දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි

*********************************************

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි

(26.12.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

අද (26) මධ්‍යම රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දිපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිවක අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග හෙට (27) පෙරවරුවේ සාකච්ජාවක් ලබාදීමට කටයුතු කිරීමත් සමගයි.

අදාල සාකච්ජාව පෙරවරු 10 ට පැවත්වීමටයි නියමිතව තිබුණේ.

එම සාකච්ජාවේදි තම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබා නොදුනහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.

කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර ලබානොදීම සහ ප්‍රවාහන කටයුතු සදහා පාර්සල් නොගැනීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

******************************************

හෝරා කිහිපයකට දුම්රිය වර්ජනය අතරමග නවතියි

(26.12.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය බලධාරීන් සමග හෙට (27) පෙරවරුවේ පැවත්වෙන සාකාච්ඡාවෙන් විසඳුමක් නොලබුණහොත්, ඒ මොහොතේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර දුම්රිය නියාමක සහ දුම්රිය එන්ජිම් රියදුරන්ගේ සංගමය පවසන්නේ දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ වර්ජනය අවසන් නොවුණහොත්, සිය සංගම් ද හෙට (27) දිනයේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවයි.

දුම්රිය සමාන්‍යධිකාරීවරයා සමග සාකාච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඔවුන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දෙපාර්මේන්තුවේ බලධාරීන් සමග හෙට (27) පෙරවරු 10 ට සාකාච්ඡාවක් ලබාදීම හේතුවෙන් එම වර්ජනය එතෙක් කල් තබා තිබෙනවා.

එම සාකාච්ඡාවේදී තම ගැටලු සඳහා විසදුම් නොලැබුණහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 23 වනදා ආරම්භ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන්ට සමාන්‍ය ප්‍රවේශ පත් නිකුත් කිරීමෙන් වැලකී සිටි අතර ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්මේන්තුවට දෛනිකව රුපියල් මිලියන 05 ක පමණ පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වනවා.

අද (26) දිනයේදීත් ස්ථානාධිපති සංගමය දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය මගීන්ට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමි වුණා.

******************************************

කටානේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ හතරකට (4) තුවාල

(26.12.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

කටාන – දෙල්ගස්හන්දිය අසළ ඊයේ (25) සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ දරු දෙදෙනා (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ නත්තල් දින මධ්‍යම රාත්‍රියේ පැවති දේව මෙහෙයට සහභාගිවී සිය නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ අට (8) හැවිරිදි සහ දොළොස්වන (12) වියේ පසුවන දරුවන් දෙදෙනා (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, මව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පියා සහ අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථයේ රියදුරා දලුපොත එළිමහන් සිර කඳවුරේ සේවය කරන බන්ධනාගාර නිලධාරියෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

ආහාර හිඟයක අවදානමක් ගැන කෘෂි විශේෂඥයන් අනතුරු අඟවයි

(26.12.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකල සමීක්ෂණයකට අනුව ලබන වසරේදී ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යමින් රට තුල ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට කෘෂි විශේෂඥයන් අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වයට කඩිනම් විසඳුම් නොමැති වුවහොත් ලබන මාර්තු මස පමණ වනවිට සහල් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ යාමේ තත්වයක් ඇති විය හැකි බවයි.

මේ වන විට දිවයින පුරා වෙළඳපොලේ හටගෙන ඇති කිරිපිටි, ගෑස්, භූමිතෙල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තවදුරටත් පවතින අතර ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සහ ජීවන වියදම ඉහළ යාම වලක්වා ගැනීමට ඇති එකම විසඳුම රට තුල නිෂ්පාදනය පුළුල් කිරීම බැවින් ජනවාරි මස සිට වගා සංග්‍රාමයක් අරඹන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (25) ඉල්ලා සිටියා.

******************************************

කුඩා ට්‍රක් සහ ලොරි හිඟයක්

(26.12.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

පනවා ඇති වාහන ආනයන තහනම හේතුවෙන් මේ වනවිට රට තුළ කුඩා ට්‍රක් රථ සහ ලොරි රථ හිඟයක් හටගෙන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වාහන ආනයන තහනම තුලින් ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා විදෙස් රටවල භාවිත කරන ලද වාහන අඩු මිලට ආනයනය කිරීමේ විකල්ප ක්‍රමවේදයන්ට හෝ යොමු විය යුතු බවයි.

මේ වනවිට ක්‍රියාත්මක වාහන ආනයනයට අවසර ලබා නොදීමේ තත්වය හමුවේ වෙළඳපොලේ වාහන සහ අමතර කොටස්වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා ෴

******************************************

පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් තරුණියකට වංචාවක් කළ යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට

(26.12.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු ලෙසට වංචනිකව පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශණයකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (25) පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 34 ක් වයසැති අයෙක් වන අතර ඔහු යුද හමුදා සෙබලෙක් බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරු සතුව තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංඡන සහිත නිල ඇඳුමක්, නිල ඇඳුමෙන් ලබාගත් ඡායාරූපයක් මෙන්ම ව්‍යාජ රුපියල් පන්දහසේ (5000) නෝට්ටු දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අද (26) පොළොන්නරුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ තරුණියගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදුකරනවා ෴

******************************************

ආරුගම්බේ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන්

(26.12.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් ආරුගම්බේ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (25) උදෑසන තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී ඔහු අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ඔහු සොයා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ (25) උදෑසන පිළියන්දල කොස්පැලෑන පාලමෙන් පුද්ගලයෙකු බොල්ගොඩ ගගට පැන අතුරුදන්ව තිබෙනවා.

ඔහු කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

නාවික හමුදාව සමග එක්ව පොලිසිය එම අතුරුදන් වූ පුද්ගලයා සොයා විමර්ශන සිදුකරනවා ෴

******************************************

රිය අනතුරු කිහිපයකින් 5 ක් මරුට

(26.12.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

තිස්සමහාරාම, ගිරිඋල්ල, බලංගොඩ, නොරොච්චෝල සහ පන්නල ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

+—–

තිස්සමහාරාමය – බෙරලිහෙල මාර්ගයේ ගම්මාන තුන ප්‍රදේශයේදී අපරික්ෂාකාරි ලෙස ධාවනය කළ කැබ් රථයක් වාහන කිහිපයක ගැටී සිදුවු අනතුරකින් එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වු කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථ දෙක (2) හා යතුරු පැදියක (1) මුහුණට මුහුණ ගැටී ඇති අතර, මාර්ගයේ නවතා තිබු ත්‍රීරෝද රථයක (1) හා යතුරු පැදියක (1) ද ගැටී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබු යතුරු පැදිකරු හා ත්‍රීරෝද රථයක් පැදවු කාන්තාවක දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි යතුරුපැදිකරු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

71 හැවිරිදි ඔහු තිස්සමහාරාමය බෙරලිහෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

තුවාල ලැබු කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතරථ, කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+—–

පන්නල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්.

අපරීක්ෂාකාරී ලෙසට ධාවනය වූ ලොරියක් ත්‍රී රෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අදාළ ත්‍රී රෝද රථයේ සහ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

ලොරියේ රියදුරා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනා.

+—–

මේ අතර නොරොච්චෝල, උඩප්පුව 01 කණුව ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු පාලවිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

+—–

මේ අතර බලංගොඩ ඕලුගංතොට ප්‍රදේශයේදී බදුල්ල දෙසට අපරීක්ෂාකාරීව ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගය අසල කාර්මික දෝශයක් හේතුවෙන් නතර කර තිබූ ලංගම බසයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරුව එම ත්‍රී රෝද රථය ඉදිරියෙන් පැමිණි කුඩා ලොරියක ද ගැටී ඇති අතර අනතුරින් රියදුරා සහ පිටුපස අසුනේ ගමන් කළ දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.

ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරා මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු ඕලුගංතොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

අනතුරට අදාළව බස් රථයේ රියදුරා සහ ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+—–

මේ අතර ගිරිඋල්ල නාරම්මල මාර්ගයේ දඹදෙණිය මහා විද්‍යාලය අසලදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් මරණයට පත්වුණා.

පාසල අසල පදික මාරුව මතදී නාරම්මල දෙසට අපරීක්ෂාකාරීව ධානය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය කළ මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි එම අනතුර සිදුවී ඇත්තේ.

යතුරුපැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකරු මරණයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගැණුනා ෴

******************************************

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ අදහස් විමසීම අරඹයි

(26.12.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කර තිබෙනවා.

ඊයේ (25) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි පළාතේ ආගමික නායකයන්, ස්වෙච්ඡා සංවිධාන, වෘත්තීයවේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව කමිටුව හමුවේ අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පැමිණි පිරිසට ස්තූතිය පළ කරමින් කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම කාර්යය පිළිබඳ ජනාධිපතිවරයාගේ ඇති උනන්දුව තේරුම් ගෙන ඇති බැවින් නියමිත කාලසීමාවට පෙර කමිටු වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

යම් කාලයක් ගත වුවද සියලු ජන කොටස් වලට සාධාරණය ඉටු වන සහ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට කැප වන බවටයි උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සභාපතීත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි.

මීට පෙර උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංචාරය කොට එම එම පළාතේ ජීවත්වන ජනතාවගේ සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයිනම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන සහ පුද්ගලයන්ගේ අදහස් ලබා ගනු ලැබුවා.

අද (26) සහ හෙට (27) දෙදින තුළ ද මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීම තවදුරටත් සිදු කෙරෙනවා.

කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට 011 269 1775 අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ‘කාමර අංක 3G-19, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7’ යන ලිපිනයට තැපැල් මඟින් හා ocol.consultations@gmail.com යන ඊමේල් ලිපිනයෙන් විද්‍යුත් පණිවුඩ මඟින් ද අදහස් පළ කිරීමට හැකි බව කමිටුවේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය සඳහන් කළා ෴

******************************************

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්

(26.12.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

එය මේ වනවිට සාකච්ඡා මට්ටමේ පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ක් පවතින අතර, ඉන් 14 ක් මේ වනවිට පවතින්නේ ඉන්දියන් ඔයිල් සමාගම සතුවයි.

අනෙකුත් තෙල් ටැංකි 85 ක් භාවිතයට නොගෙන පවතිනවා. ඒ අනුව භාවිතයට නොගෙන පවතින තෙල් ටැංකිවලින් ටැංකි 24 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිහරණයට ගැනීමට සාකච්ඡා සිදුවන බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එසේම භාවිතයට නොගන්නා තෙල් ටැංකිවලින් ටැංකි 61 ක් ඉන්දීය ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව සංවර්ධනය කිරීමටද යෝජනා වී ඇති බව සඳහන්.

ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව අනුබද්ධ සමාගමක් පිහිටුවීමට ද යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම යෝජනා තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර, ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණි පසු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු කෙරෙනු ඇති.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් ඊයේ (25) රාත්‍රියේ පන්දම් දල්වමින් සහ අද (26) දිනයේත් ප්‍රදේශ රැසකම තවත් විරෝධතා සංවිධාන කර තිබුණා.

එසේම බලපිටිය ප්‍රදේශයේ ධීවර ක්‍ෂේත්‍රයේ නිරතවන පිරිසක්ද සිය ධීවර යාත්‍රා ඉදිරිපිට සිටිමින් අද (26) විරෝධතාවක නිරතවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *