පුද්ගලයෙකුට මරු කැඳවූ සුපිරි ජිප් රථය පැදවූ කාන්තාවට ඇප

පුද්ගලයෙකුට මරු කැඳවූ සුපිරි ජිප් රථය පැදවූ කාන්තාවට ඇප

*********************************************

පුද්ගලයෙකුට මරු කැඳවූ සුපිරි ජිප් රථය පැදවූ කාන්තාවට ඇප

(29.12.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම ජීප් රථය පැදවී තිබුණේ 52 හැවිරිදි කාන්තාවක විසින්.

හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණේ අද (29) පෙරවරු 06:15 ට පමණ.

කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා ගැටුණා.

අනතුරට ලක්වූ පුද්ගලයා ඒ අසල තිබූ කාණුවක සිරවී සිටි අතර ඔහු රෝහල් ගත කළනමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ.

ජීවිතක්ෂයට පත්වුණේ වේරහැර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන කුලී රැකියාවල නිරත අවිවාහක පුද්ගලයෙක්.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, දියණිය සහ තවත් පුද්ගලයෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

පොලිසිය පැවසුවේ ඔවුන් ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට නුගේගොඩ පිහිටි සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව අද (29) පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඇය රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණා.

සැකකාර කාන්තාව විසින් එහිදී වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

******************************************

අගමැති ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාරවලට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගෙන් ප්‍රතිචාර

(29.12.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් දක්වා තිබෙනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වන්නේ නම් ඒ පිළිබඳ තමන් ඇතුලු පිරිසට දැනුම් දෙන බවයි.

******************************************

නැගෙනහිර මුහුදේ භූ චලනයක්

(29.12.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට කිලෝමීටර් 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙනවා.

එහි රිච්ටර් පරිමානයේ අගය සටහන් වී ඇත්තේ ඒකක 4.3 ක් ලෙසටයි.

කෙසේවෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

මඩකලපුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 300 ක් පමණ දුර මුහුදේ කිලෝමීටර් 21 ක පමණ ගැඹුරු ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා ෴

******************************************

කිලිනොච්චියේ කාන්තාවක් ඝාතනයට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල රිමාන්ඩ්

(29.12.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර ඇල මාර්ගයකට දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ලබන ජනවාරි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයයි අද (29) මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙම ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගැනුනේ උදයනගර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් සහ 19 හැවිරිදි තරුණියක්.

සැකකාර යුවළ අදාළ කාන්තාවගේ රන් ආභරණ පැහැර ගැනීමෙන් අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින අයෙකු වන අතර මියගිය කාන්තාව පැළඳ සිටි රන් භාණ්ඩ ලබාගැනීම වෙනුවෙන් ඝාතනය සිදුකර ඇතැයි තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකරු විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔහුගේ බිරිඳ මෙම මළ සිරුර සැගවීමට සහයෝගය ලබාදී ඇතැයි ද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

මියගොස් ඇති 67 හැවිරිදි කාන්තාව පසුගිය 27 වනදා අතුරුදන්ව ඇති අතර ඇයගේ මළ සිරුර ඊයේ (28) සොයා ගැනුනේ කන්දපුරම් ප්‍රදේශයේ පාලමක් යට තිබියදීයි.

ඒ ඇයගේ නිවසේ සිට කිලෝමීටර් 18 ක් පමණ දුර ප්‍රදේශයකින්.

ඇය ලන්ඩන් නුවර පදිංචි තම පුත්‍රයා සමග කාලයක් රැඳී සිට ඇති අතර මීට වසර තුනකට (3) පමණ පෙර යළිත් කිලිනොච්චි ප්‍රදේශයට පැමිණ ඇතැයි සඳහන්.

මියගිය කාන්තාවගේ දරුවන් 5 දෙනෙකු විදෙස්ගතව සිටින අතර සැමියා ගොවිතැන් කරමින් සිටින බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශකර ඇත්තේ.

ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමුවේ හෙළිකර ඇත්තේ අදාළ කාන්තාව නිවසේ සිටියදී ඝාතනය කර සිරුර යතුරුපැදියක බැඳගෙන ගොස් කිඹුලන් සිටින ඇල මාර්ගයකට දැමූ බවයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීමක්

(29.12.2021 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මහරගම, කොට්ටාව සහ හෝමාගම අවට ප්‍රදේශවලට විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ රාත්‍රී 08:30 ට පමණ විදුලි බිඳවැටීම සිදුව ඇති අතර මෙතෙක් එය යථා තත්වයට පත්වී නොමැති බවයි.

නොරොච්චෝල බලාගායේ ජනන යන්ත්‍රයක තිබූ දෝෂයක් හේතුවෙන් පසුගිය සතියේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිත්තු 45 ක පමණ කාලයක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පසුගියදා කියාසිටියේ තවත් වසර 6 ක පමණ කාලයක් නොරොච්චෝල බලාගායේ අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වනු ඇති බවයි.

එය නතර කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

පවතින අලුත්වැඩියා කටයුතු කොපමණ දින ගණනකින් අවසන් වනු ඇතිදැයි නිශ්චිතව කිව නොහැකි බව ද සෞම්‍ය කුමාරවඩු කියාසිටියා ෴

******************************************

රජය ජනතාව වෙනුවෙන් කිසිදු මෙහෙවරක් ඉටු නොකළ බව විපක්ෂ නායක කියයි

(29.12.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ගතවූ වසර දෙක (2) තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිඳු මෙහෙවරක් ඉටු නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සූරියවැව නගරයේ පැවති ජනදුක හඳුනන ‘මනුශ්‍යත්වයේ චාරිකාව’ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ආණ්ඩුව රට කඳුළු පාරාදීසයක් බවට පත් කර ඇති බවයි.

******************************************

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධානී අගමැති හමුවෙයි

(29.12.2021 – 22:55 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය හා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දක්වන සමීප සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කළ බවයි අගමැති මාධ්‍ය අංශය කියාසිටියේ.

දෙරටේ රජයන් අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳවද දෙපාර්ශවය මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

******************************************

හදිසි අනතුරුවලින් වසරකට 12,000 ක් මරුට

(30.12.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

හදිසි අනතුරු හේතුවෙන් මෙරට තුළ වසරකට පුද්ගලයන් 12,000 ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එහි බෝ නො වන රෝග ඒකකය සඳහන් කළේ, ඒ අනුව දිනකට පුද්ගලයන් 35 දෙනෙකු පමණ හදිසි අනතුරු හේතුවෙන් මියයන බවයි.

වසරකට මිලියන 3 ත්, 4 ත් අතර වන පුද්ගලයන් ප්‍රමාණයක් හදිසි අනතුරුවලට ලක්වන අතර දිනකට පුද්ගලයන් 12,000 ක් පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරට රෝහල් පද්ධතියට ඇතුළු වන බවටයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය සහ එය පාලනයට විවිධ සීමා පනවා තිබූ පසුගිය දෙවසරක (2) කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෴

******************************************

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

(29.12.2021 – 19:11 +0530 – sinhala.adaderana.lk)

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසයි.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම්වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (තත්ත්ව ආරක්ෂණ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා ඒ බව පැවසීය.

මේ අතර වෙළඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් එය නිසියාකාරව සිදු නොවන බවත් ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම් අපොහොසත්ව ඇති බවත් අප කළ සොයාබැලීමේදී අද (29) නිරීක්ෂණය වුණි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයත් සමග වෙළෙඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ඉකුත් දෙසැම්බර් 17 වැනිදාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට එදින තවත් නියෝගයක්ද ලබාදී තිබුණි.

එම නියෝග ලබාදී අදට දින 12 ක කාලයක් ගතවී තිබුණත් වෙළෙඳපොළට ප්‍රමාණවත් අයුරින් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ගෑස් සමාගම් අසමත් වී තිබේ.

පාරිභෝගිකයින්ට එක් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා පැය ගණනක් අලෙවිසල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මෙහිදී පැරණි ගෑස් සිලින්ඩර නැවත භාරගැනීම මෙන්ම නව ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ප්‍රමාණවත් ලෙස සිදුනොවන බව අප කළ නිරීක්ෂණයකදී අනාවරණ වුණි.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරුම් හා ගිනිගැනීමේ සිදුවීම් තවදුරටත් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ ගෑස් සමාගම් අධිකරණ නියෝගය ප්‍රකාරව – දැනට භාවිත කළ සිලින්ඩර යළි භාරගැනීමක් කර නොමැති බවය.

එහි අහිතකර ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ මුදල් ගෙවා ගෑස් සිලින්ඩර මිලට ගත් අසරණ පාරිභෝගික ජනතාවටය.

මේ අතර පිටිගල නියාගම හා මානම්පිට ප්‍රදේශවල නිවෙස් දෙකකත් (2), බිබිල මැදගම බකිණිගහවෙල ප්‍රදේශයේ නිවසකත්, බගවන්තලාව චැපල්ටන් වතුයායේ නිවෙසකත් ගෑස් උදුන් පිපිරී ගොස් තිබුණි.

ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප ඊයේ (29) රාත්‍රියේ පිපිරී ගොස් තිබුණි.

ගෝනපීනුවල කලුවගහ ජනපදයේ නිවසක මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු අතර ඒ ගෑස් සිලින්ඩරය කාන්දුවීමෙන් ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙනි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවෙයි

(30.12.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 03 වැනි දා සිට සියලු රාජ්‍ය සේවකයින්, සේවයට කැදවීමට තීරණය කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැදවනු ලැබුවා ෴

+++++++++++++

නව කොරෝනා ආසාදිතයින් 419 ක්

(30.12.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර වාර්තාවලට ලබා දීම ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ සිදු වන බැවින් එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප්‍රමාදයක් සිදු විය හැකි බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 419 ක් ඊයේ (29) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,86,183 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,944 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (29) වාර්තා වූ කොරෝනා මරණ 21 ත් සමඟ යි.

මේ අතර මෙරට ඔමික්‍රෝන් ආසාදිතයන් 7 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇතත් ජාත්‍යන්තර වාර්තාවල මෙරට ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන තුන් දෙනෙකු (3) ලෙස දැක්වෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

මේ අතර වයස අවුරුදු 50 ට වැඩි පිරිස් ඇතුළු ඇතැම් පුද්ගලයන් එන්නත්කරණයෙන් පසු ඇති විය හැකි සුළු රෝගී තත්ත්වයන් හේතු කරගනිමින් එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

අදාළ සුළු රෝග ලක්ෂණ එන්නතේ සාර්ථක ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඇති වන තත්ත්වයන් බැවින් එන්නත්කරණය සඳහා සියලු පුරවැසියන් එක්විය යුතු බව යි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *