ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම්

*********************************************

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම්

(26.12.2021 – 21:33 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාලමය තෙල් ටැංකි සංකීර්ණය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 කින් 14 ක් මේ වන විට පවතින්නේ ඉන්දීය ඔයිල් සමාගම සතුවයි.

ඒ අනුව දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කිරීමට මේවන විට සාකච්ඡා සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටුවීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර, ඉහළ යන ජීවන වියදම හා ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් සමගි ජන බලවේගයේ නියෝජිතයින් ප්‍රදේශ කිහිපයක පන්දම් පෙළපාලි සංවිධාන කර තිබුණා.

කුරුණෑගල නගරයේ පැවති මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ ඔරලෝසු කණුව අසලින්.

විරෝධතාකරුවන් පන්දම් රැගෙන කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලය අසළට ගොස් පොල් ගසා දේව කන්නලව්වක් ද සිදු කළා.

එමෙන්ම, ඇල්පිටිය, ගොඩකවෙල හා තිරප්පනේ නගරවල ද විරෝධතා පැවැත්වුණා.

මේ අතර, ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් ද දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියාගම නගරයේ දී පැවැත්වුණා.

මේ අතර, භූමිතෙල් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඉන්ධන මිල පාලනය කිරීම සඳහා මේ මොහොතේ අවශ්‍ය වන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මිල සූත්‍රය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ අතර, ගෑස් ආශ්‍රිත අනතුරුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අදත් (26) වාර්තා වුණා.

මේ අතර, හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයින් විසින් ගෑස් සිලින්ඩර සිය වෙළෙඳ සල්වල ගබඩා නොකර වෙනත් ස්ථානවල රහසිගතව ගබඩා කර, පසුව ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් චෝදනා කරනවා.

අප වාර්තාකරු පැවසුවේ, රුපියල් 2,765 කට අලෙවි කෙරෙන ගෑස් සිලින්ඩර මෙම අලෙවි නියෝජිතයින් විසින් රුපියල් 3,500 කට අලෙවි කරන බවයි.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, ගෑස් හිඟය අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත්, ගෑස් ලබා ගැනීම සඳහාද ජනතාව පෝලිම්වල සිටිනු අදත් (26) දක්නට ලැබුණා.

******************************************

ජනතා මුදල් යොදවා සංවර්ධනය කළත් අභාවයට යන වැව්

(26.12.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ සිටම ගොවියා සිය කෘෂිකර්මාන්තය සිදුකරගෙන ගියේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන වැව කේන්ද්‍ර කරගනිමින්.

එහෙත් කෝටි ගණනක් මුදල් වැයකර නිසි සැලැස්මක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇතැම් සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් පීඩාවට පත්වූ ගොවීන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ බුත්තල, යුදගනාව ගම්මානයෙන්.

පවුල් 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දිවි ගෙවන බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යුදගනාව ගම්මානයේ හිරිගල්පොත්ත වැව මේ වන විට පත්ව ඇති තත්ත්වයයි මේ.

මීට වසර දෙකකට (2) පමණ පෙර ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතියකට අදා‍ළව වැවේ තිබූ පස් සහ බොරළු කපා ඉවත් කිරීම හේතුවෙන් පාරම්පරිකව සාදා තිබූ වැව් බැම්මද මේ වන විට අබලන්ව පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

හිරිගල්පොත්ත වැව සංවර්ධනය කිරීමේ අරමුණෙන් පස් රොන්මඩ මෙන්ම බොරළු ඉවත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් මේ වන විට වැවේ ගැඹුර අඩුවීමද මෙම ගම්මානයේ දිවිගෙවන ජනතාවගේ ආර්ථිකයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

ඔවුන් චෝදනා කරන්නේ අදාළ සංවර්ධන කටයුතු හේතුවෙන් වැවේ තිබූ මත්ස්‍ය අස්වැන්නද ඉතා සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

රුපියල් කෝටි ගණනින් වැයකර ක්‍රියාත්මක කර ඇති ඇතැම් සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් මඩිය තරකරගන්නා ව්‍යාපෘති භාර නිලධාරීන් හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බවට අවස්ථා රැසකදීම අප හිරු පුවත් තුළින් අනාවරණ කර තිබෙනවා.

එවන් පසුබිමක තවදුරටත් සිදුවන මෙවන් ජනතා මුදල් විනාශ කිරීම නවතා දමා ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික මෙන්ම ස්වභාවික උරුමයන් රැකගැනීම ප්‍රදේශය භාර නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වනවා.

මේ අතර පොළොන්නරුව වැලිකන්ද පැරකුම්යාය වැවෙහි ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කලද ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නතරවීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මහවැලි නිලධාරීන්ට විරෝ‍ධය පෑමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් හට ගත්තා.

******************************************

බන්දුලගේ සහන මල්ලේ වෙනසක්

(26.12.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

හෙට (27) සිට දින 5 ක් සතොස හරහා පුද්ගලයෙකුට එක්වරකදී සහල් කිලෝ 10 ක් මිල දී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර, වෙළඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි වෙළඳුන් එළවළු නොමැතිවීම හේතුවෙන් පත්වූයේ දැඩි දුෂ්කරතාවයකටයි.

භාණ්ඩ මිල සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ඊයේ (25) සහ අද (26) විරෝධතා සංවිධාන කර තිබුණා.

ගොඩකවෙල නගරයේ ඊයේ (25) රාත්‍රියේ පැවති විරෝධතා සඳහා එක්වූ පිරිස් පන්දම් දල්වාගෙන පෙළපාලි යමින් විරෝධයේ නිරත වූයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි.

උත්සව සමය හේතුවෙන් හෙට සිට දෙසැම්බර් 31 දක්වා සතොස හරහා පුද්ගලයෙකුට සහල් කිලෝ 10 ක් එක් වරකදී ලබා ගත හැකි බව කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර, පොහොර සහ පළිබෝධ නාශක නොමැතිවීම නිසා වගා හානි වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කළේ.

එමෙන්ම බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් කියා සිටියේ එළවළු ලැබීම සියයට 60 කින් පමණ පහත වැටී ඇති බවයි.

******************************************

ත්‍රී රෝද රථයක් නවතා තිබූ මෝටර් රථයක ගැටෙයි – රියදුරා මරුට

(26.12.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (26) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ නවතා තිබූ මෝටර් රථයක ත්‍රී රෝද රථයක් ගැටීමෙන්.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා වන අතර ඔහු නුවරඑළියේ පදිංචි 70 හැවිරිදි අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

එම පුද්ගලයාගේ පුත්‍රයාගේ බිරිඳ ද මෙම ත්‍රී රෝද රථයේ ගමන් කර ඇති අතර ඇය තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

ත්‍රී රෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල නතර කර තිබූ මෝටර් රථයේ ගැටී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර ගම්පොල රෝහලේ තැන්පත් කර ඇති අතර පුස්සැල්ලාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

බස් සංගම්වල පිරිවැය ගණනය කිරීමේ වාර්තා ප්‍රවාහන අමාත්‍යාංශයට

(26.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම්වල පිරිවැය ගණනය කිරීමේ වාර්තා මගී ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

ඉන්ධන මිල, අමතර කොටස් මිල, ඇතුලු කර්මාන්තයට බලපානු ලබන පිරිවැය ගණනය කරමින් එම වාර්තා පසුගිය සිකුරාදා (24) දිනයේදී භාරදුන් බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

පසුගිය සතියේ මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවේදී පිරිවැය ගණනය කර සංශෝධන ප්‍රකාශයට පත් කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙත පවරනු ලැබුවා.

ඒ අනුව බස් සංගම්වල යෝජනා සැළකිල්ලට ගෙන අනිද්දා (28) දිනය වනවිට සංශෝධිත නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 25 ක් කරන ලෙසත් සියලු බස් ගාස්තු සියයට විස්සකින් (20%) ඉහළ නංවන ලෙසත් බස් සංගම් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා ෴

******************************************

සෞඛ්‍ය ලේකම්තුමනි! සාෆි නැවත සේවය පිහිටුවිමට පෙර විනය පරික්ෂනය අවසන් කරන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර (18.12.2021)

******************************************

කුලී ගමනක් යන මුවාවෙන් කාරය මංකොල්ල කාලා

(27.12.2021 – 06:17 +0530 – lankadeepa.lk)

කටුනායක සිට මහනුවර දක්වා කුලී ගමනක් යන මුවාවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ දී රියදුරුට යම්කිසි විෂ පානයක් බීමට දී මත් වීමෙන් පසු මාවනැල්ල වලකඩයාව ප්‍රදේශයේ හෝටලයක දමා මෝටර් රථය පැහැරගත් බව පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පරීක්ෂණයක් පවත්වා අදාළ මෝටර් රථය රත්නපුර ප්‍රදේශයට විකුණා තිබියදී දින සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රීරෝද රථ සහ මෝටර් රථ හොරකමකට ද සම්බන්ධ බවට හෙලිවී ඇත.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය වෙත අද දින භාර දෙනු ලැබුවා ෴

******************************************

ආණ්ඩුවේ පිරිසක් ජවිපෙ සමග සන්ධානයකට සාකච්චා… විමල්ට දොර අරී…

(27.12.2021 – 10:00 +0530 – lankacnews.com)

විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ‘ජාතික ජන බලවේගය’ සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

එල්.එන්.ජී. බලාගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ , උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ’ එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් තම දයාසිරි ජයසේකර මහතාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කිරීමට හැකි වන බව ජයතිස්ස මහතා පෙන්වා දෙන්යි.

එපමණක් නොව රට ගැන හිතන දූෂණයට වංචාවට එරෙහි සියලු බලවේග වලට ඉදිරියේ දී ජාතික ජන බලවේගය සමග එක් විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා කියයි.

දූෂණය වංචාවට එරෙහිව ආණ්ඩුවේ සිටින කලකිරුණු මැති ඇමතිවරු රැසක් මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන නලින්ද ජයතිස්ස මහතා ඔවුන්ගේ සහාය ද තීරණාත්මක මොහොතක දී ලබා ගන්නා බව සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ කොන්දේසි වලට එකඟ වන සියලු පාර්ශව එකතු කරගෙන ඉදිරියේ දී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

******************************************

දයාසිරි ජවිපෙ ගැන කීවේ පක්ෂ මතය නොවේ – ඇමති අමරවීර කියයි

(27.12.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

තම පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ මතය නොවන බව ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

කටුවන ප්‍රදේශයේ ඊයේ (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

ගාලු කොටු පවුරේ බැම්මෙන් පනින්න විරෝධයක් නැහැ – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

(27.12.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් හේතුවෙන් ජීවිකාව අහිමි වූ ගාල්ල – කොටු පවුරේ කොඩිගල මත සිට මුහුදට පනින තරුණයන්ට මීට පෙර සිදුකළ පරිදි දිව ගොස් කොඩිගල මතින් මුහුදට පැනීමට අවසර හිමි නොවුණ ද බැම්ම මත සිට එම කාර්ය සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළා.

අදාළ පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදුකළ කැණීම්වලදී ලන්දේසි යුගයේ කොඩි ගහක් සහ ප්‍රදීපාගාරයක සලකුණු ද අදාළ ස්ථානයෙන් මතු වී තිබෙනවා.

ගාලු කොටුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ මෙම තරුණයන්ගේ මුහුදට පැනීමේ දර්ශනය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධව ඇත්තේ ගාලු කොටුවේ මාරක පිම්ම ලෙසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *