නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය

*********************************************

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය

(22.02.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ දැවැන්ත ඉඩම් කොල්ලයක් සිදුවන බවට පරිසර සංවිධානය චෝදනා කරනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉඩම් කැබලි කිරීමක් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර, හන්තාන සුන්දරත්වයට හානි කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය සිදුකළ ඉඩම් කට්ටි කිරීම් වහා නතර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අද (22) දහවල් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහනුවර හන්තාන කඳුවැටිය සැළකෙන්නේ මෙරට සුන්දරතම කඳුපන්තිවලින් එකක් ලෙසයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 1240 ක් දක්වා විහිදී ගොස් ඇති මෙම කඳු පන්තිය මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයක්.

මෙම පාරිසරික ආරක්ෂණ කලාපයේ මේ වනවිට මහා පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බවටයි හන්තාන සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ.

ඔවුන් පවසන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන උඩ කොටසේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්තනෝමතික ආකාරයෙන් කැබලි කරමින් පිරිසකට බෙදා දීමේ ක්‍රියාවලියක් දියත් වන බවයි.

අදාළ ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හිමිවුවද කොටස් කරන ඉඩම් හන්තාන පෙරිසර ආරක්ෂණ කාලපයට අයත් වන අතර එහි යම් කටයුත්තක් සිදු කරනවා නම් ආරක්ෂණ කමිටුවේ පූර්ව අනුමැතිය මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය හා අදාළ අංශවල අවසරය අත්‍යවශ්‍ය කරුණක්.

නමුත් එම නෛතික සීමාවෙන් ඔබ්බට ගොස් ගිනි තැබීම් සහ හෙළිපෙහෙළි කිරීම් සිදු කරමින් විශාල පාරිසරික විනාශයක් සිදු කර තිබෙනවා.

අප මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් කරුණු විමසීමක් කළා.

+++++

මහින්දානන්දගේ අණෙන් හන්තාන කට්ටි කිරීම නවතියි

(22.02.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

හන්තාන රක්ෂිතය තුළ සිදුවූ ඉඩම් කට්ටි කිරීමක් වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

දැඩි පාරිසරික හානියක් සිදු කරමින් හන්තාන රක්ෂිතය තුළ ඉඩම් කට්ටි කිරීමක් සිදුවන බවට අමාත්‍යවරයාට තොරතුරු අනාවරණ වීමත් සමඟයි මෙලෙස එම කටයුතු නතර කිරීමට නියෝග කර ඇත්තේ.

ඒ අනුව එහි සිදුවෙමින් පැවති පාරිසරික හානිය නතර වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

***************************************

නුග ගසක් බිලිගත් ජීවිතය

(22.02.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

​තලවාකැලේ – ළිඳුල ප්‍රදේශයේ මාර්ගයක් අසල පිහිටි නුග ගසක් අනාරක්ෂිත ලෙස කැපීමට යාමේදී එම ගසට යට වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් වතු කම්කරුවන් පැය 3 කට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් විරෝධය පළ කළ අතර පසුව පොලිසි විසින් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

තලවාකැලේ ලිඳුල මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කෝවිලක් අසල පිහිටි වසර 150 ක් පමණ පැරණි නුග ගසක අතු කිහිපයක් අවස්ථා කිහිපයකදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබුණා.

මේ හේතුවෙන් ගසෙහි අතු කපා ඉවත් කිරීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා අදාළ ආයතන වලට සහ ගස අසළ පදිංචිකරුවන්ට අවසර ලබා දී තිබෙනවා.

එම අවසරය අනුව නුගගස අසළ ප්‍රදේශයේ නිවාස හිමිකරුවන් පිරිසක් ගසෙහි අතු කපා ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ ආනරක්ෂිත ආකාරයෙන්.

එහිදි දිරා ගිය අත්තක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ ඒ අසළින් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තලවාකැලේ ලොගි වත්තේ පදිංචිව සිටි වේලුසාමි මහේෂ්වරන් නමැති පාසල් ගුරුවරයෙක්.

ගසෙහි අත්ත කඩා වැටීමෙන් තවත් ත්‍රිරෝද රථයකට සහ විදුලි රැහැන් පද්ධතියටද දැඩි හානි සිදුව තිබුණා.

අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් ලොගිවත්තේ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ (21) රාත්‍රියේ පැය 3 කට ආසන්න කාලයක් උද්ඝෝෂණයක ද නිරත වුණා.

පසුව ගස කපා දැමු පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමත් සමග පිරිස විසිර ගොස් තිබෙනවා ෴

***************************************

ජනවාරියේ ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළට

(22.02.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේ මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ආහාර සඳහා සියයට 11.4 ක් ද ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සියයට 5.4 ක් ඇතුළත් බවයි එම දෙපාර්තමේන්තුව ඊයේ (21) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 13.7 ක්ව පැවති අතර එම මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ උද්ධමනයේ වෙනස සියයට 3.1 ක් බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴

***************************************

පුළුන් කොට්ට නිෂ්පාදකයින් දුෂ්කරතාවක

(22.02.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

පුළුන් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන කොට්ට සඳහා අවම ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පුළුන් කොට්ට නිෂ්පාදකයින් දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

කෘත්‍රිම කොට්ට නිෂ්පාදනය හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති අතර, තම ගැටලු විසදීමට මැදිහත් වන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

අධිභාර බද්ද පැනවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(22.02.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එක්වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාර බද්ද පැනවීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

රුපියල් මිලියන 2000 කට වඩා ආදායමක් උපයන තැනැත්තන්ගෙන් සහ සමාගම් වලින් පමණක් අදාළ අධිභාර බද්ද අය කිරීමට යෝජනා කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මතු කළ ප්‍රශ්නයකට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිළිතුරු ලබාදුන්නා ෴

***************************************

මරදානේ පොලිස් භට නිවාසයේ 9 වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

(22.02.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මරදාන පොලිස් භට නිවාසයේ 9 වන මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙලෙස මිය ගිය 70 හැවිරිදි පුද්ගලයා එම මහලේ පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴

***************************************

දකුණේ කළමනාකරණ සේවා නිලධාරීන් උද්ඝෝෂණයක

(22.02.2022 – 15:55 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කිරීම, කල් දමා ඇති බඳවා ගැනීමේ තරග විභාග පැවැත්වීම ඇතුලු ඉල්ලීම් පහක් (5) මුල් කරගනිමින් අද (22) දහවල් ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක නිරතවුණා.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල කළමනාකරණ සේවා නිලධාරීන් ගාල්ල – සමුද්‍ර මාවත ඔස්සේ සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පා ගමනින් පැමිණි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

පිරිස ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීමත් සමඟ පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්වයක්ද ඇතිවුණා.

***************************************

භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධයක්

(22.02.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ එළඹෙන ඉන්දීය ක්‍රිකට් සංචාරය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් ප්‍රේක්ෂකයින් පිරිසක් අද (22) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඒ, විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමින්.

සපුරාලිය යුතු ශරීර යෝග්‍යතා ලක්ෂණ නොමැති වීම හේතුවෙනුයි භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කෙරුණේ.

මේ පිළිබඳව අද (22) පැවති විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී ද ප්‍රශ්න කිරීම්වලට ලක් වන්නට ක්‍රීඩා අමාත්‍යා නාමල් රාජපක්ෂ හට සිදු වුණා.

භානුක රාජපක්ෂ මෙම සංචිතයෙන් අවසන් මොහොතේ ඉවත් කෙරුණේ ඔහුගේ සමේ මේද මට්ටම හෙවත් සම නැවීමේ ප්‍රමාණය අදාළ පරිසාධන මට්ටම් කරා නොවුණු බව පවසමින්.

කෙසේ වෙතත් ඉන්දීය සංචාරය ඉලක්ක කර ගනිමින් සංචිත ගත කෙරුණු ශ්‍රී ලංකා සංචිතය තුළ භානුක රාජපක්ෂ දින හයකට ආසන්න කාලයක් පුහුණුවීම් කටයුතු සිදුකළා.

මේ අතර අද උදෑසන ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් (instagram) ගිණුමේ සටහනක් තබමින් භානුක රාජපක්ෂ කියා තිබුනේ “you got to control what you could” හෙවත් “ඔබ පාලනය කළ යුත්තේ ඔබට පාලනය කළ හැකි දේ” යනුවෙන්.

ඒ භානුක ක්‍රීඩාගාරයක උදෑසන ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කරන කෙටි වීඩියෝවක් ද එයට එක් කරමින්.

***************************************

ඓතිහාසික අගයකින් යුත් පුරාවිද්‍යා නටබුන් සොයා ගැනේ

(22.02.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ දෙකකින් (2) පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් සොයා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම නටබුන් හමු වී ඇත්තේ වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවලින්.

කුරුණැගල – ගල්ගමුව පහල මරදන්කල්ල ප්‍රදේශයේ පබලුගල නමැති පුරාවිද්‍යා රක්ෂිත භුමිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ කැණීම් ආරම්භ කර තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය සහ විදෙස් රටවල් කිහිපයක දායකත්වයෙන්.

එහිදී සිදු කළ කැණීම්වලින් පුරාණ යුගයේ පබලු සහ වීදුරු නිෂ්පාදනය කළ භූමියක නටබුන් සොයාගෙන තිබෙනවා.

එම භුමියේ ජනාවාස තිබී ඇති බවටද තොරතුරු අනාවරණ වෙමින් පවතින අතර අක්කර තිහක් (30) පමණ වන මෙම භූමියේ පබළු නිෂ්පාදනය කළ උඳුන් 40 ක් පමණ ඇති බවයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

මේ අතර ක්‍රි.පු. 2400 ත් ක්‍රි.පූ. 450 ත් අතර කාලයට අයත් ඉපැරණි ගල් පෙට්ටි සුසානභූමියක් වැල්ලවාය තණමල්විල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

ඒ, තණමල්විල ප්‍රදේශයේ පාසැල් සිසුවෙකු විසින් කැලණි විශ්වවිදයාලයීය පශ්චාත් පුරාවිද්‍යා උපාධි ආයතනයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකු දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ මූලික පර්යේෂණවලදීයි.

අක්කරයක (1) පමණ භූමියක පැතිර පවතින මේ සුසාන භූමියෙන් මේ වන විට සොහොන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මෙම සුසාන භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවිම සහ ගොවිතැන් කටයුතු සඳහා මෙම භූමිය භාවිත කිරීම හේතුවෙන් සොහොන් කිහිපයක් හඳුනාගත නොහැකි අයුරින් විනාශ වී ඇති බවයි පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ.

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජීවන් කුමාරතුංග සියලු තනතුරු අත්හරියි

(22.02.2022 – 16:38 +0530 – hirunews.lk/sinhala)

තමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෑරු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජීවන් කුමාරතුංග අද (22) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කළා.

***************************************

සිපිරිගෙයි රැඳවියන් බැලීමට ආ කතගේ අත යටින් හමුවුණු දේ

(22.02.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් විසින් සැකකරුට ලබාදීම සඳහා ජංගම දූරකථනයක් සිය යට ඇදුමේ සඟවා බන්ධනාගාර තුළට රැගෙන විත් තිබෙනවා.

මෙම කාන්තාව විසින් ඉතා උපක්‍රමශිලී ලෙස තම යට ඇඳුමේ සඟවාගෙන බන්ධනාගාරය තුළ අමුත්තන් පෙන්වන ස්ථානයට යාමට තැත් කිරිමේදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් එම කාන්තාව පරික්ෂා කිරිමේදී දූරකථනය සොයා ගැනුණා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා වෙත වාර්තා කිරිමෙන් පසුව එම තහනම් ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාව ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා අගුණකොළපැලැස්ස පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කළා.

මෙම ‍සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *