2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ

2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ

*********************************************

2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ

(03.02.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට අදාළ කඩයිම් ලකුණු අද (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

නැවත සමීක්ෂණයෙන් අනතුරුවයි මෙම ලකුණු නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.

***************************************

තවත් හවුල් ආණ්ඩු නැහැ – විපක්ෂ නායක

(03.02.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

අනාගතේදී හවුල් ආණ්ඩු සෑදීමට බලාපොරොත්තුවක් නොමැති බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ සක්වල වැඩසටහනේ 14 වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට කොට්ටාව ප්‍රදේශයේදී අද (03) එක්වෙමින්.

***************************************

උතුරේ ධීවරයන් අදත් (03) විරෝධයේ – ඇමති ගිය සාකච්ඡාවත් උණුසුම්

(03.02.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරත වන ඉන්දිය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අදත් (03) උතුරේ ධීවරයින් විරෝධතාවල නිරත වුණා.

යාපනය පේදුරුතුඩුව – සුපර්මඩම් ප්‍රදේශයේදී එක් විරෝධතාවයක් පැවති අතර තවත් විරෝධතාවයක් පැවත්වුනේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.

දිස්ත්‍රික් ලේකම්කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ද අවහිර වු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ පැවති විරෝධතාවයේ නිරතවු පිරිස් සහ ධිවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා අතර සාකච්ජාවක් ද පැවත්වුණා. ඒ, ධීවර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමඟයි.

එහිදි විරෝධතාවයේ නිරත වු උතුරේ ධීවරයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ රජය මැදිහත් වී ඉන්දීය ධීවරයින් සිදුකරන අනවසර ධීවර කටයුතු වහා අත්හිටුවන ලෙසයි.

එම අවස්ථාවේ ධීවරයින් අමාත්‍යවරයාගෙන් ඒ සදහා ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුවුණේ අමාත්‍යවරයා ඊට නිසි ප්‍රතිචාරයක් ලබා නොදීම හේතුවෙන්.

එමෙන්ම, යාපනය – පොලිකන්ඩි නැගෙනහිර ප්‍රදේශයේදි ධීවර සංගම්වල නියෝජිතයින් විසින් ධීවර යාත්‍රාවක් ගිනිතබා තිබුණේ ද ඉන්දීය ධීවරයින්ට විරෝධය පල කිරීම සදහායි.

පසුගිය සදුදා (31) රාත්‍රීයේ පේදුරුතුඩුව මුහුදේදී ඉන්දු ලංකා ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයක් මෙම විරෝධතාවලට හේතුවුණා.

මේ අතර, උතුරේ ධීවරයින් සිදුකරන විරෝධතාවලට අදාළව අධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. ඒ පොලීසිය විසින් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි ෴

***************************************

මුදල් ඇමතිගේ කතාව මහ බැංකු අධිපති පහදයි

(03.02.2022 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ සහය ලිඛිතව ඉල්ලා ඇති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍යංශයේ නව ඒකකයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමක් ගැන පමණක් බවයි මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ.

මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේ දැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඊයේ (02) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ට්විටර් සටහනක් එක් කර තිබුණා.

එහි දැක්වුණේ මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ අමාත්‍යංශයේ ස්ථාපිත සාර්ව මූල්‍ය නව ඒකකය සඳහා ධාරිතාව ඉහළ නැංවීමේ සාමාන්‍ය තාක්ෂණික උපදෙස් ගැනීමක් පිළිබඳ පමණක් බවයි.

ඊට අදාලව ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම හැර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ වෙනත් කිසිවක් සඳහන් නොවූ බව මහබැංකු අධිපතිවරයා පැහැදිලි කරනවා.

එය සාමාන්‍යයෙන් කාලානුරූපව සිදුවන්නක් බවයි ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් දක්වා ඇත්තේ.

“මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සාර්ව මූල්‍ය ඒකකයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සාමාන්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගැනීමක් ගැන පමණයි” – අජිත් නිවාඩ් කබ්රාල් – මහ බැංකු අධිපති

***************************************

කොළඹ පුරපතිනියගෙන්, පුෂ්පිකාද සිල්වාට එන්තරවාසියක්

(03.02.2022 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින්, විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

කොළඹ පුරපතිනි රෝසි සේනානායක

ඒ, පසුගියදා අවසන් වූ ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට බලපෑම් කළ බව, පුෂ්පිකා පැවසීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලමිනුයි.

ලාස් වේගස් හිදී පැවති ලෝක විවාහ රූ රැජිණ තරගාවලියේ, අවසන් තරගයේදී අවසාන සුරූපිනියන් හයදෙනා (6) අතරට පිවිසෙන්නට පුෂ්පිකාට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත්, මෙම තරගය අවසානයේ 2021 ලෝක විවාහක රූ රැජිණ ලෙස, කිරුළු පැළැන්ඳේ අමරිකානු විවාහක රූ රැජිණයි.

එහි, අනුශූරතාව ජෝර්දාන සුරූපිනියට හිමි වුණා.

මේ සිද්ධියෙන් පසුව ලෝක විවාහක රූ රැජිණ පිළිබඳව මූලික කතාබහ අවසන් කෙරුණ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා තවත් කතා මවන්නට පටන් ගත්තා.

ඒ, ඇයගේ මුහුණු පොත හරහා සිංහල භාෂාවෙන් තබා තිබූ සටහනක් හේතුවෙන්.

එහිදී පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ, මෙම තරගාවලියේ ඇය “සිව්වැනි (4) ස්ථානයට” පත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය ද පුද කරමින් , රටට සහ ඇය එතැනට කැඳවාගෙන ගිය කණ්ඩායමට තුති පුදා තිබුණා.

කෙසේ වෙතත්, එම සටහනේම පහතින් එයට ප්‍රතිචාර දක්වා තිබූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කමිටු මණ්ඩල සමාජීකාවක වන Libby Crawford පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තෙ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව දිනාගත් සුරූපිනියක් බවත් පවසා තිබුණා.

එහිදී ඇය වැඩිදුරටත් එම සටහන හරහා පුෂ්පිකාගෙන් ඉල්ලා තිබුණේ වහාම එම සටහන නිවැරදි කර එයට ප්‍රතිචාර දක්වන ලෙසටයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා එතරම් දැඩි අවධානයක් යොමු නොකර තිබූ පසුබිමක් මත ඇය නැවතත් පසු සටහනක් තබමින්, පෙන්වා දී තිබුණේ, “ඔබ සැබැවින්ම විවාහක නම්, ඉහත සටහනේ ඔබගේ සැමියාට ස්තුති කිරීමට අමතක කර තිබුණේ ඇයි ?” ද යනුවෙන්.

මේ සමඟම පුෂ්පිකා ද සිල්වා ගේ මෙම ජාත්‍යන්තර තරගාවලි සහභාගීත්වයට වඩා මේ මුහුණූ පොතේ සටහන කෙරෙහි සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මේ අතරවාරයේ පුෂ්පිකා ද සිල්වාගේ එම සටහනට ඇය සමඟ අමරිකාවේ ලාස්වේගස් වෙත ගිය, හිටපු ලෝක විවාහක රූ රැජිනක සහ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබාදෙන හඬ පටයක්, සමාජ මාධ්‍යයට මුදා හැරුණා.

පුෂ්පිකා ද සිල්වා සිය මුහුණු පොතේ තැබූ සටහන පෙළ ගැස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ පුරපතිනිය ලබා දෙන උපදෙස්, එම හඬ පටයේ හොඳින් ශ්‍රවණය කළ හැකියි.

කෙසේ වෙතත්, දිවයිනට පැමිණෙන පුෂ්පිකා ද සිල්වා, ඇයට ලාස්වේගස් හිදී අසාධාරණයක් සිදුවූ බව පවසමින්, සමාජ මාධ්‍ය තුළින් රෝසි සේනානායකට සහ චන්දිමාල් ජයසිංහට සෘජුවම චෝදනා එල්ල කළා.

තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි ඇය එහිදී සඳහන් කළේ.

මෙම චෝදනා හේතුවෙනුයි, රෝසි සේනානායක විසින්, පුෂ්පිකා ද සිල්වාට එන්තරවාසියක් යොමු කර ඇත්තේ ෴

පුෂ්පිකා ද සිල්වා

+++++++++

***************************************

දුම්රියේ යන අතර සෙල්ෆි ගන්න ගිය විදේශික යුවළක් දුම්රියෙන් ඇද වැටෙයි

(03.02.2022 – 23:18 +0530 – hirunews.lk/sinhala)

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 31 වන උමං මාර්ගය ආසන්නයේදී දුම්රියෙන් ඇද වැටීමෙන් විදේශික යුවළක් තුවාල ලබා තිබෙනවා.

අද (03) සවස ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ මෙම විදේශික යුවළ ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ යමින් සිටි මෙම යුවළ අතුරින් මුලින්ම දුම්රියෙන් ඇද වැටී ඇත්තේ තරුණියයි.

අනතුරුව තරුණයා ද ඇය බේරා ගැනීම සඳහා දුම්රියෙන් පැන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරට ලක්වූ යුවළ ප්‍රංශ ජාතිකයන් බව ද සඳහන්.

දුම්රියෙන් වැටුනු ඔවුන් අදාළ දුම්රියෙන් ම හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමෙන් පසු ගිලන් රථයකින් දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දුම්රියේ දොරේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී විදේශික තරුණිය දුම්රියෙන් ඇද වැටී ඇති බවටයි.

අනතුරුවයි ඇය බේරා ගැනීමට තරුණයා පැන ඇත්තේ.

සිද්ධිය පිළිබඳ හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

***************************************

මෙරටදී එකලස් කෙරෙන වාහන ගැන කර්මාන්ත ඇමති පැහැදිලි කරයි

(03.02.2022 – 21:35 +0530 – sinhala.adaderana.lk)

‘කර්මාන්ත 2022’ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ විය.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ පරිශ්‍රයේදීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එය සංවිධානය කර තිබේ.

මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් නියෝජනය කරන ඉදිරිපෙළ කර්මාන්තකරුවන්ගේ කුටි 400 කින් ප්‍රදර්ශනය සමන්විතය.

දේශීය කර්මාන්තකරුවන් මෙරටදී නිෂ්පාදනය සහ එකලස් කරන ලද රථ වාහන ප්‍රදර්ශනය කිරීම ද සමාරම්භක උළලට සමගාමීව සිදුකෙරුණි.

මේ සඳහා එක්ව සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,

“වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති කර්මාන්ත සුළු ප්‍රමාණය වෙනුවන සමාගම් 12 ක් පමණ මේ වනවිට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ ඉදිරියට යමින් සිටිනවා.”

“විදේශ විනිමය අර්බුදය විසින් අද අපට බලකරලා තියෙනවා අකමැත්තෙන් හෝ ආනයන සීමා කරන්න.”

“ඒ තුළින් කෙටිකාලීන අපහසුතා මතුවුණත් දේශීය අවශ්‍යතා සපුරාලමින් ඇතැම් කර්මාන්ත ඉදිරියට යමින් තිබෙනවා.”

“තමන් උපන් රටට බරක් වෙන්න ගොඩක් අයට පුළුවන් වුණාට.. මාතෘ භූමියට අගය එකතු කරන්න හැමෝටම බැහැ.”

එළඹෙන 06 වනදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර දෙරණ මාධ්‍ය ජාලය ඊට මාධ්‍ය අනුග්‍රහය ලබාදෙයි.

+++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *