ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු

ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු

*********************************************

ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු

(29.12.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබෙන ඩොලර් බිලියන 1.5 ක් වන මූල්‍ය හුවමාරු පහසුකම මෙරටට ලැබෙනුයේ චීන යුවාන් මුදලින් බව වාර්තා වනවා.

මේ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට සමාන චීන යුවාන් බිලියන 10 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙනු ඇති.

එලෙස ලැබෙන මුදල් චීනය හරහා සිදු කෙරෙන ආනයනය සඳහා පමණක් භාවිතා කිරීමට අදහස් කරන බවයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප සමග සඳහන් කළේ.

මෙම මූල්‍ය ප්‍රතිපාදනය මෙරට මහ බැංකුව වෙත ලැබීමෙන් අනතුරුව අප සතු නිල විදෙස් සංචිත වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ගියද සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව සතුව ඇමරිකානු ඩොලර් තවදුරටත් පවතින්නේ ඩොලර් බිලියන 1 ක් ආසන්නයේ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ඉන්දීය රජයෙන් ඉදිරි වසරේ මුල් කාර්තුවේදී මෙරටට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වටිනා ණය ආධාරය ද ලැබීමට නියමිතව ඇත්තේ මේ ආකාරයටම බවත් එම ණය ආධාරයෙන් මෙරටට ඇමරිකානු ඩොලර්වලින් ලැබෙන්නේ මිලියන 400 ක මුදලක් පමණක් බවත් වාර්තා වනවා.

ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා ණය ආධාරය ඉන්දියාව හරහා සිදු කෙරෙන සියලු ගනුදෙනු සඳහා පමණක් භාවිත කළ යුතු බවත් සඳහන්.

ඒ අනුව මෙම ආධාර හරහා ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වටිනාකම් ඉහළ ගිය ද මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඩොලර් අර්බූදයට මේ හරහා ප්‍රමාණවත් සහනයක් නො සැලසෙන බවයි මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඉදිරි විදේශ මුදල් ගලා ඒම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිවේදනයක් නිකුත් කළා.

(2021 දෙසැම්බර් 22 දින ප්‍රකාශයට පත් කළ පරිදි) අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින බවත් මෑත කාලීන ගලා ඒම් ලැබීමත් සමඟ දැන් නිල සංචිත තත්ත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාවට දැනුම් දීමට කැමැත්තෙන් සිටිනවා.

එය 2021 වසර අවසන් වන විටත් එවැනි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා මාස හයක මාර්ග සිතියමේ ප්‍රකාශ කර ඇති පරිදි, දැනට සාකච්ඡා කරමින් පවතින තවත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් විදේශ මුදල් ගලා ඒම 2022 ජනවාරි මස මුල් භාගයේදී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හඳුන්වා දීම වැනි දේශීය වෙළෙඳ පොළේ විදේශ විනිමය ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම ආවරණය වන නීතිරීති ද නිල සංචිත ඉහළ නැංවීමට දායක වී තිබෙනවා.

සංචාරක ක්‍ෂේත්‍රයේ ශක්තිමත් ප්‍රකෘතිමත් වීම සහ අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය ද විදේශ සංචිත අංශය තවදුරටත් ශක්තිමත් කරයි.

ඒ අනුව, 2022 වසර පුරාවටම සංචිත තත්ත්වය සුවපහසු මට්ටමක පවතිනු ඇතැයි රජය සහ මහ බැංකුව විශ්වාස කරයි.

මෙම පසුබිම තුළ, එළැඹෙන විදේශ විනිමය ගලා ඒම පිළිබඳ පැහැදිලි සහතික කිරීම් හමුවේ වුවද, ඇතැම් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරී අගය පහත හෙළීමට ගත් හදිසි සහ පැහැදිලි කළ නොහැකි තීරණ හේතුවෙන් ද්විතීයික වෙළෙඳපොළ තුළ ආයෝජකයින්ට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල අනවශ්‍ය පාඩු සිදු වුණා.

එවැනි ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවන් ආයෝජකයින්ගේ විශ්වාසය කෙරෙහි ද සෘණාත්මක බළපෑමක් ඇති කළ අතර, එවැනි අනවශ්‍ය සහ සැක සහිත ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවන් නොවූයේ නම්, ඇතැම් අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒමේ අනවශ්‍ය ප්‍රමාදයන් ඇති වීම වලක්වා ගත හැකිව තිබිණ.

මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

“අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සාක්ෂාත් කර ගැනීම සහ නිල විදේශ සංචිත තත්ත්වය”

“ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1 ක් පමණ දක්වා ළඟා වී ඇති බව සහ 2021 වසර අවසන් වන විට ද එම මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා ක්‍රම හඳුන්වා දීම සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ නීතිරීති වැනි දේශීය වෙළඳපොළෙහි විදේශීය මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිල විදේශ සංචිත තවදුරටත් ගොඩනැගීමට උපකාරී වනු ඇත. සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත් වීම සහ අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය සමඟින්, විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඒ අනුව, 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජයෙහි සහ මහ බැංකුවෙහි විශ්වාසය වේ.

මෙවැනි පසුබිමක් තුළ, විදේශ මුදල් ලැබීම් පැහැදිලිවම ලැබෙනු ඇති බව සහතික වී තිබියදීත්, ඇතැම් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් හදිසි තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ද්විතීයික වෙළඳපොළ ආයෝජකයන් හට අනවශ්‍ය පාඩු සිදුවී ඇත. එවැනි ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවන් ආයෝජකයින්ගේ විශ්වාසය කෙරෙහි සෘණාත්මකව බලපා ඇති අතර, එවැනි අනවශ්‍ය හා ප්‍රශ්නකාරී ක්‍රියාවන් සිදු නොවුනේ නම්, ලැබීමට තිබූ ඇතැම් අපේක්ෂිත විදේශ මුදල් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මීට පෙර වුවද ලැබීමට ඉඩ තිබුණි.”

Published Date:
Wednesday, December 29, 2021

******************************************

ශ්‍රී ලංකා පොලිසියට චීනයෙන් රනෝ මොටෝ යතුරුපැදි

(29.12.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිසියට යතුරුපැදි 10 ක් ප්‍රදානය කර තිබෙනවා.

මෙරට චීන තානාපතිවරයා විසින් මෙම යතුරුපැදි 10 නිල වශයෙන් මහජන අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත භාරදුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මිලියන 4 ක පමණ වටිනාකමින් යුත් මෙම යතුරුපැදි GN 125H එන්ජින් ධාරිතාවකින් යුක්ත වන අතර ඒවා දිවයිනේ පොලිස් කොට්ඨාශ 10 ක් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මෙහිදී පොලිස්පතිවරයා විසින් චීන තානාපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළ බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(29.12.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

අපවත්වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (29) පස්වරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට ද සිය සංවේගය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකු ද වූ පූජ්‍ය බුද්ධංගල ආනන්න හිමියන් ඊයේ (28) උදෑසන අපවත් වුණා.

ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 78 ක්. ගිහි ජීවිතයේදී යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු නමින් ආනන්ද වීරසේකර.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ වැඩිමහල් සොහොයුරා ද වනවා.

2007 වසරේ මැයි මාසයේ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි නමින් පැවිදි වූ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර පරිවර්තන කෘති කිහිපයක් ද එළි දක්වා තිබෙනවා.

මේ අතර අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමිපාණන්ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර අද (29) පෙරවරුවේයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාව වෙත රැගෙන එනු ලැබුවේ.

එය හෙට (30) ගුවනින් අම්පාර – බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවීමට නියමිතයි.

දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අනිද්දා (31) පස්වරුවේ බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා ෴

******************************************

ගුවන් බහාලුම් ප්‍රවාහන සේවා පුළුල් කිරීමට ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අවධානය

(29.12.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ගුවන් බහාලුම් ප්‍රවාහන සේවා පුළුල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවධානය යොමුව තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය වනවිට වෙනම බහාලුම් ප්‍රවාහන ගුවන් යානයක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා ඇති බවයි.

මෙරට සම්පූර්ණ අපනයනවලින් සියයට 25 ක්ම හා සම්පූර්ණ ආනයනවලින් සියයට 27 ක්ම සිදුවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහායි ෴

******************************************

ගල්ගමුවේ රිය අනතුරකින් දෙදෙනෙකු (2) මරුට

(29.12.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – මහගල්කඩවල ප්‍රදේශයේදී කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයන් 50 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවනවා ෴

******************************************

සියලුම ජාතීන් එක හා සමාන ව පිළිගැනෙන නීති පද්ධතියක් සකසන ලෙසට ඉල්ලීමක්

(29.12.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

සියලු ජාතීන්ට සමානව පිළිගැනෙන නීති පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පවතින බව ‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කර තිබෙනවා.

හැටන්, තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි ‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත සිය අදහස් දක්වමින් සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. ත්‍යාගරාජා මේ බව සඳහන් කළා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වාර ගණනාවක් සංශෝධනයට ලක් කර ඇති අතර, එහි ඇති අඩුපාඩු මගහරවාලමින් සියලු දෙනාටම සමානව සැලකෙන නව ව්‍යවස්ථාවක් සකස් විය යුතු බව‍යි එහිදී යෝජනා කර ඇත්තේ.

මෙරට විවිධ ජාතීන්ට සුවිශේෂි නීති පද්ධති ඇතත්, තම ජනතාවට ඒ අයුරින් කිසිදු නීති පද්ධතියකින් පිටිවහලක් නැති අඩු වරප්‍රසාද සහිතව ජීවත් වන ජන කොටසක් බවට පත් වී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා ෴

******************************************

ආණ්ඩුවෙන් පිටවී යන්න කිසිම අදහසක් නෑ – ඇමති වාසුදේව කියයි

(29.12.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

රජයෙන් ඉවත්ව යාමට තමාට මෙන්ම ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට ද කිසිදු අදහසක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

රජයෙන් ඉවත්ව යන්නේ දැයි ප්‍රශ්ණ කරන සෑම මොහොතකම “අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකට ද පිටවෙන්නේ” යනුවෙන් පිළිතුරු ලබාදෙන බවයි රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා :

“ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජන මාධ්‍යවල පල වුණු දේ ගැන. මේ ජන මාධ්‍ය මොනවද නිතරම කරන්න හදන්නේ. මේ නිවුස් මවන්නේ ආන්දෝලනාත්මක කරුණු වලින්. ආන්දෝලනයට ලක් වෙන කරුණු තමයි නිවුස්. ඒවා පල කරන තරමට තමයි පත්තර වල තියෙන උනන්දුව වැඩිවෙන්නේ. ජන මාධ්‍ය ගැන උනන්දුව ඇති වෙන්නේ. ඒ නිසා ඒවා මව-මවා පුළු පුළුවන් හැටියට ඒවා ලොකු මහත් කරලා පෙන්වමින් ඉදිරිපත් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඔබ ඊයේ පෙරේදා දැක්කේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජන මාධ්‍යකරුවන් කැඳවා, ‘ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම්, අස්වෙලා යනවා නම් ඒ එගොල්ලන්ගේ කැමැත්තක්. මම එගොල්ලන්ව අස්කරන්න යන්නේ නෑ’ යනුවෙන්.

අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක්, අපි ඒක මතු කරගන්නවා. එතකොට දැන් මේ දවස් වල කථාකරන වචනයක් තමයි, ඉංග්‍රීසියෙන් කියනවා Collective Responsibility ‘සාමුහික වගකීම’ කියලා. කබිනට් එකේ ඉන්නකොට මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් එකෙන් බැඳ තිබෙනවා. ඒක තමයි සාමුහික වගකීම කියන්නේ. එය එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊටත් පරණ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා.

අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිහ මොකක් ද කියලා. සංගායනාව, සාකච්ඡාව, සම්මුතිය මේක මං හිතන්නේ අපේ පන්සල් වල සංඝයා වහන්සේලා අතර පුහුණු කරන දෙයක් විනය කර්මයේ දී. සාකච්ඡාව, තමන්ගේ වැරදි එළිපිට කථා කිරීම අවසානයේ එක සම්මුතියකින් විසිර යාම. ඉතින් ඒ නිසා අපිට අපේ පරණ ප්‍රතිපත්තිය අනුව සම්මුතිය අපි කවුරුත් ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන අපි අවංකව කථා කරමින් අපි කවුරුත් එකඟ වෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැඳෙන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ.

ඒ නිසා අපි මේ වේලාවේ, අපි තුන්දෙනා (3) වෙනුවෙන්ම කියන්න ඕන, අපි ඇමතිවරු තුන්දෙනාටම (3) කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ ‘අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකටද පිටවෙන්නේ’. මේක අපි හැදුව ආණ්ඩුව. එදා ‘මහින්ද සුළඟ’ අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මේ අවසාන ප්‍රතිඵලයක්. ඉතින් මේකට මේ තරම්ම අපි ජීවිතය දිය කරලා තිබෙනවා. ඒ තමයි මගේ ස්ථිර වචනය. ඒ බව කියමින් මේ කාර්යයට අද සහභාගී වෙච්ච හැම දෙනාටම මාගේ හද පිරි භක්තියෙන් මම ස්තුතියි පුද කරනවා.

මේ අතර වැඩි වන ජීවන වියදම හා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *