සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

*********************************************

සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

(29.12.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා මිල දී ගැනීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදල යළි මෙරටට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ, මෙරට එන්නත්කරණ වැඩසටහනේ ඵලදායීතාව සහ විනිවිදභාවය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ, වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ආසාදිතයින් තුන් දෙනෙකු(3) ගේ ඔමික්‍රොන් ප්‍රභේදය පවතින බවට ප්‍රකාශ කළ ද එවැනි සොයා ගැනීමක් පිළිබද මෙතෙක් ජාත්‍යන්තර දත්ත පද්ධතියක් මඟින් තහවුරු කර නො මැති බවයි ෴

+++++++++++++++++

50% ක ධාරිතාවකින් සරසවි කටයුතු සඳහා අවසර

(29.12.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව 50% ක ධාරිතාවයකින් සරසවි සිසුන් දේශන, විභාග ඇතුළු අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල තුළට කැඳවීමට අවසර ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ, ඊයේ (28) දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රැස් වී මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව 50% ක ධාරිතාවකින් සිසුන් විශ්වවිද්‍යාල තුළට කැඳවනු ඇති.

මේ දක්වා සරසවි සිසුන් විශ්වවිද්‍යාල තුළට කැඳවීම සිදුකළේ 25% ක ධාරිතාවයකින් පමණයි.

මේ අතර, මෙරටින් ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 479 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 584,586 ක් දක්වා ඉහළ ගියා.

පෙරේ දා තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 22 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,923 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොන්දේසි කිහිපයකට යටත්ව එළිමහන් සංගීත සංදර්ශනය පැවැත්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අවසර ලබාදීමත් සමඟ ප්‍රසංග සඳහා සංගීත කණ්ඩායම් සූදානමින් පසුවනවා.

ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රසංග පැවැත් වීම වෙනුවෙන් සියලු දෙනා කැප වී කටයුතු කළ යුතු බවයි.

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 210 ක් සුවය ලබයි

(29.12.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 210 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,60,085 ක් ලෙසටයි.

තවත් ආසාදිතයන් 10,756 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,85,764 ක්.

දෙසැම්බර් 01 වනදා සිට 14 වනදා දක්වා වාර්තා නොවූ ආසාදිතයන් 1178 ක් තහවුරු කිරීමත් සමගයි සමස්ත ආසාදිතයන් ගණන 5,85,764 ක් දක්වා ඉහළ ගියේ.

මෙරට කොරෝනා මරණ 14,923 ක් ද සිදුව තිබෙනවා ෴

+++++++++++++++++

බන්ධනාගාර රැඳවියන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීම ඇරඹේ

(29.12.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන් සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදීම අද (29) දින සිට ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, ඒ අනුව රැඳවියන් 18,453 දෙනෙකු එන්නත්කරණය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මෙහි පළමු අදියර යටතේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, වටරැක, මහර හා මීගමුව බන්ධනාගාර රැඳවියන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීම අද (29) දින ආරම්භ කෙරුණා.

ඉදිරි දිනයන් තුල අනෙකුත් සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට මෙම මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිතව සිටි තවත් 210 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,60,085 ක් ලෙසටයි ෴

+++++++++++++++++

තවත් කොරෝනා මරණ 21 ක්

(29.12.2021 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 21 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 7 ක් සහ පිරිමි පුද්ගලයන් 14 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,944 ක් ලෙසටයි.

ඊයේ (28) තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 7 ක් වාර්තා වන අතර ඒ පිරිමි 5 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 9 ක් සහ කාන්තාවන් 5 දෙනෙකු මියගිය පිරිසට අයත්.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 5,85,764 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 10,756 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,60,085 ක් ෴

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 419 ක්

(29.12.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 419 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,86,183 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 11,154 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,60,085 ක්.

මෙරටින් කොරෝනා මරණ 14,944 ක් ද වාර්තාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජනතාවගෙන් හෝ මාධ්‍යයෙන් හැංගීමට කිසිවක් නැතැ යි ජනපතිගෙන් ප්‍රකාශයක්

(29.12.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවට හෝ මාධ්‍යයට සඟවා තැබීමට තමා සතු ව කිසිවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ පෙරේ දා (27) පැවති මාධ්‍ය හමුවක දී.

ආණ්ඩුවේ අඩුපාඩු ඇති නම්, ඒවා විවේචනය කිරීමේ අයිතිය ඕනෑ ම අයෙකුට පවතින බවත් එවැනි සාධාරණ විවේචන පිළිගැනීමට තමන් නිබඳව ම සූදානම් බවත් ඔහු එහි දී අවධාරණය කළා.

තමාගේ එක ම අරමුණ ජනතාව විසින් තමා ව ජනපති ලෙස පත්කිරීමෙන් බලාපොරොත්තු වූ දෑ ඉටු කිරීම බව සඳහන් කළ ජනපතිවරයා, එහි දී සිදු වන අඩුපාඩු පෙන්වීම සඳහා ජනතාවට ඇති අයිතිය ද අවධාරණය කළා.

තමන් බලයට පැමිණ ඉනික්බිති කොවිඩ් වසංගතය පැමිණි බව සඳහන් කළ ජනපතිවරයා, ඒ තුළින් තමා බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑම තරමක් මන්දගාමී වූ බව ද පැවසුවා.

ධනවත් රටවල් ඊට විධිමත් ලෙස මුහුණ දුන්නේ, එම රටවල් තුළ පැවති ආර්ථිකමය ශක්තිමත්භාවය නිසා බව යි ඔහු පෙන්වා දුන්නේ.

කිසිදු අයෙකු සමඟ තමාට තරගයක් නැති බවත් තමාට ඇත්තේ රට හැදීම පිළිබඳ තරගයක් පමණක් බවත් සඳහන් කළ ජනපතිවරයා, ඊට අවශ්‍ය සහාය ඇතැම් අයගෙන් නො ලැබෙන බව ප්‍රකාශ කළා.

තමාට හුරුපුරුදු වන්නේ, සාමුහික ව කටයුතු කිරීමේ කලාව බව අවධාරණය කළ ජනපති සඳහන් කළේ, එකාවන් ව සටන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයකට අවශ්‍ය සාමුහිකත්වය ගොඩනගාගත යුතු බව යි ෴

******************************************

ඩුබායි හි ගෘහ සේවයට ගිය කාන්තාවක් හිරුට කතා කරයි

(29.12.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

ගෘහ සේවය සඳහා ඩුබායි රාජ්‍යය වෙත ගිය තමන්ව රැකියා නියෝජිතයා විසින් සිරකරගෙන සිටින බව, වෙන්නප්පුව – කෙලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පවසනවා.

44 හැවිරිදි තිදරු මවක් වන ඇය ආර්ථික අපහසුතා නිසා මෙලෙස ගෘහ සේවයට පිටත්ව ගොස් ඇත්තේ, මෙම වසරේ මැයි මස 15 වන දායි.

තමන් සිරකරගෙන සිටින ස්ථානයේ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ද සිටින බවයි, එරට සිට හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ඇය සඳහන් කළේ ෴

******************************************

තරුණියක ධාවනය කළ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටි අනතුරට

(29.12.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

තරුණියක ධාවනය කළ යතුරුපැදියක් මාර්ගය අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක ගැටි අනතුරට පත් වී තිබෙනවා.

(28) දින පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදියි.

යතුරුපැදිය ධාවනය කල තරුණිය තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පවසනවා.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වි ඇති ටිපර් රථයක් දැක බිය වී, යතුරුපැදිය පාලනය කරගත නො හැකි වී යාමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරෙන් යතුරුපැදියට ද දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

******************************************

යතුරුපැදියක් ගසක වැදී ඇළට පෙරලීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට

(29.12.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – කලුන්දෑව – පරණගම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය අසළ තිබූ ගසක ගැටී ඇළ මාර්ගයකට පෙරලීමෙන් පාසල් සිසුවෙකු (1) මිය ගොස් තවත් සිසුන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

ඊයේ(28) පස්වරුවේ යතුරුපැදි දෙකකින් (2) සිසුන් 06 දෙනෙකු දඹුල්ල – කලුන්දෑව ප්‍රදේශයේ ඇළ මාර්ගය ඔස්සේ වැටී ඇති මාර්ගයේ මිතුරෙකුගේ නිවසට ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවයි, පොලිසිය සදහන් කළේ.

දඹුල්ල – පහළ ඇරැවුල ප්‍රදේශයේ පදිංචි රශ්මික දිනේෂ් සත්සර නැමැති 14 හැවිරිදි සිසුවෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබු එක් (1) සිසුවෙක් දඹූල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජිවිතක්ෂයට පත්වු සිසුවාගේ සිරුර කලුන්දැව ඇල මාර්ගයේ කිලෝමිටරයක් පමණ දුරට ගසාගෙන ගොස් තිබියදී ගම්වාසීන්ට හමුව තිබෙනවා.

******************************************

කිතුල් ගසක් උඩ මළ සිරුරක්

(29.12.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම – පනාගොඩ ගම්මානයේ කිතුල් ගසක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, ගසට නැග කිතුල් මදිමින් සිටින අවස්ථාවේ හට ගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බවයි ෴

******************************************

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය බෞද්ධ මහා සම්මේලන ශාලාවට

(29.12.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමිපාණන් වහන්සේගේ දේහය මේ වනවිට කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ බොරැල්ල ජයරත්න පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙත වැඩම කරවනු ලැබුවා.

මහා සංඝරත්නය විසින් දේහය භාරගෙන පවුලේ ඥාතීන්ට දේහය භාර දීමෙන් අනතුරුව යි බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දේහය තැන්පත් කරනු ලැබුවේ.

අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමිපාණන් වහන්සේගේ සොයුරා වන අමාත්‍ය සරත් වීරසේකර ඇතුළු පවුලේ ඥාතීන් මේ සඳහා සම්බන්ධ වුණා.

හෙට (30) පස්වරු එකට (01:00) මතක වස්ත්‍ර පූජා කිරීමේ චාරිත්‍රය සිදු කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව දේහය ගුවනින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කිරීමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වැනි දා සවස 3 ට අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේ දී සිදු කෙරෙනු ඇති ෴

******************************************

අරලගංවිල වැලි ගොඩදැමීමට එරෙහි ව සත්‍යග්‍රහයක්

(29.12.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලිගොඩ දැමීමට එරෙහි ව අරලගංවිල ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් කුඩාඔය වැලි කැනීම් සිදු කරන ස්ථානය ආසන්නයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

මෙමගින් කුඩාඔය අමුණට සහ වාරි පද්ධතියට හානි වී ඇති බව පවසන ගොවි සංවිධාන නියෝජිතයින්, ඊට මහවැලි අධිකාරියේ මෙන්ම පොලිසියේ ද සහාය හිමි වී ඇති බව යි චෝදනා කළේ.

******************************************

රබර්, පොල්, කුරුඳු අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4 ක්

(29.12.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආදායමක් උපයා තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම වසරේදී තේ කිලෝ මිලියන 305 ක පමණ අස්වැන්නක් ලැබී ඇති බවයි ෴

******************************************

මීගමුවේ කඩොලාන රක්ෂිතයේ අනවසර ගොඩකිරීම් තාවකාලික ව අත්හිටවෙයි

(29.12.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කඩොලාන කැලේ ප්‍රදේශයේ යෝජිත කඩොලාන රක්ෂිතයක් මැදින් මාර්ගයක් ඉදිකිරීම සඳහා අනවසර ගොඩ කිරීමක් සිදු වන බවට කලපු සංවර්ධන අධිකාරිය චෝදනා කරනවා.

එහි සභාපති රමේෂ් නිලංග සඳහන් කළේ, ඒ පිළිබඳ ආදාළ ආයතන වෙත පැමිණිලි කළ ද එම ගොඩකිරීම අත්හිටුවීමට මෙතෙක් පියවර ගෙන නො මැති බවයි.

අප මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක යූ.එච්. වන්නිනායක කියා සිටියේ, මෙම ගොඩකිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉදිරි පියවර ගන්නා තෙක් මෙම ගොඩකිරීම අත්හිටුවන බව ද ඔහු ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *