ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

*********************************************

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

(25.12.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාළව ඊයේ (24) රාත්‍රියේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අද (25) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ෴

******************************************

ඉල්ලූ ගාණ නො ගෙව්වාට නගරයට පැමිණි අමුත්තාට ගුටි පූජාවක්

(25.12.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

නත්තල් දින නිවාඩුව ගත කිරීම සඳහා සිය ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබෙනවා.

අවිස්සාවේල්ල සිට හැටන් – දික්ඔය පොඩයිස් වතුයායේ පිහිටි සිය ඥාති නිවසට අද (25) අලුයම පැමිණි තරුණයෙකුටයි, මෙම පුද්ගල කණ්ඩායම විසින් මෙලෙස පහර දී ඇත්තේ.

සැකකරුවන් තරුණයාට පහර දී ඔහුව ත්‍රීරෝද රථයකට නංවාගෙන රැගෙන ගොස් පහර දී, යළිත් එම ත්‍රී රෝද රථයෙන් ම ගෙනැවිත් බිමට ඇද දා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (25) අලුයම 05:30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ හැටන් නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව ඉදිරිපිටදීයි.

මෙම පහර දීමට හේතුව වී ඇත්තේ, අදාළ තරුණයා සිය ඥාති නිවසේ සිට යළි අවිස්සාවේල්ල සිය රාජකාරි කටයුතු කරන මධ්‍යස්ථානය වෙත යාමට පැමිණි ත්‍රීරෝද රථයෙන් පොරොන්දු වූ කුලීරථ ගාස්තුව ඉක්මවා එම ගණන දෙගුණයක් කර ඉල්ලීමයි.

එනම්, කුලීරථ රියැදුරා සමග සිය ඥාති නිවසට ගොස් යළි එම රථයේම අවිස්සාවේල්ල බලා යාමට පැමිණ ඇත්තේ රුපියල් 600 ක පොරොන්දු ත්‍රීරෝද කුලී රථ ගාස්තුවට ද එකඟවෙමින්.

එහෙත් ගමනාන්තය අවසානයේ දී ත්‍රී රෝද රථ රියැදුරු විසින් 600 ක මුදල ප්‍රමාණවත් නොවන බවත්, ගාස්තුව ලෙස රුපියල් 1800 ක මුදලක් ලබාදෙන ලෙසත් මෙම තරුණයාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල තරුණයා ලබා නොදීම හේතුවෙන් ඔහු පැමිණි ත්‍රීරෝද රථයේ රියැදුරා විසින් අසල ත්‍රී රෝද රථ රියැදුරන් සමග එක් වී තරුණයාව රථයට බලහත්කාරයෙන් ම නංවාගෙන ගොස් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පහර දීම අසල තිබූ සී.සී.ටී.වී.කැමරාවක ද සටහන් ව තිබුණේ මෙලෙසින්.

එහෙත් තරුණයා විසින් අදාළ හිරිහැරය හෝ පහරදීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති අතර, ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මෙතෙක් ආරම්භ වී නැති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

******************************************

නත්තල් සාදයකට ගිය අයෙක් බොල්ගොඩ ගඟට පනී

(25.12.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – කොස්පැලෑන පාලමින් බොල්ගොඩ ගඟට පැන ඇති පුද්ගලයෙකු සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ නත්තල් සාදයක් පවත්වා යළි සිය නිවසට පැමිණෙන අතරතුර ඔහු එලෙස බොල්ගොඩ ගඟට පැන ඇති බවයි.

එම පුද්ගලයා මොරටුව – මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

ඔහු බොල්ගොඩ ගඟට පැන ඇති ප්‍රදේශය කිඹුලන් බහුල ප්‍රදේශයක් බව ද පොලීසිය ප්‍රකාශ කළා ෴

******************************************

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි ?

(25.12.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 31 වෙනිදායින් පසු තමා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වනවා.

එම ලිපියෙන් ආචාර්ය ජයසුන්දර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, ලබන ජනවාරි 31 වෙනිදායින් පසු තමා ජනාධිපති ලේකම් ධුරයෙන් නිදහස් කරන ලෙසයි.

මෙම ලිපියේ ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරය දැරූ කාල සීමාව තුළ දී ඔහු මුහුණ පෑ සියලු දුෂ්කරතා සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගත් ඇතැම් තීන්දු තීරණ පවතින රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ රජයේ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ඉහළ නිලධාරීන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වුණා ෴

******************************************

යහපාලන රජයේ මැති ඇමතිවරුන් 13 ක් තවමත් මන්ත්‍රී නිවාස භාර දී නැති බවට හෙළි වේ

(25.12.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

2015 මහ මැතිවරණයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් 13 දෙනෙකු තවමත් නිල නිවාස භාර දී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ මැති ඇමතිවරුන් පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ අය වන අතර, තවමත් ඔවුන්ගේ බඩු භාණ්ඩ ආදිය අදාළ නිවෙස්වලින් ඉවත් කර ගැනීමක් සිදුකර නැහැ.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවද සඳහන්. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයට අයත් නිවාස භාවිත කළ මැති ඇමතිවරුන් පිරිසක් බවයි.

ඉන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අය බව ද සඳහන් ෴

******************************************

වැඩි වූ ජීවන වියදමට එරෙහිව පන්දම් පෙළපාලි – වෙළඳ ඇමතිගෙන් වගා සංග්‍රාමයකට ඇරයුම්

(25.12.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යෑම සහ ජීවන වියදම ඉහළ යෑමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වා ඊයේ (24) රාත්‍රියේ විරෝධතා පෙළපාලි සංවිධාන කර තිබුණා.

ඒ අනුව රිකිල්ලගස්කඩ, හෙට්ටිපොල, මින්නේරිය, කහවත්ත, දිවුලපිටිය, වව්නියාව ඇතුළු නගර රැසක මෙලෙස විරෝධතා පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම, තඹුත්තේගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ඉදිරියේදී වගා සංග්‍රාමයකට යෑමට යෝජනා කර ඇති බවයි.

මේ අතර, ගෑස් අර්බුදය හේතුවෙන් භූමිතෙල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට පැමිණ සිටි ජනතාව අදත් දිගු පෝලිම් හේතුවෙන් දැඩි අපහසුතාවයකට ලක්වුණා ෴

******************************************

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 29 වැනිදා

(25.12.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 48,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වැනිදා සිදු කෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 13,500 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 15,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

ලබන වසරේ (2022) ඇතිවන ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

(25.12.2021 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2022) මුල් මාස තුන (3) තුළ යලිත් රට තුල එළවළු හිඟයක් ඇතිවන බව සමස්ථ ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබන වසරේ මුල් මාසය තුළ ලබා දුන්න ද අස්වැන්න ලබා ගැනීමට මැයි, ජුනි මාස දක්වා බලා සිටිමට සිදු වන බැවින් එම තත්ත්වය ඇතිවිය හැකි බවටයි එහි සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර වගාවන් සඳහා ප්‍රමාණවත් පොහොර නොමැතිවීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි.

වී වගාව සඳහා අවශ්‍ය වල්නාශක රජය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ගොවීන් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ද, ඔවුන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ඒ සිය වගාවන් සඳහා මාසයක කාලයක් ගතවී තිබුණ ද මෙතෙක් කිසිදු වල්නාශකයක් හෝ පොහොර නොලැබීම හේතුවෙන්.

මින්නේරිය ගල්අමුණ ප්‍රදේශයේ වී ගොවීන් පවසන්නේ මේ වන විට තම ගොයම වල් ශාකවලට බිලිවී ඇති බවයි.

ගිරිතලේ ගොවිජන ව්‍යාපාරය යටතේ වගාකරන ගොවීන් පවසන්නේ මහ කන්නයේ වී වගාව සදහා මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා කිසිදු රසායනික පොහොරක් ලැබී නොමැති බවයි.

මේ මහනුවර පිටවෙල ප්‍ර දේශයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පොහොර නොමැති වීමෙන් විනාශයට පත් වී ඇති අයුරුයි.

පිටවෙල ගොවීන් පවසන්නේ සිය වගාවන් සදහා පොහොර ලබා දෙන බවට පවසා රජයෙන් මුදල් එකතු කළ ද මේ වන තෙක් පොහොර නොලැබුණ බවටයි.

පොහොර නොමැති වීමෙන් මහනුවර ප්‍රදේශයේ අමුමිරිස්, රාබු සහ පතෝල ඇතුළු එළවළු ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයටයි.

රජයේ කෘෂි ව්‍යසායකයින්ගේ ජාතික එකමුතුව ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ පවතින පොහොර ගැටලුව හේතුවෙන් මෙරට කෘෂි ව්‍යාපාරිකයන්ට සිදු වු හානිය සදහා රජය විසින් වන්දි ලබා දිය යුතු බවයි.

ලබන වසරේ (2022) මුල් මාසය තුල ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදුන්න ද අස්වැන්න ලබා ගැනීමට මැයි, ජුනි මාස දක්වා බලා සිටිමට සිදු වන බැවින් සහ පොහොර වියදම ඉහළ යාමෙන් එළවළු මිල තවදුරටත් වැඩිවීමේ අවදානමක් පවතින බවයි සමස්ථ ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසන්නේ.

******************************************

නත්තල දා පුංචි සිතකට සතුට කැන්දූ අපූරු නත්තල් තෑග්ග

(25.12.2021 – 21:53 +0530 – hirunews.lk/sinhala)

නත්තල, සාමය සතුට පෙරදැරිය සමරනු ලබන අසිරිමත් උත්සවයක්.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ නත්තල සැමරීම හැම දෙනාටම එකසේ සිදු කිරීමට හැකියාවක් නැහැ.

කෙසේ නමුත් සතුට බෙදා ගැනීම හරහා පුංචි දියණියකගේ නත්තල් සිහිනයක් සැබෑ කරදීමට අපට හැකිවුණා.

මෙවර නත්තල සැමරීම පිළිබඳව අප ජනතා අදහස් විමසන අවස්ථාවේදීයි, වේයන්ගොඩ නාරන්වත්තේ පදිංචි ඉමෝක්ෂා රවිහාරි දැරියගේ මේ අහිංසක බලාපොරොත්තුව අපට අසන්නට ලැබුණේ.

පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවත් සිය නිවසේ ගවලෙනක් පවා තනා ඇති ඉමෝක්ෂා කුඩා දරුවන්ගේ නත්තල් සිහින සැබෑ කරන නත්තල් සීයා එනතුරු
පෙරමග බලා සිටියේ අහිංසක බලාපොරොත්තුවකින්.

ඉමෝක්ෂාගේ අහිංසක ඉල්ලීම පසුගිය 23 වැනිදා හිරු මධ්‍යහ්න ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කෙරුණේ ඒ අතරතුරයි.

ඒ ඉල්ලීම වෙනුවෙන් අවධානය යොමුකළ ‘හිරු ටී.වී.’ ප්‍රේක්ෂකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ඉමෝක්ෂාගේ නිවසට පැමිණියේ නත්තල් සතුට බෙදාහදා ගන්නයි.

ඊට අමතරව තවත් සුවිශේෂී පුද්ගලයෙකු ද ඉමෝක්ෂාගේ නත්තල් සිහිනය වෙනුවෙන් ඉදිරිපත් වුණා.

ඒ, ශ්‍රී ලංකා එක්දින හා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානකයි.

ඔහු පරිත්‍යාග කළ මුදලින් ඉමෝක්ෂා සිහින මැවූ නත්තල් තෑගි ලබාදීමට අප වාර්තාකරු කටයුතු කළේ මෙලෙසින්.

නත්තල වඩාත් අරුත් ගැන්විය හැක්කේ සාමය, සතුට බෙදාහදා ගැනීමෙන් බවට මීටත් වඩා නිදහසුනක් කොයින්ද?

******************************************

බදු අඩුකර මුදල් අච්චු ගසා රට විපතට දැම්මා – ආචාර්ය හර්ෂ ද සිල්වා youjudge සමග කළ සාකච්ඡාව

(25.12.2021 – 18:54 +0530 – truenews.lk)

වත්මන් රජය බලයට පැමිණි පසුව බදු සංශෝධන සිදු කිරීම මගින් රජයට ලැබීමට තිබූ බදු ආදායමෙන් 35% ක් පමණ අඩුවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ බදු මගින් ආදායම් ඉපයීම වෙනුඅවට රජය මුදල් අච්චු ගැසීම සිදු කල බවයි.

youjudge සමග සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමේ සිට ඩොලරය වැඩිවීම දක්වාම බලපෑ බවයි.

එම සාකච්ඡාව :

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා මරණ 19 ක්

(25.12.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 19 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,871 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 12 ක් සහ සහ පිරිමින් 07 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තාවක් ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ දෙකක් (2) වර්තාවී ඇති අතර ඔවුන් දෙදෙනාම (2) පිරිමින්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවන් 11 දෙනෙකු ඊයේ (24) තහවුරු කළ මරණ 19 ට අයත් ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 278 ක් පූර්ණ සුවයට

(25.12.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 278 දෙනෙකු අද (25) දිනයේ දී පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,59,128 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 529 දෙනෙකු අද (25) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිත සංඛ්‍යාව 5,83,251 ක් බවයි වාර්තා වන්නේ. වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,252 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *