මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි

*********************************************

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි

(09.02.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව යළි 8,000 සීමාව ඉක්මවා තිබෙනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (08) කෝටි 40 සීමාව ඉක්මවා ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 1253 ක් ඊයේ (08) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,21,985 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (08) කොරෝනා මරණ 35 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහල ගියේ 15,656 ක් ලෙසයි.

එවන් පසුබිමක මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කර ඇති වාට්ටු සහ ඇඳන් ධාරිතාවය ඉක්මවා ඇත්නම් වෙනත් ප්‍රතිකාරවලට ගැටලුවක් නොවන පරිදි එම ධාරිතාවය පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලු රෝහල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛ සෙසු දිස්ත්‍රික්කවල විශාල සේවක සංඛ්‍යාවකින් යුත් රාජ්‍ය හා පෞද්ගලික අංශවල කාර්යාලවලටම ගොස් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ ජංගම වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අමතා එම සේවාව ලබා ගත හැකි බවයි.

එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ, පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඔවුන් වෙත පසුගිය 2020 වසරේ සිට මේ දක්වා ලබා දුන් එම සහනය තවත් වසරකින් දීර්ඝ කළ බවයි ෴

+++++++++++++

රට වැසීමට සිදු වෙයි ද ? කොරෝනා පරීක්ෂණ කට්ටලවල හිඟයක් ද ?

(09.02.2022 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මීට පෙර මිලියන් ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද (09) වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බව යි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොර ව මෙරට තුළ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.

තවත් එන්නත් ලබා නො ගත් බොහෝ පිරිසක් සිටින් බව සඳහන් කළ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ, කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනා ව උනන්දු කරවිය යුතු බව යි.

රට විවෘත කර තිබෙන අවස්ථාවක දී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බව යි වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

+++++++++++++

කොරෝනා ආසාදිතයින් 11,538 දෙනෙකු සුවය ලබයි

(09.02.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 11,538 දෙනෙකු අද (09) සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,93,602 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 12,727 දෙනෙකු නිවෙස්ගතව සහ රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴

+++++++++++++

කොරෝනා මරණ 36 ක්

(09.02.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය අසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 36 දෙනෙකුගේ මරණ අද (09) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,692 ක්.

කොරෝනා වෛරසය ආසාදිතව පුද්ගලයින් 12,727 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,93,602 ක් ෴

+++++++++++++

නව ආසාදිතයින් අදත් (09) දහස (1000) ඉක්මවයි

(09.02.2022 – 21:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතයින් 1263 දෙනෙකු අද (09) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,23,248 ක්.

වෛරසය ආසාදිතව අද (09) දිනයේ දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 36 ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 15,692 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා තහවුරු කරන්නේ.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,954 ක් වන අතර , සුවය ලද සමස්ත සංඛ්‍යාව ද 5,93,602 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සුළු දඬුවම් ලබන රැඳවියන්ට නීතිය ලිහිල් වන ලකුණු

(09.02.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සකස් කළ ව්‍යාපෘති යෝජනාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත පිළිගන්වා තිබෙනවා.

මේ යටතේ, සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සුළු දඩුවම් ලබන රැඳවියන් බන්ධනාගාර ගත නොකර ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීම සිදු කිරීමටයි යෝජනා වී ඇත්තේ.

තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුන් අධීක්ෂණය කිරීම සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේම, සෞඛ්‍ය අවශ්‍යතා හා රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති ෴

***************************************

පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ මහ මොළකරු අල්ලයි

(09.02.2022 – 16:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 27 වැනි දින පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන් රථ රියැදුරෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් ක‍රනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පානදුර දකුණ පොලිස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

වයස අවුරුදු 32 ක් වන අදාළ සැකකරු පානදුර – කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඊයේ (08) රාත්‍රියේ පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 08 ක් ද තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පානදුර මහේස්ත්‍රාත් මගින් රැඳවුම් නියෝග ලබා ගැනීමට විමර්ශන නිලධාරින් කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

***************************************

මන්නාරමේ තෙල් ගවේෂණයට ඉන්දියාව ගෙන්වන්න සාකච්ඡා

(09.02.2022 – 21:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට තෙල් ගවේෂණය සදහා ඉන්දියාව සමග දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (09) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

මේ අතර, සමාජ මාධ්‍ය වර්තමානයේ මෙරට තුළ භාවිතා කරනු ලබන ආකාරය අනුව කඩිනමින් එය නියාමනය කළ යුතුව ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ, පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධණ පනත් කෙටුම්පත් පිළිබද විවාදයට එක්වෙමින්.

එහිදී අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේ වාර්තාධිකාරි විනිසුරුවරුන් පත්කිරීම් දේශපාලනඥයින්ට පැවරීම සුදුසු නොවන බවයි ෴

***************************************

හිටපු ජනපතිගේ පවුල්වාදය ගැන අනාවරණයක්

(09.02.2022 – 21:22 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන පවුල්වාදය ක්‍රියාත්මක කරමින් සිටින බවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා.

ඔහු පවසන්නේ පසුගිය මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන බව පවසා හිටපු ජනාධිපතිවරයා තමන්ව රැවටූ බවයි.

එමෙන්ම රාජපක්ෂ පවුල සේම, සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ද සිය පවුල්වාදය ගෙනයන බව පැවසූ හෙතෙම පෙන්වා දුන්නේ, ඒ බව මනාවට පොළොන්නරුවෙන් ගම්‍ය වන බවයි.

***************************************

නන්දිමිත්‍ර හස්තියා වියරු වැටෙයි

(09.02.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ විදෙස් සංචාරකයින් සිව් (4) දෙනෙකු රැගත් සෆාරි ජීප් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙලෙස විදේශිකයින් පිරිසක් රැගත් සෆාරි ජීප් රථයකට ‘නන්දිමිත්‍ර’ නම් දළ හස්තියා විසිනුයි පහර දී ඇත්තේ.

වනඅලියා පහර දෙන ආකාරය තවත් ජීප් රථයක ගමන් කළ පිරිසක් ජංගම දුරකතනයකින් පටිගත කර තිබුණු අයුරු ද දක්නට ලැබෙනවා.

***************************************

අවුල් ජාලෙක පැටලුණු වී ගොවීන්

(09.02.2022 – 22:48 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම සඳහා තවත් කාලයක් තිබියදී එම ප්‍රදේශයේ රජයේ වී ගබඩාවලට වෙනත් ප්‍රදේශවල වී ලබා ගන්නා බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරනවා.

මේ අතර, අම්පාර – ලාහුගල ප්‍රදේශයේ වී ගොවීන් සිය වගාවන්ට සිදු වූ පාඩුවට කඩිනමින් වන්දි ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

අම්පාර – ලාහුගල ප්‍රදේශයේ මෙවර මහ කන්නය සඳහා අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා.

මේ වනවිට එම ප්‍රදේශයේ වී අස්වනු නෙලමින් පවතින අතර ගොවීන් පැවසුවේ තමන්ට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ බවයි.

එමෙන්ම රජයෙන් ලබාදුන් කාබනික පොහොර යෙදූවද ඉන් ඵලක් නොවූ බවයි ගොවීන් චෝදනා කළේ.

මේ අතර, පොළොන්නරුව වී අලෙවි මණ්ඩලයට අයත් කඳුරුවෙල පිහිටි වී ගබඩාවේ නිරීක්ෂණයට අද (09) සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් එක්ව සිටියා.

එහිදී ඔවුන් පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම සිදු නොකරන අවස්ථාවක මෙම ගබඩාව මගින් වී මිලදී ගැනීම ගැටලුවක් බවයි.

මේ අතර, මෙවර මහ කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම මෙතෙක් ආරම්භ කර නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

***************************************

උසස් පෙළ අවුලක – ප්‍රශ්න පත්‍රයත් අතට නොලැබෙයි

(09.02.2022 – 23:03 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී අද (09) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ චිත්‍ර දෙවන කාණ්ඩයේ පිළිතුරු පත්‍රය, නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබාගත් බවට සිසුන්ගේ මව්පියන් පිරිසක් චෝදනා කරනවා.

මේ අතර ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි තමන්ට චිත්‍ර දෙවන කාණ්ඩයේ ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවට සිසුන් දෙදෙනෙකු (2) චෝදනා කරනවා ෴

***************************************

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ජාවක්…

(09.02.2022 – facebook.com/WimalWeerawansa.sl)

වසර 75 ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘදයාංගම ස්තුතිය පුදකරන බව සිනමා ක්ෂේත්‍ර 7 ක් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ කියා සිටියහ. ඔවුන් ඒ බව කියා සිටියේ අද (09) කර්මාන්ත අමාත්‍යවරයා සහ ඔවුන් අතර සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැවති විශේෂ සාකච්ජාවකදීය.

සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටළු, යෝජනා සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සහ නියාමනය සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාව, ජාත්‍යන්තර සිනමාව තරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා සහ අදහස් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලය කේන්ද්‍ර කරගනිමින් ප්‍රේක්ෂකයින් 100 කට පමණ එකවර චිත්‍රපට නැරඹිය හැකි මිනි තියටර් (Mini Theater) ක්‍රමවේදයක් හඳුන්වා දීමේ ඉදිරි පියවර ද මෙහිදී සාකච්ජා කෙරුණු අතර ඒ පිළිබඳව සහ සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉදිරි සහාය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට යෝජනා කෙරිණි.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යාංශය
2022.02.09

May be an image of 1 person, sitting, indoor and text that says 'W'
May be an image of 3 people, people standing and indoor
May be an image of 2 people, people sitting and indoor
May be an image of 3 people, people sitting, indoor and text that says 'W'
May be an image of 3 people and people sitting
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *