පෞද්ගලික බැංකුවේ දත්ත පද්ධතියට ඇතුලු වී රු. ලක්ෂ විසිතුනක් (23) වංචා කළ අයෙකු රිමාන්ඩ්

පෞද්ගලික බැංකුවේ දත්ත පද්ධතියට ඇතුලු වී රු. ලක්ෂ විසිතුනක් (23) වංචා කළ අයෙකු රිමාන්ඩ්


පෞද්ගලික බැංකුවේ දත්ත පද්ධතියට ඇතුලු වී රු. ලක්ෂ විසිතුනක් (23) වංචා කළ අයෙකු රිමාන්ඩ්

(06.11.2025 – hirunews.lk)

පෞද්ගලික බැංකුවක සේවකයෙක් විසින් එම බැංකුවේ පද්ධතියේ තොරතුරු වෙනත් පුද්ගලයෙකුට ලබාදී රු. ලක්ෂ විසිතුනකට (23) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (06) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිපුර බී-වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ප්‍රධානපෙළේ පෞද්ගලික බැංකුවක සේවයේ නියුතු පුද්ගලයෙක් විසින් එම බැංකු පද්ධතියේ දත්ත වෙනත් අයකුට ලබාදී එම පුද්ගලයා සමඟ එක්ව රු. ලක්ෂ විසි තුනකට (23) අධික මුදලක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බැංකුවේ සේවය කරන ලද පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට ඇපමත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාල දෙවන (2) සැකකාර පුද්ගලයා විසින් එම පෞද්ගලික බැංකුවේ පාරිභෝගික සේවා අංශයට කතා කර ඇති බවත්, OTP ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


සැකකරුවන් 7899 ක් පොලිස් අත්අඩංගුවට

(06.11.2025 – hirunews.lk)

‘රටම එකට’ මෙහෙයුමෙන් මේ වනවිට සැකකරුවන් 7899 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

රටම එකට සමස්ත මෙහෙයුමේදී ගතවූ සතිය තුළ කරන ලද වැටලීම් 8003 කින් සැකපිට 7899 ක් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙම සැකකරුවන්ගෙන් 18 දෙනකු රඳවාගැනීමේ නියෝග මත පොලිසි තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද (06) ‍පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මෙම අත්අඩංගුවට ගත් අයවලුන්ගෙන් 87 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවත්,

ඉකුත් සතිය තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 92 ක්, අයිස් කිලෝ ග්‍රෑම් 259 ක්, ගංජා කිලෝ ග්‍රෑම් 309 ක්, කුෂ් කිලෝ ග්‍රෑම් 04 ක් සහ හෂීස් කිලේ ග්‍රෑම් 23 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළා.

2005 වසරේ ජනවාරි මස මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 1493 ක්, ගංජා කිලෝග්‍රෑම් 15,500 ක්, කොකේන් කිලෝග්‍රෑම් 32 ක්, හෂීස් කිලෝග්‍රෑම් 604 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 2554 ක් සහ විවිධ මත්පෙති ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

2005 ජනවාරි 01 වැනිදා සිට මස සිට මේ දක්වා ලක්ෂ 65 ක පුද්ගලයන් පිරිසක් පරීක්ෂාවට ලක්කර ඇති බවත්, ඒ අතුරින් විවිධ වූ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 5614 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරනවා.

සැකකටයුතු පුද්ගලයන් එක්ලක්ෂ තිස් හයදහසක් (1,36,000) පොලිස් භාරයට ගෙන ඇති බවත් හැට දහසකට (60,000) අධික වරෙන්තුකරුවන් මෙන්ම හතලිස් දහසකට (40,000) අධික විවෘත වරෙන්තුකරුවන් පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති 1818 දුරකතන අංකයට තොරතුරු සහිත පණිවිඩ 800 ක් පමණ ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කරනවා ෴


මෙන්න පොලීසියෙන් පණිවිඩයක්

(06.11.2025 – hirunews.lk)

ජනවාරි මස ‍සිට මේ දක්වා මාරක අනතුරු 2210 කින් පුද්ගලයින් 2343 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.

2025 වසරේ මේ දක්වා බරපතල අනතුරු 4380 ක් වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

රියැදුරන් දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද හෙතෙම පවසනවා.

පාසල් නිවාඩුවේදී දරුවන් සමඟ විනෝද චාරිකා යද්දී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අධික වේගය, නොසැලකිල්ල, අන්තරාදායක ලෙස රිය ධාවනයෙන් වළකින ලෙසට රියැදුරන්ට තරයේ අවවාද කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය ඒ සඳහා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසනවා.

‍ජලාශ අශ්‍රිතව ‍දියේ ගිලීම් වලක්වාලීම සඳහා පෙලිස් නිලධාරින් 700 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව ද ඔහු පැවසුවා.

ජීවිතාරක්ෂක මුරපොළවල් 70 ක් පමණ පිහිටුවා ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

මේ වසරේ දියේ ගිලීම් 260 ක් වාර්තා වූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද (06) ‍පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි ෴


ජැකට්ටුවේ සැඟව ආ මාරයා

(06.11.2025 – hirunews.lk)

මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී තේ අඹරන යන්ත්‍රයක රෝලට තමන් ඇඳ සිටි ජැකට්ටුව සිරවී සිදුවූ අනතුරකින් එහි සේවකයකු ඊයේ (06) මරණයට පත්ව ඇතැයි මස්කෙළිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මාඋස්සාකැලේවත්ත, මස්කෙළිය ලිපිනයේ පදිංචි කිට්නන් විජයකුමාර් (50) නමැත්තා බව මස්කෙළිය පොලිසිය පවසනවා.

ඔහු දෙදෙරු පියෙක් බවද සඳහන්.

මෙම අනතුර ඊයේ (05) දහවල් සිදුව අතර, අනතුරින් පසු තුවාලකරු රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවට වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවනවා ෴


බස් රථයක් මතට ගසක් කඩා වැටී අයෙක් මරුට

(06.11.2025 – hirunews.lk)

පේරාදෙණිය – ගලහ ප්‍රධාන මාර්ගයේ, තල්වත්ත ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයෙකු (1) මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

+++

+


පිළිකා රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිතා කරමින් මුදල් වංචා කළ අයෙකුට ඇප

(06.11.2025 – hirunews.lk)

පිළිකා රෝගී දරුවන්ගේ ඡායාරූප, තොරතුරු හා විවිධ බැංකු ගිණුම් ඇතුළත් කර සමාජ මාධ්‍ය හරහා පළ කරමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු රු. ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි සිද්ධියට අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි ‘සෙල්ලප්පුගේ රොෂාන් නිලුක්’ නමැත්තෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

අන්තර්ජාලය හරහා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ඡායාරූප විකෘති කරමින් පළකර බැංකු ගිණුම් අංක ඇතුළත් කර ආධාර ලබාගන්නා පිණිස එම දැන්විම් ප්‍රචාර කිරීමට කටයුතු සිදු කර ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළ සැකකරු ඉකුත් 23 අත්අඩංගුවට ගෙන අද (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

සිද්ධියට අදාලව තවදුරටත් සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කරන බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා ෴


රු. ලක්ෂ 6 ක් වටින පෝර මිටි 60 ක් උස්සපු තිදෙනෙක් (3) අත්අඩංගුවට

(06.11.2025 – hirunews.lk)

පොහොර සමාගමක දොරක් කඩා රු. ලක්ෂ හයක් (6) වටිනා පොහොර මිටි 60 ක් සොරකම් කළ තිදෙනකු (3) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය පවසනවා.

පෙරේදා (04) රාත්‍රී එකොළහයි තිහත් පසුදා උදෑසන හයත් අතර කාලයේ එම සොරකම සිදුවී ඇතැයි පොලිසිය කියනවා.

පෑලියගොඩ සී.අයි.සී. පොහොර සමාගමට අයත් කිලෝ පනහේ (50) පොහොර මිටි තොගයක් එලෙස සොයාගෙන තිබෙනවා.

එම සමාගමේ සහකාර කළමනාකාරවරයාගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකොට වයස අවුරුදු 49, 44, 43 හැවිරිදි සැකකරුවන් තිදෙනකු (3) එලෙස අත්අඩංගුවටත් බව ද පොලිසිය පවසනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴


අයවැය විවාදය ‍නොවැම්බර් 08 සිට දෙසැම්බර් 05 දක්වා දින 23 ක්

(06.11.2025 – hirunews.lk)

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව සහ යෝජනා ඉදිරිපත් කිරීම) හෙට (07) පස්වරු 01:30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

2025 සැප්තැම්බර් 26 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 08 වැනිදා සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, නොවැම්බර් 08 සිට 14 දක්වා දින 06 ක් දෙවැනිවර කියවීමේ විවාදයත්, නොවැම්බර් 14 වැනිදා පස්වරු 06:00 ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 05 දක්වා සෙනසුරාදා දින 03 ක් ද ඇතුළුව දින 17 ක් පුරා පැවැත්වෙන අතර, අනතුරුව තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා පස්වරු 06:00 ට පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්.

කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ, පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙ.ව. 09:30 ටත්, අන් සෑම දිනකම පෙ.ව. 09:00 ටත් රැස්වීමට නියමිත අතර, මෙම කාලසීමාව තුළ සෑම දිනකම ප.ව. 06:00 දක්වා අයවැය විවාදය පැවැත්වෙනු ඇති.

විවාද කටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1 ක් සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව. 06:00 සිට ප.ව. 06:30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතයි ෴


මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(06.11.2025 – hirunews.lk)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, හෙට (07) පෙරවරු 09:00 සිට එදින රාත්‍රී 09:00 දක්වා පැය 12 ක කාලයක් සඳහා මීගමුව අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව වී ඇත්තේ, පිගමුව ජල සම්පාදන ක්‍රමයේ පිහිටි පෙරියමුල්ල ජල කුළුණෙහි හදිසි නඩත්තු කටයුත්තක් සිදු කිරීම හේතුවෙන්.

ඒ අනුව, පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර සහ වැල්ලවීදිය යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත් හිටවනු ඇති.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, ජල හිඟය අවම කර ගැනීම සඳහා කල්තියා ජලය රැස් කර තබා ගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *