විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

*********************************************

විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(28.12.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩල සාමුහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැ යි ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) පැවති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ.

සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටිය දී නො කර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බව ද ජනාධිපතිවරයා මෙහි දී පැවසුවා.

ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ ද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහි ව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බව ද ජනපතිවරයා සිහිපත් කළා ෴

+++++++++

අමාත්‍ය ධුරවලින් ඉවත් කළත් ගැටලුවක් නැහැ – ඇමති ගම්මන්පිල කියයි

(28.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

තමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු (3) එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම්, ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහි ව අධිකරණයට යාම සහ එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අද (28) පළ වී තිබූ පුවත්පත් වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.

පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ (27) ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබූ බව අද (28), ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කැබිනට් තීන්දුවකට එරෙහි ව අධිකරණයට යන්නේ නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය සිදු කළ යුතු බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කළ බවයි එම වාර්තාවල දක්වා තිබුණේ.

මේ සම්බන්ධයෙන් අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා (3) කිසිදු වරදක් සිදු කර නොමැති බවයි.

******************************************

තේ කිලෝ 100 කට රසායනික පොහොර කිලෝ 40 ක් දෙන්න, රජයෙන් තීරණයක්

(28.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ඇණවුම් කර ඇති පොහොර තොග මෙරටට ලැබී ඇති බවත්, ලබන වසරේ පෙබරවාරි වන විට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසදීමට හැකියාව පවතින බවත්, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (27) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම සහනදායී ක්‍රමවේදයකට ඉදිරියේ දී පොහොර ලබාදීමට ද සැලසුම් කර ඇති අතර, අමු තේ දලු කිලෝ 100 කට පොහොර කිලෝ 40 ක් ලබාදීමට යි රජය තීරණය කර ඇත්තේ ෴

******************************************

නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතුව ලිට්රෝ කියයි

(28.12.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

මීට ඉහත දී තම සමාගම මගින් වෙළදපොළට නිකුත් කරන ලද නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර් නැවත එකතු කිරීම සහ ඒවායේ ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඉදිරියේ දී එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංග මේ වනවිට ද ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව ඉදිරියේදී වෙළදපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බවත්, පාරිභෝගිකයන්ට සිදුවන තාවකාලික අපහසුතාව පිළිබද කනගාටු වන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම එම නිවේදනයෙන් දැනුම් දෙනවා.

ඊයේ (27) වන විටත් දෛනික අවශ්‍යතාව සඳහා ගෑස් නෞකා දෙකක් (2) පිරවුම් සංකීර්ණයට භාගත කොට ඇති බවයි එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ගෑස් සම්බන්ධයෙන් වන සියලු ප්‍රමිතීන් පාලනයේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉතා කඩිනමින් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා ෴

******************************************

ජනපති ෂී ජින්පින්ගෙන්, ජනාධිපති ගෝඨාභයට නව වසර සඳහා සුබ පැතුම්

(28.12.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

චීන ජනාධිපති ෂී ජින්පින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එළඹෙන නව වසර සඳහා සුබ පැතුම් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) උදෑසන මෙලෙස ජනාධිපති ෂී ජින්පින්ගේ සුබ පැතුම් පණිවිඩය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් චීන ජනාධිපතිවරයා මෙලෙස නව අවුරුදු සුබ පැතුම් එක් කළ බවයි.

ජනාධිපති ෂී ජින්පින් මෙලෙස ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කළේ, චීන තානාපතිවරයාගේ උතුරු පළාත් චාරිකාවෙන් අනතුරුව යි.

මේ මස මුල දී යෙදුණු එම සංචාරය ඉන්දියාවේ දැඩි අවධානයට ලක්වූවක්.

හින්දු පුවත්පත එම සංචාරය හැදින්වූයේ ඉන්දියාව ප්‍රකෝප කිරීමේ සිද්ධියක් ලෙසින්.

එය චීනය සහ ඉන්දියාව අතර භූ දේශපාලනික තරගය ඉහළ නංවන්නක් ලෙසින් හින්දු පුවත්පත හැදින්වූවා.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම ඉදිරි මාසය තුළ අත්සන් තබන බව හින්දු පුවත්පත වාර්තා කළේ ද එම කලාපයෙන්.

මේ අතර, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් වී ඇතුළු දූත පිරිසක් එළඹෙන ජනවාරි 09 වැනි දා මෙරට එක්දින සංචාරයක නිරතවීමට නියමිත යි.

පසුගිය කාලසීමාවේ දී චීනය සම්බන්ධයෙන් මෙරට දැඩි කතාබහට ලක් වූ කාරණාවක් වූයේ, මෙරටට එවන ලද පොහොර නැව සම්බන්ධයෙන්.

අදාළ පොහොර නැව ප්‍රතික්ෂේප වූ පසු ඊට මුදල් ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදු වූවා.

එවන් පසුබිමකයි චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට තීරණය කර ඇත්තේ ෴

******************************************

‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට ‘ටින්කර් ලසන්ත’ සමඟ ගිය අයෙක් අත්අඩංගුවට

(28.12.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

‘අමිල ප්‍රසංග හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ඝාතනය කිරීම සඳහා ‘හේවාදුනුවිලගේ ලසන්ත’ හෙවත් ‘ටින්කර් ලසන්ත’ සමග වෑන් රථයෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තඹුත්තේගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම අවස්ථාවේ දී ඔහු සතුව තිබී රුපියල් මිලියනයකට අධික මුදලක් සහ ජංගම දුරකතනයක් මෙන්ම ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු 43 වැනි වියේ පසුවන මට්ටකුලිය – සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

‘සන්ෂයින් සුද්දා’ පසුගිය සැප්තැම්බර් 03 වැනි දා කොටවිල ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසු ව අත්අඩංගුවට ගැනුණු ‘ටින්කර් ලසන්ත’ පසුගිය මස 25 වැනි දා පොලිස් වෙඩි පහරින් මිය ගියේ, සඟවා තිබූ අවි ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවකදීයි ෴

******************************************

හැටන් ප්‍රදේශයේ නිවසක ගැස් උඳුනක් පිපිරෙයි

(28.12.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

හැටන් කොටගල ක්‍රිස්ටස් ෆාම් වතුයායේ නිවසක නිවසක මුළුතැන්ගෙහි තිබු ගෑස් උදුනක් 27 දින පස්වරු 2 ට පමණ පුපුරාගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

වතුර රත් කිරිම සදහා ගෑස් උඳුන ක්‍රියාත්මක කිරිමත් සමඟ එක් වර ම ගැස් උඳුන පිපිරි ගිය බවයි නිවෙස් හිමියා කියා සිටියේ.

පිපිරිමෙන් ගෑස් උඳුනට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදු වී නෑ.

පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

කහටගස්දිගිලියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් උපවාසයක

(28.12.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අද (28) උදෑසන උපවාසය ආරම්භ කර ඇත්තේ, 1998 දී, යුද හමුදාවේ සේවයේ යෙදිය සිටි සෙබළකුගේ බිරිඳක් බවට සඳහන්.

තමා දැනට පදිංචිව ඇති ඉඩමට ඔප්පුවක් සදා ගැනීම සදහා වසර ගනණාවක සිට මේ දක්වා රජයෙන් ඉල්ලා තිබුණ ද ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් එයට අවස්ථාව නොදුන් බවයි, උපවාසයේ යෙදී සිටින කාන්තාව පැවසුවේ.

මේ හේතුවෙන්, තමන් ඇතුළු දරුවන් දැඩි අසිරුතාවන්ට මුහුණ දුන් බවට ඇය පවසා තිබුණා.

ලබන බ්‍රහස්පතින්දා අදාල ඉඩමට ගොස් ගැටලුව විසදීමට කටයුතු කරන බවට ප්‍රදේශිය ලේකම් පොරොන්දු වීමෙන් අනතුරුව, පැය තුනකට (3) ආසන්න කාලයක් උපවාසයේ යෙදි සිටි කාන්තාව උපවාසය අතහැර පිටව ගිය බවට වාර්තා වනවා.

+——-

නීතිවිරෝධී ලෙස කිරි මැටි සහ වැලි ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් හෙළිවෙයි

(28.12.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

ඉටි රෙදිවලින් ආවරණය කර බලපත්‍ර නො මැතිව කිරිමැටි සහ වැලි, ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට අදාළ ව සැකකරුවන් තුන් දෙනෙකු (3) හා ඒවා ප්‍රවාහනය කළ ටිපර් රථ 3 ක් ඊයේ (27) රාත්‍රියේ පොලිස් භාරයට ගෙන ඇත්තේ, කළුතර – වෑවිට ප්‍රදේශයේදි යි.

පසු ව අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් දීර්ඝ කාලයක සිට ඉටි රෙදිවලින් ආවරණය කර පිටතට නො පෙනෙන ලෙස වැලි සහ කිරි මැටි මෙලෙස ප්‍රවාහනය කර ඇති බවයි.

+——–

මැදිරිගිරිය – කුසුම්පොකුණ ප්‍රදේශයේදී 9 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා, ඊයේ (27) සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව යි වාර්තා වන්නේ.

******************************************

ඉන්ධන දුම්රිය කොලොන්නාවේ නැවතෙයි

(28.12.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද (28) කොලොන්නාව නිමාව තෙල් අංගනයේ සිට ඉන්ධන රැගත් දුම්රිය ධාවනය කිරීම නවතා දමා තිබුණා.

ගුවන්තොටුපොළ සඳහා ඉන්ධන ප්‍රවාහනය කරන ඉන්ධන දුම්රිය ධාවනය නො කළ බවයි මෙහි දී සඳහන් වුණේ .

මේ අතර දුම්රිය කාර්‍ය මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අදත් (28) දුම්රිය ගමන් ගත්තේ, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමකින් තොරව යි.

නමුත් කවදා හෝ මෙම පාඩුව ගෙවන්න වෙන්නෙත් අපට ම බව දුම්රිය මඟීන් පවසා සිටියා.

සංචාරකයින් මෙන්ම මඟීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට සහ පිටවීමට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර, මඟීන් පැවසුවේ, මෙය රජයට දරාගත නො හැකි ලොකු පාඩුවක් බවත් මෙය වක්‍රාකාරයෙන් මහජනතාවට ම ඉදිරියේ දී ගෙවීමට සිදු වෙන බවත් ය.

******************************************

හැටන් ප්‍රදේශයට නව සංයුතිය අඩංගු ගෑස් බෙදයි

(28.12.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

දින ගණනාවකට පසු හැටන් ප්‍රදේශයට නව සංයුතිය සටහන් කරන ලද ලිට්රෝ සමාගමට අයත් ගෑස් සිලින්ඩර් සීමිත ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා.

ඒ අනුව, අද (28) උදෑසන සිට ම ගෑස් අලෙවිසැල් නියෝජිත ආයතන ඉදිරිපිට පාරිභෝගික ජනතාව පෝලිම්වල රැදී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අලෙවි නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ, තමන් ඉල්ලුම් කළ පරිදි ප්‍රමාණවත් ගෑස් තොග නො ලැබුණු බවයි ෴

******************************************

බංග්ලාදේශය ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස ​​තුනකින් (3) දීර්ඝ වේ

(28.12.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලිය 200 ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස ​​තුනකින් (3) දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ බැංකුව විසින් මෙම තීරණයට එලැඹ ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් බවයි බංග්ලාදේශ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ.

‘මූල්‍ය හුවමාරු’ හෙවත් ‘ස්වැප්’ පහසුකම යටතේ බංග්ලාදේශයෙන් ලැබෙන එම ණය පහසුකම මෙරටට ලැබුණේ කොටස් තුනකින් (3).

ඒ අනුව 2021 අගෝස්තු 19 වැනි දින පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50 ක් නිකුත් කළ අතර, ඩොලර් මිලියන 100 ක දෙවැනි වාරිකය 2021 අගෝස්තු 30 වැනි දින නිකුත් කළා.

ඩොලර් මිලියන 50 වටිනා අවසාන වාරිකය මෙරටට නිදහස් කරනු ලැබුවේ, 2021 සැප්තැම්බර් මස 21 වැනි දිනයි.

ගිවිසුමට අනුව, බංග්ලාදේශය ණය මුදලේ පොලිය 2% ක් වන අතර, මාස හයකට (6) පසුවත් වාරිකයේ මූලික මුදල නො ගෙවන්නේ නම්, අදාළ පොලිය 2.5% වනු ඇති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ නිදහසේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයට එක්වීම සඳහා පසුගිය මැයි මාසයේ දී එහි ගිය පසු සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ බැංකුව විසින් මෙම මුදල් හුවමාරු ගිවිසුමට එළඹුණා.

මේ වනවිට දකුනු ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයකට හිමිකම් කියන බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිතය පසුගිය අඟහරුවා දා දැක්වුනේ ඩොලර් බිලියන 46.3 ක් ලෙසින්.

එය මීට වසර එක හමාරකට (1½) පමණ පෙර වාර්තා කළ ඩොලර් බිලියන 48 ක වාර්තාගත ඉහළම අගයෙන් පසු වාර්තා වූ හොඳම අගය යි ෴

******************************************

‘ඒ 5’ මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට

(28.12.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)

‘ඒ 5’ මාර්ගයේ කිලෝමීටර් 86.7 ක දුරකින් යුත් බිබිල-චෙන්කලඩි කොටස, මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් වුණා. ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7200 ක් ෴

******************************************

පොහොර මිටි 20 ක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(28.12.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ – යටගම ප්‍රදේශයේ පොල් වත්තක ගබඩා කර තිබූ යුරියා පොහොර මිටි 20 ක් සොරා ගත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 25 වන දා මොහු විසින් මෙම සොරකම සිදුකර තිබූ බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර, පසුව අනාවරණ වී ඇත්තේ, සැකකරු ඔහුගේම කුඩා ලොරි රථයකින් සොරා ගත් මෙම පොහොර තොගය අනුරාධපුර ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි.

එහිදී මේවා රුපියල් 60,000 කට අලෙවි කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

මේ අතර, ගෑස්, ඉන්ධන සහ භූමි තෙල් පෝලිම්වලට අමතර ව පොහොර මිල දී ගැනීම සඳහාත් ජනතාව පෝලිම්වල රැදී සිටින අයුරු අද දක්නට ලැබුණා.

දඹුල්ල නගරයේ වෙළෙඳසලකට රසායනික පොහොර තොගයක් ලැබී ඇති බවට ඊයේ (27) රාත්‍රියේ ලද තොරතුරකට අනුව ගොවීන් පොහොර මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම වෙළෙඳසලට ලැබී ඇත්තේ, එළවළු සඳහා යොදන රසායනික පොහොර තොගයක් පමණක් බවත් ඒවා ද රුපියල් 8500 කට වැඩි මුදලකට අලෙවි වී තිබෙනවා.

කිලෝ 50 ක බරින් යුත් එම ඇසුරුමක් පසුගිය කාලයේ දී අලෙවි කර ඇත්තේ, රුපියල් 1500 ක් වැනි මුදලකට යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *