සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක්

සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක්

*********************************************

සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක්

(28.12.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කටාන – පත්තායන්වත්ත ප්‍රදේශයේදී සකුරායි පෞද්ගලික ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කලේ එමගින් අදාළ අනතුර යානයේ දෝෂයක් නිසා සිදුවූවක්ද නියමුවාගේ හෝ පුහුණුවේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක්ද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.

එම පරීක්ෂණයෙන් පසු ලබා දෙන නිර්දේශ වලට අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.

සකුරායි පෞද්ගලික ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම සමාගමට අයත් ‘සෙස්නා 172’ වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් කටාන – පත්තායන්වත්ත ප්‍රදේශයේ වෙල් යායක් ආශ්‍රිත භූමියකට හදිසියේ අනතුරුදායක ලෙස පතිත වීමෙන් එහි ගමන් ගත් සිව් දෙනෙකු (4) තුවාල ලැබුවේ ඊයේ (27) දිනයේදීයි.

සකුරායි සමාගමට අයත් ගුවන් යානයක් පසුගිය බදාදා (22) දිනයේදීද පුහුණු වෙමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) සමග පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබුණා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ පෞද්ගලික ගුවන් සමාගම් සඳහා මේ වන විටත් බලපත්‍ර ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අදාල ගුවන් සමාගම මෙන්ම එහි පුහුණු නිළධාරීන්, නියමුවන් සහ ඉංජිනේරුවරුන් පුහුණු කිරීම් සඳහා නීත්‍යානුකූලව බලපත්‍ර ලබා ගත යුතුයි.

එමෙන්ම ඒවා ධාවනයේදී ශිෂ්‍යයන් ද බලපත්‍ර ලබා ගත යුතු අතර එහි නියමුවෙකු රැගෙන යාම, වාණිජ කටයුතු සිදු කිරීම සහ රැකියා වල නිරත වීම සඳහා වෙන වෙනම අදාළ බලපත්‍ර ලබා ගත යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ෴

******************************************

රනිල්, මත්තල වී ගබඩා කළ රහස සජිත් හෙළි කරයි

(28.12.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළේ තමන් විනාශ කිරීම සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ, අද (28) පෙරවරුවේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව සහ වෙළඳුන් මුණගැසීමට පැමිණි අවස්ථාවේදියි.

මේ අතර ඩොලර් හිඟයක් පවතින මොහොතේ ආණ්ඩුවේ යුතුකම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාවේ 3 වන දිනය සඳහා අද (28) ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව සහ වෙළදුන් සමග සංවාදයක නිරත වුණා.

******************************************

ඇමති ධුරයෙන් ඉවත් කරන බව ජනපති දන්වා නැහැ – වාසු කියයි

(28.12.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපතිවරයා හෝ කිසිවෙකු දැනුම්දී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

එමෙන්ම තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට අපේක්ෂාවක්ද නොමැති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහෙත් තමන් මෙන්ම විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල අද (28) ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඔවුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට යාම සහ එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි අද පළ වී තිබූ පුවත්පත් වාර්තාවන් ගැන පිළිතුරු ලබාදෙමින්.

පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ (27) ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබූ බව අද (28), ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යන්නේ නම් අමාත්‍ය ධූරයෙන් ඉවත් වී එය සිදුකළ යුතු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බවයි ඒවායේ දක්වා තිබුණේ.

කෙසේ වෙතත් අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් තුන්දෙනා (3) කිසිදු වරදක් සිදු කර නොමැති බවයි.

******************************************

ගෑස් සහ කිරිපිටි හිඟයෙන් කොටුවේ සහ පිටකොටුවේ තේ කඩ 3,000 ක් වැසේ

(28.12.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සහ කිරිපිටි නොමැතිවීමෙන් කොටුව සහ පිටකොටුවේ තේ කඩ ඇතුලු ආපනශාලා 3,000 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රදීප් චාර්ල්ස් මහතා කියා සිටියේ මේ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ආපනශාලා ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් වසා දමා ඇත්තේ කිරිපිටි, ගෑස් හිඟය මෙන්ම එළවළු මිලද ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්.

විවෘත කර ඇති ඇතැම් ආපනශාලාවල කිරි තේ එකක මිල ද රුපියල් 85 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර අද (28) දින ඇතැම් ප්‍රදේශවලට සීමා සහිතව ගෑස් බෙදා හැරුණ ද ප්‍රදේශ රැසකට තවමත් ප්‍රමාණවත් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොලැබී ඇති බවට වාර්තා වනවා.

පාරිභෝගිකයින් සහ ගෑස් නියෝජිතයින් චෝදනා කරන්නේ තවමත් ගෑස් ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවටයි.

ගෑස් නොමැති නිසා හිස් ගෑස් සිලින්ඩර නැවත නිවෙස් වෙත රැගෙන යාමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර තවමත් ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් ලබාගැනීම සඳහා පෝලිම් පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

භාණ්ඩ මිල සහ ගෑස් ගැටලුවට විසඳුම් ඉල්ලා පන්දම් දල්වාගෙන සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතාවක් ඊයේ (27) හංවැල්ල නගරයේ දී පැවැත්වුණා.

මේ අතර, අදත් (28) ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත සිද්ධීන් වාර්තා වූ අතර, පසුගියදා පෑලියගොඩ සිදුවූ ගෑස් පිපිරීමකින් තුවාල ලැබූ කාන්තාවගේ සැමියා ලිට්රෝ සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියට කළ පැමිණිල්ල අද (28) විභාගයට ගැනුනා.

ඒ සඳහා එම සමාගමේ නියෝජිතයින් තුන්දෙනෙකු (3) පෙනී සිටි බව සඳහන් ෴

******************************************

නව වසරේ ඇති අභියෝග ගැන දිනේෂ් හෙළි කරයි

(28.12.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

පොතේ ගුරුවාදයෙන් බැහැරව පශ්චාත් කොවිඩ් ආර්ථික ප්‍රශ්න විසඳීම, 2022 නව වසරේ ආණ්ඩුවේ අභියෝගය බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පසුගියදා (26) මහජන එක්සත් පෙරමුණේ සීතාවක බල මණ්ඩලය අමතමින්, අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ජන වරම ආරක්ෂා කර ගැනීමට තම පෙරමුණ කැපවන බවයි.

ජන වරම ආරක්ෂා කර ගැනීමේ ඉලක්කය වෙත යාමට නම් අනිවාර්යයෙන්ම අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව සහතික විය යුතු බවටය් හෙතෙම පෙන්වා දෙන්නේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීම පිළිබඳව අදහස ආණ්ඩුවට මහජන එක්සත් පෙරමුණ විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති බවත්, එය ලබා ගැනීම මෙන්ම සෙසු ජන කොටස් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවත් අවධානය යොමු කොට, ඒ සඳහා නිසි කලමනාකාරිත්වයකින් යුතුව කටයුතු කළ යුතු වග ආණ්ඩුවට යෝජනා කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුතු 2022 වසරේ ඇරඹෙන බවත්, ජන වරම ලබා දීම උදෙසා කැප වූ සියල්ලන් වෙනුවෙන්ම ප්‍රමුඛතාව ලබා දී ආණ්ඩුව කටයුතු කරන බවත් හෙතෙම බල මණ්ඩල රැස්වීම අමතමින් කියා සිටියා.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ දී වුව ද, වත්මන් ජනපතිවරයා කිසිදු විදේශ රටක් ප්‍රතික්ෂේප නොකර, ජන ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කළ අතීතය සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැය දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවයි.

පාසල් අවසන් වූ පසු රැකිය අහිමි තරුණ ප්‍රජාව ප්‍රායෝගික වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු කිරීම ද නව වසරෙ ඇති ප්‍රධානතම අභියෝගයක් අතර, ඒ සඳහා පොතේ ගුරුවාදයෙන් බැහැර වී කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

******************************************

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සිසුන් කැඳවීමට තීරණය කෙරේ

(28.12.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා සිසුන් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යළි දේශන ශාලා වෙත කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා සියලුම විශ්වවිද්‍යාල සඳහා 50% ක ධාරිතාවයකින් යුතුව සිසුන් කැඳවීමට සැලසුම් කර ඇති බවයි ෴

******************************************

ඉහළ ගිය ඉන්ධන මිලෙන් බැටකන මහජනතාව

(28.12.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ගෑස් සැපයුම ද මන්දගාමී වීම හේතුවෙන් භූමිතෙල් ලබා ගැනීම සඳහා අද (28) දිනයේත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකින් අදත් (28) ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වුණා.

හැටන් කොටගල ක්‍රිස්ටස් ෆාම් වතු යායේ නිවසක ගෑස් උදුනක් පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වූ බව දිඹුලපතන පොලීසිය පවසනවා.

මීට අමතරව බගවන්තලාව වැපල්ටන් වතු යායේ නිවසකින් වාර්තා වූ ගෑස් පිපිරීමෙන් පසු එම නිවස පොලිස් පරික්ෂාවට ලක් කෙරුණා.

මේ අතර කතරගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ගිනි ගැනීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

එම නිවැසියන් එළිමහන් ප්‍රදේශයේ ගෑස් ලිප තබා තිබූ බැවින් ගිනි ගැනීමෙන් නිවසට හානියක් සිදු වී නැහැ.

මේ අතර නාවලපිටිය නාගස්තැන්න වත්තේ පවත්වාගෙන ගිය කුකුළු ගොවිපොලක සිදු වූ ගෑස් පිපිරීමකින් සතුන් කිහිපදෙනකු මිය ගියා.

කුකුල් පැටවුන්ගේ ශරීර ඌෂ්ණත්වය පවත්වාගෙන යෑම සඳහා තිබෙන උපකරණයට අදාළ ගෑස් සිලින්ඩරයට සවිකර තිබූ නලය ගිනි ගැනීමෙන් මෙම පිපිරීම සිදු වූ අයුරු සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

මෙම ගෑස් සිලින්ඩරය නාවලපිටිය ප්‍රදේශයෙන් මිලදීගෙන ඇත්තේ මීට දින 2 කට පෙර වීම ද විශේෂත්වයක්.

මේ අතර පසුගියදා පෑලියගොඩ ප්‍රදේශයේ අවන්හලක සිදු වූ ගෑස් කාන්දුවකින් හටගත් ගින්නකින් තුවාල ලබා රෝහල්ගත කෙරුණු කාන්තාව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇගේ සැමියා ලිට්රෝ සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

පාරිභෝගික සේවා අධිකාරියට ඉදිරිපත් කළ පැමිණිල්ල අද (28) විභාගයට ගැනුණේ, ලිට්රෝ ගෑස් සමාගමේ නියෝජිතයන් තිදෙනෙකු (3) ද කැඳවමින්.

දිවයින පුරා ගෑස් ආශ්‍රිත අනතුරු දෛනිකව වාර්තාවන පසුබිමක ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් ආශ්‍රිතව සිය දෛනික වැඩ කටයුතු සිදු කිරීමට පෙළැඹුණා.

නමුත් ඉන්ධන මිල ද ඉහළ යාමත් සමඟ ඔවුන් තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා.

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ භූමිතලේ මිලදී ගැනීමට අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්.

මේ අතර තවදුරටත් ගෑස් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින බවට ජනතාව මැසිවිලි නගනවා.

ඒ අනුව විවිධ ප්‍රදේශවල තවදුරටත් ගෑස් කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම් දක්නට ලැබුණා.

මීට අමතරව ප්‍රදේශ කිහිපයක සිමෙන්ති නොමැති වීමෙන් ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන ජනතාවද පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර ඉන්ධන ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව දිඹුලාගල – දලුකාන ආදිවාසීන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල විරෝධතාවක නිරත වුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ බඩු මිල ඉහළ දැමීම නිසා දලුකාන මෙන්ම, යක්කුරේ, මිල්ලාන, කොළකනවාඩිය, බෝඅත්ත කුඩාවැව, ඇල්ලේවැව, ඇතුළු ගම්මානවල ජීවත් වන ආදිවාසි පවුල් 800 ක් පමණ මහත් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් සමගි ජන බලවේගය දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබුණා.

******************************************

ගම – නගරය යා කළ කුළුබඩු මන්දිරය ජනපති නිරීක්ෂණයට

(28.12.2021 – 22:20 +0530 – hirunews.lk/sinhala)

‘කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ’ මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

‘ගම සමග පිළිසඳර’ වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීමටයි ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ.

ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපිත කෙරුණා.

1972 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම ආයතනය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශය සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීමට රජය මෙමගින් අපේක්ෂා කෙරෙනු ඇති.

+———–

නිලධාරින්ගේ දුක් ගැනවිලිවලට කන් දෙන්න – පොලිස්පති

(28.12.2021 – 22:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන්ගේ දුක්ගැනවිලි හදුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

මෙම දැනුම්දීම කර ඇත්තේ, නිවාඩු ගැටලුවක් මත පොලිස් සැරයන්වරයෙක් අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) පසුගියදා ජිවිතක්ෂයට පත්වූ පසුබිමකයි.

පොලිස් සැරයන්වරයෙක් අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදු කළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) ජිවිතක්ෂයට පත්වුණේ පසුගිය 24 වැනිදායි.

සැරයන්වරයා පාපොච්ඡාරණය කර තිබුණේ තමාට නිවාඩු ලබා නොදීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත වෙඩි තැබීම සිදුකළ බවයි.

මෙවන් පසුබිමක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. කේ. ඩබ්ලිව්. කේ. සිල්වා මහතාට ලිපියකින් දැනුම් දී ඇත්තේ, පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන්ගේ දුක්ගැනවිලි හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙන ලෙසයි.

ඒ අනුව ලබන ජනවාරි මාසය තුළ නැගෙනහිර පළාතේ සෑම පොලිස් ස්ථානයකටම ගොස් නිලධාරීන් සමඟ රැස්වීම් පවත්වන්නැයි පොලිස්පතිවරයා, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම රැස්වීම්වලදී පොදු හෝ පුද්ගලික දුක්ගැනවිලි හෝ ගැටලු ඉදිරිපත් කිරීමට ද නිලධාරීන්ට අවස්ථාව ලබා දිය යුතුයි.

එමෙන්ම යම් නිලධාරියකුට වෙනත් කිසිදු නිලධාරියකු නොමැතිව සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබා දිය යුතු වනවා.

ඉදිරිපත් කෙරෙන ගැටලුවලට එම අවස්ථාවේදීම හෝ සාධාරණ කාලයක් තුළ දී විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙස ද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

+———-

සුමන සමන් දෙවිඳුන්ගේ රන්වැට අගමැති සුරතින් විවෘත වේ

(28.12.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) උදෑසන රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයට පැමිණියා.

ඒ එතුමාගේ පදවි ප්‍රාප්තියෙන් පසු ආශිර්වාදය පතා සබරගමුව මහ සමන් දේවාලයේ බෝ මළුව භූමියේ අභිනවයෙන් ප්‍රතිස්ථාපනය කරණු ලැබූ ශෛලමය ප්‍රතිමා වහන්සේ හා රන් ආලේපනය කළ රන් වැට නිරාවරණය කර සසුනට පූජා කිරීමටයි.

+———-

සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *