දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27)

දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27)

*********************************************

දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27)

(27.12.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ අද (27) පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය පිළිබඳව තීරණයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළා.

එම සාකච්ජාවේදී තම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබා නොදුනහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වර්ජනය ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර ලබානොදීම සහ ප්‍රවාහන කටයුතු සඳහා පාර්සල් නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, ඇතැම් දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දේශපාලන ගනුදෙනු මත මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවශ්‍යතාව මත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙලෙස කටයුතු කරන බවටයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 23 වනදා මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම නිසා දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 05 ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වුණා.

+++++++++

ප්‍රධාන දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට උපදෙස්

(27.12.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයට උපදෙස් ලබාදුන් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ මෙතෙක් කවුළුවලින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 23 වැනිදා සිට මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර, ඉන් දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 05 ක පාඩුවක් සිදුවන බව වාර්තා වනවා ෴

+++++++++

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව 1

(27.12.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාරගැනීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත්වන බවයි, එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

දුම්රිය සංඥා ක්‍රමවේදයේ දෝෂ නිවැරදි කිරීම හා ධාවන කාලසටහන් යථාවත් කිරීම ඇතුලු ඉල්ලීම් 25 ක් මුල් කරගනිමිනුයි, මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අද (27) පස්වරුවේ රැස්වන විධායක කමිටුවේදී තීරණය කරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

+++++++++

සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව 2

(27.12.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් තෙල්, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

එසේම අදාළ මුදල වෘත්තීය සමිතිවලින් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් සිටින බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඇතැම් ඉල්ලීය තම සංගමයට ද අහිතකර ලෙස බලපාන බැවින් ඒවාට විසදුම් ලබාදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ ප්‍රකාශ කළේ.

එසේම පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත්වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට දැඩි ලෙස පාඩු සිදුවී ඇති බැවින් කඩිනමින් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

මේ අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කිරීමත් සමග අදත් මගීන් දුම්රියේ ගමන් කළේ කිසිදු මුදල් ගෙවීමකින් තොරවයි.

+++++++

******************************************

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් වාහන තදබදයක්

(27.12.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කඩවත සිට මාතර දෙසට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අතුරුගිරිය සහ කොතලාවල අතර කිලෝමීටර් 08 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ලොරියක් ගැටී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

අනතුර හේතුවෙන් කඩවත සිට මාතර දෙසට රථවාහන ධාවනය මේ වනවිට එක් මංතීරුවකට සීමා වී තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරට පත් වාහන කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි එම අධිකාරිය පැවසුවේ ෴

******************************************

චීනෙන් තවත් ණයක් !

(27.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක හුවමාරු ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සතියේදී එය මෙරටට ලැබෙනු ඇති බවයි, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

මෙම විනිමය හුවමාරුව සිදුකිරීමත් සමඟ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ක් පමණ වනු ඇති බව මහ බැංකුව සඳහන් කළා.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා අඩු වී ඇති අතර, එයින්ද ඩොලර් විනිමය වශයෙන් පවතින්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක් පමණ බවයි, මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පසුගියදා ‘හිරු ටී වී සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ දෙසැම්බර් 31 වනදා වනවිට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 ක් දක්වා ඉහළ යනු ඇති බවයි ෴

******************************************

දුම්රිය ගේට්ටුවක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මරුට

(27.12.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

බංගදෙණිය දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ ගේට්ටුවේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. හලාවත – පල්ලම මාර්ගයේ බංගදෙණිය සිට පල්ලම දක්වා ධාවනය වෙමින් තිබියදී ඊයේ (26) ඔහු මෙම අනතුරට ලක්වුණා ෴

******************************************

කුලී ගමනක් යන මුවාවෙන් රියැදුරුගේ රථය ඉස්සූ සැකකරු කොටු වේ

(27.12.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මස 30 වැනි දින කොළඹ සිට මහනුවර වෙත කිසියම් කටයුත්තක් සඳහා කුලීරථ රියැදුරකු සමග ගොස්, අතරමග දී අදාළ කුලී රථයේ රියැදුරු හට මගියා විසින් මත්පෙති ලබා දී, එම කුලීරථය පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා.

එම සිදුවීමට මුහුණ පෑ කුලී රථ රියැදුරුව සැකකරු විසින් නිද්‍රා වීමට මත්පෙති ලබා දීමෙන් අනතුරුව මාවනැල්ල පිහිටි ලැගුම්හලකට ගෙන ගොස් මෙම මංකොල්ලය සිදු කර ඇති බවයි පැමිණිලිකාර පාර්ශ්වය මාවනැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

මෙම පැමිණිල්ලෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ලැගුම්හලෙහි ආරක්ෂිත කැමරාවේ සටහන් වූ වීඩියෝ දර්ශන කිහිපයක් ද සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැරියා.

එවන් පසුබිමකයි, මෙම රියැදුරුට සිදු වූ ඛේදවාචකයට වගකිව යුතු සැකකරු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය මෙහෙවර සිදු කිරීම අරභයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ‘මානය’ වැඩසටහන මගින් සිද්ධියට මුහුණ පෑ මෝටර් රථයේ රියැදුරු සමග සිදුවීම සිදුව සතියක් ඉක්ම යන්නට පෙරාතුව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණේ.

මෙවන් තත්ත්වයක දී අදාළ අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කළ මාවනැල්ල පොලීසිය ඒ සඳහා කෑගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ ද සහාය ලබාගත්තා.

ඒ අනුවයි ඊයේ (26) කෑගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම සැකකරුව අත් අඩංගුවට ගත්තේ.

අදාළ සැකකරු කොල්ලකන ලද වැගන්-ආර් වර්ගයේ මෝටර් රථයේ වටිනාකම රුපියල් 43 ලක්ෂය ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සැකකරු විසින් මීට ඉහත දී සීදුව පොලිස් වසමේ දී කාර් රථයක් ද, ජා ඇල දී ත්‍රී රෝද රථයක් ද, සොරකම් කර විකුණා ඇති බවට හෙළි වී ඇති අතර, මෙලෙස සොරකම් කළ වැගන්-ආර් රථය ද නිවිතිගල – කරවිට ප්‍රදේශයේ දී විකුණා තිබිය දී යි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගනු ලැබුවේ.

33 හැවිරිදි සැකකරු එපිටවල – කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මොහු මෙම කූඨ ව්‍යාපාරය සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා බවට ද මේ වන විට පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මාවනැල්ල පොලීසිය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

******************************************

අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) ඉහළ යන ලකුණු

(27.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අවම බස් ගාස්තුව රුපියල් 2 කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවනවා.

ඒ අනුව, රුපියල් 14 ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් බස් සංගම් පසුගිය සිකුරාදා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා දුන් යෝජනාවලියෙන් අවම ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා රුපියල් 3 කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා.

මේ අතර, අනෙකුත් ගාස්තු සියයට 15 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරාදා දිනයේ භාරදුන් යෝජනාවලිය මගින් ඉල්ලා තිබුනා.

කෙසේ වෙතත්, සියයට 7.5 ත් සියයට 10 ත් අතර අගයකින් එම ප්‍රතිශතය ලබාදිය යුතු බවටයි, මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇත්තේ.

සංශෝධිත නව බස් ගාස්තුව අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

මේ අතර, අද (27) සිට සතොස හරහා පුද්ගලයෙකුට වරකදී සහල් කිලෝ 10 ක් මිලදී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (26) දින සදහන් කළා ෴

******************************************

සංවර්ධනයට අවශ්‍ය භූ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීමේ සූදානමක්

(27.12.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් රටේ සංවර්ධනය සදහා අවශ්‍ය වන භූ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීමේ අරමුණින් ප්‍රාදේශිය කාර්යාල ජාල ශක්තිමත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ එම කාර්යාංශය මගින් උතුර පළාතේ කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය කාර්යාලය පසුගියදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව විවෘත කරනු ලැබුවා ෴

******************************************

දියර පොහොර යෙදූ වගාවන්ට සුනඛයින්ගෙන් හානි

(27.12.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

යූරියා ඇතුලු රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ඉල්ලුම් කර තිබූ ආයතන කිහිපයකට අනුමැතිය ලබාදී ඇති බව, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගොවීන් චෝදනා කරන්නේ රසායනික පොහොර නොමැතිව තමන් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි.

මෙවර මහකන්නය යටතේ ගිරිතලේ ගොවී ව්‍යාපාරයේ ගොවීන් කාණ්ඩ දෙකක් (2) යටතේ තම වගාවන් ආරම්භ කර ඇත්තේ, පසුගිය කන්නවල ඉතිරි වු රසායනික පොහොර සහ කාබනික පොහොර භාවිතයෙන්.

කෙසේ වෙතත්, රසායනික පොහොර භාවිතයෙන් ඇරඹු වගාවන්වල ඵලදාවට සාපේක්ෂව කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ වගාව අසාර්ථක බවයි, ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, විදේශ වෙළඳපල ඉලක්ක කරගනිමින් දිර්ඝ කාලයක් දඹුල්ල – වෑවලවැව ගොවීන් පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු, දෙළුම් ආදි පළතුරු වගා කළ ද, කෘමිනාශක සහ පොහොර නොමැතිවීම නිසා ඒවාට කෘමීන්ගෙන් සහ පිටි මකුණන්ගෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔවුන් සඳහන් කළා.

මේ අතර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පෙන්වා දෙන්නේ අළෙවි කිරිම සදහා එළවළු තොග නොලැබීම හේතුවෙන් එළවළු මෙන්ම පළතුරු මිල ගණන්ද ඉතා අධික බවයි.

මේ අතර ඇතැම් ගොවින් පවසන්නේ, දියර පොහොර යෙදූ වගාවන් සුනඛයින් ආහාරයට ගන්නා බවත් සුනඛයින්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට වෙන ම වෙහෙසක් ද දැරිය යුතු බවත් ය.

******************************************

තවත් ගංජා කිලෝ 1,481 ක් ආයුර්වේද සංස්ථාවට

(27.12.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වැටලීම්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගන්නා ගංජා, ආයුර්වේද සංස්ථාව වෙත භාරදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මේ වසරේ ගංජා කිලෝග්‍රෑම් 4,500 ක් එම දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල – මහඇළ ආශ්‍රිත ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී විශේෂ කාර්ය බලකාය භාරයට ගත් ගංජා කිලෝග්‍රෑම් 1,481 ක් ද, ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා ෴

******************************************

ඉපැරණි දේව ප්‍රතිමා සොරාගෙන අලෙවි කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.12.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ කෝවිල්වල ඇති ඉපැරණි දේව ප්‍රතිමා සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ දෙදෙනෙකු (2), රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ, යාපනය – කීරිමලෙයි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද ප්‍රතිමා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින්ට රුපියල් 50,000 ත් ලක්ෂයත් (1,00,000) අතර මිලකට අලෙවි කර ඇති බවයි, වාර්තාවන්නේ.

මොවුන්ගෙන් ලද තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *