අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි

අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි

*********************************************

අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි

(29.12.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල අවම ගාස්තුව රුපියල් 3 කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

එය ලබන ජනවාරි මස 05 වනදා සිට බලාත්මක වනු ඇති.

ඒ අනුව මේවන විට රුපියල් 14 ක් වන අවම ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර අවම ගාස්තුව හැර ලංගම සහ පෞද්ගලික බස්වල අනෙක් ගාස්තු ඉහළ නංවා ඇත්තේ සියයට 17 කින්.

එමෙන්ම අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ලංගම සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ගාස්තුව ද ජනවාරි මස 05 වනදා සිට සියයට 17 කින් ඉහළ යනු ඇති.

බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මඟී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණයට එළඹ ඇත්තේ.

පසුගිය දා බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එහි දී ගාස්තු සංශෝධනය විය යුතු ප්‍රතිශතයන් ගණනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දුන් අතර බස් සංගම්වල යෝජනා ද කැඳවනු ලැබුවා.

සංශෝධිත බස් ගාස්තු අද (29) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

මේ අතර අද (29) පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ සෑම මාර්ගයකම අදාළ දුර ප්‍රමාණයන් අනුව අය කළ යුතු ගාස්තු ලබන ජනවාරි 03 වනදා හෝ 04 වනදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පුවත්පත්වල ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම ගාස්තු සංශෝදනය සිදුකර ඇත්තේ ආසනගත මගීන් ප්‍රවාහනයට පමණක් වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මගීන්ට බස් රථවල හිටගෙන ගමන් කිරීමට තවදුරටත් අවසර හිමි නොවන බවයි ඔහු අවධාරණය කළේ.

ආසනගත නොවන ආකාරයෙන් මගීන් ප්‍රවාහනයේ දී තවමත් පවතින අවම ගාස්තුව රුපියල් 12 ක් වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එය වැඩි කිරීමක් සිදු කර නොමැති අතර එලෙස මගීන් රැගෙන යාමට ද අවසර නොදෙන බව ද ඔහු සඳහන් කරනවා.

බස් හිමියන්ට ගාස්තු වැඩි කිරීමක් ලබාදුන් ආකාරයෙන්ම ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාමට කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යන්නේදැයි පරීක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය යොදවා පරීක්ෂා කිරීමට සහ නීති උල්ලංඝණය කරන අය වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරනක බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

******************************************

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මිලියන 1.3 ක් රෝහල්වලට

(29.12.2021 – 18:32 +0530 – hirunews.lk/sinhala)

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂ 13 ක් පමණ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සඳහා ඇතුලත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රකාශ කළේ හදිසි අනතුරු හමුවේ වාර්ෂිකව පුද්ගලයන් 12,000 ක් මියයන බවයි.

විශේෂඥ වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

හදිසි අනතුරු බහුලව වාර්තා වන්නේ උත්සව සමයන්වලදී වන අතර පසුගිය වසර කිහිපය තුල වාර්තාවී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් රථ වාහන අනතුරු බව සඳහන්.

කොරෝනා හේතුවෙන් 2020 සහ 2021 වසරවල රථ වාහන අනතුරු අඩු වුව ද ගෘහස්ථ අනතුරුවල වැඩි වීමක් දක්නට ලැබෙන බව වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රකාශ කළා.

ජනතාවගේ දැනුවත්වීම හේතුවෙන් උත්සව සමයේ ගිනි කෙළි හා රතිඤ්ඤාවලින් සිදුවන අනතුරු අඩු වුව ද 2021 වසර අවසාන උත්සව සමය ආරම්භයත් සමග නැවතත් රථ වාහන අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, වාහනවල තත්වය පරීක්ෂා නොකිරීම, අධික වේගයෙන් රිය පැදවීම, රිය පදවන අතර දුරකථන භාවිතය වැනි ක්‍රියාවන් අනතුරුවලට හේතුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

හදිසි අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුලත් කරන පුද්ගලයන්ගෙන් සියයට 50ක් අනතුරට ලක්වී ඇත්තේ ගෘහාශ්‍රිතව බව සඳහන්.

වැටීම්, සීරීම්, විෂ ශරීරගතවීම්, සත්ව සපාකෑම්, විදුලිසැර වැදීම්, පිළිස්සීම්, දියේ ගිලීම්, කැපීම් වැනි ගෘහස්ථව සිදුවන අනතරු ද වර්තමානයේ බහුලව වාර්තාවන බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

ජනතාවගේ දැනුවත් භාවය වැඩි කිරීමෙන් මාර්ග හා ගෘහස්ථ අනතුරු අඩු කළ හැකි බව මෙම සාකච්ඡාවට එක්වූ ජාතික රෝහලේ හදිසි රෝග සහ ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ ප්‍රකාශ කළා.

අනතුරකට ලක්ව තිබියදී හැකි ඉක්මනින් නිවැරදි ක්‍රමයකට ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් සංකූලතා හා මරණ අඩු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

******************************************

ආනයනික කිරිපිටි මිල හෙට (30) යළි ඉහළ යන ලකුණු – දර මිටියත් සුපිරි වෙළඳසැලට

(29.12.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල හෙට (30) බොහෝ දුරට යළිත් ඉහළ දැමෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හෙට (30) දිනයේදී ඉහළ දමන මිල පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ද කිරිපිටි ආනයනකරුවන් මිල ඉහළ දැමූ අතර, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90 කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 225 කින් ඉහළ දැමීමටයි ඔවුන් කටයුතු කළේ.

කෙසේ වෙතත්, මේ වනවිට වෙළඳපොලේ ආනයනික කිරිපිටිවල හිඟයක් ද පවතිනවා.

එවන් පසුබිමකයි කිරිපිටි සමාගම් යළිත් වරක් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත්තේ.

මේ අතර, වෙළඳපොලෙහි තවදුරටත් ප්‍රමාණවත් පරිදි ගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව විකල්ප ක්‍රමවේද අනුගමනය කරන අතර මේ හේතුවෙන් සුපිරි වෙළඳසැල්වල ද දර මිටි මෙන්ම මැටි වළං ද අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ සුපිරි වෙළඳසැල්වල කුඩා ප්‍රමාණයේ දර මිටියක් රුපියල් 225 ත් 250 ත් අතර මිලකට අලෙවි වන බවටයි.

මේ අතර, වරායේ සිරවී ඇති හාල්, සීනි, පරිප්පු, කඩල ඇතුළු අත්‍යවශ්‍ය බහාලුම් 1200 ක් මුදා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා නොදුනහොත් ඉදිරි දින කිහිපයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවට ද ආනයනකරුවන් අනතුරු අඟවනවා.

එමෙන්ම, ආනයනික සහල් බහාලුම් 300 ක් පමණ ඒ අතර තිබෙන බවයි අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, අදාළ බහාලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ඉදිරි දින කිහිපයේදී ලබාදීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පිටකොටුව සහල් තොග වෙළඳසැල්වල අද (29) සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර දේශීය සම්පත් විදේශයන්ට පැවරීම, ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහළ යාම යන තත්ත්වයන්ට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති අද මුදල් අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණා.

******************************************

සංචිත ඉහළ ගියේ චීනය දුන් ඩොලර් බිලියන 1.5 න් බව භාණ්ඩාගාර ලේකම් කියයි

(29.12.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇත්තේ චීන මහ බැංකුව, මූල්‍ය හුවමාරු පහසුකම යටතේ ලබාදුන් ඩොලර් බිලියන 1.5 ක මුදල ලැබීමත් සමඟ බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින්.

දේශීය වෙළඳපොල තුළ විදේශ විනිමය ද්‍රවශීලතාවය වැඩි කිරීමේ අරමුණින් මහ බැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ අපනයන ආදායමේ ඉහළ යාම නිල සංචිත ප්‍රමාණය ඉහළ යෑමට හේතුවක් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

රටක විදේශ විනිමය සංචිතය ලෙස හැදින්වෙන්නේ එරට සතු විදේශ මුදල් තැන්පතුයි.

ඒවා භාවිතා කරන්නේ භාණ්ඩ ආනයන කිරිමට අවශ්‍ය මුදල් ගෙවීමට, විදේශීය ණය සහ පොලී ගෙවීමට, විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් එදිනෙදා ඇතිවන ආර්ථික ගැටලු‍ විසඳා ගැනීමටයි.

මෙම වසරේ දෙසැම්බර් වනවිට දකුණු ආසියාවේ ඉහළම විදෙස් විනිමය සංචිතය සහිත රට ඉන්දියාව වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 635 ක්.

බංග්ලාදේශයේ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 44 ක් වන අතර පාකිස්තානය සතුවද විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 24 ක් පවතිනවා.

කෙසේ වෙතත්, දකුණු ආසියාවේ භූතානය සහ මාලදිවයිනට පමණක් නොදෙවෙනි මෙරට සතු විදෙස් සංචිත ප්‍රමාණය පසුගිය නොවැම්බර් අවසානය වනවිට පැවතියේ ඇමරිකානු ඩොලර් බිලියනක අගයකයි.

මීට පෙර ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් මෙරටට ගලා ඒම හේතුවෙන් මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ට ළඟා වී ඇති බව මහ බැංකුව අද නිවේදනය කළා.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙම තත්ත්වය 2021 වසර අවසානය තෙක් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

දැනට සාකච්ඡා කරමින් පවතින තවත් මූල්‍ය පහසුකම් කිහිපයක් හේතුවෙන් 2022 ජනවාරි මාසයේ මුල් භාගයේදී නිල සංචිත ප්‍රමාණය තවත් ඉහළ යනු ඇති බවට මහබැංකුව පුරෝකථනය කරනවා.

මහබැංකුව නිවේදනය කරන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හදුන්වාදීම සහ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම තුලින් නිල සංචිත වර්ධනය වී ඇති බවයි.

අපනයන ක්‍රියාවලියේ වර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රයේ නව වර්ධනයත් සමඟ 2022 වසරේදී මෙරට සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවතිනු ඇති බවද මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම තත්ත්වය කලින් සහතික කර තිබියදීත් ඇතැම් ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ආර්ථික දර්ශකවලින් පහත හෙළීමට කටයුතු කිරීම නිසා ද්වීතියික වෙළඳපොල තුළ ආයෝජකයින්ට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල අනවශ්‍ය පාඩු විඳිමට සිදුවූ බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

එලෙස අනවශ්‍ය සැක සහිත ශ්‍රේණිගත කිරිම් නොවේ නම් ඇතැම් විදේශ මුදල් ගලා ඒම් මීට පෙර ලැබීමට තිබූ බවද මහබැංකුව ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, මෙරට නිල සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකමක් චීන මහජන බැංකුවෙන් ලබා ගැනීමට කටයුතු කරන බව මහ බැංකුව මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට විදේශ සංචිතය සඳහා චීන මහ බැංකුව මූල්‍ය හුවමාරු පහසුකම යටතේ ලබාදුන් ඩොලර් බිලියන 1.5 ක මුදල ලැබීමත් සමඟ මෙලෙස අද දිනයේදී මෙරට සංචිතය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියා.

මේ අතර, ලබන වසරේ ජනවාරි 18 වෙනිදාට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීමටද ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ඔක්තෝම්බර් පළමු වැනිදා මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්මේ මෙම වසරේ අවසන් මාස 3 සඳහා විදෙස් විනිමය සංචිතයේ අපේක්ෂිත වර්ධනය දක්වා තිබුණා.

ඊට අනුව මේ වසර අවසානය වනවිට මහබැංකුව අපේක්ෂා කළ විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක්.

එමෙන්ම ලබන වසරේ මුල් මාස තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක විදෙස් සංචිත ප්‍රමාණයක් අපේක්ෂා කරන බව සය මාසික පෙර දැක්මේ සඳහන්.

******************************************

චීනයට ඉඩ නොදෙන්න, බලය අරන් දෙන්න – සුමන්දිරන් ඉන්දියාවෙන් ඉල්ලයි

(29.12.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව මැදිහත් වී අර්ථාන්විත දේශපාලන විසඳුමක් ලබා දුනහොත් උතුරු – නැගෙනහිර චීන ක්‍රියාකාරකම් නතර කිරීමට දෙමළ සන්ධානයට හැකියාව පවතින බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.

ඉන්දියාවේ වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

“ඇමරිකාවට මම ළගඳි ගිය වෙලාවේ එහි උසස් නිලධාරීන් මගෙන් ඇහුව දෙයක් තමයි ඔබතුමන්ලට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට ඇමරිකාව මැදිහත් වුනොත් ඒක කොහොමද ශ්‍රී ලංකාවේ චීන ව්‍යාප්තිය තුරන් කරන්න හේතුවක් වෙන්නෙ කියලා. ඔවුන්ට දුන්න උත්තරේම තමයි මම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් දුන්නේ.

පොලිස් බලතල සහ ඉඩම් බලතල දැනටමත් ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක නැහැ. ඊට එහා ගිහිල්ලා අර්ථාන්විත දේශපාලන විසඳුමක් ලබා ගැනීමට මැදිහත් වුනොත් උතුරු නැගෙනහිර චීන ක්‍රියාකාරකම් වලට අපි ඉඩ දෙන්නෙ නැහැ. නමුත් විසඳුමක් ලැබෙනතුරු ඒ බලය තිබෙන්නේ මධ්‍යම රජයට. අපිට මුකුත් කරන්න බෑ. ඒ නිසා චීන ක්‍රියාකාරකම් උතුරු – නැගෙනහිර ක්‍රියාත්මක වනවා. අපි ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ ඉන්දියාවේ ක්‍රියාත්මක බලය බෙදීමට සමාන දෙයක් තමයි අපේක්ෂා කරන්නෙ. ඒක ඉන්දියාව මැදිහත් වෙලා ලබා දුන්නොත් උතුරු – නැගෙනහිර චීන ක්‍රියාකාරකම් නතර කරන්න අපිට අනිවාර්යයෙන් පුලුවන්.”

******************************************

තල් ආශ්‍රිත නිෂ්පාදනවලින් රුපියල් බිලියන 2.2 ක ආදායමක්

(29.12.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන 2.2 ක ආදායමක් උපයා තිබෙනවා.

ඉන් මිලියන 3.2 ක් තල් අරක්කු අපනයනය කිරීමෙන් ලැබී ඇති බවයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිශාන්ත පතිරාජ සඳහන් කළේ.

ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව වැනි රටවලට මෙම අපනයනයන් සිදුකර තිබෙනවා.

තල් අරක්කුවලට අමතරව මෙලෙස අපනයනය කර ඇති තල් ආශ්‍රිත නිෂ්පාදන අතරට තල් හකුරු, තල් පිටි, තල් අල, තල් රා ද ඇතුළත් ෴

******************************************

ආහාර හිඟයක් යනු කුමක්ද ?

(29.12.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ආහාර හිඟයක්.. ?? පොහොර අර්බුදය හමුවේ එය මේ දිනවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙන මතෘකාවක්.

සැබැවින්ම අහාර හිඟයක් යනු කුමක්ද ? ඉදිරියේදි ආහාර හිඟයක් ඇති විය හැකිද ?

මේ ඒ පිළිබඳව කළ විමසා බැලීමක්…

ආහාර හිඟය පිළිබඳ මාතෘකාව ප්‍රබලව කරලියට පැමිණියේ පසුගිය 21 වැනිදා හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සමඟයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *