අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක්

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක්

*********************************************

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක්

(23.02.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) පැය පහකට (5) ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඊයේ (22) ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව ඒ, බී සහ සී කලාපවලට පැය හතරයි (4) මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කෙරෙන අතර, අනෙකුත් කලාපවලට පැය හතරයි (4) මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා.

විදුලිය විසන්ධි කිරීම පෙරවරු 08:30 ට ආරම්භ වන අතර, එය කලාප වශයෙන් රාත්‍රී 10:30 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව ‘ඒ’ කලාපයට පෙරවරු 08:30 සිට 11:10 දක්වා සහ පස්වරු 04:30 සිට 06:30 දක්වා විදුලිය විසන්ධි කෙරෙනවා.

++++++

ඉන්ධන මිල වැඩි නොකිරීමේ තීරණයක්

(23.02.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ කිසි ලෙසකින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩුව පවසනවා.

පවතින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, වරායට පැමිණ ඇති ඉන්ධන නෞකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ කැබිනට් රැස්වීමට අමාත්‍යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද එක්ව සිටි බව සඳහන්.

++++++++++++++

බැසිල් – ආටිගල රට හැර යයි ?

(23.02.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විදෙස් සංචාරයක නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ එළඹෙන සිකුරාදා (25) දින ඉන්දියාවේ යි.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් සාකච්ඡා සිදු කෙරෙන අතර, ඊට ඉන්දියාව ලබාදෙන සහාය පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා වනු ඇති.

මේ වනවිට ශ්‍රී ලංකාව රටක් ලෙස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති අතර, එහි ප්‍රධානතම අභියෝග වන්නේ ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය විසඳා ගැනීම උදෙසා රට තුළට ඩොලර් ගලා ඒම යළි සක්‍රීය තත්ත්වයට පත් කරගැනීමයි.

එය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් උපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින විශාලතම ආර්ථික අභියෝගය ද වනවා.

ඒ සඳහා වත්මන් රජය විවිධ අවස්ථාවලදී සිය මිතුරු රාජ්‍යයන් සමග විදෙස් සබඳතාවල නිරත වන්නේ පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රට වැටී ඇති ආගාදයෙන් ගොඩගැනීම සඳහා උපදෙස් ද ලබා ගැනීම පිණිස බවයි රජයේ විද්වත් පාර්ශ්වයන් විසින් විව්ධ අවස්ථාවලදී පෙන්වා දුන්නේ ෴

++++++++++++++

ඉන්ධන නොමැතිව මගී බස් අතරමග

(23.02.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මගී බස් රථ ධාවනය සියයට 50 කින් පමණ අඩු වී ඇති බවත් ඇතැම් අවස්ථාවල දී බස් රථ ගමනාන්තය කරා යාමට නොහැකිව අතරමඟ නතර වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

රට පුරා පවතින ඉන්ධන හිඟයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදය යි ෴

++++++++++++++

සිංගප්පූරු ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

(23.02.2022 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් ගෙවා නිදහස් කර ගත් මෙම නෞකාවේ අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ගොඩබෑම අද (23) පස්වරුවේ ආරම්භ කරන බවයි.

මේ අනුව, තවත් දින දෙකක් (2) තුළ දැනට පවතින ඩීසල් හිඟය මඟහැරෙනු ඇති බව ද ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++

ඩොලර් ගෙවලා ගත්ත තෙල්, විදුලියට දෙන්න බැහැ – බලශක්ති අමාත්‍යාංශය

(23.02.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් ගෙවා නිදහස් කර ගත් සිංගප්පූරු නෞකාවේ අඩංගු ඩීසල් තොගයෙන් කොටසක් විදුලි උත්පාදනයට නිකුත් කළ නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඩීසල් හිඟ වීමෙන් මගී ප්‍රවාහනය ඇතුළු ආර්ථික කටයුතු වලට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට සිදුවීම ඊට හේතුවයි.

ඉන්ධන අර්බුදය උග්‍ර වීමත් සමඟ මේ වනවිට විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රවාහනයටද බාධා එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් ඩීසල් සංචිත අවම මට්ටමකට පැමිණීම මෙම අර්බුදයට මූලික හේතුව වී ඇති අතර දින තුනකට (3) පෙර දිවයිනට ළඟා වූ සිංගප්පූරු ඩීසල් නෞකාව මුදා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූයේ ඩීසල් සැපයුම පිලිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්.

ඉන්ධන පිරවුම්හල් අසල දිග පෝලිම් තවදුරටත් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් නොමැති බව සඳහන් කළ පුවරු දක්නට ලැබෙනවා.

ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ මෙරටට ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගෙන පැමිණි සිංගප්පූරු නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් ඊයේ (22) රාත්‍රියේම සිදු කරන ලෙසයි.

ඒ අනුව එම ඩීසල් තොගයට අදාළ ඩොලර් මිලියන 35.3 ක මුදල ගෙවා දැමීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියා.

එලෙස නිදහස් කර ගත් මෙම නෞකාවේ අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ගොඩබෑම අද (23) පස්වරුවේ ආරම්භ කරන බවයි ඇය සදහන් කළේ.

එමෙන්ම, තවත් ඩීසල් රැගත් නෞකාවක් දින දෙකකින් (2) පමණ දිවයිනට ළඟා වන අතර පෙට්‍රල් නෞකා දෙකක් (2) ද එලෙස පැමිණීමට නියමිතයි.

කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කිරීම පිළිබඳව මෙතෙක් මහ බැංකුවේ අනුමැතිය ලැබී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන්ධන හිඟයත් සමඟ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් පවතිනවා.

අද (23) දිනය තුළ පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ අනුව පැය 4 යි මිනිත්තු 40 ක් සහ පැය 4 යි මිනිත්තු 30 ක් ලෙස කලාප කිහිපයකට බෙදා අදත් විදුලි විසන්ධි කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම්වලට අනුව උපරිම ධාරිතාව රාත්‍රී කාලයේදී මෙගාවොට් 2700 ඉක්මවනු ඇති බවට අපේක්ෂිතයි.

කෙසේ වෙතත් තාප බලාගාර අක්‍රීය වීම හේතුවෙන් රාත්‍රි කාලයේ අහිමි වී ඇති මෙගාවොට් ප්‍රමාණය 584 ක්.

මේ අතර ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ ඒ හා සමාන වෙනත් ආයතන සඳහා විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම අධිආරක්ෂිත කලාප ද විදුලි විසන්ධි නොකරන ප්‍රදේශවලට අයත්.

විදුලිබල මණ්ඩලය පවසන්නේ සංචාරක කලාප වලට විදුලිය විසන්ධි නොකරන ලෙස සංචාරක අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි.

මේ අතර විදුලි කප්පාදුව හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙරට ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට තෙල් නිෂ්පාදනය කරන රටවල සියළු තානාපතිවරු රජය විසින් කැඳවා තිබෙනවා.

මාර්තු මස 15 වනදා දීර්ඝ කාලීන ණය පදනම මත ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඊට මැදිහත් වුණා.

++++++++++++++

ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය විදේශ ඇමති කියයි

(23.02.2022 – 18:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ වැඩි වැඩියෙන් ආයෝජන කිරීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය සුබ්‍රමනියම් ජයශංකර් පවසනවා.

රොයිටර් පුවත් සේවය සමඟින් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි මූල්‍ය අර්බුදයන් සමනය කිරීම සඳහා මේ ආකාරයේ වැඩපිළිවෙළක් අතිශයින් උපකාරී වනු ඇති බවයි.

මේ වන විටත් ඉන්දීය ‍ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ සමාගම් මෙරට ඛනිජ තෙල් ආශ්‍රිත කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රිත කර්මාන්ත සඳහා ආයෝජන කටයුතු සිදු කිරීමට මූලික සැලසුම් සකස් කරමින් සිටිනවා.

ඒ අතරින් මේ වන විටත් ඉන්දීය තෙල් සමාගම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කර ගබඩා පහසුකම් වැඩිකිරීමේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මෙරට ඛනිජ තෙල් සංස්ථාව සමඟ එක්ව නව සමාගමක් සඳහා ගිවිසුම් ගත වුණා.

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි විදේශ විනිමය හිඟයකින් පෙළෙන අතර, ඉන්ධන මිලදී ගැනීම සඳහා ගෙවීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් මේ දිනවල විදුලිය නිෂ්පාදනය පවා දැඩි අර්බුදකාරී තත්වයකට පත්වී තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සිකුරාදා (25) දින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් සාකච්ඡා සිදු කෙරෙන අතර, ඊට ඉන්දියාව ලබාදෙන සහාය පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා වනු ඇති.

මේ වනවිට ශ්‍රී ලංකාව රටක් ලෙස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති අතර, එහි ප්‍රධානතම අභියෝග වන්නේ ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය විසඳා ගැනීම උදෙසා රට තුළට ඩොලර් ගලා ඒම යළි සක්‍රීය තත්ත්වයට පත් කරගැනීමයි.

එය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් උපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින විශාලතම ආර්ථික අභියෝගය ද වනවා.

ඒ සඳහා වත්මන් රජය විවිධ අවස්ථාවලදී සිය මිතුරු රාජ්‍යයන් සමග විදෙස් සබඳතාවල නිරත වන්නේ පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රට වැටී ඇති ආගාදයෙන් ගොඩගැනීම සඳහා උපදෙස් ද ලබා ගැනීම පිණිස බවයි රජයේ විද්වත් පාර්ශ්වයන් විසින් විවිධ අවස්ථාවලදී පෙන්වා දුන්නේ ෴

++++++++++++++

හෙටත් (24) පැය 5 කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක්

(23.02.2022 – 18:31 +0530 – hirunews.lk/sinhala)

හෙට 24 දිනයේ පැය 5 කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B සහ C කලාපවලට පැය 4 ක් සහ මිනිත්තු 40 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර අනෙක් කලාපවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 4 යි මිනිත්තු 30 ක කාලයක්.

++++++++++++++

පිරිවැය රුපියල් බිලියන 4 කින් ඉහළට – හිඟ බිල් රුපියල් බිලියන 42 ක් – විදුලි ගාස්තු වැඩි කළ යුතු බව මණ්ඩලය කියයි

(23.02.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන උපයෝගී කර ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් බිලියන 04 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.

එසේම, විදුලි පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු හිඟ බිල්පත්වල වටිනාකම මේ වනවිට රුපියල් බිලියන 42 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විදුලිය විසන්ධි කිරීම සඳහා මේ වනවිට රතු නිවේදන නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක මූල්‍ය කළමනාකරු වන නිහාල් ප්‍රනාන්දු සඳහන් කළේ.

එසේම, මෙම අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, අද (23) පෙරවරුවේ සිට පැය පහකට (5) ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් ආරම්භ කෙරුණා.

ඒ අනුව පෙරවරු 08:30 සිට රාත්‍රී 10:30 දක්වා දෙවරක් (2) විදුලිය කප්පාදු කෙරෙනවා. කලාප තුනකට (3) පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 කාලයක් වශයෙන් අද විදුලිය සැපයුම අත්හිටවනු ඇති.

අද (23) දවස පුරා ජාතික විදුලි ඉල්ලු‍ම ඉහළ අගයන්වල පවතිනු ඇතැයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන අතර ඒ අනුව අද (23) දහවල් එම අගය මෙගාවොට් 2370 ක් සහ රාත්‍රියේ විදුලි ඉල්ලු‍ම මෙගාවොට් 2700 ක උපරිමයක් වන බවටයි ගණන් බලා තිබුණේ.

කෙසේ වෙතත්, විදුලි බලාගාර කිහිපයක ඉන්ධන අවසන්වීමෙන් එම ඉල්ලීම සැපිරීමට දහවල් කාලයේ මෙගාවොට් 670 ක් සහ රාත්‍රී කාලයේ මෙගාවොට් 584 ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා.

ඒ අනුව අද (23) පැය 7 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටි අතර බලාගාර කිහිපයකට ඉන්ධන ලැබීම හේතුවෙන් පැය හතරහමාරක (4½) පමණ විදුලි කප්පාදුවකට අනුමැතිය හිමිවුණා.

දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ ඒ, බී සහ සහ සී කලාපවලට පෙරවරු 08:30 සිට සවස 04:30 දක්වා පැය දෙකයි (2) මිනිත්තු 40 ක් බැගින් සහ යළිත් එම කලාප තුනට (3) සවස 04:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය දෙක (2) බැගින්.

සෙසු කලාප 8 සඳහාද පෙරවරු 08:30 සිට සවස 04:30 දක්වා පැය දෙක (2) බැගින් සහ යළිත් සවස 04:30 සිට රාත්‍රී 09:30 දක්වා පැය දෙකයි (2) මිනිත්තු 30 ක් බැගින් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.

විදුලි කප්පාදුව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් එල්ල වී තිබුණා.

මේ අතර රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ ඒ හා සමාන වෙනත් ආයතන සඳහා විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින්, ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අධි ආරක්ෂිත කලාපද විදුලි විසන්ධි නොකරන ප්‍රදේශවලට අයත්.

කෙසේවෙතත් එම ප්‍රදේශ හැර ඇතැම් ප්‍රදේශවලට මේ දක්වා විදුලි කප්පාදුවක් සිදුනොවන බවට වාර්තා වනවා.

මේ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදුවක් සිදු නොවන බවට විදුලි පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දිවයින පුරා විදුලිය විසන්ධි කරන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට විදුලිය නොකැපීම සම්බන්ධයෙන් ලද පැමිණිලි පිළිබඳව විදුලිබල අමාත්‍යාංශයෙන් අප විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් එහි ලේකම් වසන්තා පෙරේරා සඳහන් කළේ විදුලිය විසන්ධි නොකරන විශේෂිත ස්ථාන හැර අනෙකුත් ස්ථානවලටද මේ දිනවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් විභාග කිරීමක් සිදු කරන බවයි.

විදුලිය කප්පාදු කරන කාලසටහනේ යම් ප්‍රදේශයක් නම් කර තිබියදීත් විදුලිය කැපීමක් සිදු නොවන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව 1987 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස විදුලි බල අමාත්‍යාංශ ලේකම්වරිය ඉල්ලිමක්ද සිදු කළා.

මේ අතර රට තුළ පවතින ඉන්ධන හිඟය තවමත් අවසන් වී නැහැ. පවතින තත්ත්වය මත වූවද සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නොදැමීමට ඊයේ (22) පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.

කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල තවමත් පෝලිම් දැකගත හැකියි.

එසේම, තමන්ගේ මෝටර් රථයට ඉන්ධන නොමැති වීම හේතුවෙන් කොළඹට පැමිණීම සඳහා තංගල්ල ධීවර වරායේ යාත්‍රාවකින් ඩීසල් ලීටර් 50 ක් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි කියා සිටියා.

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් එල්ල වී ඇතැයි බස් සංගම් ද පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඒ, ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂාවෙන් ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවාගෙන ඇති බවට පළ වන වාර්තා හේතුවෙන්.

මේ අතර, ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ මෙරටට ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගෙන පැමිණි සිංගප්පූරු නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් ඊයේ (22) රාත්‍රියේම සිදු කරන ලෙසයි.

ඒ අනුව එම ඩීසල් තොගයට අදාළ ඩොලර් මිලියන 35.3 ක මුදල ගෙවා දැමීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පැවසුවා.

කෙසේ වෙතත් ඩොලර් ගෙවා නිදහස් කර ගත් එම නෞකාවේ අඩංගු ඩීසල් තොගයෙන් කොටසක් විදුලි උත්පාදනයට නිකුත් කළ නොහැකි බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. ඩීසල් හිඟ වීමෙන් මගී ප්‍රවාහනය ඇතුළු ආර්ථික කටයුතු වලට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට සිදුවීම ඊට හේතුවයි.

එමෙන්ම, තවත් ඩීසල් රැගත් නෞකාවක් දින දෙකකින් (2) පමණ දිවයිනට ළඟා වන අතර පෙට්‍රල් නෞකා දෙකක් (2) ද එලෙස පැමිණීමට නියමිතයි.

කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කිරීම පිළිබඳව මෙතෙක් මහ බැංකුවේ අනුමැතිය ලැබී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන සිකුරාදා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල ද මෙම සංචාරය සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ එක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර හෙට (24) දිනයේදීත් පැය 5 කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනවා.

මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නේ ඒ අනුව පෙරවරු 08:30 සිට රාත්‍රී 10:30 දක්වා දෙවරක් (2) විදුලිය කප්පාදු කෙරෙන බවයි. කලාප 3 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *