කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි

කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි

*********************************************

කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි

(27.12.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට ගොඩ බෑ සැහැල්ලු ගුවන් යානාව, නියමුවරයෙකු හා නියමුවරියක විසින් මෙහෙයවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වාර්තා කරනවා.

අදාළ පෞද්ගලික ගුවන් යානය, සංචාරකයින් යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්‍රදේශයට පියාසර කරමින් සිටියදියි මෙම කාර්මික දෝෂය හටගෙන ඇත්තේ.

විදේශිකයන් දෙදෙනා ලෙබනන් ජාතිකයින් බවටයි වාර්තා වන්නේ.

මෙම යානාවේ සිදු කළ හදිසි ගොඩබෑම හේතුවෙන් එහි සිටි සිව්දෙනා (4) ම සුළු තුවාල ලබා මීගමු රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනය සඳහන් කරනවා.

මීගමුව – කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට හදිසි ගොඩබෑමක් සිදු කළ ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථයෙන් නික්මී, කොග්ගල දක්වා පියාසර කළ පෞද්ගලික වාණිජ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා.

මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් යානාවේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (4) සුළු තුවාල සහ කම්පනය හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය පිලිබඳ ව වාර්තා වූ සැණින් ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භටයින් අදාළ ස්ථානයට වහාම යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ ගුවන් යානය පසුගිය 22 වැනිදා කළුතර – පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් සිදු කළ ‘සකුරායි ගුවන් සමාගම’ට ම අයත් ‘සෙස්නා 172’ (SESNA -172) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්.

මෙම යානාවේ එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

++++++++++++

‘සකුරායි ගුවන් සේවාවේ’ මෙහෙයුම් කටයුතු නවතයි

(27.12.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරායි පෞද්ගලික ගුවන් සේවාවේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා.

මෙම පෞද්ගලික ගුවන් සේවාවට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් (2) සතියකට අඩු කාලයක් ඇතුළත එන්ජිමේ හටගත් කාර්මික දෝෂ හේතුවෙන් හදිසි ගොඩබෑම් සිදුකළා.

ඒ අතරින් පළමුවැන්න (1) වන්නේ පසුගිය 22 දා කළුතර පයාගල ප්‍රදේශයේ වෙරළ තීරයට සිදු කළ හදිසි ගොඩබෑමයි.

පුහුණු වන ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) විසින් පැදවූ එම සැහැල්ලු ගුවන් යානය දෙවුන්දර දක්වා පියාසර කරමින් සිටියදීයි මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්වුයේ.

එමෙන්ම අද (27) දින රත්මලානෙන් ගුවන් ගත වී සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ට යමින් සිටී එම ගුවන් සේවාවට අයත් තවත් සැහැල්ලු ගුවන් යානයක් එංජිමේ හටගත් යාන්ත්‍රික දෝශෂයක් හේතුවෙන් කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළා.

මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර ඉන් පසුව අදාල ගුවන් සේවාවේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි ෴

++++++++++++

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේම කටානේ වෙළකට ගොඩබායි – ගුවන් සමාගමේ බලපත්‍රයත් අහෝසි කෙරේ

(27.12.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සැහැල්ලු ගුවන් යානයක් කටාන – පත්තායන්වත්ත ප්‍රදේශයේ වෙල් යායක් ආශ්‍රිත භූමියකට අද (27) පස්වරුවේ හදිසියේ ගොඩබා තිබෙනවා.

එහිදී යානයේ ගමන් ගත් 4 දෙනෙකු තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූ නියමුවා, නියමුවරිය සහ විදේශිකයන් දෙදෙනෙකු (2) මෙලෙස ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

‘සකුරායි’ ගුවන් සමාගමට අයත් ‘සෙස්නා 172’ වර්ගයේ මෙම යානය අද (27) පෙරවරුවේ ලෙබනන ජාතික සංචාරක යුවලක් නංවා ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇත්තේ සීගිරිය ප්‍රදේශයටයි.

එහිදී ඔවුන් රැගෙන නැවත කොග්ගල ප්‍රදේශයට පියසර කරමින් සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ ගොඩබෑමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෑතකදී විවාහ දිවියට එළඹුණු මෙම සංචාරක යුවළ සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වුණා.

එසේම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින ගුවන් නියමුවා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර, නියමුවරිය, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක්.

තුවාල ලැබූ සංචාරක යුවළගේ වයස අවුරුදු 40 ක් සහ 29 ක් බවයි පොලීසිය පැවසුවේ.

යානය හදිසියේ ගොඩබැස්ස වූ ස්ථානයේ සිට කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථයට පවතින්නේ ඉතා කෙටි දුර ප්‍රමාණයක් බව අප වාර්තාකරු සඳහන් කළා.

සකුරායි ගුවන් සමාගමට අයත් යානයක් මීට පෙර ද පුහුණු වෙමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) සමග පසුගිය බදාදා පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබැස්වීමක් සිදුකළා.

මෙම සිදුවීම් පිළිබදව විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය සකුරායි ගුවන් සමාගමේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අදාළ ගුවන් සමාගමේ ගුවන් සේවා බලපත්‍රය අත්හිටුවීමට පියවර ගත් බවයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළා.

******************************************

ජනතාව හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක

(27.12.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ, හිතේ ගින්දර පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ, මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) ජනදුක විමසන ‘මනුෂ්‍යත්ත්වයේ චාරිකාව’ දෙවැනි (2) දිනය ආරම්භ කළේ, අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමින්.

නගරයේ ජනතාව මෙන්ම වෙළෙඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ‘පවුල් පාලනය රටේ විනාශය’ නමැති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නා.

මහ බැංකු අධිපතිවරයා ඩොලර් මාෆියාවේ කප්පිත්තෙකු බව පැවසූ විපක්ෂ නායකතුමා ඔහු මේ රටේ සියලු පුරවැසියන් සමඟත්, අපනයනකරුවන් සමඟත් සෙල්ලම් කරමින් සිටින බව යි හෙළිදරව් කළේ.

රටේ ආර්ථිකය විනාශ කරන්නට මුල පිරූ පුද්ගලයකු ඉල්ලා අස් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා පොහොට්ටු ආර්ථික විනාශයේ මහ මොළකරු ඔහු බව ද සඳහන් කරනවා.

මේ රටට මෙතරම් සාපයක් ගෙන ආ මැති ඇමතිවරුන්ට, ජනතාව අතරට යෑමට නො හැකි තත්ත්වයක් ද උද්ගත වී ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

******************************************

STF උකසට තියා මුදල් කොල්ල කෑ දෙදෙනකු STF දැලට ම කොටු වේ

(27.12.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා‍යේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් විසින් ඔවුනට ලද තොරතුරකට අනුව අද (27) පෙරවරුවේ පෑලියගොඩ – ධර්මඩුවත්ත, බුදු පිළිමය ආසන්නයේ දී පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් තමන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් මහජනතාව බිය ගන්වමින්, මුදල් සහ මත්පැන් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් සිය කූඨ කටයුත්තට ව්‍යාජ හැඳුනුම්පතක් සහ විශේෂ කාර්ය බලකායේ කැලෑ ඇඳුමක් පැළැඳ සිටින ඔවුන්ගේ පින්තූරයක් ජංගම දූරකථනයේ තබා ගනිමින් ජනතාවට එය පෙන්වා බිය වද්දා ඇති බවටයි සිදු කරන ලද මූලික පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ සහ මාතර යන ප්‍රදේශවල පදිංචි 21 සහ 39 යන වයස්වල පසුවන්නන්.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

******************************************

ජාත්‍යන්තරය මෙරට දෙස නො බලන හේතුව ගැන මෛත්‍රීපාල කියයි

(27.12.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

දූෂණ, වංචා, අක්‍රමිකතා සහ රටේ බලය කිහිපදෙනෙකු අත පැවතීම වැනි හේතුන් මත ජාත්‍යන්තර සහාය මෙරටට නොලැබෙන බව, හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

******************************************

පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

(27.12.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වනවා.

එමෙන්ම, පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) දින පැවති සුහද හමුවකදී ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබදව කර්තෘවරුන් විමසීමක් කර තිබෙනවා.

මේ අතර, පුරප්පාඩු වන ධුරය සඳහා දැනට අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කරන ගාමිණී සෙනෙරත් මහතා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ධුරය දරන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කළා.

******************************************

කාති උසාවි අහෝසි කරන්නැ යි ඉල්ලීමක්

(27.12.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක මෙම ඉල්ලීම සිදුකරන බවයි, ඔවු එහිදී සදහන් කර ඇත්තේ.

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කියා සිටියේ, මුස්ලිම් විවාහ සහ දික්කසද නීතිය, බහු විවාහ වීම මෙන්ම ආගමික කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීමද තහනම් කළ යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *