව වගවීම සහ වගකීම මත පදනම් වූ සේවක ව්‍යුහයක් තුළ වැටුප නිර්ණය කිරීමේ වැදගත්කම එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, වැටුප් පිළිබද සංශෝධන කැබිනට් පත්‍රිකා මගින් සිදු නො කොට ඒ සඳහා තාක්ෂණික සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් යුත් ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කොට වැටුප් ප්‍රතිපත්තියකට අනුකූලව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම, පශ්චාත් වෛද්‍ය පාඨමාලා හැදැරීමේ අවස්ථා ඉහළ දැමීමට සහ වෛද්‍යවරුන් ස්ථානගත කළ හැකි විශේෂ ක්‍රමවේදයන් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද යෝජනාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකගතාව පළ කළ බව ද එම සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, රෝගීන් ගොදුරු කර ගනිමින් වෛද්‍යවරුන් තම අයිතිවාසිකම් සපුරාගැනීම සිදුකරන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අනුශාසක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, එම වෘත්තීය සමිති සන්ධානයේ මංගල මාධ්‍ය හමුවට ඊයේ (28) එක්වෙමින්. මාධ්‍ය හමුවට එම සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ද එක්ව සිටියා ෴

***************************************

රුපියල් කෝටි 9 ක කොකේන් සමග කොටු වූ විදෙස් කත

(01.03.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 9 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙක හමාරක් (2½) සමග 27 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතියෝපියාවේ සිට එක්සත් අරාබි එමීරයේ ඩුබායි හරහා ඇය කටුනායක ගුවන් තොටුපළට ඊයේ (28) උදෑසන පැමිණ ඇත්තේ ෆලයි – ඩුබායි ගුවන් යානයකින්. ඇය සිය ගමන් මල්ලේ ෂැම්පු බෝතල් 3 ක් සහ මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ බොත්තම් 400 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා තිබූ බව සදහන්.

එම මත්ද්‍රව්‍ය අධි තාක්ෂණික උපකරණ සහිත අඩිස් අබාබා සහ ඩුබායි ගුවන් තොටුපළවලදී අනාවරණ කර ගැනීමට නොහැකි වුව ද කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සුවිශේෂී මත්ද්‍රව්‍ය වැටලීමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා ප්‍රකාශ කළේ.

මේ වන විට ඉන්දීය ජාතික කාන්තාව සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කෙරේ

(01.03.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දිවයිනේ රැදී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට අපහසු තත්ත්වයක් පැන නැගීම ඊට හේතුවයි.

ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් (2) දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.

මේ වන විට රුසියානු සංචාරකයන් 11,463 දෙනෙකු සහ යුක්රේන සංචාරකයන් 3993 දෙනෙකු ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනාවරණ වන්නේ.

සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ පිළිබඳ ඊයේ (28) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙරට සිටින යුක්රේන ජාතිකයින්ගේ වීසා කාලය දිගු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව යි ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු පූර්ණ සුවයට

(01.03.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 168 දෙනෙකු අද (01) දී පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 6,08,092 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,720 ක්.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 16,222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *