ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක්

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක්

*********************************************

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක්

(18.02.2022 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද (18) දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, පවතින තත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා කොළඹ අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි කථාබහක් හටගත්තේ ලංකා අයි.ඕ.සී. සමාගම පසුගියදා එම සමාගමේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟයි.

ඒ අතරතුර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන අලාභය ඉහළ යාමත් සමඟ එය තවදුරටත් දරාගත නොහැකි බැවින් කඩිනම් මිල ඉහළ නැංවීමක් ඉල්ලා සංස්ථාවේ සභාපතිවරයා, බලශක්ති අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

මෙවන් පසුබිමක තවදුරටත් ඇතැම් ප්‍රදේශවල සංස්ථා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී ඇති බවට සඳහන් පුවරු දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් මිලියන 551 ක පාඩුවක් ලබන අතර, ඉන්ධන සඳහා පනවා ඇති බදු වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 367 ක් උපයන බවයි බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් මුදල් අමාත්‍යවරයාගෙන් අද (18) ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ දක්වා මුදල් අමාත්‍යාංශය දැනුම් දී නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (18) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.

ඊයේ (17) රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරන බවට පැතිරෙන කට කතාවන්හි සත්‍යතාවක් නොමැති බව යි ඊයේ (17) සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

නැප්තා නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු ඇනහිට ඇත්තේ ඊයේ (17) සවස 7 ට පමණ බවයි වාර්තා වන්නේ.

කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි ධාරිතාවක් සැපයෙනවා.

මෙම බලාගාරය ක්‍රියාතමක කිරීම සඳහා දිනකට නැප්තා මෙට්‍රික් ටොන් 900 ත් 1000 ක් පමණ අවශ්‍ය වනවා.

බලාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා තොග අද (18) රාත්‍රියේ හෝ හෙට (19) උදෑසන වන විට ලැබෙනු ඇති බවටයි විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කළේ.

කෙසේවෙතත් ඉන්ධන තොග හෙට (19) උදෑසන ලැබුණ ද එම තොග ගොඩබෑම සඳහා පැය 10 කට අධික කාලයක් වැයවන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේවන විට විදුලි ඉල්ලුමේ උපරිමය පහළ බසිමින් පවතින බැවින් ජාතික පද්ධතිය අසමතුලිත වීමේ ගැටලුවක් පැන නොනගිනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකළා.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා අද (18) දහවල් කියාසිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බවයි.

පාරිභෝගිකයා අපහසුතාවයට පත්වන පරිදි මිල සංශෝධනයකට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලවලද ඉන්ධන අවසන් වී ඇති ආකාරය අද (18) දැකගත හැකිවුණා.

මේ අතර, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංස්ථාව මුහුණ දෙන අලාභය හමුවේ තෙල් මිල ඉහළ දැමීම එක් දිනකින් හෝ පමා කළහොත් එය දරාගත නොහැකි පාඩුවක් වන බවයි.

රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකොට කඩිනමින් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගතයුතු බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

විදුලි අර්බුදයට අමතරව රටතුළ ඉන්ධන හිඟයවක්ද මතුව ඇති ආකාරය මේ දිනවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැකගත හැකියි.

හිරු ප්‍රවෘත්ති කණ්ඩායම්වලට දැකගත හැකිවුණේ ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන්ව ඇති බවයි.

සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන සැබෑ ලෙසම අවසන්ද ? අප ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළා.

සාමාන්‍යයෙන් මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව සඳහා සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 1,50,000 ක් මෙරටට ආනනයනය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

තෙල් සංස්ථාව පැවසුවේ කෙසේවෙතත් රට වසාදමා තිබූ පසුගිය සමයේ ඉන්ධන ගෙන්වීම අඩු මට්ටමක පැවතුනත් මේ වසරේ ජනවාරි සහ මෙම මාසයේදී ඉන්ධන ගෙන්වීම වේගවත් ලෙස ඉහළ ගිය බවයි.

එසේනම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් රැසකම ​ඉන්ධන නැත ලෙස සඳහන් කර ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවක් හේතුවෙන් ද යන්න අප තවදුරටත් විමසා බැලුවා.

ඒ පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා මහතාගෙන් අප ප්‍රශ්න කළා.

මේ අතර පසුගියදා මිල ඉහළ දැමූ ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් කිහිපයකම මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පසුගියදා ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කළා.

එම අවස්ථාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඔවුන්ගේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්වන පරිදි මිල සංශෝධනයකට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින් වර හිඟවීම හේතුවෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවලදී එල්ල වුණේ දැඩි බලපෑමක්.

ඒ අනුව අවශ්‍යතාව පරිදි ඉදිරි මාස 03 ක කාලයක් සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණත් ඊට අවසර හිමි වූයේ නැහැ.

ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා අයි. ඕ. සී. සමාගමෙන් සෘජුවම ලබා ගැනීමටයි.

කෙසේවෙතත් එම තීරණයට ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිවලින් එල්ලවෙම්න් පවතින්නේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවයි.

ඒ මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය හා කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි බලාගාරය යන බලාගාරයි.

මීට අමතරව කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා නැප්තා ප්‍රමාණවත්ව තිබුණේ ඊයේ (17) රාත්‍රී 7 දක්වා පමණයි.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර අදත් සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++

විනාඩි 45 ක විදුලි කප්පාදුවක්

(18.02.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

​අද (18) වාර දෙකකදී කාන්ඩ 4 ක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නා.

කෙසේ වෙතත් ඉදිරි මාස තුනක (3) කාලයක් තුළ විදුලිය නොකපන බවට එම කොමිසමේ සභාපතිවරයා විසින්ම සහතික කළේ මීට දින කිහිපයකට පෙරයි.

නමුත් අද (18) දහවල් 02:30 සිට සවස 06:30 දක්වා පැයක (1) කාලයක් පළමු (1) අදියරේදී දිවයින පුරා විදුලිය කප්පාදු කෙරුණා.

දෙවැනි (2) අදියර යටතේ මේ මොහොතේ සිට රාත්‍රී 10:30 දක්වා විනාඩි 45 ක් යළිත් වරක් මුලු දිවයිනටම විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව බලාගාර 8 ක් මේ වනවිට අක්‍රීයව පවතිනවා.

ඒ මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර ද්විත්වයල සහ සපුගස්කන්ද බලාගාර සංකීර්ණයේ බලාගාර ද්විත්වයයි.

මීට අමතරව කෙරවලපිටිය වෙස්ට්කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව තිබුණේ අද (18) රාත්‍රී 7 දක්වා පමණයි.

මෙවන් පසුබිමක අද (18) රාත්‍රියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2650 ක මට්ටමකට පැමිණෙනු ඇතැයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන අතර බලාගාර අක්‍රීයව ඇති නිසා එම විදුලි ඉල්ලුම සැපිරීමේදී ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 732 ක්.

ඒ අනුවයි දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම අද (18) දහවල් සිට ආරම්භ කෙරුණේ.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් මතුවුණේ ලංකා අයි. ඕ. සී. සමාගම පසුගියදා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟයි.

එහෙත් ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකරන බවයි බලශක්ති අමාත්‍යංශය දිගින් දිගටම සඳහන් කළේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව ලබන අලාභය ඉහළ යාමත් සමඟ එය තවදුරටත් දරාගත නොහැකි බැවින් කඩිනම් මිල ඉහළ නැංවීමක් ඉල්ලා මේ වනවිට බලශක්ති අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ තෙල් සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල බවට එය පත්වනු ඇති බවයි.

මෙවන් පසුබිමක තවදුරටත් ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇති බවට සඳහන් පුවරු දැකගත හැකිවුණා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට බලශක්ති අමාත්‍යවරයාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි තමා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළත් මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බවයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

+++++++++++++

නිවැරදි දේ කරන්න නීතියෙන් බාධාවක් නැහැ – ජනපති නිලධාරීන්ට කියයි

(18.02.2022 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ඉලක්කගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක්වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා.

එහිදීයි ඔහු මේ බව සඳහන් කළේ.

2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත මගින් මෙම අධිකාරිය පිහිටවා තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ප්‍රධාන ආයතනයක් ලෙස කටයුතු කිරීම, ඵලදායී, කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස බලශක්ති අවශ්‍යතා සපුරාලීමට පහසුකම් සැපයීම, තිරසාර බලශක්ති සම්පත් කල්තියා හඳුනාගැනීම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අරමුණු වනවා.

බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ, පර්යේෂණ, උපායමාර්ග, බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාර්යයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමු වී විමසා බැලීම, ජනාධිපතිවරයාගේ චාරිකාවේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

නීති පවතින්නේ දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවැරදි දේ සිදු කිරීමේ දී නීතිය බාධාවක් නොවන බව සඳහන් කළා.

හරි දේ කළත්, එය ද වැළැක්වීමට සමහර කණ්ඩායම් විවිධ උපක්‍රම යොදා ගන්නා අතර ඒවාට කිසිඳු ඉඩක් නොතැබිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

විදෙස් ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.

නිවාස ලක්ෂයක වහළ මත සූර්ය පැනල සවිකීරිමේ ව්‍යාපෘතිය කඩිනම් කර එහි ප්‍රතිලාභ අඩු ආදායම්ලාභීන්ට ද සලසන ලෙස ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් දී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේ දී පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමට, විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සියලු පාර්ශ්වයන් එක්ව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනම්ව ක්‍රියා කරන බවයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති අනුව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය රජයේ අරමුණයි.

රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගැනීමට ඇති හැකියාව මෙහිදී විමසුමට ලක් කර තිබෙනවා.

2021 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙගා වොට් 1,258 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා සඳහන් කළේ.

ඒ අනුව ජෛවස්කන්ධවලින් මෙගාවොට් 54 ක්, කුඩා ජල ව්‍යාපෘතිවලින් මෙගාවොට් 429 ක්, සොලාර්පැනල වලින් මෙගාවොට් 506 ක්, සුළංවලින් මෙගාවොට් 249 ක් ලෙස ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

2030 වන විට සමස්ත විදුලි උත්පාදනයෙන් 70% ක රජයේ ඉලක්කය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම අපහසු ඉලක්කයක් නොවන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

***************************************

රජය වැනසූ අස්වැන්නට වන්දි දෙන ලෙස ඉල්ලා ගොවීන් පාරට

(18.02.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

රජයේ කාබනික පොහොර වැඩපිළිවෙළ නිසා හානි වූ උඩරට එළවළු වගාවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සහ වැලිමඩ ඌවපරණගම ගොවි එකමුතුව මගින් සංවිධානය කළ උද්ඝෝෂණයක් වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල දී අද (18) පැවැත්වුණා.

රජය විසින් සිය අස්වැන්න ලබා ගැනීම සහ සකසා ගැනීම සඳහා ලබාදුන් දියර නයිට්‍රජන් කාබනික පොහොර හේතුවෙන් තම වගා විනාශ මුඛයට ඇද වැටුණු බවයි ගොවීන් චෝදනා කළේ.

මේ හේතුවෙන් කිසිදු අයුරකින් තමන් අපේක්ෂා කළ අයුරින් නිසි කලට නියමිත අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වූ අතර, එයින් සිය දෛනික ජීවනෝපාය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඇතැම් ගොවීන් චෝදනා කළේ, කාබනික පොහොර හෝ රසායනික පොහොර හෝ තමන්ට නොලැබුණු බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *