කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි

කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි

*********************************************

කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි

(10.02.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5 ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් පර්‍යේෂණ සිදු කෙරුණා.

ඒවාට අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ කරුණු ද අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්‍යේෂකයින් සමත් වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,263 ක් ඊයේ (09) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 6,23,248 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් මරණ 36 ක් වාර්තා වීමත් සමඟ යි ෴

+++++++++++++++

සෞඛ්‍ය අංශ රොෂාන් මහානාම බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දි අසරණ කරයි

(10.02.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරග තීරකවරයෙකු වශයෙන් කටයුතු කරන රොෂාන් මහනාම හට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී කෝවිඩ් එන්නත් කාර්ඩ් පත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවකට මතු වී තිබෙනවා.

ඔහු ගුවන් තොටුපළේදී තමන්ට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් එන්නත් කාඩ්පත් සම්බන්ධ මෙවනි ගැටලු විසඳන ලෙසයි.

එහිදී රොෂාන් පවසන්නේ තමා ශ්‍රී ලංකාවේ දී පළමු කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව එහි දෙවැනි (2) සහ තෙවැනි (3) මාත්‍රා එක්සත් රාජධානියේ දී ලබාගත් බවයි.

කෙසේ වෙතත් එම එන්නත් කාඩ් පත යාවත්කාලීන කර ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය බලධාරීන් හමු වූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ දෙවැනි සහ තෙවැනි මාත්‍රා මෙරටින් ලබා නොගැනීම හේතුවෙන් එම එන්නත් කාඩ් පත යාවත්කාලීන කළ නොහැකි බවයි.

මේ හේතුවෙන් 2022 පකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා එහි යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ දී තමන් දැඩි දුෂ්කරතාවකට පත් වූ බවයි.

ඒ එන්නත් තුනම (3) සටහන් වූ එක් කාඩ් පතක් තමන් සතුව නොතිබීම හේතුවෙන්.

මේ හේතුව නිසා ගුවන් යානයට ඇතුළු වීමේදී සිදු කෙරෙන ආරක්ෂණ නිෂ්කාශන කටයුත්තේ දී තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව රොෂාන් මහනාම පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිනුම ඔස්සේ තැබූ සම්පූර්ණ සටහන පහළින් :

PSL 2022 තරගාවලිය විනිශ්චය කිරීමට පකිස්ථානයට යාමට පෙර මට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය.

අනුමත එන්නත් මාත්‍රා 3 ම ලබා තිබියදීත්, ගුවන් යානයට ගොඩවීම සඳහා සිදු කෙරෙණ ආරක්ෂණ ක්‍රියාවලියේදී මට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය.

මම ශ්‍රී ලංකාවේදී මගේ පළමු (1) එන්නත ලබා ගත් අතර මාගේ 2 වන සහ 3 වන එන්නත් මාත්‍රා ලබා ගැනීමේ කාලය එළඹෙන විට, පවුලේ වගකීම් කිහිපයක් හේතුවෙන් මම එක්සත් රාජධානියේ හි සිටියෙමි.

අපගේ එන්නත් නියමිත වේලාවට ලබා ගන්නා ලෙස එක්සත් ජාතීන් විසින් අපට උපදෙස් දුන් බැවින්, මම මගේ 2 වන සහ 3 වන එන්නත් ලබා ගත්තේ එක්සත් රාජධානියේ දීය.

වගකීමෙන් සහ නියමිත වේලාවට මා එන්නත් ලබා ගත්ත ද අත්‍යවශ්‍යම මොහොතේ දී එය මට උපකාරයක් වූයේ නැත, මන්ද මා ශ්‍රී ලංකාවේ 2 වන සහ 3 වන එන්නත් ලබා නොගත් බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධිකාරිය මට සම්පූර්ණ එන්නත් සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

බොහෝ පුද්ගලයන් ලොව පුරා සංචාරය කරමින් සිටියි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන්, රටවල් අතර සංචාරයේදී අනිවාර්යෙන්ම අනුමත සම්පූර්ණ එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබාගෙන සිටිය යුතුයි.

එය ලබාගත්තේ කොතැනින්ද යන්න කිසි විටෙකත් ගැටළුවක් විය යුතු නැහැ.

එවැනි මිනිසුන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සහ අසරණ වීමට සිදු නොවන පරිදි අපගේ බලධාරීන් මෙවැනි ගැටලු අවම කිරීමට වඩා හොඳ පියවරක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.

මට අවශ්‍ය වන්නේ මේ පිළිබඳව දැනුවත් කිරීම පමණක්ම වන අතර ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් මෙම ගැටළු නුදුරු අනාගතයේ දී ම නිවැරදි කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් 373 ක් පූර්ණ සුවයට

(10.02.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 373 දෙනෙකු අද (10) දිනයේ දී පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,93,975 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,581 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වනවිටත් වෛරසය මර්දනයට රට පුරා කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වන අතර, එහිදී පූර්ණ එන්නත්කරණය සඳහා එක් අයෙකුට එන්නත් මාත්‍රා 03 බැගින් ලබාදෙනු ඇති ෴

+++++++++++++++

කොරෝනා මරණ 31 ක්

(10.02.2022 – 18:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 31 දෙනෙකුගේ මරණ අද (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ 31 අතර වයස අවුරුදු 30 ත් 59 අතර පිරිමි මරණ 02 ක් සහ කාන්තා මරණ 03 ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, වයස අවුරුදු 30 ට අඩු කිසිදු මරණයක් වාර්තා නොවන අතර, වයස අවුරුදු 60 ට වැඩි පිරිමි මරණ 14 ක් සහ කාන්තා මරණ 12 ක් අද (10) සිදු වූ කොරෝනා මරණ තුළට ඇතුළත්.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් අදත් (10) දහස (1000) පනියි

(10.02.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතයින් 1297 ක් අද (10) දිනයේදීත් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 6,24,545 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ මරණ 31 ක් අද (10) දිනයේ දී ත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කළ අතර, ඒ සමග කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ සංඛ්‍යාව ද 15,723 ක් බවට පත් වුණා.

කෙසේවෙතත් වෛරසය ආසාදිත ව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,847 ක් වන අතර, සුවය ලද සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 5,93,975 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නිවිතිගල දී රත් වූ සංගීතේ

(10.02.2022 – 22:41 +0530 – hirunews.lk/sinhala)

නිවිතිගල පොදු ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දී එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගීත කණ්ඩායමේ වාදන හා විද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගයේ සංවිධායකයින් විසින් නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් රුපියල් ලක්ෂ 14 ක පමණ අලාභයක් සිදු වී ඇති බව, පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්.

රාත්‍රී 11:30 ට පමණ සංගීත ප්‍රසංගය නිමා කිරීම ගැන‍ කෝපයට පත් පිරිසක් වේදිකාවට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ක්‍රීඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද එම පිරිස් විසින් ගලවා තිබෙනවා.

නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිනියන්ගේ ඇඳුම් බෑග් කිහිපයක් ද සොරාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

සංගීත කණ්ඩායමේ වාහනයකට ද මෙම පිරිස් අලාභ හානි සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නිවිතිගල පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්, සජීවී වීඩියෝවක් එක් කළ සහරා ෆ්ලෑෂ් නායක ප්‍රදීප් මෙසේ කරුණු පැහැදිලි කළා.

***************************************

භූ විද්‍යා උඩ පුටුවට නව මුහුණක්

(10.02.2022 – 22:56 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අදාළ තනතුර සඳහා නව පත් කිරීමක් ද සිදු කෙරුණා.

එම නව තනතුර සඳහා පත් කර ඇත්තේ වෛද්‍ය මංජුල ප්‍රසාද් බවයි වාර්තා වන්නේ ෴

***************************************

අධිකරණයට කළු පැල්ලමක් එක් කළ දූෂිත නඩු තීන්දුවක් ගැන සාගර කට අරියි

(10.02.2022 – 23:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන සමයේ දී ස්වාධීන අධිකරණ පද්ධතියක සිදු විය නොහැකි ආකාරයේ ක්‍රියාකාරකම් සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ අද (10) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

යහපාලන රජය යටතේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු විසින් අධිකරණ විනිශ්චයකාරවරියක් සමග සමීපව කටයුතු කරමින්, නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීමට කුමන්ත්‍රණය කළ ආකාරය මුළු රටටම මේ වනවිට හෙළි වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

පවතින නඩුවක් සම්බන්ධයෙන් දූරකථන මාර්ගයෙන් තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම ම අධිකරණ ඉතිහාසයේ සිදු වූ දරුණු කළු පැල්ලමක් බව ද මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

***************************************

දින පහේ (5) මන්ත්‍රීට රුපියල් කෝටි 6 ක වාහන බලපත්‍රයක්

(10.02.2022 – 23:16 +0530 – lankadeepa.lk)

පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් (5) පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය රුපියල් කෝටි හයකට (6,00,00,000) විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ‍ය.

වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා විරුද්ධ පක්ෂයට අදහසවී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීමට යැයිද ප්‍රකාශ කළේය.

මේ වැඩ වර්ජන කරන අයට හෙන ගහන්න ඕන කියලා කාන්තාවක් රූපවාහිනියේ පවසනු තමා ඊයේ (09) දුටු බවද ඔහු කීවේය ෴

***************************************

මට වෙච්ච දේ ගෙදර අය දැනගත්තෙ මාස තුනකට පස්සෙ – කැළණි සරසවියේ දෙවන වසරේ සිසුවෙකුව සිටියදී පැවිදි වූ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ (09.02.2022)

+

YouTube : Ven Galigamuwe Gnanadeepa Thero

***************************************

අභයාරාමයට සෞභාග්‍යය ගලයි.. ගොඩනැගිල්ලක් රුපියල් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ..

(12.02.2022 – 00:02 +0530 – lankacnews.com)

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ ගොඩනැගිල්ලක් රජය විසින් කුලී පදනම මත ලබාගෙන තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මෙම ගොඩනැගිල්ල මාසිකව රුපියල් ලක්ෂ 13 ක කුලී මුදලක් ගෙවමින් ලබාගෙන ඇත.

මෙම ගොනැගිල්ල කුලී පදනමට ලබාගෙන ඇත්තේ පවතින මුල්‍ය අර්බුදය මත කිසිම නව ගොඩනැගිලි කුලියට ගැනිමක් සිදු නොකරන්නැයි මුදල් අමාත්‍යංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් වී ඇති පසුබිමකදීය.

එමෙන්ම මත්තෙගොඩ ප්‍රදේශයේ අක්කරයක පමණ ඉඩම් කොටසක් ද එම හිමියන් වෙත ඉදිකිරීමක් කිරීම සදහා ලබාදී ඇතැයිද වාර්තා වෙයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *