දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක්

දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක්

*********************************************

දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක්

(27.12.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

දෛනික කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් බලධාරීන් හෙළි කරන සංඛ්‍යාලේඛන කොතරම් නිවැරදිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය පැවතීමත් සමඟ ගෙවී ගිය සති අන්තය තුළ ජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක තත්වයක පැවති බවයි.

+++++++++++++

සමාජයේ පැතිර යන ඇතැම් කතා නිසා බූස්ටර් ගැනීමේ පසුබැස්මක් – සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක

(27.12.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ඇතැම් ජනයා ‘බූස්ටර් එන්නත් මාත්‍රාව’ ලබා ගැනීමට නැඹුරු නොවීමේ ප්‍රවනතාවයක් යම් තරමකින් නිර්මාණය වී ඇත්තේ, සමාජය තුළ මෙන්ම විවිධ මාධ්‍ය මගින් ජනතාව වෙත අවබෝධ කරවන ඇතැම් තත්ත්වයන් මත බව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ හේතුවෙන් දෙවන (2) මාත්‍රාව ලබාගත් ඇතැම් පිරිස් ද මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ කිසියම් පසුබැසීමක් දැකිය හැකි අතර, එම තත්ත්වය අවම කිරීමට සහ කොවිඩ් තුරන් කිරීම සඳහා අනිවාර්යයෙන්ම බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගෝලීය වසංගත තත්ත්වයක් ව පවතින කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මේ වනවිට බොහෝ රටවල් පවා තුන්වැනි (3) මාත්‍රාවෙන් පසුව සිව්වැනි (4) මාත්‍රාවකටත් අවධානය යොමු කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 3.3 ක ප්‍රමාණයක් වන බැවින්, නිසි එන්නත්කරණ ක්‍රියාවලියට යොමු නොවීමෙන්, රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය මර්දනය අපහසු ක්‍රියාවලියක් බවට ඉදිරියේ දී පත්විය හැකි බවයි.

එන්නත්කරණය තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රතිශක්තිකරණය පුද්ගල ශරීරය තුළ ඉහළ නැංවීම බවත්, රෝගීන් අඩු වූ පමණින් දැන් වෛරසය අඩු වී ඇති බවට ද ප්‍රකාශ කළ නොහැකි බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

++++++++++++

කොරෝනා මරණ 17 ක්

(27.12.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගල මරණ 17 ක් ඊයේ (26) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මේ වනවිට මෙරට තුළ වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 14,901 ක් දක්වා ඉහළ යන බවයි, වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

තවත් කොරෝනා ආසාදිතයින් 458 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 584,107 ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 248 දෙනෙකු ද අද (27) දිනයේදීත් සුවය ලබා තිබුණා ෴

+++++++++++

ඔමික්‍රෝන් රෝග ලක්ෂණ 8 ක්

(27.12.2021 – 16:50 +0530 – sinhala.adaderana.lk)

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ ය.

එම වෛරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර, ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8 ක් ගැන සඳහන් වෙයි.

ඒ උගුර කැසීම, නාසයෙන් දියර ගැලීම, මහන්සිය, කිවිසුම් යෑම, පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම, හිසේ කැක්කුම, රාත්‍රියට දහඩිය දැමීම සහ මාංශ පේශීන්වල ඇතිවන කැක්කුම යි ෴

++++++++++++

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

(28.12.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය යටතේ තවත් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මෙසේ රැගෙනවිත් තිබෙන්නේ, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,147,770 ක්.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක්… කන්න බොන්නත් රටක් තියෙන්න ඕන…

(28.12.2021 – 00:02 +0530 – lankacnews.com)

මේ රටේ කිසිදු නායකයෙකු එක නිතියක් රටේ ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකල බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිතිය බල ගැන්විමට පියවර ගනිමින් සිටින බව ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවසිය.

‘එක රටක් එක නිතියක් සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ඒ බැව් පැවසුවේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දි (27) දින හැටන් ප්‍රදේශයේ ජනතාවගේ එම කාර්ය සාධන බලකාය සදහා අදහස් ලබාගැනිමේ අවස්තාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙසේ පැවසිය :

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න පිලිබද යෝජනා අපිට ඉදිරිපත් වුණා.

ඉඩම් ගැටළු , අධ්‍යාපන ගැටළු විශාල වශයෙන් අවධානයට යොමු වුණා.

ජනතාවගේ පොදු අදහස තමයි සංවර්ධන අවස්ථාව සියළුම වාර්ගික ජනයාට සමාන ලැබිය යුතුයි කියන එක.

අපේම නිති පද්ධතියක් හදන්න ඕනේ, ආනයනික නිති පද්ධතියකින් මේ රට හදන්න අපිට බැරිවෙලා තියෙනවා.

විදේශිකයන් ගෙනාව නිති , අණ පනත් ඉවත් කරලා මේ රටේම නිතියක් හදන්න කියලා ජනතාව යොජනා කරනවා.

රජයේ සංවර්ධන අරමුදල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ ජනගහණය අනුව සාධාරණව බෙදෙන්න ඕනේ කියලා ජනතාවගෙන් කියවුණා.

අනාගතයේ විශාල අනතුරක පෙර නිමිති අපිට පේනවා. පරිසර සම්පත් ආරක්ෂා කර ගැනිමට දැඩි නිති ඉදිරිපත් කරන ලෙසත් , එම නිති ක්‍රියාත්මක කරන ලෙසත් යෝජනා ඉදිරිපත් වුණා.

අපි පාරම්පරා ගණනක් තිස්සේ අපේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගන්න සටන් කරපු ජාතියක්.

නිදහසින් පසු බලයට පත් වුණු රජයන් ජාතික ප්‍රතිපත්ති කෙසේ වෙතත් , පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් රට වැටිලා තියෙන තැන අපි හැමෝටම පේනවා.

ජනතාව ඉල්ලුවේ මේ රටට දේශපාලනයට සම්බන්ධ නොවු නිලධාරියෙක් පාලකයා වශයෙන් , ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එතුමා ඒක පෙන්නුවා , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විය යුතුයි කියලා ජනතාවගෙන් තමයි යෝජනාව ආවේ.

කිසිදු නායකයෙක් මේ වගේ එක නිතියක් හදන්න කටයුතු කලේ නැ , කලින් හිටපු පාලකයෝ තිබුණ නිතියෙන්ම තමයි කටයුතු කලේ.

ජනාධිපතිවරයා අනාගත අභිවෘද්ධිය උදෙස් පදනම් සකස් කරමින් ඉන්නවා. ඒවා මහජනතාවට දැන ගන්න ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවා.

අපි මේ කතා කරන ජාතික ගැටළු ජනතාවට මේ දවස් වල ගැටළු නොවන්නට පුළුවන් , ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක් , පොහොර නෑ , ගෑස් නෑ. නමුත් අපි උත්සහ දරනවා මේ අරගලය දිගටම සිදු කරන්න.

මේ ජනාධිපතිවරයාට උවමනාව තියෙනවා, එතුමාට මේක කරන්න ශක්තිය තියෙනවා, අධිෂ්ඨානය තියෙනවා.

අපි කරන්න බලාපොරොත්තු වුණ හුගාක් දේවල් වසංගතය නිසා කරන්න බැරි වුණා.

ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා කෙටි කාලයෙන් ලෝකයම වසංගතයකට මුහුණ පැවා.

ලෝකයේ කිසිදු රටකට බැරි වුණා එන්නත් රටේ සියළුම ජනතාවට ලබා දෙන්න, ඒ රටවල් වහනවා අරිනවා, දඩ මුදල් නියම කරන්න සිදු වෙලා තියෙනවා.

ලංකාවේ තුන්වෙනි මාත්‍රාව ලබාදිලා ඉවරයි (?), දුෂ්කර අවස්ථා තරණය කරලා තියෙනවා.

ජාතික ප්‍රතිපත්ති සැකසිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

කන්න බොන්න මොනවා කරන්නත් රට තියෙන්න ඕනේ .

ජනාධිපතිවරයා තනි නායකයෙක් , ඒ නිසා අපි සාමුහික වශයෙන් සහයෝගය ලබා දෙන්න ඕනේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න.

අතිතයේ මිට වඩා දුෂ්කර අවස්ථා අපි පහු කරලා තියෙනවා.

උසාවි නඩු පවත්වාගෙන යාම වෙනම කලාවක්, වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටුවන්නේ නැ කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා.

බෙදෙන්න ගිය රට අද එක්සේසත් වෙලා තියෙනවා, නනාප්‍රකාර නිති නිසා අපි වෙහෙසට පත් වෙලා තියෙනවා.

පුද්ගල නිති, යටත් විජිත පාලකයන් ආනයනය කළ නිති ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි තාම ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

අච්චාරුවක් වුණ නිතිය වෙනස් කරන්න කාලය හරි , ඒනිසා අපේම නිති පද්ධතියක් අපිට අවශ්‍යයි.

මහජනතාව අතරේ මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තියෙනවා. මේක ජනතාව අතරින්ම එන්න ඕනේ එතකොට මේක කල හැකියි” යනුවෙන් පැවසිය.

මෙම අවස්ථාවට ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් ජිවන්ති සේනානායක මහත්මිය, කමිටු සමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ විරවර්ධන, සංජය මාරපන යන අයද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

+++++++++

කාති උසාවිය අහෝසි කරන්න – විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි

(27.12.2021 – sinhala.news.lk)

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා ‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන්’ ඉල්ලයි.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කළේ ය.

තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40 ක තම සේවා කාලය තුළ ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය. විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ ගැහැණු දරුවාට මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඩ් සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පවසුවේය. බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ආගම කොටස් වලට බෙදා නොගන්නා ලෙස කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරිමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි.

මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම පළාත්වල ජීවත් වන ජනතාවගේ හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයින ම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන හා පුද්ගලයින් ගේ අදහස් ලබා ගත්තේය.

මධ්‍යම පළාත් පළාතේ ජනතාවගේ අදහස් ලබා ගැනීම අද (27) දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදුවේ. කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් හා විද්‍යුත් පණිවිඩ මගින් ද අදහස් පළ කිරීමේ හැකියාව ඇති බව කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය පවසයි.

කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල, එරන්ද නවරත්න සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගි වූහ.

කාර්යාලීය දුරකථන අංකය : 011 269 1775
කාර්යාලීය ලිපිනය කාමර අංක 3G- 19,
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,
කොළඹ 7.
විද්‍යුත් තැපෑල :
ocol.consultations@gmail.com

******************************************

තඹලගමුවේ දී මාරක රිය අනතුරක්

(28.12.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

තඹලගමුව පොලිස් වසමේ ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාරගයේ කායන්වාඩි පාලම අසල දී කන්තලේ දෙසට ධාවනය වූ සිමෙන්ති පටවන ලද ලොරි රථයක්, ඉදිරියෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථ දෙකෙහි රියදුරන් දෙදෙනා කෝවොල් අඩි රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දී එක් රියදුරෙකු මිය ගිය බව යි වාර්තා වෙන්නේ.

මරණකරු වයස අවුරුදු 41 ක තොටහ – වළල්ලාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර යතුරු පැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිබිල මඩකලපු මාර්ගයේ රදලියද්ද ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඔහු වයස අවුරුදු 51 ක ඇකිරියන්කුඹුර – බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොඩොකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වෙන අතර, ඔහු මිය ගොස් ඇත්තේ ට්‍රැක්ටරයක ටේලරයට යට වීමෙන් බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ෴

******************************************

බස් ගාස්තු හෙට (29) සිට යළි ඉහළ යයි

(28.12.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

එහි දී බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2 කින් ඉහළ යනු ඇති.

ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ අනුව රුපියල් 14 ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂිත යි.

එසේම අනෙකුත් ගාස්තු 15% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරා දා දිනයේ භාරදුන් යෝජනාවලිය මඟ්නි ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් 7.5% ත් 10% ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යි මේ වනවිට එකඟතාවකට පැමිණ ඇත්තේ.

මේ අතර, බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම හෙට (29) සිට සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ධාවනය වන බස් රථයක් යොදාගෙන සිදු කිරීමට යි තීරණය කර ඇත්තේ.

එහි දී අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මඟීන් රැගෙන යන අතර පිටුපස දොරටුව වසා තැබෙනවා.

බස් රථයට ඇතුළු වීමට සහ පිට වීමට ඉදිරිපස දොරටුව පමණක් භාවිත කෙරෙන අතර, එම දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කර ඇති බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *