නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත්

නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත්

*********************************************

නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත්

(26.12.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාවට ලබාදුන් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,366,943 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (25) නත්තල් දිනයේ ලබාදුන් තවත් තුන්වන (3) මාත්‍රා 36,552 ක් සමඟින්.

ඊයේ (25) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රා 147 ක් සහ දෙවන (2) මාත්‍රා 369 ක් ලබාදී තිබෙනවා.

ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රා 120 ක් ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රා 8 ක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 5,83,251 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 9252 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,59,128 ක්. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 14,871 ක් ෴

+++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 308 දෙනෙකු සුවය ලබයි

(26.12.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 308 දෙනෙකු අද (26) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග වෛරසය ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,59,436 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගල මරණ 13 ක් අද (26) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මේ වනවිට මෙරට තුළ වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 14,884 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 398 දෙනෙකු අද (26) දිනයේ දී වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,83,649 ක්. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 5,59,436 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදිතව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,329 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 3 ක් ගැටී 7 දෙනෙකු රෝහලේ

(26.12.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (26) අලුයම ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටී අනතුරුව පසුපසින් පැමිණි වෑන් රථයේ ද ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූවන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රියදුරු, රිය සහයකයා සහ වෑන් රථයේ ගමන් ගත් 5 දෙනෙකු වන අතර වෑන් රථයේ පිරිස කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිට ඇති බව සඳහන්.

******************************************

හිටපු කෘෂිකර්ම ලේකම් ඉවත් කිරීම ගැන ආණ්ඩුවේ පක්ෂ දෙකක (2) අදහස්

(26.12.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ තනතුරෙන් ඉවත් කිරීම පිළිබදව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකක නියෝජිතයින් අද (26) විවිධ අදහස් පළ කළා.

හම්බන්තොට – මිද්දෙනිය ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ දක්ෂයින් තනතුරුවලින් ඉවත් වීම මෙන්ම ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමාට කළ හැකි දෙයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජයේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම එම විෂය පිළිබඳව ප්‍රායෝගික දැනුමද තිබිය යුතු බවයි.

******************************************

බස් ගාස්තුත් බදාදා සිට ඉහළට ?

(26.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

සංශෝධනවලට යටත්ව එළඹෙන බදාදා (29) සිට බස් ගාස්තු සුළු වශයෙන් ඉහළ දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර – අංකුඹුර ප්‍රදේශයේ අද (26) පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

******************************************

මෙරට කෘෂිකර්මාන්තය විනාශ වීමට හේතුව හෙළි කරන සජිත්

(26.12.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ අත්තනෝමතික තීන්දු හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා හම්බන්තොට දී තම අදහස් පළ කළා.

******************************************

පුලතිසිපුරයෙන් නැගෙන පොහොර අදෝනාව

(26.12.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රමිතියකින් යුත් පොහොර නොලැබීම හේතුවෙන් සිය වගාවන් විනාශ වෙමින් පවතින බවට පොළොන්නරුව දිස්ත්‍රිකයේ වී ගොවීන් පෙන්වා දෙනවා. රජයෙන් ලබා දුන් කාබනික දියර පොහොර හේතුවෙන්ද තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ගොවීන් චෝදනා කළේ.

මෙවර මහ කන්නය යටතේ වගා කරන ලද වී වගාවන් කහ පැහැ වී වර්ධනය බාල වීමත් සමග එම වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්වී ඇති බවට විවිධ ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා. තම වගාවන්ට නිසි ලෙස පොහොර නොලැබීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ මින්නේරිය ව්‍යාපාරය යටතේ වගා කරන ලංකාපුර – ගල්අමුණ ප්‍ර දේශයේ ගොවීන් ඔවුන් වෙත ලැබුණු දියර පොහොර රඳවා ඇති අයුරුයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දියර පොහොර හේතුවෙන් සුනඛයින්ගෙන්ද සිය වගාවන් ආරක්ෂා කර ගැනීමට සිදු ව ඇති බවයි.

බදුල්ල – කන්දේගෙදර ප්‍රදේශයේ එළවළු ගොවීන් පවසන්නේ සිය වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් ජීවිකාව ගෙන යෑමට තිබූ එකම අදායම් මාර්ගයද මේ වන විට අහිමි වී ඇති බවයි.

මේ අතර, පවතින එළවළු හිඟය නිසා එළවළු මිල ගණන් අධික ලෙස ඉහළයාම හේතුවෙන් වගාබිම්වලින් එළවළු සොරකම් කිරීමේ සිදුවීම් මේ දිනවල විටින් විට වාර්තා වුණා.

බණ්ඩාරවෙල මකුල්ලඇල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තක්කාලි ගොවිපොලකින් තක්කාලි සොරකම් කළ බවට පවසමින් එම ගොවිපොලේ පිරිසක් පුද්ගලයෙකුට පහර දී බණ්ඩාරවෙල පොලිසියට භාර දී තිබෙනවා.

******************************************

අමරපුර මහා නිකායට මියන්මාරයෙන් ගෞරව උපාධියක්

(26.12.2021 – 22:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නා හිමියන් වෙත මියන්මාර රජය මගින් ප්‍රදානය කළ අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමීම අද (26) පස්වරුවේ කලපලුවාව ගෝතම තපෝවන බෞද්ධ මධ්‍යස්ථානයේදී ශ්‍රි ලංකා මියන්මාර තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

+——

අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කළ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වන අලියාගේ පහර දීම ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.

+——

රක්ෂිතයක තණකොළ කෑමේ චෝදනාව මත ගවයින් 600 දෙනෙකු අධිකරණ භාරයට ගෙන එම ගවයින්ගේ හිමිකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉපලෝගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වන සංරක්ෂණ නිලධාරින් ඉපලෝගම රක්ෂිතයේ තණකොළ කෑ මෙම ගවයන් සහ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර අත්අඩංගුවට ගත් ගවයන් 600 දෙනා අතරින් විසි දෙනෙකු (20) අත්අඩංගුවේ පසු වූ කාලය තුළ මියගොස් ඇති බවටයි මෙම සතුන්ගේ හිමිකරුවන් චෝදනා කළේ.

මේ වන විට අත්අඩංගුවට ගත් හිමිකරුවන් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ගෙන් මාධ්‍යවේදීන් අනුරාධපුරයේදී ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවයි.

******************************************

අතරමග ඇනහිටි කඩුවෙල – වැලිහිඳ මාර්ග සංවර්ධනය

(26.12.2021 – 22:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කඩා දැමූ කඩුවෙල වැලිහිඳ මාර්ගයේ පිහිටා තිබූ පාලමේ වැඩ මෙතෙක් අවසන් කර නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පාලම අසල විරෝධතාවක නිරත වුණේ මෙලෙසින්.

අතුරුගිරිය – කඩුවෙල සහ කොළඹ – මහනුවර මාර්ගය යා කෙරෙන විකල්ප මාර්ගයේ පිහිටි මෙම පාලමෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදීයි.

******************************************

අහිමි කළ වගා ඉඩම් ලබාදෙන ලෙස බල කරමින් සියඹලාණ්ඩුවේ ගොවි විරෝධතාවක්

(26.12.2021 – 23:28 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් වසර 30 ක් පමණ වගා කළ බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි එම ගොවීන් පවසනවා.

අදාළ ගොවීන් සහ වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවූයේ එවන් පසුබිමකයි.

මොණරාගල – සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්කන්ද, කළුදියඇල්ල සහ හත්ආර ප්‍රදේශවල ගොවීන් මෙම ඉඩම්වල වගා කටයුතු සිදුකර ඇත්තේ වසර 30 ක පමණ කාලයක සිටයි.

නමුත්, එම ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමත් සමඟ සිය වගාබිම් අහිමි වූ බව ගොවීන් පවසනවා.

ඒ අනුව, ප්‍රදේශයේ ගොවීන් 5000 ක් පමණ වගා කටයුතු කළ අක්කර 20,000 ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

******************************************

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

(26.12.2021 – 21:55 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබල පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල ඇතුළු තවත් ප්‍රදේශ රැසකට අද (26) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

මීට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට ද ඊයේ (25) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම ජල කප්පාදුව පැය 12 ක් පුරා බල පැවැත්වෙනු ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ ෴

******************************************

මිරිස්ස තල්මසුන් නැරඹීමේ සංචාරක යාත්‍රාවලට පැනවූ සීමා ඉවත් කෙරේ

(26.12.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ස තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රා හිමියන්ට වනජීවී දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.

තල්මසුන් නැරඹීමට යන සංචාරකයින්ට බාධා ඇති නොවන පරිදි මෙන්ම තල්මසුන්ටද පීඩාවක් ඇති නොවන පරිදි අදාළ පියවර ගත යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ මිරිස්ස සංචාරක යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අතර කොළඹදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම අවස්ථාවට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද කැඳවා තිබුණා.

එහිදි ඉදිරිපත් කළ ගැටළු සැළකිල්ලට ගනිමිනුයි අදාළ උපදෙස් ලබාදී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *