වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක්

වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක්

*********************************************

වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක්

(10.02.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියට සහ එම සංගමයට කොළඹ දිසා අධිකරණය අද (10) වාරණ නියෝගයක් නිකුත් කළා.

නීතිපතිවරයා කළ පැමිණිල්ලක් විභාගයට ගත් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අසාධාරණ ඉල්ලීම් මුල් කර ගනිමින් වග උත්තරකාර වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අඩාල වී ඇති අතර රෝගීන් දැඩි අසරණභාවයකට පත්ව සිටින බව නීතිපතිවරයා අදාළ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව නිකුත් කළ වාරණ නියෝගය ලබන 24 වනදා තෙක් බලාත්මකයි.

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද (10) සිව්වන (4) දිනටත් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙන්ම සමස්ත ලංකා හෙද සංගමය ද මෙම වැඩවර්ජනයට සහය පළ කරන්නේ නැහැ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ යහපාලන ආණ්ඩුවට සහය පළ කළ පිරිස් මෙම වර්ජනයට එක්ව සිටින බවයි ෴

***************************************

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලීසියට අවසර

(10.02.2022 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළව කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

නඩුව යළි මාර්තු 04 වනදා කැඳවනු ඇති.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දක්වමින් සඳහන් කළේ 2019 ජනවාරි 16 වනදා වනාතවිල්ලුව අවි පුහුණු ස්ථානය සහ අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සහරාන්ගේ බිරිඳගෙන් නිලධාරින් 5 දෙනෙකු පමණක් ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවයි.

විමර්ශන අනුව එදිනම රාත්‍රියේ සහරාන් පැමිණ බිරිඳ සහ පුලස්තිනි නොහොත් සාරා ජෙස්මින් කැටුව ගොස් තිබූ බව අනාවරණ වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ හඹායාම් සිදු කිරීමට එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් උපදෙස් ලබා දුන්නේ නම් සහරාන් එදිනම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ.

සහරාන් අත්අඩංගුවට ගත්තේ නම් අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බව ද එහිදී ප්‍රකාශ වුණා.

ඉදිරි විමර්ශන පිලිබඳ පැහැදිලි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව, පෙබරවාරි 12 වනදා සිට 25 වනදා තෙක් ඊට අවසර ලබාදීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි විජේතුංග නියෝග කළා.

මේ අතර, වඳ සැත්කම් කළ බවට වන චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට, හිඟ වැටුප් හා දීමනා ලබාදෙන ලෙස නියම කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ගොනුකළ රීට් පෙත්සමක්, සලකා බැලීම සඳහා ලබන 17 කැඳවීමට අභියාචනාධිකරණය නියම කළා.

ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (10) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ මෙම පෙත්සම සහ ඊට අදාළ ලියකියවිලි තමන්ට ඊයේ (09) දිනයේ ලැබුණු බැවින් ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි ෴

***************************************

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනා කෝටි ගණනේ මත්කුඩු ජාවාරමේ සුළමුල එළියට

(10.02.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ නොවැම්බර් මස 07 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් සත්දෙනෙකු (7) ගෙන් සමන්විත බහුදින ධීවර යාත්‍රාවක් සිය ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

එම බහුදින ධීවර යාත්‍රාව නම්කර තිබුණේ ‘උවින්-01’ යනුවෙන්.

කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපල වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙම බහුදින ධීවර යාත්‍රාව පිළිබඳ ලද බුද්ධි අංශ තොරතුරක් මත සිදු කරන ලද වැටලීමක දී ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 300 ක තොගයක් සොයා ගැනීමට සමත් වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධාකරයෙන් මෙම සිදුවීමට සම්බන්ධ තොරතුරු ගණනාවක් අනාවරණ කර ගැනීමට හැකියාව ලැබුණා.

උවින්-01 නමැති බහුදින ධීවර යාත්‍රාව මේ අයුරින් සිය ධීවර කටයුතු සඳහා ගැඹුරු මුහුදු ප්‍රදේශය වෙත ගොස් එතනින් දේශ සීමා උල්ලංඝනය කොට, මාලදිවයිනෙන් එහා පිහිටි ඉරාන මුහුදු සීමාවෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගොඩබිමට ඒවා රැගෙන එන බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙලෙස ගෙනෙන මත්ද්‍රව්‍ය තොගය ගාල්ල – බද්දේගම පොලිස් වසමේ ගෝනාපීනුවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වන ‘නිරාෂ් චානක’ නමැත්තෙකුට ලබා දෙන්නේ, කුඩාවැල්ල – නාකුළුගමුව ප්‍රදේශයේ පිහිටි ධීවරයෙකුගේ නිවසෙහි තබමින්.

මෙලෙස වැටලීමට පෙර ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගය එම ධීවරයාගේ නිවසෙහි තබා ‘නිරාෂ් චානක’ නමැත්තා වෙත භාරදීම සිදු කරන අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් භාරදීම වෙනුවෙන් අදාළ ධීවර කණ්ඩායමට රුපියල් කෝටි 02 ක මුදලක් ඒ වෙනුවෙන් ලබා දී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවීමේ මහ මොළකරු මේ වනවිට මැදපෙරදිග රාජ්‍යයක් වන ඩුබායි හි වෙසෙන ‘සහන් සඳරුවන්’ නමැත්තෙකුගේ වන අතර, ඔහු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට රුපියල් කෝටි 02 ක් ‘නිරාෂ් චානක’ නමැත්තාට ගෙවීමෙන් මෙරටට එවන බවයි වාර්තා වන්නේ.

එහිදී ‘නිරාෂ්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීම සඳහා ‘උමේෂාන්’ නමැත්තෙකුට භාරදෙන බවට ද හෙළි වී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක තොගය පසුගිය දෙසැම්බර් 17 වැනි දින කුඩාවැල්ලෙන් මෙරටට එන අතර, ඒ සඳහා උපරිම ආරක්ෂාව ලබාදෙමින් සහාය සැපයූ ‘නිරාෂ්’ නමැත්තාගේ මාමා වූ ඥාතියෙකුට අයත් සුපිරි නවාතැන් පහසුකම් ලබාදෙන ලැඟුම්හලක් වන ‘DOWNSOUTH CABANA’ හි අතිවිශාල හෝටලයක් ගොඩනගමින්, අදාළ මත්ද්‍රව්‍ය තොගය සූක්ෂ්ම අයුරින් ආරක්ෂා කර ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමත් වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය විසින් මෙම හෝටලය වටලා ලැගුම්හලෙහි හිමිකරු වන කේ.ටී. ජයතිලක නමැත්තා ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් අතර, එම අවස්ථාවේ දී ‘නිරාෂ් චානක’ නමැත්තා පලා ගොස් තිබෙනවා.

එහිදී ‘නිරාෂ් චානක’ නමැති මත්ද්‍රව්‍ය අපරාධකරුගේ පියා වන හිටපු මරණ පරීක්ෂකවරයෙකු වන ‘නිහාල් සිසිර වෛද්‍යසේකරව’ ද පොලිස් අත්අඩංගුවට ගැනුණේ, රුපියල් කෝටි එකහමාරකට (1,50,00,000) අධික මත්ද්‍රව්‍ය තොගයක් සමගින්.

එමෙන්ම, ලැගුම්හල අයත් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුපියල් 50,000 ක්, හෙරොයින් ග්‍රෑම් 20 ක්, ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයන ලද මුදල් බෙදාහැරීමට භාවිත කළ වාහන ද මෙහිදී සොයා ගැනුණා.

මෙම සිද්ධියට අදාළ පළමු නඩු විභාගය මෙම මස 07 වැනි දින ගාල්ල මහාධිකරණයේ දී පැවැත්වුණු අතර, අධිකරණ විනිසුරුවරයා කටයුතු කළේ, අදාළ ලැගුම්හල සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.

එමෙන්ම, මෙරටට ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ධීවර කණ්ඩායමේ ‘ස්කිපර්’ නමැති තනතුර දරන පුද්ගලයා සන්තකයේ තිබී රත්ත්‍රන් ග්‍රෑම් 375 ක් ද සොයා ගැනුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපල වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර 2021 වසරේ දෙසැම්බර් 03 වැනි දින පුත්තලමේ දී පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාව (2) පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගැනුණේ, පුත්තලම නගරයේ පදිංචි ‘මොහොමඩ් අබුසාලි අලි’ සහ ඔහුගේ පුතුන් දෙපලයි.

කාලයකට පෙර කටාර් දේශයේ රියදුරු තනතුරක් සඳහා සේවයට ගිය මොහොමඩ් සෆාන් නමැත්තා විසින් එරට සිට එවන ලද හෙරොයින් ‘මොහොමඩ් අබුසාලි’ සහ ඔහුගේ පුතුන් විසින් අලෙවි කර ඇති අතර, ‘මොහොමඩ් අබුසාලි’ නමැත්තා පුත්තලම නගර සභාවේ සුළු සේවකයෙකු බවට ද හෙළි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය විකුණා ලබාගත් මුදලින් එම ප්‍රදේශයේ අක්කර 50 කට අධික ඉඩම් කොටසක් මිල දී ගෙන ඇති බවත්, මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී අනාවරණ වුණා.

අත් අඩංගුවට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 80 ක් වටිනා ඩොල්ෆීන් වර්ගයේ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් ද භාරයට ගැනුණා.

සැකකරුවන් පසුගිය 03 වැනි දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඊට පසුදින (04) පුත්තලම මහාධිකරණය විසින් ඔවුන් වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය විසින් නියෝග කළේ අදාළ සැකකරුවන් පෙබරවාරි මස 24 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

***************************************

වර්ජනය මැද පස්සර රෝහලේ නිවුන් බිළිඳුන් ඉපැදේ

(10.02.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

වෙදඳුරන්, හෙද හෙදියන් මෙන්ම, ගුරුවරුන් මිනිස් ජීවිතයක පැවැත්ම උදෙසා කරන මෙහෙවර සුළු පටු එකක් නොවේ.

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට පිරිසක් රෝගී ජීවිත දින ගණනාවක් පීඩාවට පත් කරද්දී සැබෑ මිනිස්කමේ අගය හඳුනා ගත් සෞඛ්‍ය වෘත්තීකයන් පිරිසක් පිළිබඳව මේ පුවත අපට වාර්තා වන්නේ බදුල්ල මහරෝහලෙන්.

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් හි වෘත්තීය සමිතිවල වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇති මොහොතක පස්සර දිසා රෝහලට ඇතුළත් කළ ගර්භනී මවක් නිවුන් දරු උපතක් සිදුකළා.

ඒ ප්‍රසූතියට නියමිත කාලය සම්පූර්ණ වීමට පෙරයි. එහෙත් පස්සර දිසා රෝහලේ නොමේරූ ළඳරු දැඩි සත්කාර ඒකකයක් නොමැති නිසා බිළිඳුන්ගේ ජිවිත අවදානමකට පත්ව තිබුණා.

ඒ අනුව, එහි වගකීම තේරුම් ගත් පස්සර දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා විසින් ඒ පිළිබඳව බදුල්ල මහරෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

දරු සෙනෙහස වෙනුවෙන් වහා ක්‍රියාත්මක වූ බදුල්ල මහරෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු තම පෞද්ගලික මෝටර් රථයෙන්ම මෙම දරුවන් ජීවත් කරවීමට අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ ද රැගෙන මිනිත්තු 20 ක් තුල බදුල්ලේ සිට පස්සර මහරෝහල වෙත ගොස් තිබුණා.

ඒ අනුව දැඩි ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිටි බිළිඳුන් දෙදෙනාට (2) ශ්වසන උපකරණ සවි කිරීමෙන් පසු කෘත්‍රිම ශ්වසනය ලබා දී වෛද්‍යවරයා ද සහිතව ගිලන් රථයක් බදුල්ල මහරෝහල වෙත ළගා වුණා.

සේවය මනාව තේරුම් ගත් මෙම සෞඛ්‍ය සේවකයන් නිසා අද එම බිලිඳුන් දෙදෙනා (2) ජීවන හුස්ම ලබා සුරක්ෂිතව සිටිනවා.

***************************************

හිඟ ඩොලරයෙන් හිරවුණු බහාලුම්

(10.02.2022 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හේතුවෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත බහාලුම් රැසක් කොළඹ වරායේ සිරවී තිබෙනවා.

මේ අතර මේ වන විට යකඩ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 2,40,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන් සහ යකඩ ආශ්‍රිත
කර්මාන්තකරුවන් පවසන්නේ.

මේ හේතුවෙන් යකඩ ආශ්‍රිත කර්මාන්තවල නිරත පිරිස් දැඩි පීඩාවකටයි පත්ව ඇත්තේ.

ලෝක වෙළදපොළේ මිල ඉහළ යාම හා ඩොලර් අර්බුදය ප්‍රධාන වශයෙන් යකඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

ඒ අනුව වෙළෙඳපොලේ යකඩ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 2,40,000 ක්.

මෙරට ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන සමාගමක් වන මෙල්වා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද පුල්ලේ මහතා සඳහන් කළේ, වෙළදුන් විසින් අනවශ්‍ය පරිදි මිල ඉහළ නැංවීම ද යකඩ මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මේ අතර ඩොලර් අර්බුදය හේතුවෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තොගයක් ද වරාය තුළ ගොඩ ගැසී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායකගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවයි.

මේ අතර ‘ටෝකියෝ සුපර්’ සමාගම ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පසුගිය දෙවැනිදා (02) සිට ආනයනික සිමෙන්ති කොට්ටයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1575 ක මිලකටයි.

කෙසේ වෙතත් ‘ඉන්සී’ සිමෙන්ති සමාගම පවසන්නේ සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

සිමෙන්ති ආනයනකරුවන් පෙන්වා දෙන්නේ සිමෙන්ති මිල ඉහළ යාමට වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය මෙන්ම රජයේ ඇතැම් දැඩි තීරණ ද බලපා ඇති බවයි ෴

***************************************

ගිවිසුමක් නොමැතිවම එම්.සී.සී. ක්‍රියාත්මක වෙනවා – ජාතික සංවිධාන එකමුතුව කියයි

(10.02.2022 – 12:14 +0530 – lankaleadnews.com)

නව ඉඩම් සංශෝධන සංවර්ධන පනත පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේම වචනයෙන් :

“මේ එන්නේ ‘පරාජයට පත් වුණු’ යහපාලන ආණ්ඩුව ගේන්න හදලා පසුව අකුලා ගැනීමට සිදුවූ ‘ඉඩම් විශේෂ විධි විධාන පනත’ම තමයි. එදා එම්.සී.සී. ගිවිසුමට අදාළ මූලික කොන්දේසියක් වුණේ ඉඩම් වෙළෙඳ භාන්ඩයක් බවට පත් කිරීමයි. එදා ඒ පනත මගින් ගොවීන්ට ලබා දී ඇති රජයේ ඉඩම් වලට විකිණිය හැකි ඔප්පු ලබා දීම මගින් ඉඩම් වෙළෙඳ පොළක් හදන්න උත්සහා කළා.

දැන් නව පනත මගින් කරන්නේ ‘ඉඩම් සංවර්ධන ආඥා පනත’ මගින් තහනම් කර ඇති දේට අවසර ලබා දීමයි. එනම් ඉඩම් මුල්‍යය ආයාතනයක හෝ සංගමයක උකස් කිරීමට අවසර දීමයි. ඒ මගින් සිදු වන්නේ ගොවියා ඉඩම් උකස් කිරීමට පෙළඹවීම සහ ඒ මගින් ඔවුන්ට ඉඩම් අයිතිය අහිමි කරවීමයි. නව පනත යටතේ උකස් කළ ඉඩම සින්න වුවහොත් අදාළ සමාගමට අවසර ලැබෙනවා ඉඩම සින්නක්කර විකුණන්න. අවසානයේදී ගොවියා ඉඩම් අහිමි කෘෂිකාර්මික කම්කරුවෙකු බවට පත් වෙනවා.”

***************************************

03-02-2022 – දැන්වීම් – මහජනතාව වෙත දැන්වීමයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

+ http://www.ird.gov.lk

+ ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද පැනවීම (pdf)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *