ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

*********************************************

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

(17.01.2022 – 22:02 +0530 – lankacnews.com)

මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාබයක් ලබා දීමට බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් රටේ ජනතාවට කියා සිටින්නේ මෙය ලෝකයෙන් ගත් ණයක් පියවන ලෙස බවද පැවසූ ඔහු මෙම බැඳුම්කරවල ආයෝජනය කලේ කවුදැයි හෙලි කරන ලෙසද ඉල්ලා සිටියේය.

මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කල ඥාතීන්ට මිත්‍රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500 ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

***************************************

බොරැල්ල දේවස්ථානයේ තිබී සොයා ගත් අත්බෝම්බයේ පරීක්ෂණ ගැන නිවේදනයක්

(17.01.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව එහි ‘මීසම් ධර්මසේවා සභාව’ පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන යොදා ගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට හැකියාව තිබියදීත් පොලීසිය එලෙස කටයුතු නොකිරිම ගැටලුසහගත බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර, මෙම දේවස්ථානයේ තිබී අත්බෝම්බය සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධියට අදාලව මීට පෙර කුඩා දරුවෙකු ඇතුලු තවත් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර පොලීසිය මීට පෙර ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු ද සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගිය දා ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට දැනට කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

++++++++

බොරැල්ල දේවස්ථානයේ බෝම්බෙ තැබූ අය ඇල්ලුවා.. මහමොළකරු මුස්ලිම් – පොලිසිය

(17.01.2022 – gossiplankanews.com)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් තැබූ බවට සැකපිට පොලිසිය මීට ඉහත අත්අඩංගුවට ගෙන තිබුනේ බෝම්බය දැකබියට පත්වූ දේවස්ථාන සේවකයාය. ඒ ගැන අගරදගුරු තුමන්ද විවේචන සිදු කළ පසු ඊයේ (16) පොලිසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සීසීටීවී දර්ශනවල පල්ලියට ඇවිද එන්නෙකු ලෙසද දිස්වූ මෙම පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය දන්වා ඇත.

පොලිසිය පවසන්නේ අල්ලාගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයි ප්‍රකාශ වූ බවත් මුදල් ලබාදුන් පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු බවට කරුණු හෙළිව ඇති බවත්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල ජාතිකයකු වන බවත් රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව සැකකරුට බෝම්බය ගෙනත් දැමීම සඳහා රුපියල් පනස්දහසක (50,000) මුදලක් ලබාදී තිබෙන බවත් එම මුදල ලබාදී ඇත්තේ මුස්ලිම් ජාතිකයකු බවත් පොලිසිය විස්තර කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සිදුවන බව දන්වා ඇත.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සුරුවමක් අසළ සූක්ෂම ලෙස සවිකර තිබූ මෙම බෝම්බය රබර් පටි, හඳුන්කූරු, ගිනිකූරු හා සෙලෝටේප් යොදා පිපිරවීමට උත්සහා දරා තිබූ බවද පොලිසිය කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතඅත්අඩංගුවට ගත්තේ දේවස්ථානයේ මාස නවයක (9) කාලයක් රැඳී සිටිමින් සේවය කරන මරදාන ප්‍රදේශයේ 56 හැවිරිදි ‘මුණි’ නමැති පුද්ගලයෙකි. එම දේවස්ථානයේම රැඳී සිටි 13 හැවිරිදි දරුවකු යොදවා බෝම්බය රඳවන ආකාරය අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර තිබූ අතර සැකකරුගේ කාමරයේ තිබූ ගිනි පෙට්ටියක කූරු අඩුවීමෙන් ඔහු විසින් බෝම්බය සෑදූ බව තහවුරු වන බවත් ඒ සඳහා යොදාගත් සොලෝටේප් ආදිය ද එම කාමරයේ තිබී හමුවූ බවත් පොලිසිය පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් නිවැරැදි විමර්ශනයක් සිදුකර නැතැයි පවසමින් කාදිනල් හිමියන් විසින් පසුගිය දා පොලිසියට දැඩි දෝෂාරෝපණයක් ද එල්ලකර තිබිණි ෴

***************************************

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය හෙට (18) ජනපති ප්‍රධානත්වයෙන්

(17.01.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) ආරම්භ වනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10:00 ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතයි.

1978 ව්‍යවස්ථාවට අනුව පළමුවන පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර 1982 පැවති ජනමත විචාරණයේදී එහි කාලය 1989 අගෝස්තු 04 වැනිදා දක්වා දීර්ඝ කෙරුණා.

කෙසේ වෙතත් 1988 දෙසැම්බර් 20 වැනිදා පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර එම කාලය තුළ පාර්ලිමේන්තුව 7 වතාවක් වාර අවසාන කර තිබෙනවා.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සැසිවාර අවසන් කෙරුණු පාර්ලිමේන්තුව එයයි.

දෙවන පාර්ලිමේන්තුව අවස්ථා 4 කදී වාර අවසාන කර තිබෙනවා.

3 වැනි පාර්ලිමේන්තුව සහ 4 වන පාර්ලිමේන්තුව අවස්ථා 2 බැගින් වාර අවසාන කර ඇති අතර එම කාලය තුළ ජනාධිපතිධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ඇගේ ජනාධිපතිධුරය සමයේම රැස් වූ පස්වැනි පාර්ලිමේන්තුව එක් වරක් වාර අවසාන කෙරුණා.

6 වැනි පාර්ලිමේන්තුව අවස්ථා 3 කදී වාර අවසාන කෙරුණු අතර 2004 අප්‍රෙල් 22 වැනිදා රැස්වූ එම පාර්ලිමේන්තුව 2005 නොවැම්බර් 21 වැනිදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් පළමුවරට වාර අවසාන කෙරුණු අතර 2 වන සහ 3 වැනි සැසිවාර අවසාන කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.

2010 අප්‍රේල් 22 වැනිදා රැස්වූ 7 වැනි පාර්ලිමේන්තුව කිසිදු අවස්ථාවක වාර අවසාන කෙරුණේ නැහැ.

8 වැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා 2 කදී වාර අවසාන කෙරුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු එම පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය වාර අවසාන කෙරුණු අතර ඔහු විසින් පසුගිය දෙසැම්බර් 12 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු (1) වැනි සැසිවාරයද වාර අවසාන කරනු ලැබුවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි හෙට (18) පෙරවරු 10 ට රාජාසන කතාව සිදුකරමින් 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ඉතා චාම් ආකාරයෙන් මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, 09 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සාම්ප්‍රදායිකව එදිනට එදිනට අදාල පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අවසන් කර පාර්ලිමේන්තුව කල් තබනවා.

රාජාසන කතාව සම්බන්ධයෙන් ලබන 19 සහ 20 යන දෙදින විවාදයක් පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂනායක රැස්වීමේදී එකඟතාපළ වුණා.

***************************************

පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පියාගේ ගෙළ මිරිකා ඝාතනය කරයි

(17.01.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම වීරහෙල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් අතරතුරදී ඇති වූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් දියණිය, බෑණා සමඟ එක්ව සිය පියාගේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දියණිය, බෑණා සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවයි පොලීසිය පැවසුවේ.

***************************************

ඉන්දියාවේ දේශපාලන වේදිකාවට ගිය ‘මැණිකේ මගේ හිතේ’

(17.01.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට ඉන්දියාවේ දේශපාලන වේදිකාව තුළ ද ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ පාලක පක්ෂය වන, භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ දී සිය තේමා ගීතය ලෙස ‘මැණිකේ මගේ හිතේ’ ගීතය භාවිත කිරීමත් සමඟයි.

‘මැණිකේ මගේ හිතේ’ සංගීතය මුල් කරගනිමින් එහි තනුවට සකසන ලද හින්දි පද රචනයක් එක්කරමින් ඔවුන් නව ගීතයක් නිර්මාණය කර ඇති අතර, මේ වනවිටත් එයට පක්ෂ විපක්ෂ පිරිස් දැඩි කැමැත්තක් දක්වන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

‘මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ මහ ඇමති යෝගිටයි’ යන පණිවුඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහා ඉතා ආකර්ශනීය ලෙස මෙම ගීතය යොදාගන්නා බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

***************************************

දේශපාලනඥයින් විසින් රටේ තාරුණ්‍යය මුලා කරනවා – විපක්ෂ නායක

(17.01.2022 – 23:32 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනඥයින් විසින් රටේ තාරුණ්‍යය දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගැනීමේ ක්‍රමවේදය වහා නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කලේ සමඟි විහිදුම් බලගනයේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

***************************************

ගැස්ට්‍රයිටිස් හදාගෙන ආණ්ඩුවට කඩේ ගියාට සැලකූ හැටි මෙහෙම තමා – සුදත්ත තිලකසිරි

(17.01.2022 – gossiplankanews.com)

යූටියුබ් සමාජ ක්‍රියාකාරික හා රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතාගෙන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15 දා) පැය 4 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය.

දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව පෙරේදා (15) පෙරවරු 10:00 ට එහි ගිය සුදත්ත නැවත පැමිණියේ පස්වරු 02:00 ට පමණය.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා මෙසේ කීය :

“මට විරුද්ධව පෙත්සමක් ඇවිත් තියෙනවා. ‘රටට හිතැති කලාකරුවෝ’ කියලා. කාටහරි වුවමනා කරලා තියෙන් මගේ කට වහන්න. මේ රටේ මිනිසුන්ව කුපිත කරවන්න … ප‍්‍රභූවරුන්ට ගහන්න … ඔය වගේ දේවල් තියෙනවා කියලා කිව්වා. අපි බලාපොරොත්තුවුණු ඒ දේශය අපට ලැබුණේ නැහැ. අපිව නිහඬ කරවන්න බැහැ. මේ ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිහිල්ලා ගැස්ට‍්‍රයිටිස් හදාගෙන, කන්න නැතුව අතින් වියදම් කරගෙන ගියා. ඒකට මේ දීපු තෑග්ගට බොහොම ස්තුතියි. මගේ ගෙල සිදලා දැම්මත් මගේ වැඩේ නතර කරන්නේ නැහැ.”

+++++++

18-01-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *