නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50 ක් වත් ඉතිරි නොවේලු..

නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50 ක් වත් ඉතිරි නොවේලු..

*********************************************

නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50 ක් වත් ඉතිරි නොවේලු..

(06.01.2022 – 03:18 +0530 – lankacnews.com)

නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට ආණ්ඩු බලයක් ලබා ගැනීමට ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමග සාකච්ඡා කරමින් පවතින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

2022 වසර තුළ සමගි ජන බලවේගය ඇතුළු තවත් පාර්ශව රැසක එකතු වීමකින් ආණ්ඩුවේ පිරිසගේ සහයක් ඇතිව නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

එහිදී විපක්ෂයේ සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින ආණ්ඩුවේ මැති ඇමතුම් පිළිබඳව කිසිවක් හෙළි කර නොහැකි බව පැවසූ නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී විපක්ෂයේ සමග හිටිහැටියේ එකවරම එකතුවීමට නියමිත බව සඳහන් කරයි.

එමෙන්ම සුසිල් ප්‍රේම ජයන්ත වැනි වංචා දූෂණ වලින් තොර පිරිසුදු නායකයෙකු සමගි ජන බලවේගය සමග එකතු කර ගැනීමට එම බලවේගය කැමැත්තෙන් පසුවන බවද නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගය සමග හෝ ආණ්ඩුවට විරුද්ධ ව ගොඩනගන බලවේගය සමග සුසිල් ප්‍රේමජයන්ත මහතාට එක්වන ලෙස තමන් ආරාධනා කරන බව ඒ මහතා සඳහන් කරයි.

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ද මේ මොහොතේ සිටින්නේ ආණ්ඩුව සමග නොවන බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් ගෙන් සහ අමාත්‍යවරුන් 50 කටත් වඩා අඩු සංඛ්‍යාවක් රාජපක්ෂ පවුල සමග සිටින බවයි.

ඒ අනුව ඉදිරියේ දී ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකතු කරගන්න 2022 වසර තුළ නව ආණ්ඩුවක් නිර්මාණය කරන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

***************************************

‘There is no money left’ : Covid crisis leaves Sri Lanka on brink of bankruptcy

(02.01.2022 – theguardian.com)

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(06.01.2022 – 06:56 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු (2) පිස්තෝල අවියක් (1), මැගසින් දෙකක් (2) සහ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට (1,40,00,000) ආසන්න මුදලක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මුහුදු මාර්ගයෙන් බහුදින ධීවර යාත්‍රා උපයෝගි කරගෙන සිදු කරගෙන යනු ලබන අතර තංගල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙකු ජාවාරම සඳහා යොදා ගනු ලබන බහුදින ධීවර යාත්‍රාවක නියමුවා වශයෙන් කටයුතු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු අවුරුදු 32 ක් වයසැති සීනිමෝදර – කොස්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 50,14,000 මුදලක්, ග්‍රෑම් 377 ක් බරින් යුත් රන් ආභරණ, හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ දුරකතනයක් ද සොයාගෙන තිබෙනවා.

මෙම ජාවරම මෙහෙයවනු ලබන ප්‍රධාන සැකකරු ප්‍රදේශයන් පලාගොස් ඇති අතර සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී අවුරුදු 60 ක් වයසැති ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම නිවෙසේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් (1), එම මැගසින් 2 ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 90,02,800 ක මුදලක්, සැටලයින් වර්ගයේ දුරකතනයක් (1) සහ ජංගම දුරකතන දෙකක් (2) සෙයාගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

කිරිපිටි හිඟය මේ මස අග තෙක්

(06.01.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ, ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ඔහු සඳහන් කළා.

පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345 කට අලෙවි වන අතර, කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 540 කට යි.

***************************************

දුම්රිය ගාස්තු වැඩි වීමක් නැහැ – රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

(06.01.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

කුමන තත්ත්වයක් යටතේ වුව ද ජූලි 01 වන දා තෙක් යළිත් කිසිදු ආකාරයක බස් ගාස්තු සංශෝධනයක් සිදු නො වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

එසේම, ඉන්ධන මිල වැඩි වීම හමුවේ බස් ගාස්තු ඉහළ දැමුව ද දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නො මැති බවයි ඔහු අවධාරණය කළේ ෴

***************************************

උපාධිධාරීන් 53,000 ක් ස්ථිර කෙරේ

(06.01.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවය සඳහා බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ සේවය ස්ථිර කිරීමට පියවර ගත් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

කොළඹ දී ඊයේ (05) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, 50,000 ඉක්ම වූ සංඛ්‍යාවකට රාජ්‍ය සේවය තුළ ස්ථීර පත්වීම් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මෙම ස්ථිර කිරීමත් සමග ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 31,490 ක් දක්වා ඉහළ යන අතර වෙනත් දීමනා සමග රුපියල් 41,490 ක වැටුපක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම උපාධිධාරීන් මෙතෙක් පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල සංවර්ධන නිළධාරීන් ලෙස පුහුණුවේ නිරත වනවා ෴

***************************************

සුසිල් ගැන පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයට

(06.01.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ඇති බවට වාර්තා වනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගත යුතු නම් ඒ සම්බන්ධයෙන් ද දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, දේශපාලන මණ්ඩලය රැස්වන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නො මැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වූ සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්.

එහෙත් ඔහුගේ එම සාමාජිකත්වය අහෝසි කළ හොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

හම්බන්තොට පොල් අපනයන කලාපයක්

(06.01.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් හම්බන්තොට වරාය ආශ්‍රිත ව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පොල් අපනයනයෙන් පමණක් පසුගිය වසර තුළ ඩොලර් මිලියන 900 ක ආදායමක් උපයා ගත් බවයි.

එමෙන්ම, රබර් අපනයනයෙන් ද ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගත් බව ඔහු කියා සිටියා ෴

***************************************

ජනපති මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකී

(06.01.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (05) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පළමුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත් බවයි.

එහිදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථානවල ආරක්ෂාවට සහ සංරක්ෂණයට රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබද ජනාධිපතිවරයා නාහිමියන් දැනුවත් කර තිබෙනවා.

පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ගෙඩිගේ රජමහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් බැහැදැක තිබෙනවා ෴

***************************************

ගුරු – විදුහල්පති වැටුප් සංශෝධනය කෙරෙයි

(06.01.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් යුතු ව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, මේ මස පළමුවන දා (01) සිට ක්‍රියාත්මක වන පරිදියි.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ඇති ව මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි.

***************************************

පින්නවල නිවුන් අලි පැටවුන් මුල්වරට මා ඔයේ දිය කෙළියේ

(06.01.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ පිරිමි නිවුන් අලි පැටවුන් දෙදෙනාට (2) එම සත්ත්ව උද්‍යානය ඉදිරිපිට පිහිටි අලි ස්නානය කරවන මාඔයේ ජල ස්නානය කරවීම අද (06) සිදුකෙරුණා.

ඒ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මේ වන විට මාස 4 ක් පමණ වයසැති මෙම අලි පැටවුන් දෙදෙනා (2) යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි, එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ.

පසුගිය වසරේ අගෝස්තු 31 වන දා මෙම නිවුන් අලි පැටවුන් උපත ලැබූ අතර, මෙය මෙරට ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත වනවා.

මෙම අලි පැටවුන්ට නම් තැබීම ලබන 11 වන දා පින්නවල අලි අනාථාගාරයේදී සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

***************************************

“රට නංවන්න මේ පාරෙන් එන්න” – අනුර කුමාර දිසානායක

(06.01.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගෙන තිබිය දී හදිසියේ වැටුප් වැඩි වැඩිකිරීම සහ අනෙකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද කියා දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බව ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු ඊයේ (05) මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව අවධාරණය කළා.

වැටුප් වැඩිකිරීම ඇතුළු අනෙකුත් සහන ලබාදීමට මුදල් සොයා ගනු ලබන්නේ කෙසේ ද යන්න සම්බන්ධව මුදල් ඇමතිවරයා රටට හෙළි කළ යුතු බව යි ඔහු සඳහන් කළේ.

මෙය සහන මල්ලක් ද නැත්නම් විපත් මල්ලක් ද යන්න තීරණය වන්නේ ඒ අනු ව බව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියා.

රජය විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් සිටින බවත් එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල යන බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, සහන ලබා දෙනවා යැ යි පවසමින් නැවත නැවත මුදල් අච්චු ගසන්නේ නම්, ඒ හරහා තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදු වන බව පවසනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අනුගමනය කර තිබෙන දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ රට අගාධයට ඇදීගොස් ඇති බව පවසන අනුර දිසානයක, දේශපාලනික හා ආර්ථික අර්බුද නතර කිරීම සඳහා සියලු දෙනා එකතු විය යුතු බවට ආරධනා කරනවා.

ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය විදියට වැඩපිළිවෙළක් ගොඩනඟා ඇති බවත් ඔහු අවසාන වශයෙන් කියා සිටියා.

***************************************

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු විශේෂ කාර්යබලකා අත්අඩංගුවට

(06.01.2022 – 10:45 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යබලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද(06) දින සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත් අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 155 ක් සහ කේරළ ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 175 ක් තිබූ බවට සඳහන්.

සැකකරු අනුගම්මන, දෙමලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයක්.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වුණේ, මෙම මත්ද්‍රව්‍ය ගම්පහ, ජා ඇල, කිරිබත්ගොඩ, කඩුවෙල යන ප්‍රදේශවල පුද්ගලයින් හට අලෙවි කිරීමට සූදානම්ව සිටි බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු මිගහවත්ත පොලිස් ස්ථානය විසින් සිදු කරනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *