කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු

කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු

*********************************************

කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු

(28.12.2021 – 22:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුව ද මැලේරියා ආසාදිතව විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් යළි මෙරට රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ මෙතෙක් වාර්තා වූ මැලේරියා ආසාදිතයන් 25 දෙනෙකු අතුරින් 24 ක්ම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි අය බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට අවසන් වරට මැලේරියා ආසාදිතයෙකු මරණයට පත්වූයේ 2007 වසරේදීයි.

ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මැලේරියා රෝගියෙකු 2012 වසරේ දී වාර්තා වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙසට 2016 වසරේදී ප්‍රකාශයට පත් කළේ එවන් පසුබිමකයි.

කෙසේ වෙතත් වාර්ෂිකව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් 50 දෙනෙකු පමණ මැලේරියාව ආසාදිතයන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව 2019 වසරේදී මැලේරියා රෝගීන් 53 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 23 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි අයයි.

2020 වසරේදී රෝගීන් 30 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 24 ක්ම අප්‍රිකානු රටවල සිට පැමිණි පුද්ගලයන්.

2021 වසරේ මේ දක්වා විදෙස් රටවල සිට මෙරටට පැමිණි මැලේරියා රෝගීන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනෙකුම අප්‍රිකානු රටවල සිට පැමිණි අය වීම විශේෂත්වයක්.

******************************************

ලංකා ලුණු සමාගමේ සභාපතිවරයාට එරෙහිව විරෝධතාවක්

(28.12.2021 – 23:12 +0530 – hirunews.lk/sinhala)

පාලක පක්ෂයේ අසීමිත වැටුප් වැඩි කරගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිම, යන කරුනු මුල්කර ගනිමින් ලංකා ලුණු සමාගම දිනෙන් දින විනාශයට පත්වීම වළක්වා දෙන ලෙසට ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව හම්බන්තොට මහ ලේවාය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු විරෝධතාකරුවන් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට වාඩිවී ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.

+——–

කිලිනොච්චිය – කුමාරසාමිපුරම් ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක් පිටුපස ඉඩමක තිබී අවි ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ප්‍රදේශය භාර පොලිසිය, විශේෂ මෙහෙයුම් බලකාය සහ යුද හමුදාව එක්ව මේ වනවිට එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කරනු ලබනවා.

******************************************

බස් ගාස්තු වැඩි වීමේ තීරණය අද (29)

(29.12.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

සංශෝධිත නව බස් ගාස්තු අද (29) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

ඒ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

අවසන් තීරණයට පෙර බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මඟී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය දා බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එහි දී ගාස්තු සංශෝධනය විය යුතු ප්‍රතිශතයන් ගණනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දුන් අතර බස් සංගම්වල යෝජනා ද කැදවනු ලැබුවා.

ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් නව ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ.

නව සංශෝධනයන්ට අනුව දැනට රුපියල් 14 ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) පමණ ඉහළ දැමීමටත් අනෙකුත් ගාස්තු10% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

පොහොර බලපෑම කුරුඳුවලටත්

(29.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පොහොර නො මැති වීමෙන් මෙරට ප්‍රමුඛ අපනයන බෝගයක් වන කුරුඳු වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කුරුඳු නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින ඩොලර් අර්බුදය හමුවේ කුරුඳු වගාව දිරිගන්වා ඒවා අපනයනය කර මෙරටට ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි ෴

******************************************

ගෑස් හිඟය තවත් සති දෙකක් (2)

(29.12.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

පවතින ගෑස් හිඟය තවත් සති දෙකක (2) පමණ කාලයකින් අනතුරු ව මඟ හැරී යනු ඇති බව ‘ලිට්රෝ සුරැකීමේ සංවිධානය’ පවසනවා.

එහි ලේකම් ටෙරන්ස් අප්පුහාමි කියා සිටියේ, ගෑස් රැගෙන පැමිණි නෞකාවක් යළි හරවා යැවීම හේතුවෙන් මෙලෙස ගෑස් හිඟයක් මතු ව ඇති බවයි.

ඊයේ (28) දිනයේ ඇතැම් ප්‍රදේශවලට සීමා සහිතව ගෑස් බෙදා හැරුණ ද ප්‍රදේශ රැසකට තවමත් ප්‍රමාණවත් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර නො ලැබී ඇති බවට වාර්තා වනවා.

පාරිභෝගිකයින් සහ ගෑස් නියෝජිතයින් චෝදනා කරන්නේ තවමත් ගෑස් ප්‍රමාණවත් පරිදි නො ලැබෙන බවට යි ෴

******************************************

දුෂ්කර පළාත්වලට චන්ද්‍රිකාවෙන් අන්තර්ජාල පහසුකම්

(29.12.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ‘ස්ටාර් – ලින්ක්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඇමරිකානු ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ, චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයට ගැනෙන මෙම ක්‍රමවේදය තුළින්, දුෂ්කර – ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු මුළු දිවයිනට ම කිසිදු ගැටලුවකින් තොර ව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකි වන බවයි.

දැනට මෙරටට අන්තර්ජාල පහසුකම් ලබා ගන්නේ ඉන්දියාව ඇතුළු ගෝලීය රටවල සිට සාගරය යටින් මෙරටට ස්ථාපිත කර ඇති සබ්මැරීන කේබල් 7 කින් සමන්විත ජාලයකින්.

එලෙස මෙරටට ලැබෙන අන්තර්ජාල පහසුකම් ෆයිබර් තාක්ෂණය සහ 3G හෝ 4G යන ජංගම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පරිශීලකයන් වෙත බෙදා හැරෙනවා.

කෙසේ වෙතත් එම ක්‍රමවේදයේ දී භූගෝලීය බාධක ඇතුළු විවිධ ගැටලු මත ගම්බද දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් විධිමත් පරිදි නො ලැබීමෙන් එම ජනතාව දැඩි අසීරුතාවට පත් ව සිටින බවට යි දිගින් දිගට ම තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් අන්තර්ජාල සංඥා ලබා ගැනීම සඳහා ඉහළ කඳු මුදුන් සහ ගස් මත නැග ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට වෙහෙසන ආකාරය පිළිබඳව අප දිගින් දිගට ම වාර්තා කළා ෴

******************************************

පස් දරු (5) මවක් ඝාතනය කර කිඹුල්ලන්ට දැමූ සිද්ධියේ තොරතුරු හෙළි වේ

(29.12.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – උදයනගර් – අම්බලකුලම් ප්‍රදේශයේ දී පස් දරු (5) මවක් ඝාතනය කොට ඇයගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගයකට දැමූ සිද්ධියට මුල් වූ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් අතර, ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ කාන්තාව නිවසේ සිටිය දී ඝාතනය කොට ඇගේ සිරුර යතුරුපැදියක බැදගෙන ගොස් කන්දපුරම් – මර පාලම ආසන්නයේ කිඹුලන් සිටින ඇළ මාර්ගයකට දැමූ බවට යි.

පසුව පොලිසිය ඇයගේ සිරුර එම ඇළෙහි පාවෙමින් තිබිය දී සොයා ගනු ලැබුවා.

කිලිනොච්චිය – උදයනගර් ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පස් දරු (5) මව පෙරේදා (27) බැංකුවට ගොස් පැමිණි පසු, අතුරුදන් වී ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කළේ.

ඝාතනයට ලක් වූ කාන්තාව එංගලන්තයේ සිය දරුවන් සමඟ පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර කිලිනොච්චිය ප්‍රදේශයට පැමිණ තිබුණා.

මෙම කාන්තාව සතුව තිබූ රන් ආභරණ සොරා ගැනීමේ අරමුණෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදු කළ තරුණයා සොරකම් කරන ලද මෙම කාන්තාවට හිමි රන් ආභරණ තොගයක් ද සොයාගෙන තිබෙනවා ෴

******************************************

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නව සමාගමකට

(29.12.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා යැයි පවසමින් පිහිටුවා ඇති නව සමාගම මගින් මෙරට ඉන්ධන ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ හතරෙන් 3 ක (¾) හිමිකාරීත්වය ඉන්දියාව සතුවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය පවසනවා.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා කිසිඳු පහසුකමක් නොමැති එවැනි නව සමාගමක අවශ්‍යතාවයක් නොමැති බවයි.

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ‘ට්‍රින්කො පෙට්ට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් සමාගම’ නමින් නව සමාගමක් ස්ථාපිත කළ බව බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (29) ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ තෙල් ටැංකි කළමනාකරණය සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස මෙම නව සමාගම පිහිටුවා ඇති බවයි.

අදාළ සමාගම පිහිටුවීමට අදාළ ගිවිසුම ඉන්දියාව සමග ඉදිරි මාසයක (1) කාලය තුළ අත්සන් තැබීමට නියමිත බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පිහිටුවා ඇති නව සමාගම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අන්තර්ගත තෙල් ටැංකි 99 ම සංවර්ධනය කිරීම සඳහා මෙම නව සමාගම පිහිටුවා ඇති බවයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බවත් එහි කොටස්වල අයිතිය හා සමාගමේ ව්‍යුහය සම්බන්ධයෙන් මේ මොහොතේදී අදහස් පල කළ නොහැකිය බවත් ‘ලංකා අයි.ඕ.සී සමාගම’ සඳහන් කළා.

******************************************

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

(29.12.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුකරන සේවාවන් මහජනතාවට සමීප කරවීම සඳහා විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය සියලු පළාත් ආවරණය වන පරිදි සිදුකිරීම සැලසුමයි.

උතුර පළාත මූලික කරගනිමින් එම කටයුතු ජනවාරි 28 ආරම්භ වන අතර, මෙහිදී පොදු ජනතාවට බලපාන නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම සංහිඳියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමද සිදුවනවා.

මත්ද්‍රව්‍ය භාවිත ගැටළු සහ ඉඩම් ගැටළු සම්බන්ධයෙන්ද ජංගම සේවාව මගින් පහසුකම් සැපයෙන අතර, රැකියා ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම්ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක් ෴

******************************************

විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළට

(29.12.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය අද (29) වනවිට ඩොලර් බිලියන 3.1 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.

දේශීය වෙළඳපොල තුල විදේශ විනිමය ද්‍රව්‍යශීලතාවය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ මේ වසරේ අපනයන ආදායම ඉහළ යාම මෙලෙස නිල සංචිත ප්‍රමාණය වර්ධනය වීමට හේතු වූ බවයි, මහබැංකුව සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මස අවසන් සතිය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා පහත වැටුණා.

එම ප්‍රමාණයෙනුත් මුදල් වශයෙන් පැවතියේ ඩොලර් බිලියන 1.1 ක සංඛ්‍යාවක් පමණයි.

මෙම තත්ත්වය මත දින කිහිපයකට පෙර ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය ශක්‍යතාවයන් ගණනය කරන ‘ෆිච් රේටින් ආයතනය’ ‘සී සී සී’ සිට ‘සී සී’ දක්වා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය 20 වනදා ‘හිරු ටී වි සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, ස්ථිර ලෙසම නව වසර උදා වීමට පෙර මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 3.5 කට ආසන්න වනු ඇති බවයි.

අද (29) පෙරවරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ, මිට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගිය බවයි.

මේ වසර අවසානය දක්වා මෙම නිල සංචිත ප්‍රමාණය නොවෙනස්ව පවත්වා ගැනීමට හැකිවනු ඇති බව ඔහු එමගින් දක්වා තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හඳුන්වාදීම, අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම, යන කරුණු ද මෙරට නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ, මෙලෙස විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ යාම කෙටි කාලීනව සාධනීය තත්ත්වයක් වුව ද දීර්ඝ කාලීනව තවදුරටත් විසඳුම් සෙවිය යුතු බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිත 191 සුව අතට

(28.12.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 191 දෙනෙකු අද (28) දිනයේදී සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වී මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,59,875 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ වනවිට වෛරසය මෙරට තුළ බිලිගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,901 ක් වන අතර, රෝහල්ගතව තවදුරටත් මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,522 ක් බවයි වාර්තා වන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 479 ක් අද (28) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 584,586 ක් ෴

+++++++++++++

කොරෝනා මරණ 22 ක්

(28.12.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 22 දෙදෙනකු අද (28) දිනයේදිත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

එම මරණ අතරට වයස අවුරුදු 30 ට අඩු එක් (1) පිරිමියෙකු ඇතුළත්.

අද (28) දිනට සිදු වූ මරණ අතර පිරිමි මරණ 12 ක් සහ කාන්තා මරණ 10 ක් ඇතුළත් අතර, වයස අවුරුදු 30 – 59 ත් අතර මරණ සයක් සහ 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 15 ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වනවිට මෙරට තුළ වෛරසය ආසාදිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,923 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *