සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක්

සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක්

*********************************************

සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක්

(26.12.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ලොව රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 ක්.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න ගැඹුරු මුහුදේ හටගත් ප්‍රබල භු කම්පනයක් හේතුවෙනුයි සුනාමි රළ රටවල් රැසකට කඩා වැදුනේ.

එම කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 9.0 ලෙසට පසුව අනාවරණ කෙරුණා.

මෙම සුනාමි තත්වය හමුවේ ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් රැසකින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,28,000 කට ආසන්නයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35,000 කට ආසන්නයි.

ඉන් දෙදහසකට (2000) ආසන්න පිරිසකට දිවි අහිමි වූයේ ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ ගමන් කරමින් සිටියදීයි.

ඒ අනුව 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ‘ජාතික සුරක්ෂිතතා දිනය’ ලෙසට ප්‍රකාශයට පත් කර ඇති අතර සුනාමි ඇතුලු ආපදා හමුවේ මියගිය සියලු ජනතාව සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද (26) පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) කාලයක් නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසටයි ‘ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’ ජනතාවට දැනුම් දෙන්නේ.

මෙහි ප්‍රධාන අනුස්මරණ වැඩසටහන හෙට (27) හික්කඩුව – පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පිහිටි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතයි.

වර්තමානයේ පවතින කෝවිඩ්-19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය අය සිහිපත් කිරීමට සර්ව ආගමික වතාවත් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු සංවිධානය කර තිබෙනවා.

‘ජාතික සුරක්ෂිතා දින’ ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද (26) පෙරවරු 09:00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අභියස දී පැවැත්වෙනවා.

ඊට සමගාමීව සියලු දිස්ත්‍රික්කවල ආගමික වැඩසටහන් සිදුකිරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙනවා.

මේ අතර සුනාමි රළ පහරින් අනතුරට ලක්වූ දුම්රිය අද (26) විශේෂ ගමන් වාරයක් ලෙසට බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන අතර එය පැරෑලියේ නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ පසුගිය වසරේ (2020) සුනාමි සැමරුම් දිනයේදී එම දුම්රිය ධාවනය කෙරුණේ නැහැ.

මෙවර විශේෂ උත්සව සැමරුම් නොමැති වුව ද බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය පැරෑලියේ නතර කර සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයන් සිහි කර යළිත් ධාවනය කිරීමටයි සූදානම් කර ඇත්තේ.

අදාළ දුම්රියෙහි එන්ජිම මේවන විට සුනාමි රළ සිතුවම් කර කොළඹ මඩකලපුව මාර්ගයේ ධාවනයට එක්කර තිබෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සංවිධාන කරන ජාතික සුරක්ෂිත දින වැඩසටහන පෙරවරු 08:45 ට කාක දූපතේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද එක්වනු ඇති ෴

+++++++++

සුනාමි ඛේදවාචකයෙන් මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් දිවයින පුරා සැමරුම්

(26.12.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණදුන් දැවැන්තම ස්වභාවික ඛේදවාචකය සිදුවී අදට (26) වසර 17 ක් සපිරෙනවා.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසළ සිදුවූ ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් ඇතිවූ සුනාමිය මෙරට 31,000 කට අධික පිරිසකගේ ජීවිත අහිමි කළ අතර, 5000 කට ආසන්න පිරිසක් අතුරුදන් කළා.

දිනය 2004 දෙසැම්බර් 26 වැනිදා, කිතුණු බැතිමතුන් බැතියෙන් සැමරූ නත්තල් දිනයට පසුදා මෙරට බොදු බැතිමතුන්ද විහාරස්ථානවලට එක්රොක් වුණේ එදින උඳුවප් පෝ දවසක් වූ බැවින්.

නමුත් ඒ වන විට මෙරටින් කිලෝ මීටර් 2500 කට පමණ එපිටින් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ගැඹුරු මුහුදේ දැවැන්ත භූ කම්පනයක ප්‍රතිඵල ඉන්දියානු සාගරයම කළඹමින් තිබූ බව මෙරට ජනතාව දැන සිටියේ නැහැ.

කෙසේ වෙතත් උදෑසන 07:58 ට පමණ සුමාත්‍රා මුහුදේ කිලෝමීටර් 30 ක් ගැඹුරින් සිදු වූ රිච්ටර් මාපාංක 9.1 ක කම්පනයෙන් නිර්මාණය වූ ප්‍රචණ්ඩ රළ පහර ඉන් පැය කීපයකට නිහඩව නමුත් බියකරු ලෙස පැමිණ නැගෙනහිර මුහුදු තීරය බිලිගත්තා.

ඉන් විනාඩි කීපයකට පසු දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළාසන්න ප්‍රදේශ සුනාමි රළ රකුසාට බිලිවුණා.

ඒ විනාඩි කිහිපයක ව්‍යසනය විසින් මෙරට ජීවිත 31,229 ක් බිලිගත් අතර ඉන් 4093 කගේ මෘත ශරීර හෝ සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

2004 සුනාමිය විසින් රටවල් 14 ක 2,28,000 කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් බිළිගත් බවයි පසුව වාර්තා වුණේ.

මෙතෙක් ඉතිහාසයේ සිදු වූ තුන්වැනි (3) විශාලතම භූ කම්පනයෙන් මෙරටට කළ හානිය අතිවිශාලයි.

සුනාමි ව්‍යසනය හා සබැඳි අතිශය සංවේදී සිදුවීම් කිහිපයක්ම අදටත් ජන මනස සසල කරවීමට සමත් බවට විවාදයක් නැහැ.

කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ඛේදවාචකය, ගාල්ල බස් නැවතුම්පොළේදී සයුරු රළ සමඟ පොර බැදූ තරුණියන් මෙන්ම සුනාමියෙන් මව්පියන් මගහැරී ගොස් යළි හමුවීම හේතුවෙන් ජාත්‍යන්තරයට පවා ගිය බේබි-81, ඒ අතුරින් කිහිපයක් පමණයි.

මේ අනපේක්ෂිත විනාශයෙන් පසු සුනාමි යන වචනය මෙරට ශබ්ද කෝෂයට අලුතින් එක් වූ අතර ඉන් වසර ගණනාවක් යනතුරාම එය මෙරට ජනමාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වූ තේමාවක්ද වුණා.

වසර 17 ක් තිස්සේ සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා පෙරවරු 09:25 ට මෙරට ජනතාව ඒ බියකරු මොහොත ගැන යළි සිහිපත් කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමකින්.

සුනාමි ඛේදවාචකයේ 17 වැනි සැමරුම වෙනුවෙන් අද (26) දිවයින පුර විවිධ වැඩසටහන් සංවිධාන කර තිබූ අතර, දිවි අහිමිවූවන් සිහිපත් කෙරුණු මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව ආරම්භ වූයේ පෙරවරු 09:25 ටයි.

1700 කට ආසන්න පිරිසකට දිවි අහිමි කරමින් පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ දුම්රිය ගමනේ අඳුරු මතකය සිහිපත් කරමින් අද (26) පෙරවරු 06:50 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියක් ගමන් ආරම්භ කළා.

එලෙස ගමන්ගත් දුම්රියේ එන්ජිම එදා බිහිසුණු ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිමම වීම විශේෂත්වයක්.

එම දුම්රිය ගමනට පැරෑලිය දුම්රිය අනතුරෙන් මියගිය පිරිසගේ ඥාතීන්ද එක්ව සිටියා.

දුම්රියෙන් ගමන්ගත් පිරිස පැරෑලිය ජිනරතන විද්‍යාලය අසළදී දුම්රියෙන් බැස හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසළ සංවිධාන කර තිබූ සුනාම් සැමරුම් උත්සවයට එක්වුණා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සංවිධාන කළ ජාතික සුරක්ෂිත දින වැඩසටහන අද (26) පෙරවරු 08:45 ට වාර්තාවුණේ මට්ටක්කුලිය – කාකදූපතේදියි.

මීට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) සුනාමි ඛේදවාචකය අනුස්මරණය කරමින් සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

++++++++

++++++++++

සුනාමියට ගසාගෙන ගිය සිහිනය

(26.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණදුන් දැවැන්තම ස්වභාවික ඛේදවාචකය සිදුවී අදට වසර 17 ක් ගතවුවත් එහි අඳුරු මතකයන් තවමත් පහව ගොස් නැහැ.

රුදුරු සුනාමියෙන් බැට කෑ ඇතැම් මිනිසුන්ට උන්හිටි තැන් පවා අහිමි වී යද්දී බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඔවුන්ට තවමත් සිදුව ඇත්තේ අනාරක්ෂිත ජීවිතයක් ගත කරන්නටයි.

මාතර මිරිස්ස නිරිවැල්ල ප්‍රදේශයේ පදිංචි ලසිකා ජයමාලිට 2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පවුලේ සාමාජිකයින් සමග යාන්තම් දිවි බේරාගත්තත් ජීවත් වූ නිවස නම් බේරාගැනීමට හැකිවුණේ නැහැ.

රුදුරු වූ සුනාමි රළට ඇගේ නිවස හා බඩු භාණ්ඩ සියල්ලම මුහුදට ගසාගෙන ගියේ සිත්පිත් නැති අයුරින්.

නිවස අහිමිවී වසර 17 ක් ගෙවුණු පසුවත් පෞද්ගලික සමාගමක් විසින් සාදා දුන් කුඩා නිවසක පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු සමග ඇය මේවන විට ජීවත්වන්නේ ඉතාමත් අසීරුවෙන්.

මෙම ගම්මානයේ තවත් එවැනිම අබලන් නිවාස 20 ක් පමණ තිබෙනවා.

ඔවුන්ගේ එකම බලාපොරොත්තුව නොතෙමී ජීවත් වීමට හිසට සෙවණක් පමණයි.

එවන් පසුබිමක සුනාමියට හසුවී ජීවිත, නිවාස, ඉඩකඩම් අහිමිවූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස රැසක් විනාශවීමේ පුවතක් අපට වාර්තා වුණේ ගාල්ල – දඩල්ල ප්‍රදේශයෙන්.

නිවාස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් බවට සඳහන් දැන්වීම්ද අලවා ඇති නිවාසවල අද තත්ත්වය ශෝචනීයයි.

සුනාමියෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදි කළත් ජනතාවට ලබානොදී විනාශ මුඛයට යන මෙම නිවාස පිළිබඳව අප අනාවරණ කළේ වරක් දෙවරක් නොවේ.

වසර 17 ක් ගතවුණත් තවමත් බලධාරීන්ගේ දෑස් යොමු නොවූ මෙම නිවාස සුනාමියෙන් නිවාස අහිමිවූවන්ට ලබා නොදෙන්නේ කුමන හේතුවකට යන්න අපට ඇත්තේ අබිරහසක්.

++++++++

සුනාමියෙන් මියගිය අය සිහිකර අරලියගහ මන්දිරයේ පහන් දල්වයි

(26.12.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

අදට (26) වසර දහහතකට (17) පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පහන් දල්වා තිබෙනවා.

පෙරවරු 09:25 සිට 09:27 දක්වා මිනිත්තු දෙකක (2) නිහඬතාවයකට එක්වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මියගිය අය සිහිපත් කරමින් පහන් දැල්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මීට අමතරව දිවයින පුරා ද සැමරුම් ක්‍රියාත්මක වුණා.

******************************************

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණික තත්වයක් – නුවරඑළියට අදත් මල් තුහින

(26.12.2021 – 05:43 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම් කාලයේදී තරමක ශීත කාලගුණික තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම උතුරු මැද දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

******************************************

‘ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය’ ඓතිහාසික මෙහෙයුම අරඹයි

(26.12.2021 – 05:47 +0530 – hirunews.lk/sinhala)

විශ්වයට ආලෝකය සපයන ප්‍රබල ග්‍රහ තාරකාවන් අනාවරණ කර ගැනීමේ අරමුණින් ‘ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය’ පෘථිවියෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ඓහතිහාසික ගමන වෙනුවෙන් යොදවා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 10 කට අධිකයි.

ප්‍රංශ ගයනාවේ කොවුරු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි රොකට්ටුවක් මගින් දුරේක්ෂය රැගෙන යනු ලැබුවේ.

එය පෘථිවි කක්ෂය වෙත ළගාවීමට පැය භාගයක පමණ කාලයක් ගතවී ඇති අතර එහි ගමන සාර්ථක බවට කෙන්යාවේ මලින්දි ප්‍රදේශයේ ස්ථාපිත ඇන්ටනාවක් මගින් ලබාගත් සංඥා අනුව තහවුරු කරගෙන තිබෙනවා.

සඳ මතට ගොඩබස්වනු ලැබූ ඇපලෝ යානයේ එක් නිර්මාණ ශිල්පියෙකුගේ නමින් මෙම අභ්‍යාවකාශ දුරේක්ෂය නම් කර ඇතැයි සඳහන්.

ජේම්ස් වෙබ් දුරේක්ෂයට අදාළ නිරීක්ෂණාගාරය ඇමරිකා එක්සත් ජනපද යුරෝපා සහ කැනේඩියානු අභ්‍යාවකාශ ආයතන සමග ඒකාබද්ධව ඉංජිනේරුවන් විසින් තාක්ෂණයෙන් ඉතා ඉහළ ආකාරයෙන් ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියාසිටියේ.

මෙය මෙතෙක් ලොව නිශ්පාදිත විශාලතම අභ්‍යාවකාශ දුරේක්ෂය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

එය පෘථිවියට කිලෝමීටර් මිලියන 1.5 ක් ඔබ්බෙන් ස්ථාපිතව නාසා ආයතනය වෙත තොරතුරු ලබාදීම සිදුකරනු ඇති.

ඩොලර් බිලියන 9 ක වියදමකින් තැනූ මෙම අධෝරක්ත කිරණ දුරේක්ෂය මගින් ඉදිරි දශකය තුළ මුල්ම තාරකා මඩුලු නිර්මාණය වීමේදී ඇතිවූ ආලෝක ධාරා ග්‍රහණය කරගැනෙනවා.

දකුණු ඇමරිකාවේ පිහිටි ප්‍රංශ ගයානාවේ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට අයත් ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ (25) නත්තල් දා නික්මුණු රොකට්ටුව මිනිත්තු විසි හතරකට (24) පසු දුරේක්ෂය පෘථිවියෙන් සැතපුම් 865 ක් ඈතින් පිහිටි අභ්‍යවකාශයට මුදාහරිනු ලැබුවා.

එය ඉදිරි දින 13 තුළ ස්වයං මාර්ගයකට අවතීර්ණ වනු ඇති. ඉන් සති දෙකකට (2) පසුවයි එය, පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් පිහිටි සූර්ය කක්ෂයට පිවිසෙන්නේ.

මෙය හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සිය ගුණයක් (100) පමණ සංවේදී විප්ලවකාරී නිර්මාණයක් ලෙසයි සැළකෙන්නේ ෴

******************************************

නුවරඑළියේ නිවසක අභිරහස් මළ සිරුරක්

(26.12.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය පීඩෲ වත්තතේ පිහිටි නිවසක අභිරහස් ලෙසට මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (25) මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ එම වතු යායේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වතු යායේ නොමැති බවට වෙනත් කම්කරුවන් පිරිසක් විසින් පොලිසියට සිදු කළ දැනුම්දීමකට අනුව පොලිසිය පැමිණ නිවස විවෘත කර බැලීමේදී සිරුර සාලයේ වැටී තිබී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයාගේ හිස ප්‍රදේශයේ සිදුවූ තුවාලයකින් අධික ලෙස ලේ වහනය වී ඇතැයි පසුව සිදු කළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඝාතනය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර තම සැමියා සමග සිදුවූ දබරයකින් අනතුරුව තමා නිවසින් පිටවී ඥාති නිවසකට ගිය බවට පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී බිරිඳ ප්‍රකාශකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *