ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්

ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්

*********************************************

ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්

(04.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ ආනයනික සමාගම් සතු ව පවතින ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකහමාරකට (2½) පමණක් බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන් පවසනවා.

ආරක්ෂිත තොග පවත්වා ගනිමින් ආනයනික ඖෂධ සඳහා ඇණවුම් ලබාදීම් සිදු කළ ද ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ සම්බන්ධයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි ඖෂධ ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ, රජයේ රෝහල්වල මේ වනවිට ඖෂධ හිගයක් නො මැති වුවත් ඖෂධ ආනයනයට ඇති බාධා කඩිනමින් යථා පත් නො කළ හොත් අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි බවයි ෴

***************************************

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

(04.01.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (03) දින ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ දී වැටළීමක් සිදු කර තිබෙනවා.

එහි දී රුපියල් එක්ලක්ෂ පනස්දාහකට (1,50,000) වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

සැකකරු වයස අවුරුදු 60 ක පසුවන ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ගම්පහ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

කලා වැව කට අරී – කලා ඔය උතුරා යයි

(04.01.2022 – 11:41 +0530 – hirunews.lk/sinhala)

රජරට ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වැසි බර කාලගුණය හේතුවෙන් කලා වැවේ වාන් දොරටු දෙකක් (2) ඊයේ (03) රාත්‍රියේ සිට විවෘත කර ඇති බව කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසනවා.

උතුරුමැද පළාතේ පිහිටා ඇති විශාලතම ජලාශයක් වන කලා වැවේ ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 87,401 ක් ව පවතින අතර, ජලාශය බාර ඉංජිනේරුවරු තීරණය කර ඇත්තේ, අද (04) පෙරවරුවේ සිට හදිසි වාන් දොරටු දෙක (2) අඩි 4 බැගින් විවෘත කිරීමට යි.

ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 4800 ක්.

ඒ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය ද අවුකන පාලම අසලින් යට ව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනාගමන කටයුතුවලට ද බාධා පැමිණ තිබෙනවා.

මේ වන විට දඹුලු ඔය ඇතුළු ජල මූලාශ්‍රවලින් කලා ඔයට එක් වන ජල ප්‍රමාණය ද තත්පරයට ඝන අඩි 6290 ක් ව පවතින අතර, අවශ්‍ය වුව හොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීමට සිදු වන හෙයින් කලා ඔය දෙපස පදිංචිකරුවන්ට ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස යි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ.

***************************************

මහවැලි ගංඟාව අවදානම්

(04.01.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගංඟාව භාවිතා කිරීම අවදානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ, ජලාශ රැසක් වාන් දැමීම හේතුවෙන් ගලා යන ජලය මහවැලි ගඟට එකතු වන බැවින් එම ගංඟාවේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතර ව කලාඔය, මඩකලපුව – මුන්දෙනිආරු ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා ෴

***************************************

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

(04.01.2022 – 12:24 +0530 – hirunews.lk/sinhala)

‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ සමාගම පිහිටුවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවට, කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඉන්දීය රජය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

ඒ අනුව, ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ’ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24 ක් වෙන් කර තිබෙනවා.

එසේ ම, ‘ලංකා අයි.ඕ.සී. සමාගම’ දැනටමත් භාවිතයට ගන්නා තෙල් ටැංකි 14 ක් එම සමාගමේ ව්‍යාපාර සඳහා වෙන් කෙරෙනු ඇති.

ඉතිරි තෙල් ටැංකි 61 ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ට 51% ක් හා ‘ලංකා අයි.ඕ.සී සමාගම’ට 49% ක් කොටස් අයිතිය හිමි වන පරිදි ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම’ මඟින් සංවර්ධනය කෙරෙ යි.

එම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉතිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව යි වාර්තා වෙන්නේ ෴

***************************************

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500 ක්

(04.01.2022 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන තිස් දෙකේ (32) නව බස් රථ 500 ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එරට ‘අශෝක් ලේලන්ඩ්’ සමාගමෙන් මෙම බස් රථ මිලදී ගැනීමට නියමිතයි.

මේ අතර පොලිසිය සඳහාද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ජීප් රථ 750 ක් ද ‘මහේන්ද්‍රා’ සමාගමෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන් ජීප් රථ 150 ක් මිලට ගැනෙන්නේ ‘පොලිස් විශේෂ කාර්ය බලකාය’ සඳහායි ෴

***************************************

දෙහිවල කිමිදුම්කරුවෙකුට ප්‍රහාර එල්ල කළ කිඹුලා සොයා තවදුරටත් මෙහෙයුම්

(04.01.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල දුම්රියපොළ පිටුපස මුහුදේ දී කිමිදුම්කරුවෙකුට ප්‍රහාරයක් එල්ල කළ කිඹුලා සොයා වනජීවි නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ සිට මෙම කිඹුලා අතුරුදන් ව ඇති අතර, එම සත්ත්වයා වැල්ලවත්ත මුහුදු තීරයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව මේ වන විට එහි මෙහෙයුම් සිදු කරන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියආරච්චි කියා සිටියේ.

ඊයේ (03) දහවල් මෙම කිඹුලාගේ ප්‍රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කිමිදී විසිතුරු මසුන් අල්ලා අලෙවි කිරීමේ වෘත්තියේ නිරත රත්මලාන – වීරසිංහ මාවත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම කිඹුලා සෙවීමේ මෙහෙයුමට වනජීවි දෙපාර්තමේන්තුවේ සමුද්‍ර අංශයේ නිලධාරීන් සහ බෙල්ලන්විල – අත්තිඩිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් එක් ව සිටින අතර, මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරෙනවා ෴

***************************************

සහන පැකේජය සඳහා රුපියල් බිලියන 229 ක් වැයවනු ඇති බවට මුදල් අමාත්‍යගෙන් ප්‍රකාශයක්

(04.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ජනතාව වෙත ඊයේ (03) ලබාදුන් සහන පැකේජය සඳහා රුපියල් බිලියන 229 ක් පමණ වැයවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඊයේ (03) ලබාදුන් සහන පැකේජය යටතේ රාජ්‍ය සේවකයින්ට විශ්‍රාමිකයින්ට සහ ආබාධිත සෙබළුන්ට මේ මස සිට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් හිමිවනු ඇති.

එසේම සමෘද්ධි ලාභීන්ට රුපියල් 1000 ක අතිරේක දීමනාවක්ද මේ මාසයේ සිට ලබාදීමට කටයුතු කෙරෙන බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

ඊට අමතර ව අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදුවලින් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම වී ගොවීන්ට කිලෝවක් සඳහා රුපියල් 25 ක සහනාධාරයක් ලබාදීමටද පියවර ගැනුණු අතර, වතු කම්කරු පවුලක් සඳහා මසකට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80 ක සහන මිලක් යටතේ කිලෝ 15 ක උපරිම සීමාවකට යටත්ව ලබාදෙන බවද ප්‍රකාශ කෙරුණා.

හෝමාගම දී අද (04) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙම සහන පැකේජය සම්බන්ධයෙන් පැහැදිලි කළා.

එහිදී ඔහු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ට හොඳ අමාත්‍යාංශයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

රාජ්‍ය සේවකයන් ඇතුළු පාර්ශව සඳහා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛ අද (04) දිනයේ දී නිකුත් කිරීමට නියමිත යි ෴

+++++++++

සහන ලබා දුන්නේ පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ – ආණ්ඩුව

(04.01.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සහ 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතට සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු සහ සූදු මෙන්ම වාහන මත බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි අයකරන බදු කිහිපයක් වෙනුවට මාර්ගගත ක්‍රමයට කළමනාකරණය වන තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමටයි යෝජනා කර ඇත්තේ.

2022 අයවැය මගින් මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද වැඩිකිරීමට සහ වසංගත හෝ මහජන සෞඛ්‍ය තත්වයන් යටතේ රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනු ලබන වෛද්‍ය උපකරණ, උපාංග හා රසායනික ද්‍රව්‍ය ආදිය එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

මේ අතර ජනතාව වෙත ඊයේ (04) ලබාදුන් සහන පැකේජය සඳහා රුපියල් බිලියන 229 ක් පමණ වැයවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එම සහන පැකේජය යටතේ රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ආබාධිත සෙබළුන්ට මේ මස සිට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් හිමිවනවා.

සමෘද්ධි ලාභීන්ට රුපියල් 1000 ක අතිරේක දීමනාවක් ද මේ මාසයේ සිට ලබාදීමට කටයුතු කෙරෙන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියළු බදුවලින් නිදහස් කිරීමට පියවර ගැනුණා.

එම බදු සහනය හිමි වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතරට අර්තාපල්, ලොකුලූණු, පරිප්පු සහ සීනි ඇතුලු ආහාර ද්‍රව්‍ය ඇතුළත් බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සදහන් කළේ.

එසේම වී ගොවීන්ට කිලෝවක් සඳහා රුපියල් 25 ක සහනාධාරයක් ලබාදීමටද පියවර ගැණුනු අතර වතු කම්කරු පවුලක් සඳහා මසකට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80 ක සහන මිලක් යටතේ කිලෝ 15 ක උපරිම සීමාවකට යටත්ව ලබාදෙන බව ද ප්‍රකාශ කෙරුණා.

අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ සහන ලබාදීම පළාත් සභා මැතිවරණය අරමුණු කරගෙන සිදු වූවක් නොවන බවයි.

***************************************

ජල බිලට දුන් 10% යේ වට්ටම අත්හිටුවයි

(04.01.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට ලබාදුන් 10% ක වට්ටම අත්හිටුවා තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, 2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා මාසිකව රුපියල් මිලියන 90 ක අලාභයක් සිදුවන බවයි.

එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10% ක වට්ටම අත්හිට වූ බව ඔහු සදහන් කළා.

ජල පහසුකම් ලබාගෙන ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් 75% ක් පමණ ජල ඒකක 25 කට අඩුවෙන් භාවිත කරනු ලබන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

විදුලි බිල්පත් සඳහා ද අදාළ 10% වට්ටම 2014 වසරේ ඉදිරිපත් වූ අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක වුව ද එය 2015 වසරේ දී විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය සලකා බලා අත්හිටුවනු ලැබුවා ෴

***************************************

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වේ

(04.01.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම පිණිස 2018 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර එවකට පැවති විශේෂ වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවලිය පදනම් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේ අයවැය යෝජනා මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද පියවර ගැනුණා.

2018 වර්ෂයේ දී අදාළ වැටුප් යෝජනාවලිය පිළියෙල කරන අවස්ථාවේ දී ගුරු උපදේශක සේවය ස්ථාපිත වී නොතිබූ බැවින්, එම සේවය සඳහා ද වැටුප් පරිමාණ ඇතුළත් කරමින් ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴

***************************************

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට

(04.01.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරුණා.

කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා.

2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165 ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇතැයි විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

ඒ වෙනුවෙන් ‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය’ සහ ‘ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය’ ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම් (Robert Juhkam), නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් (Malin Herwig), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්ව මියගිය කිමිදුම්කරුගේ මරණයට හේතුව හෙළි වේ

(04.01.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල දුම්රියපළ පිටුපස මුහුදේදී කිඹුළෙකුගේ ග්‍රහණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ කිමිදුම්කරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ කිඹුලාගේ ග්‍රහණයට ලක්වීමෙන් පසු දියේ ගිලීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි.

මෙම කිඹුලා සොයා වනජීවි නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ සිට මෙම කිඹුලා අතුරුදන්ව ඇති අතර, එම සත්ත්වයා වැල්ලවත්ත මුහුදු තීරයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව අද (04) දහවල් සිට එහි මෙහෙයුම් සිදුකරන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියආරච්චි කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *