නත්තලටත් මග දෙපස තෙල් පෝලිම්

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම්

*********************************************

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම්

(25.12.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

නත්තල් උදාවත් එළැඹෙන නව අවුරුදු උදාවත් හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට මේ වන විට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඒ අනුව අද (25) දිනයේත් දිගු පෝලිම්වල රැඳී සිටීමටයි මගී ජනතාවට සිදුව ඇත්තේ.

දිවයින පුරා ගෑස් ආශ්‍රිත අනතුරු දෛනිකව වාර්තාවන පසුබිමක ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් ආශ්‍රිතව සිය දෛනික වැඩකටයුතු සිදු කිරීමට පෙළැඹුණා.

නමුත් පසුගිය සඳුදා (20) ඉන්ධන මිලද ඉහළ යාමත් සමග තමන් තවදුරටත් පීඩාවට පත්වූ බවට මැසිවිලි නගනවා.

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ භූමිතලේ මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්.

මේ අතර, රට තුළ පවතින කිරිපිටි හිඟය ලබන පෙබරවාරි මාසය පමණ වන තෙක්ම පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් කිරිපිටි මිල ඉහළ යාමක් දසිදුවිය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා සිංගප්පූරුවෙන් බොර තෙල් ණය පදනම මත ලබාගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ දින 180 ක් සඳහා, ණය පදනම මත අදියර හයකින් මෙරටට බොරතෙල් ගෙන්වීමට කටයුතු කරන බවයි.

එම පළමු තොගය ලබන ජනවාරි 23 වනදා හෝ 24 වනදා දිවයිනට ළඟාවනු ඇතැයි අපේක්ෂිතයි.

මෙරටට ඉන්ධන ආනනය කිරීම සඳහා මාසිකව වැයවන මුදල ඩොලර් මිලියන 360 කට ආසන්නයි.

මේ වනවිට මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති අතර, ඉන්ධන ආනයනයට අවශ්‍ය විනිමය හිඟයක් පවතිනවා.

ඒ අනුවයි මෙලෙස සිංගප්පූරුවෙන් ණය පදනම මත බොරතෙල් ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් සමගි ජන බලවේගය දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබුණේ මෙලෙසින්.

******************************************

මාළු මිරිස් සහ අමු මිරිස්වල තරමක මිල අඩුවීමක්

(25.12.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ අමු මිරිස් සහ මාළු මිරිස් මිල ගණන් කොළඹින් පිටත ආර්ථික මධ්‍යස්ථානවල මේ වන විට තරමක අඩුවීමක් පෙන්නුම් කරනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් තොග මිල ඊයේ (24) රුපියල් 600 මට්ටමේ පැවති අතර කැප්පැටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස්, රුපියල් 550 කට පමණ අලෙවි වුණා.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එහි අගය රුපියල් 540 ක් ලෙසයි දැක්වුනේ.

අමු මිරිස් තොග මිල දඹුල්ලේ මෙන්ම කැප්පෙටිපොලද රුපියල් 600 මට්ටමේ පැවතුණා.

කෙසේවෙතත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (24) රුපියල් 850 ක් වූ අමු මිරිස් තොග මිල සිල්ලරට අලෙවි වෙද්දී, රුපියල් දහසට (1000) ආසන්න වී තිබුණා.

රත්මලාන සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල අමු මිරිස් රුපියල් 700 ත් 850 ත් අතර මිලකයි පැවතුණේ.

මාළු මිරිස් තොග මිල ද රුපියල් 630 ත් 750 ත් අතර පැවති අතර කොළඹ ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල මාළු මිරිස් රුපියල් 800 ක සිල්ලර මිලට ද අලෙවි වුණා ෴

******************************************

මැලේරියා අවදානම යළිත්

(25.12.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට යළිත් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කළා.

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා මෙලෙස මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් හටගෙන ඇති බවයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ෴

******************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන අතිරේක දිරි දීමනාව දීර්ඝ කෙරේ

(25.12.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනාවක් ලබාදීමේ කාලසීමාව තවත් මාසයකින් (1) දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සළකා බලා දැනට ඇමරිකානු ඩොලරයකට ගෙවනු ලබන රුපියල් 10 ක අතිරේක දිරි දීමනාව ඒ අනුව ලබන වසරේ (2022) ජනවාරි 31 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

මෙම අතිරේක දිරි දීමනාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විදේශීය ප්‍රේෂණවල දක්නට ලැබුණු හිතකර වර්ධනයට ප්‍රතිචාර වශයෙන් එම තීරණයට එළඹුණු බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ බැංකු හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී එම ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිදු ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් මෙරටට එවීමට හැකිවනු ඇති බවයි මහ බැංකුව අවධාරණය කළේ ෴

******************************************

තරුණයෙකුගේ මරණයකින් බදුල්ල පොලිසියත් උණුසුම්

(25.12.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කරුණාපුර ප්‍රදේශයේ ඇතිවූ පවුල් ආරවුලක් අතරතුර 25 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවට ද අනාවරණය වී ඇති බවයි.

විවාහකයෙකු වන එම තරුණයා එම ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් මෑතකදී යළි විවාහ වී තිබෙනවා.

ඒ අනුව සිය දියණිය අතුරුදන් බවට අදාළ තරුණියගේ මව විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශණයේදී යුවල සොයාගෙන ඇති අතර ඔවුන්ට පොලීසිය වෙත පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

අනතුරුව නව යුවල සහ දෙපාර්ශ්වයේ ම දෙමව්පියන් පොලීසියට පැමිණ සමථයකට පත්වූ බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ අනුව 2 වන බිරිඳගේ පාර්ශ්වයෙන් නව යුවල කැඳවාගෙන ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔවුන්ට හිමි දේපල තමන්ට පවරා දෙන ලෙස මියගිය තරුණයා විසින් බල කිරීමත් සමග ඔහු සහ 2 වන බිරිඳගේ පියා අතර ගැටුමක් හටගෙන ඇති බව සඳහන්.

ඔවුන් නිවසේ භාණ්ඩවලින් එකිනෙකාට පහර දෙමින් සිටින අතරතුර 2 වන බිරිඳගේ පියා පිත්තල පෝච්චියකින් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා ත්‍රීරෝද රථයකින් බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එලෙස මියගොස් ඇත්තේ බදුල්ල – කරුණාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 2 වන විවාහයේ බිරිඳගේ පියා, මව, බාල සොහොයුරා සහ ත්‍රීරෝද රථයෙන් රෝහලට රැගෙන ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියත් සමග ඊයෙ (24) බදුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති වුණේ මිය ගිය තරුණයාගේ මව පොලීසිය ඉදිරිපිටට පැමිණ නොසන්සුන්කාරී ලෙස කෑගැසීමත් සමගයි.

මෘත දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බදුල්ල – කරුණාපුර ප්‍රදේශයේ ඇති වූ පවුල් ආරවුලක් අතරතුර 25 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන මස 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද (25) බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි ෴

******************************************

ව්‍යාජ පී.සී.ආර්. වාර්තා සකසා මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනකු STF අත්අඩංගුවට

(25.12.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව පෙරේදා (23) කොච්චිකඩේ – මස්කඩේ ප්‍රදේශයේ දී ව්‍යාජ ලෙස පී.සී.ආර්. වාර්තා සකස් කර, මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනකු (3) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමේ යෙදුණු සැකකරුවන් වයස අවුරුදු 21-37 ත් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍රයක්, ජංගම දූරකථන 05 ක්, පෙන් ඩ්‍රයිව් 02 ක් සහ ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. වාර්තා 17 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්දොළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

******************************************

ගේට්ටුවක් කඩාවැටී තුන් (3) හැවිරිදි දැරියක් මරුට

(25.12.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක ඉදිරිපිට ඇති ගේට්ටුව අසළ සෙල්ලම් කරමින් සිටියදී එම යකඩ ගේට්ටුව ඇඟ මතට කඩාවැටී ඊයේ (24) සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇගේ වයස අවුරුදු 3 ක් වන බවයි.

රිදීගම රෝහලට ඇතුළත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කිරීමේදී මියගොස් තිබෙනවා ෴

******************************************

කාදිනල් හිමියන් වෙනසක් ඉල්ලයි

(25.12.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ජේසු සමිදාණන්ගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා.

ගෝලීය වසංගතය හේතුවෙන් සාමයේ පණිවුඩය රැගෙන ආ ක්‍රිස්තූන් වහන්සේගේ උපත ජනතාවට මෙවරත් සැමරීමට සිදුව තිබෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

මෙවර නත්තල් උදාවේ මැදියම් රෑ ප්‍රධාන දේව මෙහෙය රාගම – තේවත්ත – බැසිලිකා දෙව් මැදුරේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් තවමත් සොයාගැනීමට අපහසු වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය නිසාවෙන් බවයි.

******************************************

මහරගම දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

(25.12.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

මහරගම – දෙහිවල පාරේ පිහිටා ඇති දෙමහල් ගොඩනැගිල්ලක පහත මාලයෙහි අද (25) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඇති වී තිබෙන්නේ, මෙරටට විදුලි උපකරණ ආනයනය කර, බෙදා හරිනු ලබන අලෙවි මධ්‍යස්ථානයක බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.

නමුත් ගින්නෙන් සිදු ව ඇති දේපල හානිය රුපියල් පනස් ලක්ෂයකට (50,00,000) අධික බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න නිවීමට දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 03 ක් සහ ගිනි නිවීමේ නිලධාරින් 09 දෙනෙකු එක්ව තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර, ගින්නට හේතුව කිසියම් කඩාකප්පල්කාරී හෝ වෙන යම් කාර්මික දෝෂයක් දැයි සොයා මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

******************************************

සුනාමියට හෙටට (26) වසර 17 යි

(25.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ව්‍යවසනය සිදුවී හෙටට (26) වසර 17 ක් සපිරෙනවා.

ඒ අනුව සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් හෙට (26) පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) කාලයක් නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසටයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

මෙහි ප්‍රධාන අනුස්මරණ වැඩසටහන හෙට (26) හික්කඩුව – පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පිහිටි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව සියලු දිස්ත්‍රික්කවල ආගමික වැඩසටහන් සිදුකිරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙනවා ෴

******************************************

රුපියල් කෝටි 15 කට වැඩි කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

(25.12.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කේරල ගංජා කිලෝ 517 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) යාපනය – කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පළමුව මුහුදේ පාවෙමින් තිබූ උර 10 ක පාර්සල් 160 ක් ලෙස අසුරන ලද කේරල ගංජා කිලෝ 355 ක පමණ තොගයක් සොයාගෙන ඇති බව සඳහන්.

පසුව සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම යාත්‍රාව නාවික හමුදාව මග හැර එහි තිබූ උර කිහිපයක් මුහුදට විසිකර පළා යෑමට උත්සාහ කර තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ එහිදී එම යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර, මුහුදට දමන ලදැයි සැක කෙරෙන උරවල තිබී තවත් කේරල ගංජා කිලෝ 162 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි.

මෙම කේරල ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 155 කට ආසන්න බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 18,650 ක්

(25.12.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 18,650 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 5,473 ක්.

ඉන් අනතුරුව 3,099 ක් වන වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජුලි මාසයෙන් වන අතර, එම සංඛ්‍යාව 2670 ක්.

එසේම, පසුගිය නොවැම්බර් මාසයේදීද ඩෙංගු රෝගීන් 2,008 ක් වාර්තා වී තිබුණා. දෙසැම්බර් මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 624 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *